Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

රාජකීය අවමංගල්‍යයන්හි ඉතිහාසය සහ චාරිත්‍රයන්

පසුගිය දා අභාවප්‍රාප්ත වූ, මහා බ්‍රිතාන්‍යයේ දෙවැනි එළිසබෙත් රැජිණගේ වල්ලභයා වූ එඩින්බරෝහි ආදිපාද ෆිලිප් කුමරුන්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පසුගිය 17 වැනිදා සිදුවිය. කොවිඩ්-19 වසංගතය හේතුවෙන් පනවා ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශයන් හේතුවෙන් 30ක් වැනි ඉතා සුළු පිරිසකගේ සහභාගීත්වයෙන් කුමරුන්ගේ අවසන් කටයුතු සිදුවිය. 

එක්සත් රාජධානියේ රාජ්‍ය අවමංගල උත්සව සාමාන්‍යයෙන් රජු හෝ රැජිණ සඳහා වෙන්කර ඇත. ඊට අමතරව, ඉතා සුවිශේෂී පුද්ගලයින් සඳහා රජතුමා/ රැජිණගේ සහ එරට පාර්ලිමේන්තුවේ අනුමැතිය ඇතිව රාජ්‍ය අවමංගල උත්සවයක් පැවැත්විය හැකිය. එක්සත් රාජධානියේ මෑතක දී පවත්වන ලද එවැනි රාජ්‍ය අවමංගල්‍යය ලෙස, 1965 ජනවාරි මාසයේ දී එරට හිටපු අග්‍රාමාත්‍ය ශ්‍රීමත් වින්ස්ටන් චර්චිල් වෙනුවෙන් පැවැත්වූ අවමංගල උත්සවය හැඳින්විය හැකිය.

එඩින්බරෝ හි ආදිපාද පිලිප් කුමරු/ www.bbc.com

පාලක රජු හෝ රැජිණ නොවන, රාජකීය පවුලේ අනෙකුත් ජ්‍යෙෂ්ඨ සාමාජිකයන්ගේ සහ ඉහළ පෙළේ පුරවැසියන්ගේ අවමංගල උත්සව “චාරිත්‍රානුකූල අවමංගල්‍යයන්” ලෙස හැඳින්වේ. මේවා රාජ්‍ය අවමංගල්‍යයන් ලෙස ගැසට් නිවේදනයක් හරහා ප්‍රකාශයට පත් නොකරන නමුත්, රාජ්‍ය අවමංගල්‍යයක දැකිය හැකි ලක්ෂණ ඒවායේ ද දක්නට තිබේ. එවැනි අවමංගල්‍ය උත්සවයන්වලට උදාහරණ ලෙස වේල්සයේ කුමරිය හෙවත් ඩයනා ස්පෙන්සර් (1997), දෙවැනි එළිසබෙත් රැජිණගේ මව වන එළිසබෙත් රැජිණ (2002), මාග්‍රට් තැචර් (2013), සහ දෙවැනි එළිසබෙත් රැජිණගේ වල්ලභයා වූ ෆිලිප් කුමරුන් (2021) යන අය වෙනුවෙන් පැවැත්වූ අවමංගල්‍යයන් දැක්විය හැකි ය.

එක්සත් රාජධානියේ ඉතිහාසයට අනුව රාජ්‍ය අවමංගල චාරිත්‍ර සියවස් ගණනාවක් පුරාවට විකාශනය වී ඇත. 1901 වසරේ දී පැවැත්වූ වික්ටෝරියා ඇලෙක්සැන්ඩ්‍රිනා හෙවත් වික්ටෝරියා අධිරාජිණියගේ (1819- 1901) අවමංගල උත්සවය 20 වන සියවසේ රාජකීය අවමංගල්‍යයන්වල වැදගත් සංධිස්ථානයක් විය.

