Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලොව හුදෙකලාම නිවස

උතුරු අත්ලාන්තික් සාගරයේ පිහිටා ඇති අයිස්ලන්තයේ දකුණු කොටසේ කුඩා දූපත් කිහිපයක් ඇත. මේ බොහොමයක් ජනගහනයකින් තොර නමුත් ඒවායින් එකක් කැපී පෙනේ. ‘එලිරේ’ නම් කුඩා දූපත ප්‍රසිද්ධියට පත්වූයේ ඒ මධ්‍යයේ පිහිටි හුදකලා නිවසක් හේතුවෙනි. ඔබ අන්තර්ජාලය හරහා ලොව වටා තොරතුරු සොයන්නෙකු නම් ඔබ මෙම හුදෙකලා නිවස දැක ඇතුවාට සැකයක් නැත. කෙසේ නමුත් එය දකින බොහෝ දෙනෙක් සිතන්නේ මෙය ෆොටෝෂොප්’ තාක්ෂණය භාවිතා කර නිර්මාණය කරන ලද පින්තූරයක් බව යි.

හුදෙකලා නිවස/ The Mirror

නිවසේ ඉතිහාසය

මෙම නිවසේ ඉතිහාසය පිළිබඳව අධ්‍යනය කිරීමේ දී හෙළිවන්නේ, මෙය 1930 ගණන්වල එලිරේහි දඩයක්කරුවන්ගේ සංගමයෙන් ඉදිකරන ලද එකක් බව යි. දිවයිනේ පෆින් කුරුල්ලන් දඩයම් කිරීම සහ මසුන් ඇල්ලීමට යන්නන්ට නවාතැන් ගැනීම සඳහා මෙම නිවාස ඉදිකර ඇත. 

මෙම නිවස ඉදිකර ඇත්තේ 1930 ගණන්වල වුව ද, මෙම දුපතේ 18 වන ශත වර්ෂයේ සිට ජනතාව වාසය කළ බව ද මූලාශ්‍රවල සඳහන් වේ. මින් වසර 300කට පමණ ඉහත දී දිවයිනේ පවුල් 5ක් පමණ වාසය කළත්, 1940 හෝ ඒ ආසන්න කාලයක දී එහි ස්ථිරව වාසය කළ අවසන් තැනැත්තා දූපතෙන් පිටව ගොස් ඇත.

දඩයක්කරුවන්ගේ නවාතැන

මෙම නිවාස පිහිටා ඇති මුළු දිවයිනම අක්කර 110ක් (වර්ග කිලෝමීටර 0.4ක්) පමණ වන අතර එහි වාසය කරන්නේ ඉතා සුළු ජීවී විශේෂයන් ගණනකි. ‘පෆින්’ නම් කුරුල්ලන් ද ගණනින් බොහොමයක් මෙහි වාසය කරයි. එම පක්ෂියා ඉතා ප්‍රණීත ආහාරයක් වන බැවින් මෙම නිවස එම පක්ෂීන් දඩයම් කිරීම සඳහා පැමිණෙන දඩයක්කරුවන්ගේ නවාතැනක් ලෙස ද ප්‍රචලිත විය. විශේෂයෙන්ම 1990 දශකයේ දී මෙම හිස් නිවස දේශීය පෆින් දඩයක්කරුවන් සිය දඩයම් කිරීම් අවසන් වන තෙක් සිය නවාතැන ලෙස භාවිතා කර ඇත.

පෆින්/Mass Audubon

 

මෙම නිවසේ විදුලිය හෝ ගලා යන ජලය ලබාගැනීම සඳහා කිසිදු පහසුකමක් නොමැති නමුත්, නිවස ඉදිකරන අවධියේම නිර්මාණය කරන ලදැ යි සිතිය හැකි වැසි ජලය එකතු කරන පද්ධතියක් එහි දක්නට ඇත. එම ජලය පානය කිරීමට සහ සේදීම් වැනි කටයුතු සඳහා යොදාගෙන තිබෙන අතර, දීර්ඝ කාලයක් තිස්සේ කිසිදු අලුත්වැඩියාවක් සිදු නොකර ඇති පසුබිමක වුවත් මෙම නිවාස ඉතාමත් හොඳ තත්ත්වයේ පවතී.

