Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

රැජිනටත් බිඳින්න බැරි රාජකීය නීති රීති

සියවසකට පමණ පෙර ලෝකයේ බලවත් රජ පවුල ලෙස නම් දරාගෙන සිටියේ ඒ කාලයේ හිරු නොබසින අධිරාජ්‍ය ලෙස විරුදාවලිය ලත් බ්‍රිතාන්‍යයේ රාජකීය පෙළපත යි. නමුත් අද වන විට ලෝකයේ බලවත් ම රාජ්‍ය ලෙස බ්‍රිතාන්‍යයට හිමි වී තිබුණු කිරුළ ඇමෙරිකා එක්සත් ජනපදය විසින් අත්පත් කරගෙන තිබෙන අතර දේශපාලන විද්වතුන්ගේ අදහස වන්නේ තවත් වසර කිහිපයකින් එය ආසියාව කරා ඇදී එනු ඇති බව යි.

කෙසේ නමුත් පළමු වැනි ලෝක සංග්‍රාමයෙන් අනතුරු ව බොහෝමයක් යුරෝපීය රටවල් පැවති රාජාණ්ඩු පාලනයෙන් මිදී සමූහාණ්ඩු පාලනයක් කරා ගමන් ගත්ත ද එක්සත් රාජධානිය තුළ තවමත් මහ රැජිනගේ පරමාධිකාරී බලය යටතේ ව්‍යවස්ථාදායක රාජාණ්ඩු පාලන ක්‍රමයක් (constitutional monarchy) ක්‍රියාත්මක වෙනවා.

(btnet.com.tr)

බ්‍රිතාන්‍ය වැසියන්ගේ නොමද ආදරයට සහ ගෞරවයට පාත්‍ර වී සිටින බ්‍රිතාන්‍ය රජ පවුල තම කිරුළ රැක ගැනීම සඳහා සාම්ප්‍රදායික ව (ඇතැම් අවස්ථාවල දී මිථ්‍යා විශ්වාසයන් මත පදනම් ව) අනුගමනය කරනු ලබන රාජකීය නීති රීති පවතිනවා. එවැනි අපූරු නීති රීති කිහිපයක් ගැන තොරුතුරු යි මේ.

1. ඡන්ද බලය අහිමි රාජකීයයෝ

(hk01.com)

බොහෝමයක් රටවල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මගින් ජනතාවට ලබා දී තිබෙන මූලික අයිතිවාසිකමක් තමයි ඡන්ද බලය. ක්‍රිස්තු වර්ෂ 1689 දී බ්‍රිතාන්‍ය රජ පෙළපත රාජාණ්ඩු පාලනයෙන් මිදී ව්‍යවස්ථාදායක රාජාණ්ඩු පාලනයකට පිය නැගුව ද තවමත් බ්‍රිතාන්‍ය ජනයා රජ පෙළපත කෙරෙහි දක්වන්නේ අසීමිත ගෞරවයක්.

එසේ ම රට වැසියන් බොහෝ දෙනෙක් රජ පවුලේ විලාසිතා සහ සිරිත් විරිත් අනුගමනය කරනු දැකීම එක්සත් රාජධානියේ දී ඉතාමත් සුලබ දෙයක්.

මේ නිසා ම මැතිවරණයක දී ඡන්ද බලය භාවිතා කිරීම රාජකීයයන්ට තහනම් කර තිබෙනවා. යම් හෙයකින් රාජකීය පවුල විසින් දේශපාලන පක්ෂයක් තෝරා ගතහොත් එයින් ඉතා පහසුවෙන් සහ අසාධාරණ ලෙස මහජන තීරණයට ඍජු බලපෑමක් එල්ල වන අතර රට තුළ ඇති විය හැකි කලබලකාරී වාතාවරණයන් මහ හරවා ගැනීමට යි රජ පවුලේ සාමාජිකයන් සඳහා මෙවැනි නීතියක් පනවා ඇත්තේ.

2. තාත්තලාට පුතාලට එකට ගමන් බිමන් බැහැ

VICTORIA, BC – SEPTEMBER 24: Prince William, Duke of Cambridge, Catherine, Duchess of Cambridge, Prince George of Cambridge and Princess Charlotte of Cambridge arrive at the Victoria Airport on September 24, 2016 in Victoria, Canada. Prince William, Duke of Cambridge, Catherine, Duchess of Cambridge, Prince George and Princess Charlotte are visiting Canada as part of an eight day visit to the country taking in areas such as Bella Bella, Whitehorse and Kelowna. (Photo by Chris Jackson/Getty Images)

ඉතාමත් ඈත කාලයේ පටත් පැවත එන තවත් නීතියක් තමයි සෘජු උරුමකරුවන්ට එකට සංචාරයේ යෙදීමට නොහැකි වීම. මෙවැනි නීතියක් පනවා ඇත්තේ සංචාරයේ දී කිරුළ හිමි උරුමකරුවෙක් යම් අයුරකින් මිය ගියහොත් රජ පෙළපත අභාවයට නොගොස් දිගට ම පවත්වාගෙන යාම සඳහා සිටින අනෙක් නීත්‍යානුකූල උරුමකරුවන් ආරක්ෂා කර ගැනීම සඳහා යි.