අවසන් වරට පවත්වා ඇති රජෙකුගේ අවමංගල උත්සවයන් වූ හත්වැනි එඩ්වඩ් රජුගේ අවමංගල්‍යය (1910), පස්වැනි ජෝර්ජ් රජුගේ අවමංගල්‍යය (1936), සහ හයවැනි ජෝර්ජ් රජුගේ අවමංගල්‍යය (1952) පිළිබඳව අධ්‍යයනය කිරීමේ දී රාජකීය අවමංගල්‍යයක දැකිය හැකි ප්‍රධාන අංග කිහිපයක් නිරීක්ෂණය වේ. ඒවා පහතින් පෙළගස්වා ඇත.  

සිරුර වෙස්ට්මින්ස්ටර් ශාලාවට ගෙන යාම 

වෙස්ට්මිනිස්ටර් ශාලාව/donaldinsellassociates.co.uk

ලන්ඩන් නගරයට මෘත දේහය රැගෙන ඒමෙන් පසුව මිනී පෙට්ටිය අශ්ව කරත්තයකින් වෙස්ට්මින්ස්ටර් මාළිගයේ වෙස්ට්මින්ස්ටර් ශාලාව වෙත ප්‍රවාහනය කෙරෙන අතර, හමුදා භටයන්, නිලධාරීන් සහ ශෝකයට පත්වූවන් ද ඊට එක්වේ. මිනී පෙට්ටිය රාජකීය ප්‍රමිතියෙන් ආවරණය කර ඇති අතර ඒ මත රාජකීය ඔටුන්න තබා තිබේ.

වෙස්ට්මින්ස්ටර් ශාලාවේ මිනී පෙට්ටිය තැන්පත් කර තැබීම

ශාලාව මැද පිහිටි ආධාරකයක් මත මෘත දේහය තබයි. මහජන ගෞරවය සඳහා ද එහිදී අවස්ථාව හිමිවන අතර මිනී පෙට්ටියට සතර දිශාවෙන් ආරක්ෂක භටයින් ස්ථානගත කර තිබෙන අයුරු දක්නට ලැබේ. 

වෙස්ට්මින්ස්ටර් ශාලාවේ සිට වින්ඩ්සර් මාළිගය දක්වා මෘත දේහය ප්‍රවාහනය කිරීම

විශාල පෙරහැරකින් මෘත දේහය වින්ඩ්සර් මාළිගය වෙත රැගෙන යන අතර හමුදා භටයන්, රාජ්‍ය කාර්යාල නිලධාරීන්, මියගිය රජතුමාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලය/ සේවකයින් ඊට එක්වේ. විදේශීය හා පොදුරාජ්‍ය මණ්ඩලීය නියෝජිතයින් සැලකිය යුතු සංඛ්‍යාවක් ද ඊට එක්වන අතර වෙස්ට්මින්ස්ටර් සිට පැඩිංටන් දක්වා පැය දෙකක ගමන සඳහා රාජකීය නාවික හමුදාවේ නැවියන් තුවක්කු කරත්තයක් රැගෙන යන ලදී. පසුව මෘත දේහය රැගත් දුම්රියෙන්ම ශෝකයට පත්වූවන් සහ නිලධාරීන් වින්ඩ්සර් වෙත ගමන් කරන අතර, පෙරහැර නැවත වින්ඩ්සර් මාළිගය වෙත ගමන් කිරීම ආරම්භ කරයි.

වින්ඩ්සර් මාළිගයේ ශාන්ත ජෝර්ජ් දේවස්ථානයේ අවමංගල්‍ය කටයුතු සහ භූමදානය

අවසන් කටයුතු සඳහා සිදු කරන ආගමික වතාවත් සාමාන්‍ය පුරවැසියෙකු වෙනුවෙන් සිදුකරන ආගමික වතාවත්වලට සමාන වේ. මෘත දේහය සුරක්ෂිතාගාරයේ තැන්පත් කර ඇති විට, චේම්බර්ලින් සාමිවරයා (රජ ගෙදර ඉහළතම නිලධාරියා. රජ ගෙදර කටයුතු සියල්ල බාරව සිටින්නා වශයෙන් සරලව හැඳින්විය හැකිය) දිවංගත රජුට සේවය කළ කාලය අවසන් කිරීම සංකේතවත් කිරීම සඳහා වන චාරිත්‍ර ඉටු කරන බව ද කියැවේ.

