Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

පුටින් යටතේ රුසියාව​

වර්තමානයේ ලෝකයේ ප්‍රසිද්ධම රාජ්‍ය නායකයකු ලෙස රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සැළකෙන බව ඔබ දන්නවා. මීට කළින් අවස්ථාවක අප ව්ලැඩිමීර් පුටින් ජනාධිපති ධූරයට පත්වූ ආකාරය පිළිබඳ සාකච්ඡා කළා. මෙම ලිපියෙන් අප බලාපොරොත්තු වන්නේ ඔහු ජනාධිපති වශයෙන් සිදුකළ දේ පිළිබඳ කරුණු සමහරක් ඔබ වෙත ගෙනෙන්නයි.

ව්ලැඩිමීර් පුටින් පළමු වරට ජනාධිපති ලෙස දිවුරුම් දුන්නේ 2000 මැයි 7 වනදා. ඒ වනවිට රුසියාව ආර්ථික වශයෙන් දුර්වල වූ, අස්ථාවර රටක් වුණා. රටේ යුද්ධ හමුදාව ද එතරම් සාර්ථක තත්ත්වයක තිබුණේ නැහැ. රුසියානු පාලනයට සතුටු විය හැකි කරුණක් ලෙස තිබුණේ චෙච්නියාවේ යුද්ධය යම්කිසි සාර්ථකත්වයකින් පැවතීම පමණයි. ඒ පිළිබඳව ද ස්තූතිය හිමි විය යුතු වුණේ පුටින්ටයි.

මේ අනුව පුටින් ඉදිරියේ වූ විශාලම අභියෝගය වූයේ රුසියාව වැටී සිටි තත්ත්වයෙන් නැගිටවීමයි. ආර්ථිකය මෙන්ම ආරක්ෂාව ද නගා සිටුවීමේ අභියෝගය ඔහු ඉදිරියේ වුණා.

ත්‍රස්තවාදී තර්ජනය​

දෙවන චෙච්නියානු යුද්ධයෙන් චෙච්නියානු බෙදුම්වාදීන් පරාජය වීමට පටන් ගැනීමත් සමඟ ඔවුන් රුසියාවේ වෙනත් ප්‍රදේශවලට පහර දීමට යොමු වුණා. මේ අතර ප්‍රාණ ඇපකරුවන් රඳවා ගැනීම ඔවුන් අනුගමනය කළ එක් ක්‍රමවේදයක් වුණා. මෙවන් ප්‍රකටම සිද්ධීන් දෙකක් වූයේ 2002 මොස්කව් නාට්‍යශාලා ප්‍රාණ ඇපකරු සිද්ධිය සහ 2004 බෙස්ලාන් පාසලේ ප්‍රාණ ඇපකරු සිද්ධියයි.

සාමාන්‍යයෙන් ප්‍රාණ ඇපකරු සිද්ධිවලදී රජය අපහසුතාවට පත් වන්නේ එම ප්‍රාණ ඇපකරුවන් ගේ ජීවිත පිළිබඳ වගකීමට ද සිදුවන නිසායි. එහෙයින් එවන් සිද්ධියකදී ත්‍රස්තවාදීන් සමඟ සාකච්ඡා කිරීමට කටයුතු සිදු වනවා.

මෙම අවස්ථා දෙකේදීම ප්‍රාණ ඇපකරුවන් විශාල පිරිසක් රඳවා ගනු ලැබුණා. නාට්‍ය ශාලාවේ සිදුවීමේදී ත්‍රස්තයින් 40 දෙනෙකු සහභාගී වූ අතර බෙස්ලාන් සිද්ධියේදී ද විශාල පිරිසක් මෙහෙයුමට සහභාගී වුණා.

කෙසේ නමුත් ව්ලැඩිමීර් පුටින්ගේ රජය මෙම සිද්ධි දෙකේදී ම ඉතා දරුණු ලෙස ප්‍රතික්‍රියා කළා. නාට්‍ය ශාලාවේ සිද්ධියේදී ඔවුන් නම හෙළි නොකළ විෂ වායුවක් නාට්‍යශාලාව වෙත මුදා හැර ඉන්පසු විශේෂ බලකා හමුදා එතුලට යවනු ලැබුවා. බෙස්ලාන් සිද්ධියේදී ද විශේෂ බලකා යොදවා පහර දෙනු ලැබුණා. මෙම සිද්ධි දෙකේදීම විශාල සාමාන්‍ය වැසියන් පිරිසක් ද මිය ගියා. එහෙයින් රුසියානු බලධාරීන් මෙහිදී කටයුතු කළ ආකාරය පිළිබඳ විවේචන එල්ල වුණා. එම විවේචන තවමත් එල්ල වෙමින් පවතිනවා. විශේෂයෙන් ම මොස්කව් සිද්ධියේදී යොදාගත් විෂ වායුව මෙතෙක් හෙළි නොකිරීම කෙරෙහි ද පුටින් පාලනය වෙත විරෝධය යොමු වනවා. එමෙන්ම ත්‍රස්තවාදීන් මරා දැමුණේ සිහි නොමැතිව වැටී සිටි අවස්ථාවේ බව චෝදනා එල්ල වනවා.