අතීතයේ දී සංචාරයේ යෙදෙන විට නිරන්තරයෙන් ම අනතුරු, කොල්ලකෑම්, විවිධ රෝගාබාධ සහ ඇතැම් අවස්ථාවල දී මරණය පවා සිදු වුණත් අද වන විට පවතින තාක්ෂණික දියුණුව නිසා දීර්ඝ සංචාරයන් හි යෙදීම අවදානම් රහිත කටයුත්තක් බවට පත් වී තිබෙනවා. මේ නිසා ම රජ පවුලේ බොහෝමයක් දෙනා විවිධ අවස්ථාවල දී එකට එක් ව සංචාරයේ දී යෙදෙන අයුරු දකින්නට පුළුවන්.

3. රෝමානු කතෝලික වුණොත් රජකම අහිමි යි

(trojantravel.usc.edu)

ක්‍රිස්තු වර්ෂ 1701 දී පනවන ලද අනුප්‍රාප්ති පනත (Act of Settlement) මගින් හඳුන්වා දුන් නීතිය අනුව රජ පවුලේ සෑම සාමාජිකයෙක් ම එංගලන්ත පල්ලියට පක්ෂපාතී විය යුතු අතර රෝමානු කතෝලික දහම වැළඳ ගැනීම හෝ රෝමානු කතෝලිකයෙකු සමග විවාහ වීමෙන් වැලකී සිටිය යුතු වුණා. ක්‍රිස්තු වර්ෂ 1688 දී මෙවැනි නීතියක් සඳහා පදනම ගොඩ නගන ලද්දේ රෝමානු කතෝලිකයෙකු වූ දෙවැනි ජේම්ස් රජුට සහ ඔහුගේ අනුප්‍රාප්තිකයන්ට රජකම අහිමි කිරීම සඳහා යි.

වසර 300 ක පමණ කාලයක් තිස්සේ නොනැසී පැවතුණු මෙම නීතියේ ඇති දැඩි බව යම් තාක් දුරකට අඩු කරමින් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව 2011 වසරේ දී නීතියක් සම්මත කරන ලද අතර ඒ අනුව බ්‍රිතාන්‍ය රජ පවුලේ සාමාජිකයන්ට ඕනෑම ආගමික විශ්වාසකින් යුතු අයෙක් සමග විවාහ වීමට හැකියාව තිබෙනවා. නමුත් නව නීතිය යටතේ ද එම තැනැත්තා එංගලන්ත පල්ලිය සමග ආගමික සම්බන්ධතා පවත්වාගෙන යා යුතු වෙනවා.

4. සාමාන්‍ය ජනයා සමග ස්පර්ශය තහනම්

(pixanews.com)

සියවසකට පමණ කලින් ඉතාමත් තදින් අනුගමනය කරන ලද මෙය දැන් දැන් ක්‍රියාත්මක වන්නේ නීතියක් ලෙස නොව රීතියක් ලෙස යි. අතීතයේ දී ලාදුරු සහ සරම්ප වැනි ස්පර්ශය මගින් බෝ වන රෝග යුරෝපයේ බහුල වූ නිසාවෙන් රජ පවුලට එවැනි රෝග බෝ වීම වලක්වා ගැනීම සඳහා යි මෙවැනි නීතියක් පනවා ඇත්තේ.

වර්තමානයේ දී මෙය එතරම් දැඩි ව ක්‍රියාත්මක නොවූව ද උත්සව පවතින අවස්ථාවක දී සාමාන්‍ය ජනයාට රජ පවුලේ සාමාජිකයන්ට ළඟා විය නොහැකි ආකාරයට ආරක්ෂක රැකවල් යොදා ඇති අයුරු මෙන් ම බොහෝ රාජකීයයන් ආචාර කිරීමේ දී අත් මේස් පැලඳින ආකාරයත් දැක බලා ගත හැකි වන්නේ මෙම නීතිය නිසා යි.

5. රැජින ආහාර ගෙන අවසන් නම් කාල හමාර යි!