වින්ඩ්සර් මාලිගය/ www.royal.uk

රාජකීයයන් නොවන කීර්තිමත් පුද්ගලයින්ගේ අවමංගල්‍ය කටයුතු 

අවමංගල කටයුතු සිදුකරන ස්ථානය සහ භූමදානය හැරුණු විට කීර්තිමත් පුරවැසියන්ගේ රාජ්‍ය අවමංගල්‍යයන් ද රාජකීය අවමංගල්‍යයක දී භාවිතා වන රටාව අනුගමනය කරමින් සිදුකර තිබෙන බව පෙර සඳහන් කළෙමු. උදාහරණයක්, ලෙස වින්ස්ටන් චර්චිල්ගේ දේහය අවසන් කටයුතු සඳහා වෙස්ට්මින්ස්ටර් ශාලාවේ සිට ශාන්ත පාවුළු දෙව්මැදුර දක්වා තුවක්කු කරත්තයකින් ගෙන යන ලදී. ඊට ඔහු සමග සමීපව කටයුතු කළ පුද්ගලයින් වූ ක්ලෙමන්ට් ඇට්ලී, ඇන්තනි ඊඩන්, හැරල්ඩ් මැක්මිලන්, ඉස්මේ සාමිවරයා, ස්ලිම් සාමිවරයා, පෝටල් සාමිවරයා, ඇලෙක්සැන්ඩර් සාමිවරයා, සහ මවුන්ට්බැටන් සාමිවරයා එක්විය. පසුව, ඔහුගේ දේහය වෝටර්ලූ වෙත ගෙන යන ලදී. 

එක්සත් රාජධානියේ රාජ්‍ය හා චාරිත්‍රානුකූල අවමංගල කටයුතු සඳහා සාමාන්‍යයෙන් රාජකීය කටයුතු සඳහා පත්කර ඇති අවමංගල්‍ය අධ්‍යක්ෂවරුන්ගේ සහාය ලැබේ. ඒවා පුද්ගලික හා වාණිජමය වශයෙන් ක්‍රියාත්මක වන ව්‍යාපාර වන අතර තෝරාගනු ලබන්නේ චේම්බර්ලින් සාමිවරයා විසිනි.

රාජ්‍ය සහ චාරිත්‍රානුකූල අවමංගල්‍යයන් අතර වෙනස

රාජ්‍ය අවමංගල්‍යයක බොහෝ අංග වෙනත් ආකාරයේ අවමංගල්‍යයන්වල ද දැකිය හැකි බැවින් ඒවා අතර වෙනස හඳුනා ගැනීම පහසු නැත. චාරිත්‍රානුකූල සහ රාජ්‍ය අවමංගල්‍යයන් දෙවගේ දීම බොහෝ විට තුවක්කු කරත්තයක් මඟින් මෘත දේහය ප්‍රවාහනය කිරීම, හමුදා භටයන් සහිත පෙරහැරක් සහ දේශීය හා විදේශීය රාජ්‍ය නියෝජිතයින් සහභාගී වන අවමංගල්‍ය උත්සවයක් පවත්වනු ලබයි.  

සාමාන්‍යයෙන් දැකිය හැකි වෙනස නම් රාජ්‍ය අවමංගල්‍යයක දී මිනී පෙට්ටිය රැගෙන යන තුවක්කු කරත්තය අශ්වයන් වෙනුවට රාජකීය නාවික හමුදාවේ නැවියන් විසින් ඇද ගෙන යාම යි (මෙම සම්ප්‍රදාය වික්ටෝරියා රැජිනගේ අවමංගල්‍යය දක්වා දිව යයි).