මොස්කව් නාට්‍යශාලාවේ සිද්ධියේදී නිද්‍රාවට පත් ප්‍රාණ ඇපකරුවන් පිටතට රැගෙන එන විශේෂ බලකා සෙබලු (AFP)

කෙසේ වෙතත් පුටින් මෙහිදී සිදු කළේ ත්‍රස්තවාදය සමඟ ගනුදෙනු කිරීමට තමන් සූදානම් නැති බව පෙන්නුම් කිරීමයි. මෙවන් ප්‍රාණ ඇපකරුවන් රඳවා තබා ගැනීමේ මෙහෙයුම්වලින් පලක් නොවන බව ඔහු ත්‍රස්තවාදීන්ට පෙන්වා දුන්නා.

ආර්ථිකය නගා සිටුවීම​

පුටින් බලයට පත්වන විට රටේ ආර්ථිකය ඉතා අයහපත් තත්ත්වයක පැවතුණා. සෝවියට් දේශය බිඳ වැටුණ පසු බොරිස් යෙල්ට්සින් යටතේ රුසියාවේ වෙළඳපොළ ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවට නැගුණ නමුත් එයින් ජනතාවගේ ජීවන තත්ත්වය විශාල වශයෙන් යහපත් වුණේ නැහැ. ජනතාවට සෝවියට් සමයේ තිබූ සුබසාධනයන් ද අහිමි ව තිබුණා. රටේ දේපළ පෞද්ගලික හිතවතුන්ට කුණු කොල්ලයට විකුණා දමනු ලැබුණ අතර එහෙයින් නව ධනපති පාලක පැලැන්තියක් බිහි වුණා. රටේ ආර්ථික සහ දේශපාලන බලය පැවතුණේ ඔවුන් යටතේ.

පුටින් බලයට පත්වූ පසුව ඔහුගේ මූලික උපක්‍රමය වූයේ රටේ ප්‍රධානම සම්පතක් වූ ඛනිජතෙල් සහ ස්වාභාවික වායු නිෂ්පාදනය දියුණු කිරීම මගින් ධනය උපදවා ගැනීමයි. මේ අවස්ථාවේ ඔහු රටේ විශාලම ධනවතා වූ යුකෝස් තෙල් සමාගමේ මිහායිල් කොදොර්කොව්ස්කි සමඟ ගැටුණා. 2003 දී කොදොර්කොව්ස්කි අත් අඩංගුවට ගනු ලැබුණේ බදු ගෙවීම් පැහැර හැරීමේ චෝදනාවක් මතයි. මින් පසු යුකෝස් සමාගම බංකොලොත් වුණා. කෙසේ නමුත් යුකෝස් කොටස්කරුවන් අන්තර්ජාතික බේරුම්කරණ අධිකරණයේ සහ යුරෝපා මානව හිමිකම් අධිකරණයේ දී රුසියානු රජයේ ක්‍රියාකලාපය අභියෝගයට ලක් කළ අතර බේරුම්කරණ අධිකරණය 2014 දී සිය තීරණය ප්‍රකාශ කරමින්, කොටස්කරුවන්ට ඩොලර් බිලියන පනහක වන්දි ගෙවන ලෙස රුසියන් රජයට අණ කළා. නමුත් පසුව රුසියානු රජය විසින් කළ ඇපෑලක් සළකා බැලූ නෙදර්ලන්ත අධිකරණයක් එම නියෝගය අත් හිටවූවා.

