Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

අතුරුදහන් වූ පවුලේ නෑයින් සොයාදෙන රතු කුරුසය

ඔබ වෙනත් රටක අතරමං වුවහොත් ඔබට කුමක් කළ හැකි ද? එවිට ඔබේ පවුල සමග ඇති සබඳතා ඇතිකර ගැනීම සඳහා ඔබ කළ යුතු දේ කුමක් ද? හදිසි අවස්ථාවක දී, ඔබ සතු සියල්ල අහම්බෙන් අස්ථානගත වීම, විනාශ කිරීම, සොරාගැනීම, හෝ රාජසන්තක වීම සිදුවිය හැකිය. පිටරටක දී පමනක් නොවේ, ඔබගේ මවු රටේ දීම වුවත්, ආපදාව හෝ ගැටුම් අවස්ථාවක දී හෝ ඔබ හෝ ඔබගේ පවුලේ සාමාජිකයෙකු අතර සන්නිවේදන ඇණහිටීමක දී ඔවුන් වෙත පණිවුඩයක් යැවීමට මාර්ගයක් ඇති නම්, ප්‍රියාදරයින්ගේ හිතට සැනසුමක් වනු ඇත. එවැනි අවස්ථාවන්හි දී ඔබට සහාය ලබාගත හැකි ඉතා ප්‍රසිද්ධ සංවිධානයක වටිනා වැඩපිලිවෙලක් ගැන යි මේ දැනුවත් කිරීම.

රතු කුරුස සංවිධානය

රතු කුරුස සංගමයේ ආරම්භකයා වූ හෙන්රි ඩුනාන්ට්
රතු කුරුස සංගමයේ නිර්මාතෲ ඩුනාන්ට්/pinterest.com/

ඔස්ට්‍රියානු අධිරාජ්‍යයේ හමුදා සහ ප්‍රංශ සාර්ඩීනියානු මිත්‍ර හමුදා අතර ඉතාලියේ සොල්ෆරීනෝහි දී සිදුවූ බිහිසුණු සටන්වලින් පසු, එම සංග්‍රාම භූමියේ තත්ත්වය සියැසින් දැකීමේ අවස්ථාව එක් ව්‍යාපාරිකයෙකුට හිමිවුණි.  ස්විස්ටර්ලන්ත ජාතික තරුණ ව්‍යාපාරිකයෙකු වූ හෙන්‍රි ඩුනාන්ඩ් නම් ඔහුගේ සිතුවිල්ලක් අනුව රතු කුරුස සංවිධානය බිහිවිය. 1863 දී, යුධ සමයේ තුවාල ලබන සොල්දාදුවන්ට සාත්තු කිරීම යන අරමුණ පෙරදැරිව මානුෂවාදී මානව ඉතිහාසයේ සංධිස්ථානයක් සනිටුහන් කරමින් රතු කුරුස සංවිධානයේ උපත සිදුවිය. අද වනවිට ලෝකයේ රටවල් 191කට අධික සංඛ්‍යාවක් පුරා ශක්තිමත්ව පැතිරුණු මෙම මානුෂවාදී සංගමයේ ශ්‍රී ලංකා ශාඛාව 1936 දී බිහිවිය. ඒ, මෙරට ක්‍රියාත්මක වූ බ්‍රිතාන්‍යය රතුකුරුස සංගමයේ ශාඛාවක් ලෙසිනි. 