මාගරට් තැචර්ගේ අවමංගල පෙරහැර/DW

 

රාජ්‍ය අවමංගල්‍යයක් හා චාරිත්‍රානුකූල අවමංගල්‍යයක් අතර දැකිය හැකි තවත් වෙනසක් නම්, රාජ්‍ය අවමංගල්‍යයක් සඳහා සහභාගී වන සියලු දෙනාට පුද්ගලිකව ආරාධනාවක් ලැබිය යුතු නමුත්, චාරිත්‍රානුකූල අවමංගල්‍යයක දී එය එසේ නොවීම යි. රාජ්‍ය අවමංගල්‍යයක දී අර්ල් මාර්ෂල්වරයා විසින් අවමංගල කටයුතු පිළිබඳව වෙස්ට්මින්ස්ටර් පාර්ලිමේන්තුව දැනුවත් කර මහජන නියෝජිතයින් සඳහා ආරාධනා කරන නමුත් චාරිත්‍රානුකූල අවමංගල්‍යයක දී එය එසේ නොවේ. 

තවත් පැහැදිලි වෙනසක් නම්, අර්ල් මාෂල් සහ ඔහුගේ නිලධාරීන් විසින් රාජ්‍ය අවමංගල්‍යයේ කටයුතු සංවිධානය කොට අධීක්ෂණය කිරීම යි. ඔවුන් චාරිත්‍රානුකූල අවමංගල කටයුතු සඳහා එතරම් සම්බන්ධ නොවන අතර, ඒ වෙනුවට චේම්බර්ලින් සාමිවරයා විසින් ඒවා සංවිධානය කරනු ලැබේ. 

අවමංගල්‍යයන් පැවැත්වෙන/ දේහයන් තැන්පත් කර තැබෙන ස්ථානය

1820 සිට රාජකීයයන්ගේ අවමංගල්‍ය කටයුතු වින්ඩ්සර් මාළිගයේ ශාන්ත ජෝර්ජ් දේවස්ථානයේ පවත්වා ඇත. එහි දී භූමදානය ද සිදුවේ. මුල් ශතවර්ෂවල දී, වෙස්ට්මින්ස්ටර් ඇබේ දේවස්ථානය අවමංගල කටයුතු සහ භූමදානය සඳහා සුපුරුදු ස්ථානය විය. නමුත්  1806 වසරේ දී පැවැත්වුණු අද්මිරාල් නෙල්සන්ගේ අවමංගල්‍යය ශාන්ත පාවුළු ආසන දෙව්මැදුරේ පැවැත්වීම, කීර්තිමත් පුද්ගලයින්ගේ අවමංගල කටයුතු සඳහා වන ස්ථානය ලෙස එය යොදාගැනීමට පූර්වාදර්ශයක් විය. වෙලින්ටන් සහ චර්චිල් යන අයගේ අවමංගල කටයුතු ද එහි සිදුවිය. මෑතකාලීන රාජකීය අවමංගල්‍ය කටයුතු වන ඩයනා (වේල්ස් කුමරිය) සහ එළිසබෙත් මව් රැජිනගේ අවසන් කටයුතු වෙස්ට්මින්ස්ටර් ඇබේහි දී පවත්වනු ලැබූ අතර, සෑම අවස්ථාවකම භූමදානය වෙනත් තැනක පුද්ගලිකව සිදුවිය.  

වෙස්ට්මින්ස්ටර් ඇබේ/TripSavvy

 