කෙසේ නමුත් 2000 දශකයේ දී, විශේෂයෙන් ම 2003 ඉරාක යුද්ධයට පසු, ලෝක වෙළෙඳපොලේ ඛනිජතෙල් මිල ඉහළ ගිය අතර එහි ප්‍රතිඵලයක් ලෙස රුසියාවේ ද ආදායම ඉහළ ගියා. මේ අනුව එරටට ආර්ථික වශයෙන් සමෘද්ධිමත් කාළයක් උදා වුණා. මේ සමඟම එරට නැවතත් ලෝක බලවතෙක් ලෙස කැපී පෙනෙන්නට පටන් ගත්තා. විශේෂයෙන් ම 2000 දශකයේදී බටහිර රටවල්වල මතුව පැවති ආර්ථික අවපාතය හේතුවෙන් රුසියාව මෙන්ම චීනයත් මෙම සමයේදී ලෝකයේ ප්‍රබල ආර්ථිකයන් ලෙස කැපී පෙනුණා.

පුටින් (AP Photo/Ivan Sekretarev, pool)

නමුත් රුසියානු ආර්ථිකයේ එක් බරපතල ප්‍රශ්නයක් තිබුණ අතර පුටින් යටතේ ද එය නිරාකරණය වූයේ නැහැ. එම ප්‍රශ්නය නම් රුසියානු ආර්ථිකය ඛනිජ තෙල් සහ ස්වාභාවික වායු නිෂ්පාදනය මත රඳා පැවතීමයි. ආර්ථිකයේ අනෙකුත් අංශවල දායකත්වය පසුගිය වසරවල අඩු වූවා නම් මිස වැඩිවීමක් වූයේ නැහැ​. මේ හේතුව නිසා ලෝක වෙළඳපොලේ තෙල් මිල පහළ යාමත් සමඟ රුසියානු ආර්ථිකය අඩාල වුණා. එමෙන්ම 2014 යුක්‍රේන අර්බුදය සමඟ බටහිර රටවල් රුසියාවට එරෙහිව සම් බාධක පැණවීමත් එරට ආර්ථිකයට අයහපත් ලෙස බලපෑවා. එහෙයින් පසුගිය වසර දහයක කාළය ඇතැමුන් විසින් සළකනු ලබන්නේ “අහිමි වූ දශකය” නමින්.

මීට මාස කිහිපයකට පෙර පුටින් 2030 තෙක් සිය ආර්ථික දැක්ම ප්‍රකාශයට පත් කරමින් රුසියානු ආර්ථිකයට ඇති ප්‍රධාන අභියෝග පිළිබඳ සඳහන් කළා. ඇතැම් වැදගත් ක්ෂේත්‍ර කෙරෙහි ඇති බාධක​, විදෙස් මූල්‍ය සම්පත් සහ නවීන තාක්ෂණය ලබාගැනීමේ බාධක​, රුසියාවේ ආර්ථිකයට වැදගත් ප්‍රදේශවල සහ රුසියානු දේශසීමා ප්‍රදේශවල අර්බුදකාරී දේශපාලන තත්ත්වයන් වර්ධනය වීම මෙන්ම ලෝක වෙළෙඳපොලේ විචලනයන් පිළිබඳ ඔහු මෙහිදී කියා සිටියා.

ක්‍රිමියාව සහ යුක්‍රේනය​

ක්‍රිමියාව සහ නැගෙනහිර යුක්‍රේනය පිළිබඳ ප්‍රශ්නය රුසියානු නායකයා බටහිර රටවල් සමඟ පෙර නොවූ විරූ ගැටුමකට යොමු කළා. 2013 දී එවකට යුක්‍රේන ජනාධිපති වූ වික්ටර් යනුකොවිච්ට එරෙහිව මතුවූ විරෝධතා ව්‍යාපාරය හේතුවෙන් ඔහු 2014 පෙබරවාරියේදී බලයෙන් ඉවත් කරනු ලැබුණා. රුසියාව සහ යනු කොවිච් පාක්ෂිකයන් කියා සිටියේ මෙම විරෝධතා ව්‍යාපාරය බටහිර රටවල් විසින් මෙහෙයවූවක් බවයි.

ඒ සමඟ ම ක්‍රිමියාවේ සහ නැගෙනහිර යුක්‍රේනයේ රුසියානු ජාතිකයන් විරෝධතා ව්‍යාපාර ආරම්භ කළා. මෙම විරෝධතා ව්‍යාපාර පිටිපස රුසියාව සිටින බව යුක්‍රේනයේ සහ බටහිර රටවල චෝදනාව වුණා. 2014 මාර්තුවේදී ක්‍රිමියාවේ ජනමත විචාරණයක් පවත්වා එම ප්‍රදේශය රුසියාව සමඟ ඒකාබද්ධ වූ බව ප්‍රකාශ කෙරුණා.

