Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

නේපාලයේ සමරන උත්සව කිහිපයක තතු

ලෝකයේ සෑම රටකම පාහේ ඔවුනටම ආවේණික වූ උත්සවයන් ඇති අතර, ඔවුන් ඒවා මහත් හරසරින් සමරනු ලබයි. එම රටවල පවතින ආගමික හා සංස්කෘතික විශ්වාස ඊට සෘජුවම බලපායි. නේපාලය යනු ආගමට ලැදි, ආගමික වතාවත් මහත් කැපවීමෙන් ඉටුකරනු ලබන රටකි. ඔවුන් ආගමික උත්සවයන් බොහොමයක් සමරනු ලබන අතර, මෙම උත්සවයන් ලෝකයේ අවධානය ද දිනාගැනීමට සමත් වී තිබේ. එකී උත්සවයන් කීපයක තතු ය මේ.

දශායින් උත්සවය

indiatvnews.com (දුර්ගා දෙව්දුව)

නේපාලයේ පැවැත්වෙන ප්‍රධානතම උත්සවය ‘දශායින්’ නමින් හඳුන්වයි. ‘බිජය දශමි’ යනුවෙන් ද හඳුන්වන මෙය කාර්තික් මාසයේ (සැප්තැම්බර් අවසානයේ සිට ඔක්තෝබර් ආරම්භය දක්වා) දින පහළොවක් පුරාවට සමරන උත්සවයකි. ‘මහීශාසුර’ නමැති යක්ෂයා මරණයට පත්කොට රටේ ආරක්ෂාව තහවුරු කරමින් දුර්ගා දෙව්දුව ලබාගත් ජයග්‍රහණය සැමරීම මෙහි අරමුණ යි. දෙව්දුවගේ ධෛර්ය සැමරීම පිණිස ඇයට ‘පූජනීය ආරක්ෂයා’ ලෙසින් නේපාල රජුගේ ගෞරවය ද හිමි වේ. එතැන් පටන් දෙව්දුවට සිදුකරන පූජාවන් ඉතාමත් ජනප්‍රිය උත්සව චාරිත්‍රයන් බවට පත්විණි. එම උත්සවයේ පළමු දින නවය ‘නවරාත්‍රි’ නම් වන අතර, එහි දී දුර්ගා දෙව්දුවට සමාන රුවකට වන්දනා කිරීම ද කුරුල්ලන් හා සතුන් පූජා කිරීම ද සිදුකෙරේ. මීට අමතරව ‘ෆුල්පති’ නම් වන හත්වන දිනයේ දී පූජනීය මල් ඉදිරිපත් කිරීමත්, ‘මහා අස්තමි’ නම් වන අටවන දිනයේ දී පශු සම්පත ඝාතනය කොට දෙව්දුව සතුටු කිරීමක් ද සිදුකෙරේ. එමෙන්ම ‘මහා නවාමි’ නම් නවවැනි දිනයේ දී තලේජු නම් දේවස්ථානය වන්දනාමාන කිරීම ද, ‘විජය දශමි’ නම් දසවැනි දිනයේ දී පවුල් නැවත එකතු වීම ද, ‘කොජාග්රාතා පූර්ණිමා’ නම් පහළොස් වන දිනයේ දී උත්සවයේ අවසානය සනිටුහන් කෙරේ. සාප්පු යාම, සරුංගල් තරග, රසවත් ආහාරපාන ආදිය මේ උත්සව සමයේ නිරතුරුව දැකිය හැකි දසුන් ය.