රාජාණ්ඩුවක හෝ වංශාධිපතියෙකුගේ දේහය මහජන ගෞරවය සඳහා රාජ්‍යයේ යම්කිසි තැනක තැන්පත් කිරීම දීර්ඝකාලීන සිරිතක් වන අතර, එය නිවසේ මළ සිරුර තැන්පත් කර තැබීමේ සිරිතට සමාන ය. 1898 දී විලියම් ග්ලැඩ්ස්ටන්ගේ අවමංගල්‍ය උත්සවයෙන් වෙස්ට්මින්ස්ටර් ශාලාව ඒ සඳහා යොදාගැනීම ආරම්භ විය. 1910 වසරේ දී අභාවප්‍රාප්ත වූ හත්වැනි එඩ්වඩ් රජුගේ දේහය එහි තැන්පත් කළ පළමු රාජකීය දේහය වන අතර, රාජකීය පවුලේ සාමාජිකයෙකු වන මේරි රැජිණගේ දේහය 1953 දී පමණ එහි තැන්පත් කර තිබුණි. දහනව වන ශතවර්ෂයේ මියගිය රජවරු සියල්ලන්ගේ දේහයන් වින්ඩ්සර් මාළිගයේ තැන්පත් කර තැබූ අතර 18 වන සියවසේ දී ඒ සඳහා කෙන්සිංටන් මාළිගාව බොහෝවිට භාවිතා කරන ලදී. 17 වන සියවසේ දී වයිට්හෝල්හි භෝජන සංග්‍රහ මන්දිරයේ ද දේහයක් තැන්පත් කර තිබේ 

මෘත දේහය බොහෝවිට පෞද්ගලික කාමරයක හෝ වෙනත් ස්ථානයක (උ.දා. මරණයට පත් වූ මාළිගයේ) ද තැන්පත් කර තැබූ අවස්ථා ඇත. පස්වන සහ හයවන ජෝර්ජ් යන රජවරුන් දෙදෙනාම සැන්ඩ්‍රින්හැම්හි දී මියගිය අතර ඔවුන්ගේ සිරුරු ටික වේලාවක් එහි පිහිටි පල්ලියේ තැන්පත් කරන ලදී. VII වන එඩ්වඩ් රජුගේ දේහය බකිංහැම් මාලිගයේ සිංහාසනය තබා ඇති කාමරයේ තැන්පත් කර තිබුණි. 

අවමංගල උළෙල නව මානයකට ගෙන ගිය වික්ටෝරියා අධිරාජිණියගේ අවමංගල්‍යය 

වික්ටෝරියා රැජිනගේ අවසන් කටයුතු 1901 පෙබරවාරි මාසයේ දී සිදුවිය. ඒ වන විට රජෙකු අවසන් වරට භූමදානය කර වසර 64ක් ගතවී තිබූ අතර වික්ටෝරියා රැජිණ රාජ්‍යත්වය හා ඒ සම්බන්ධ උත්සව පිළිබඳ දැඩි උපදෙස් ලබා දී වෙනස්කම් ගණනාවක් ඇති කළා ය. ඉන් කිහිපයක් රාජ්‍ය හා චාරිත්‍රානුකූල අවමංගල කටයුතු සඳහා පූර්වාදර්ශයක් විය. ඇය කළු පැහැයට හුරුවීමට අකමැති වූයෙන් ඇගේ මිනී පෙට්ටිය සඳහා සුදු වර්ණය ඉල්ලා සිටියා ය. 

දෙවනුව, ඇය “සොල්දාදුවෙකුගේ දියණියක” ලෙස භූමදාන වීමට කැමැත්ත ප්‍රකාශ කළ අතර, එබැවින් පෙරහැර වඩාත් මිලිටරි ස්වරූපයක් ගත් එකක් බවට පත්විය. සම වයසේ මිතුරන්, පෞද්ගලික උපදේශකයින් වැනි අය විශාල වශයෙන් සහභාගී නොවීය. පළමු වරට තුවක්කු කරත්තයක් රාජකීය මෘත දේහය ගෙන ඒම සඳහා යොදා ගන්නා ලද්දේ මෙහිදී ය.   