(freegreatpicture.com)

වැරදිලා හරි රැජින එක්ක භෝජන සංග්‍රහයකට සහභාගී වෙන්න ලැබුණොත් කළ යුතු හොඳ ම දේ තමයි ආහාර රස විඳ විඳ ඉන්නේ නැතු ව හැකි ඉක්මනින් ආහාර අනුභවය අවසන් කිරීම. එයට හේතුව වන්නේ භෝජන සංග්‍රහයක දී රැජින ආහාර ගෙන අවසන් කළහොත් ඇයට සිදු කරන ගෞරවයක් ලෙස අනෙක් සියලු ම දෙනා ද ආහාර අනුභවය නතර කිරීම යි.

එසේ ම රැජින සමග ආහාර ගැනීමේ දී කට පිරෙන්න ආහාර නොගත යුතු වෙනවා. ආහාර හැපීමේ දී එය ශබ්ද නොනැගෙන සේ කට වසාගෙන කළ යුතු යි. එසේ ම ආහාර අනුභව කුඩා කැබලි ලෙස සිදු කළ යුතු වෙනවා. මේ නිසා හොඳ ආහාර වේලක් ලබා ගන්නට නම් නොයා ම යුතු තැනක් වන්නේ, එංගලන්ත මහ රැජනගේ භෝජන සංග්‍රහයකු යි.

6. ලන්ඩන් කුලුන මත කපුටෝ සය දෙනෙක්

(citiesnstories.com)

පැරණි ඉංග්‍රීසි පුරාවෘත්තයන් හි පැවතෙන කතාවක් තමයි, කුලුන අතහැර කපුටෝ පියඹා ගියොත් රාජධානිය බිඳ වැටෙන බව (If the ravens leave the Tower, the kingdom will fall). මේ නිසාවෙන් වර්තමානයේ දී පවා පුරාවෘත්තයේ සඳහන් ආකාරයට අවම වශයෙන් ලන්ඩන් කුලුන මත කපුටන් සය දෙනෙකුවත් රඳවා ගැනීමට බ්‍රිතාන්‍ය රජ පවුල කටයුතු යොදා තිබෙනවා.

7. කොතරම් සීතල වුවත් ලොම් කබා තහනම්

(entretenimento.uol.com.br)

12 වැනි සියවසේ තුන් වැනි එඩ්වඩ් රජතුමා විසින් පැනවූ නීතිය අනුව රාජකීයයන්ට පමණක් නොවෙයි සාමාන්‍ය ජනතාවට ද ලොම් කබා ඇඳීම තහනම් වුණා. වසර නව සියයකට පමණ පසු ව අදටත් එම නීතිය වලංගු වුණත් බොහෝ රාජකීයයන් විවිධ උත්සව සඳහා (ඇතැම් අවස්ථාවල දී රැජින පවා) ලොම් කබා හැඳ සිටින අයුරු දැක ගැනීමට හැකි යි.

8. සතුටින් පිළි ගත යුතු තෑගිබෝග

(sandiegouniontribune.com)

ඕනෑම අයෙක්ට ඕනෑම ආකාරය ත්‍යාගයක් රජ පවුලේ සාමාජිකයන් සඳහා ලබා දිය හැකි අතර එසේ ලබා දෙන සෑම ත්‍යාගයක් ම සතුටින් පිළි ගැනීම සඳහා රාජකීයයන් බැඳි සිටිනවා. මේ නිසා ම ඇතැම් විටක දී පණ ඇති කිඹුලන් වැනි අපූරු තෑගිබෝග රාජකීයයන්ට පිරි නමන ලද අවස්ථා නැතුවා ම නොවෙයි.

රජ පවුලේ කාට ලබා දුන්න ද මෙසේ ලබා දෙන ත්‍යාග සියල්ල ම නීතියට අනුව රැජිනට අයත් වන අතර ඒවා කවුරුන් පරිහරණය කළ යුතු ද යන්න තීරණය කළ යුත්තේ ඇය යි. එසේ ම රජ පවුල සඳහා ලබා දුන් ත්‍යාග විකිණීම හෝ වෙන අයෙකුට තෑගි කිරීම ද නීතියෙන් තහනම්.

මේ ලිපියෙන් අපි උත්සාහ කරේ බ්‍රිතාන්‍ය රජ පවුල සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන අපුරු නීති කිහිපයක් ඔබ වෙත ගෙන එන්නටයි. තවත් මේ වගේ කරුණු ඔබත් දන්නවානම් comment වලින් අපිට කියන්නත් අමතක කරන්න එපා.

කවරයේ පින්තූරය: Picture 1 (post-gazette.com)

මූලාශ්‍ර: brightside.me, elegantwoman.org, stylist.co.uk, thetalko.com

Related Articles