තිහාර් උත්සවය

tibettravel.org

මෙම උත්සවය ‘දීවාලි’ හෙවත් ‘දීපවාලි’ යනුවෙන් ද හඳුන්වනු ලබයි. නේපාලයේ ‘දශායින්’ උත්සවයට පසු මහත් හරසරින් සමරනුයේ මෙය යි. සාමාන්‍යයෙන් මෙය ද කාර්තික් මාසයේ දී ම පැවැත්වෙන අතර ඔක්තෝබර් සිට නොවැම්බර් දක්වා පැවැත්වේ. නේපාලයේ, ධනයට සහ වාසනාවට දෙව්දුව වන ‘ලක්ෂ්මි’ හට සහ කපුටන්ට, බල්ලන්ට, හරකුන්ට ද ගරු බුහුමන් කරමින් පවත්වනු ලබන දෙවන විශාලතම උත්සවය මෙය වේ. මෙහි ‘කාග් තිහාර්’ ලෙස නම් කරන පළමු දිනයේ දී මරණයේ පණිවුඩකරුවන් ලෙස සැලකෙන කපුටන් වන්දනා මාන කරමින් බත් ලබාදෙන දේ. සුනඛයන් සඳහා ස්තුති කිරීමට වෙන් වූ දෙවන දිනය නම් කර ඇත්තේ ‘කුකුර් තිහාර්’ ලෙසිනි. මරණයට පත්වූවන්ට ස්වර්ගය සොයාගැනීම සුනඛයන්ට සහතික කළ හැකි බව මොවුන්ගේ විශ්වාසය යි. එහිදී ඉතාමත් අලංකාරවත් රාත්‍රී භෝජනයක් ද මොවුන්ට පිරිනැමීම විශේෂත්වයකි. තෙවන දිනය වෙන් කොට ඇත්තේ ලක්ෂ්මි දෙවියන් වන්දනාමාන කිරීමට ය. සිව් වන දිනයේ දී ගවයින් වන්දනා කෙරෙන අතර, පස්වන දිනයේ සහෝදර සහෝදරියන් අතර සමීප සම්බන්ධතාවය වර්ධනය වන ක්‍රියාකාරකම් සිදුකෙරේ.

හෝලි උත්සවය

thehimalayantimes.com

පෙර කලෙක රජකම් කළ ‘හිරන්‍යකාශිපු’ නම් යක්ෂ රජ කෙනෙකු ඔහුගේ පුත්‍රයා වූ ‘ප්‍රහ්ලාද්’ විෂ්ණු දේව භක්තිකයෙකු වීම සම්බන්ධයෙන් දැඩි විරෝධය පාමින්, එක් අවස්ථාවක දී වඩා ශ්‍රේෂ්ඨ වන්නේ තමා ද දෙවියන් ද යනුවෙන් සිය පුත්‍රයාගෙන් පැනයක් අසා ඇත. ‘ඔබ නිකම් රජ කෙනෙක් පමණකි, දෙවියන් ශ්‍රේෂ්ඨ ය’ යන්න පුත්‍රයාගේ පිළිතුර විය. මෙයින් කුපිත වූ රජු තම පුත්‍රයා මැරීමට විවිධ උපක්‍රම යොදන නමුදු ඒවා අසාර්ථක වීම හේතුවෙන් අවසානයේ දී සිය සහෝදරිය වන හොලිකාගේ සහය ලබා ගන්නා අතර, ඇය විශාල ගින්නක් ගසා පුත්‍රයා පිළිස්සීමට කටයුතු කරනු ලබයි. ප්‍රහ්ලාද් එයින් ගැලවෙන අතර හොලිකා එම ගින්නට හසුවීම මේ හා සම්බන්ධ ඉතිහාස කතාව යි. මීට අමතරව දේව පෙම්වතුන් වන රාධා – ක්‍රිෂ්ණාගේ ආදර අන්දරය සැමරීම සඳහා ද යොදාගනු ලබන මෙය ‘වර්ණයන්ගේ උත්සවය’ නමින් ද හැඳින්වේ. කත්මණ්ඩු නුවර මහත් උත්සවශ්‍රීයෙන් සැමරෙන මේ සඳහා වර්තමානයේ දී විදේශිකයන් ද සහභාගී වන බව වාර්තා වේ.