වික්ටෝරියා රැජිණ තෙවනුව ඉල්ලා ඇත්තේ සිය දේහය මහජන ගෞරවය සඳහා තැන්පත් නොකරන ලෙස යි. ඒ අනුව ඇගේ අවමංගල්‍යයට අදාළව ලන්ඩනයේ පැවති එකම සිදුවීම, තුවක්කු කරත්තයක් මඟින් රැගෙන ගිය ඇගේ මෘත දේහය පෙරටු කරගත් පෙරහැරක් එක් දුම්රිය ස්ථානයක සිට තවත් දුම්රිය ස්ථානයකට යෑම පමණ යි. වික්ටෝරියා රැජිණ ඔස්බෝන් මන්දිරයේ දී මියගිය පසු ඇගේ දේහය බෝට්ටුවකින් හා දුම්රියෙන් වෝටර්ලූ දුම්රිය ස්ථානයට ගෙන යන ලදී. තුවක්කු කරත්තයෙන් පැඩිංටන් දුම්රිය ස්ථානයට සහ පසුව දුම්රියෙන් වින්ඩ්සර් වෙත අවමංගල්‍ය කටයුතු සඳහා රැගෙන යනු ලැබුණි. වින්ඩ්සර්හි දී අශ්වයන් තුවක්කු කරත්තයෙන් වෙන්කෙරුණු අතර, මිනී පෙට්ටිය රැගෙන යාම සඳහා අසල සිටි නැවියන් පිරිසක් යොදා ගැනීම සිදුවිය.

වික්ටෝරියා ‍රැජිණගේ අවමංගල්‍යය/researchgate.net/profile/Priscilla-Roberts-2/

1901 සිට ඇති වූ වෙනස්කම් 

එතැන් පටන් රාජ්‍ය අවමංගල්‍යයන් වික්ටෝරියා රැජින සකස් කළ ක්‍රමවේදය බොහෝ ආකාරවලින් අනුගමනය කළ නමුත්, මහජන ගෞරවය සඳහා මෘත දේහය තැන්පත් කිරීම නැවැතත් ආරම්භ විය. මේ සඳහා වෙස්ට්මින්ස්ටර් ශාලාව භාවිතා කිරීම ජනප්‍රිය විය. 

හත්වැනි එඩ්වඩ් රජුගේ අවමංගල්‍යයට රාජකීය සහ අනෙකුත් නියෝජිතයන් සමඟ විදේශීය රාජ්‍ය නායකයින් විශාල සංඛ්‍යාවක් සහභාගී විය. පස්වන ජෝර්ජ් රජුගේ මෘත දේහය තැන්පත් කර තැබූ අවස්ථාවේ දී කැපී පෙනෙන සිදුවීමක් වූයේ, දිවංගත රජුගේ පුතුන් සිව්දෙනා වූ අටවන එඩ්වඩ් රජු, යෝක්හි ආදිපාදවරයා, ග්ලූස්ටර්හි ආදිපාදවරයා, සහ කෙන්ට්හි ආදිපාදවරයා යන සියල්ලෝම ටික වේලාවක් එකට දේහය අසල රැඳී සිටීම යි.  ඉන් වසර 65කට පසු, එනම් 2002 වසරේ දී දෙවැනි එළිසබෙත් රැජිනගේ මව වන එළිසබෙත් රැජිණගේ මුණුබුරන් වූ වේල්සයේ කුමරු, යෝක්හි ආදිපාදවරයා, වෙසෙක්ස්හි අර්ල්වරයා, සහ විස්කවුන්ට් ලින්ලි යන සිව්දෙනා ද එක්ව දේහය අසල රැඳී සිටියහ. 

රාජකීයයන්ගේ රාජ්‍ය අවමංගල්‍යයේ මෑතකාලීන ලක්ෂණයක් ලෙස අවමංගල දිනයේ උදේ 10ට පෙර බිග්බෙන් ඔර්ලෝසුව නාද කිරීම හැඳින්විය හැකිය. හත්වැනි එඩ්වඩ්, පස්වන ජෝර්ජ්, සහ හයවන ජෝර්ජ් යන රජවරුන්ගේ අවමංගල්‍ය උත්සවවල දී මෙය සිදු කරන ලදී. 