කාලානුරූපීයව රටවල් පුරා පැතිරීමේ දී රතු කුරුස, රතු අඩසඳ හා රතු චතුරස්‍ර යන ප්‍රධාන සංකේත සමග ප්‍රචලිත වූව ද, එහි මූලික සංකල්ප හා ප්‍රතිපත්තීන්හි වෙනසක් නොවී ය. සංවිධානය මනුෂ්‍යත්වය, අපක්ෂපාතීත්වය, මධ්‍යස්ථභාවය, ස්වාධීනත්වය, ස්වෙච්ඡා සේවය, එක්සත්භාවය, විශ්වසනීය බව යන මූලික ප්‍රතිපත්ති හත මත පිහිටා කටයුතු කරන අතර ස්වභාවිකව සිදුවන ආපදාවල දී හා මිනිසා විසින් ඇතිකරන ලද ආපදාවල දී ද මානුෂවාදී ආධාර ලබා දේ. එහෙත් මේ සියල්ල ගැන දැන සිටියත්, රතු කුරුස සංගමය මඟින් ඉටුකරන පවුල් සබඳතා යලි ඇතිකිරීම හෙවත් Restoring Family Links වැඩපිළිවෙල ගැන නොදන්නා බොහෝ දෙනෙකු සිටිය හැකිය. ඒ හේතුවෙන්, සියලුදෙනාගේ ප්‍රයෝජනය උදෙසා මේ ලිපිය ලියැවේ.

ආධාර උපකාර
ආධාර උපකාර/restoringfamilylinksblog.com/

පවුල් සබඳතා යලි ඇති කිරීම

පවුල් සබඳතා යලි ඇති කිරීම කියනා විට එයට කසාද හා දික්කසාද වැනි කාරනා සම්බන්ධයැ යි සමහර විට ඔබට සිතෙන්න පුළුවන්. නමුත් මෙහිදී සැබවින්ම සිදුවන්නේ ගැටුම් තත්ත්වයක්, රට හැරයෑමට සිදුවීම හෝ ආපදාවක් නිසා වෙන්වූ පවුලේ සාමාජිකයන් සමග සබඳතා නැවත ඇතිකර දීම හෝ, අතුරුදහන්ව සිටින පවුලේ සාමාජිකයන් සෙවීම සඳහා සහාය ලබාදී පවුල් සබඳතා නැවත ස්ථාපනය කිරීම යි.

සංක්‍රමණ හෝ විදේශගත වීම්වල දී

සංක්‍රමණිකයන් වශයෙන් මවු රටේ සිට ගමනාත්තය දක්වා යන ගමනේ දී බොහෝ අවදානම් තත්ත්වයන් ඇතිවිය හැකි ය. තාක්ෂණික වශයෙන් කෙතරම් දියුණු වුවත් පවුලේ අය සමග සම්බන්ධතා නැති වීම, අසනීප වීම, හුදෙකලා වීම හෝ රඳවා තැබීම හෝ, වෙනත් දුෂ්කරතා ඇතිවිය හැකිය. මෙසේ බිඳීයන පවුල් සම්බන්ධතා නැවත ස්ථපිත කිරීම “පවුල් සම්බන්ධතා ජාලය” නම් පුළුල් ජාලයක් හරහා සිදුවේ. එය ජාත්‍යන්තර රතු කුරුස කමිටුව (ICRC), ජාත්‍යන්තර රතු කුරුස සම්මේලනය (IFRC), හා ශ්‍රී ලංකා රතු කුරුස සමාජය ඇතුළු ලොව පුරා සිටිනා රතු කුරුස හෝ රතු අඩසඳ සංගම් 191කින් සමන්විත ජාලයකි. ගැටුම්, ප්‍රචණ්ඩත්වය, ව්‍යසනය හෝ සංක්‍රමණය නිසා පීඩා විඳින සහ ඔවුන්ගේ පවුල්වලින් වෙන්ව සිටින පුද්ගලයන්ට උපකාර කිරීමට එම ජාලය නිර්මාණය කර ඇත.

එහිදී

  1. ඔබ ජීවත්ව සිටින බව ඔබේ පවුලට දැනුම්දීමට කෙටි වාචික පණිවුඩයක් යැවීම
  2. ඔබේ තත්ත්වය පිළිබඳ විස්තර සහිතව ලිඛිත රතු කුරුස පණිවුඩ යැවීම
  3. සම්බන්ධතා අහිමිවූ ඔබ පවුලේ සාමාජිකයකු සොයාගැනීම සඳහා තොරතුරු සෙවීම පිළිබඳ ඉල්ලීමක්/ගොණුවක් විවෘත කිරීම.

යනාදී ලෙස සහාය ලබා දේ.