ගායි ජාත්‍රා උත්සවය

05.Picture – tibettravel.org

‘ගවයන්ගේ උත්සවය’ ලෙස ද හැඳින්වෙන මෙය නේපාලයේ භද්‍රා මස, නොඑසේ නම් අගෝස්තු සිට සැප්තැම්බර් දක්වා කාලයේ දී, දින අටක් පමණ අඛණ්ඩව පැවැත්වේ. 17 වන සියවසේ දී නේපාලයේ රජ කළ ප්‍රතාප් මල්ල රජු, සිය තරුණ පුත්‍රයා අහිමිව යාම හේතුවෙන් කම්පිතව දවස ගෙවූ සිය රැජිණ සැනසීම පිණිස අරඹනු ලැබූවකි මෙය. මෙම උත්සවයෙහි ගව පෙරහැරවල්, බෙර සංගීත, හා වෙස්මුහුණු නැටුම් කැපී පෙනෙන අංගයන් වේ.

පෙර වසර තුළ ඥාතියෙකු අහිමි වුණු සියලු පවුල්, උදෑසනම ගවයෙකු ස්නානය කරවා වලිගය පිරිසිදු කිරීම සිදු කරයි. අලංකාර මල් මාලා වලින් සරසනු ලබන මෙම චාරිත්‍ර වලින් අනතුරුව ගව පෙරහැර කත්මන්ඩු නිම්නය පුරාම පියමන් කෙරෙන අතර ගවයන් සොයා ගත නොහැකි නම්, තරුණ පිරිමි ළමුන් ගවයන් මෙන් සරසන වග දැක්වේ.

ටීජ් උත්සවය

Kiran Kreer

නේපාල කාන්තාවන්ගේ උපවාස උත්සවය වන මෙය භද්‍රා මාසයේ දී පැවැත්වෙයි. පාර්වතී දෙවියන්ගේ සහ ශිව දෙවියන්ගේ නැවත එක්වීම සැමරීම සඳහා පැවැත්වෙන මෙහි දී, නේපාල කාන්තාවන් ඔවුන්ගේ රතු පැහැති අලංකාර සාරි වලින් සැරසී සිය ස්වාමියාගේ සුවසෙත පතා හෝ යහපත් ස්වාමියෙකු පතා උපවාස කරමින් යැදීම සිදුකෙරේ. දින තුනක් පුරා පැවැත්වෙන ‘කාන්තාවන්ගේ ආශිංසන උත්සවය’ ලෙස ද හැඳින්වෙන මෙම උත්සවය දුෂ්කර උපවාස, ශිව දෙවියන් යැදීම, ගංගාවෙන් ස්නානය කිරීම, හා විවිධ සම්ප්‍රදායික සැමරුම් ආදියෙන් යුක්ත වේ.

ඉන්ද්‍ර ජාත්‍රා උත්සවය

himalayastrek.com

‘යෙන්යා’ යනුවෙන් ද හැඳින්වෙන මෙම උත්සවය නේපාලයේ විශාලතම වීථි උත්සවය යි. අනෙක් බොහෝ උත්සව මෙන්ම මෙය ද පැවැත්වෙන්නේ නේපාලයේ භද්‍රා මාසයේ දී ය. ඉන්ද්‍ර දෙවියන් සහ දාගින් දෙවඟන යැදීම සඳහා දින හතක් පුරා පවත්වනු ලබන මෙහි දී සිදු කෙරෙනුයේ සශ්‍රීක අස්වැන්නක් උදෙසා මෙන්ම පසුගිය වසරේ අභාවප්‍රාප්ත වූවන් අනුස්මරණය කිරීම යි. මෙය ඉන්ද්‍ර ජාත්‍රා සහ කුමාරි ජාත්‍රා යනුවෙන් කොටස් ද්විත්වයකින් යුක්ත වේ.

අපට මඟහැරුණු තවත් ප්‍රධාන නේපාලි උත්සව ගැන ඔබ දන්නවා ද? එසේ නම් එය කමෙන්ටුවක් ලෙස සඳහන් කරන්න.

කවරයේ පින්තූරය: tourism-of-india.com

Related Articles