වැදගත් කරුණු 

විවිධ පාර්ශවයන් රජුගේ හෝ රැජිණගේ කලත්‍රයාට රාජ්‍ය අවමංගල්‍යයකට හිමිකම් ඇති බවට දිගින් දිගටම අනුමාන කළ ද, මෙය අසත්‍යයක් වේ. බොහෝ කලත්‍රයන් සහ රජවරුන්ගේ වැන්දඹුවන්ට හිමිවන්නේ චාරිත්‍රානුකූල අවමංගල්‍යයකි.

ඉතා කීර්තිමත් සිවිල් වැසියන් කිහිප දෙනෙකු, සුවිශේෂී හමුදා නායකයින්, සහ කැපී පෙනෙන රාජ්‍ය නායකයින් වෙනුවෙන් ද පූර්ණ රාජ්‍ය අවමංගල්‍යයන් පවත්වා තිබේ. නිදසුනක් ලෙස ශ්‍රීමත් අයිසැක් නිව්ටන්, නෙල්සන් සාමිවරයා, සහ පෙර සඳහන් කළ ශ්‍රීමත් වින්ස්ටන් චර්චිල් හැඳින්විය හැකිය. හිටපු අගමැති බෙන්ජමින් ඩිස්රේලි හට රාජ්‍ය අවමංගල්‍යයක් පිරිනමන ලද නමුත් ඔහුගේ අභිමතය පරිදි එය ප්‍රතික්ෂේප විය. ඊට අමතරව සුප්‍රසිද්ධ හෙදියක වන ෆ්ලෝරන්ස් නයිටිංගේල් හට රාජ්‍ය අවමංගල්‍යයක් ද පිරිනමන ලද නමුත් ඇගේ පවුලේ අය ඒ වෙනුවට පෞද්ගලික උත්සවයක් තෝරාගත්හ. චාල්ස් ඩාවින් සඳහා ද රාජ්‍ය නියෝජිතයින් සහභාගී වූ, වෙස්ට්මින්ස්ටර් ඇබේහි පැවති අවමංගල්‍ය උත්සවයක් හිමි විය. නමුත් මෙය විධිමත් අර්ථයෙන් රාජ්‍ය අවමංගල්‍යයක් වූ බවක් නොපෙනේ.

පිලිප් කුමරුන්ගේ අවමංගල්‍යයට සහභාගී වන දෙවැනි එලිසබෙත් මහා රැජින/people.com

මාග්‍රට් තැචර්ට රාජ්‍ය අවමංගල්‍යයක් පවත්වනු ඇතැ යි මුලින් අනුමාන කළ ද, ඇගේ අභිමතය පරිදි එවැනි අවමංගල්‍යයක් නොපැවැත්වෙන බව නිවේදනය විය. ඒ වෙනුවට, දෙවන එළිසබෙත් රැජිණගේ අවසරය ඇතිව ශාන්ත පාවුළු ආසන දෙව්මැදුරේ දී පූර්ණ හමුදා ගෞරව සහිතව චාරිත්‍රානුකූල අවමංගල්‍යයක් පැවැත්විණි. 

ෆිලිප් කුමරුන්ගේ අවමංගල්‍යය

වින්ඩ්සර් මාලිගය ආසන්නයේ පිහිටි ශාන්ත ජෝර්ජ් දේවස්ථානයේ පැවති අවමංගල උත්සවය සඳහා රාජකීය පවුලේ සාමාජිකයන් ඇතුළු 30 දෙනෙකු පමණක් සහභාගී වූහ. අදාල 30 දෙනා දෙවැනි එළිසබෙත් මහා රැජින විසින් තෝරාගෙන තිබුනේ 800ක පමණ නම් ලැයිස්තුවකිනි. කොවිඩ්- 19 වසංගතය හේතුවෙන් පනවා ඇති සෞඛ්‍ය රෙගුලාසි අනුගමනය කරමින් පැවැත්වූ අවමංගල්‍ය දේව මෙහෙයේ දී දෙවැනි එළිසබෙත් රැජින තනිව අසුන්ගෙන සිටි අයුරු දැක්වෙන ඡායාරූප බොහෝදෙනෙකු සංවේගයට පත්කර තිබුණි.

Related Articles