නිවාස පිහිටා ඇති දුපතට සමාන තවත් දුපත් කිහිපයක් ද සාගරයේ ඒ අවට ප්‍රදේශයේ දැකිය හැකි ය. මෙම දූපත්වල අයිස්ලන්තයේ දැකිය හැකි සුන්දරත්වය දැකිය හැකි නමුත්, ඒවා කිසිදු වෘක්ෂලතාදියකින් හෝ වෙනත් ස්වාභාවික නිර්මාණවලින් තොරව හිස්ව පවතින හෙයින්, 1970 දශකය වන තුරුම මෙම දූපත් ආශ්‍රිතව සැරිසැරූ ධීවර ජනතාව මෙම දූපත් ගවේශනය කිරීමට උත්සුක වූයේ නැත.

නිවස සහ දූපත පිළිබඳ විවිධ වැරදි මත

මෙම නිවස සහ එය පිහිටා ඇති දූපත පිළිබඳ විවිධ වැරදි වැටහීම් මේ වන විට සමාජගත වී තිබේ. මෙම නිවස හොල්මන් සහ වෙනත් අද්භූත බලවේග සැරිසරන එකක් බව එවැනි වැරදි අදහසක් වන අතර තවත් එක අදහසක් වන්නේ එක්තරා බිලියනපතියෙකු විසින් අනාගතයේ දී සිදුවිය හැකි සොම්බි (පිල්ලි) ප්‍රහාර වැනි අවස්ථාවක දී සැඟව සිටීම සඳහා මෙම නිවාස මිල දී ගෙන තිබෙන බව යි.

දිවයින සහ නිවෙස/Mirror

 

මේ දූපත  පිළිබඳ තවත් සුප්‍රසිද්ධ අසත්‍ය කරුණක් නම්, මෙම නිවස අයිස්ලන්තයේ සුප්‍රසිද්ධ ගායිකාවක් සහ ගී පද රචිකාවක් වන බ්යෝක් සතු බව ය. මෙම වැරදි ප්‍රචාරය සැබවින්ම ඇරඹුනේ අයිස්ලන්ත හිටපු අගමැති ඩේවිඩ් ඔඩ්සන් විසින් සිදු කරනු ලැබූ එක්තරා ප්‍රකාශයක් සමගිනි. එහිදී ඔහු බ්යෝක්ට මෙම නිවසේ ජීවත් වීමට අවසර ලබා දෙන බව පැවැසූ නමුත් ඇය කිසිදු විටෙක මෙම දූපත හෝ එහි පිහිටා තිබෙන නිවස මිල දී ගත්තේ නැත. මෙම ගායිකාව මෙම දූපත හෝ නිවස නොව, වෙනත් ඒ ආකාරයෙන්ම හුදෙකලාව පිහිටි දූපතක් ලබා ගැනීම සඳහා රජයෙන් ඉල්ලීමක් කළ බව පසුකාලීනව වාර්තා විය.

එමෙන්ම තවත් සමහරු පවසන්නේ මෙම නිවස එක්තරා ආගමික කණ්ඩායමකට අයත් ආරාමයක් බව යි.

දූපතට යාම ඉතාමත් පහසු යි

බ්යෝක්/The Guardian

මෙම දූපත ආරක්ෂිත ප්‍රදේශයක් ලෙස ලැයිස්තුගත කර ඇති අතර, ආශ්‍රිතව ක්‍රියාත්මක වන සංචාරක පහසුකම් සපයන සමාගම් මෙම දූපත දක්වා චාරිකා සංවිධානය කරයි. මෙම දූපත මෙන්ම නිවස ද තවමත් කාලයෙන් කාලයට දඩයම්කරුවන් හා ධීවරයින් විසින් භාවිතා කරනු ලබන නමුත්, ඕනෑම කෙනෙකුට පුද්ගලිකව හෝ කිසිදු වියදමක් නොමැතිව දිවයිනට ගොස් දින කිහිපයක් මෙම නිවසේ ජීවත්විය හැකිය. සංචාරක සේවා සපයන ආයතනයක් හරහා නොයා පුද්ගලිකව මෙම දූපතට යාමට බලාපොරොත්තු වන අයෙකුට අවශ්‍ය වන එකම දේ බෝට්ටුවක් වන අතර පෆින් පක්ෂීන් දඩයම්කර ඔවුන් ආහාරයට ගැනීමට අකැමැති නම් වියළි ආහාර වැනි දේත් අවශ්‍ය වනු ඇත.

Related Articles