ශ්‍රී ලංකා රතු කුරුස සංගමය
ශ්‍රී ලංකා රතු කුරුස සංගමය/redcross.lk/

 

ඔබ විදේශීය රටක අත්අඩංගුවේ රඳවා ඇත්නම් ඔබේ පවුල සමග සබඳතා ඇතිකර ගැනීමට රතු කුරුස හා රතු අඩසඳ සහාය ලබාගත හැකි ය. එබඳු සහායන් නොමිලේ හා සම්පූර්ණයෙන්ම රහසිගතව සිදුකර දීම විශේෂත්වයක් වන අතර, ගුවන් ටිකට්පත් ලබාදීම වැනි සංචාරක සහායක් එහිදී ලබා නොදේ. එසේම ඔබේ පවුලේ ළඟම ඥාතියෙකු එවැනි හේතු නිසා අතුරුදන්ව සිටී නම් දිවයින පුරා දිස්ත්‍රික්ක 25 ආවරණය වන පරිදි පිහිටුවා ඇති දිස්ත්‍රික් රතු කුරුස සංගම් වෙත යාමෙන් අවැසි සහාය ලැබෙනු ඇත.

එසේම මවු රට තුළ දී ද ගැටුම්, යුධ තත්ත්ව නිසා පවුලේ සාමාජිකයෙකු අතුරුදන්ව ඇති නම් ඔවුන් සොයාගැනීම සඳහා අවශ්‍ය සහාය ලබාගත හැකි ය. 

ජාත්‍යන්තරව පැතිරුන සංවිධානයක්
ජාත්‍යන්තරව පැතිරුණු සංවිධානයක්/restoringfamilylinksblog.com/

තරහා කරගත යුතු නොවන රතු කුරුසය

මුළු ලෝකය පුරාම ඉතා ශක්තිමත්ව මුල් බැසගෙන ඇති රතු කුරුස සංවිධානයට ඉහළ ජාත්‍යන්තර පිළිගැනීමක් හිමි ය. එසේම එහි මූලික ප්‍රතිපත්ති හත මත පිහිටා ක්‍රියාකිරීමේ අයිතිය පිළිගන්නා බවට සෑම රටක්ම පාහේ ජාත්‍යන්තර සම්මුතිවලට එලඹ තිබේ. යම් රටක් කිසියම් කාරණයක දී (යුද්ධයක දී වැනි) රතු කුරුස සංවිධානයට බාධා කිරීම්, ඔවුන්ට ප්‍රහාර එල්ල කිරීම් වැනි ක්‍රියාවන්ට එළඹුනහොත් ජාත්‍යන්තර මට්ටමෙන් ගැටලු රැසකට මුහුණදීමට සිදුවිය හැකි ය. එවැනි ක්‍රියාවන් සිදුකරන රාජ්‍යයන් ජාත්‍යන්තරව හුදෙකලා කිරීම්, ආධාර ලබාදීම් වැලැක්වීම හා සම්බාධක පැනවීම මෙන්ම රටට ඇති පිළිගැනීම අඩු වීම ඔස්සෙ සමාජ, ආර්ථික ගැටළු ඇති වේ.

ස්වේච්ඡාවෙන් මානුෂවාදී හැඟීම පෙරදැරිව රටපුරා මෙන්ම ලොව පුරාම අසීමිත කැපකිරීමක් කරන රතු කුරුස සාමාජික සාමාජිකාවන්ගේ මානුෂීය ගුණයට හිස නමා ආචාරය පුදකළ යුතු ය. එමෙන්ම වර්තමානයේ පවතින තත්ත්වයට රතු කුරුස සංගමය ගෙන ඒමට කැපකිරීම් කළ අතීත සාමාජිකයන් ආදර්ශයට ගෙන, අනාගත පරපුරට මානුෂීය ගුණ උරුමකර දීමට එහි මූලික ප්‍රතිපත්ති ඉදිරියටත් රැකගැනීම කාගෙත් සමාජයීය වගකීමක් වනු ඇත.

Related Articles