මේ අතර නැගෙනහිර යුක්‍රේනයේ ඩොනෙට්ස්ක් සහ ලුහාන්ස්ක් ප්‍රදේශවල රුසියානු ජාතිකයන් යුක්‍රේනයට එරෙහිව කැරලි ගැසූ අතර කැරලිකරුවන්ට රුසියානු ආධාර ලැබෙන බවත් රුසියානු හමුදා සෙබලුන් ද ප්‍රදේශයේ සටන්වල නිරත වන බවත් යුක්‍රේනය චෝදනා කළා.

සිරියාවේ යුද්ධය

රුසියාව ජාත්‍යන්තර තලයේ දේශපාලනයට යළි ප්‍රබල ලෙස අවතීර්ණ වූ බවට පැහැදිලි සාක්ෂිය වන්නේ සිරියානු අර්බුදය සහ එහිදී රුසියාව දැක්වූ මැදිගත්වීමයි. පුටින්ට එරෙහිව බටහිර රටවල් කරන ප්‍රබලම චෝදනාව වන්නේ බෂාර් අල් අසාද්ගේ පාලනය ආරක්ෂා කිරීමට කටයුතු කරන බවයි. රුසියාව මෙම අර්බුදයට මැදිහත්වීමට එක් හේතුවක් වූයේ මධ්‍යධරණී මුහුදේ පිහිටි රුසියානු නාවික කඳවුර සිරියාවේ පිහිටා තිබීමත් අසාද් රුසියාවේ මිතුරකු වීමත් යන කාරණායි. ඉරාකයේ සහ සිරියාවේ ඉස්ලාමීය රාජ්‍යය (ISIS) ත්‍රස්ත සංවිධානයට එරෙහි සටනේදී වැදගත් කාර්ය භාරයක් රුසියානු හමුදා විසින් සිදු කරනු ලබනවා. තවද අසාද් පාලනයෙන් තොරව සිරියානු අර්බුදයට විසඳුමක් සොයාගත නොහැකි තැනට දැන් සිරියාවේ තත්ත්වය පත්ව තිබෙනවා.

පුටින් (දකුණේ) සහ සිරියාවේ බෂාර් අල් අසාද් (වමේ) EPA/ALEXEY DRUZHINYN/RIA NOVOSTI/POOL ALTERNATIVE CROP)

මේ අතරවාරයේදී ඉරානය සමඟ න්‍යෂ්ඨික වැඩපිළිවෙල පිළිබඳ එකඟතාවක් ඇති කරගැනීමේදී ද රුසියාව විශාල වැඩ කොටසක් සිදු කළා. ඉරානය ද සිරියානු පාලනයේ මිත්‍රයකු ලෙස සිරියානු අර්බුදයට ද සම්බන්ධව සිටිනවා.

2018 ජනාධිපතිවරණය​

2000 දී පළමුවරට ජනාධිපති ධූරයට පත් වූ පුටින් ව්‍යවස්ථානුකූලව දෙවරක් ජනාධිපති ධූරය දැරුවා. 2008 දී ඔහුට ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමේ නෛතික ඉඩකඩක් තිබුණේ නැහැ. මේ අනුව ඔහුගේ එක්සත් රුසියානු පක්ෂය විසින් දිමිත්‍රි මෙද්වෙදෙව් ජනාධිපතිවරණයට ඉදිරිපත් කළ අතර ඔහු ජයග්‍රහණය කළ පසු අගමැති ලෙස පුටින් පත් කරනු ලැබුණා. මේ අනුව රුසියාවේ දේශපාලන ක්ෂේත්‍රයේ ප්‍රබලයා ලෙස ව්ලැඩිමීර් පුටින් දිගටම කටයුතු කළා.

2012 ජනාධිපතිවරණයේදී පුටින් නැවත ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වූ අතර එහිදී ඔහු ජයග්‍රහණය කළා. එහිදී ද ඉන්පසු පැවති මහ මැතිවරණයේදී ද අක්‍රමිකතා සිදු වූ බව පවසමින් ප්‍රබල විරෝධතා ව්‍යාපාරයන් රුසියාවේ හට ගත්තා. මේ අනුව පුටින් යම් යම් ප්‍රතිසංස්කරණ ද හඳුන්වා දීමට කටයුතු කළා.

කළින් රුසියාවේ ජනාධිපතිගේ ධූර කාලය වසර 4 ක් වූ අතර පිට පිට දෙවතාවකට වඩා එම ධූරය දැරිය නොහැකි වුණා. දැන් එම ධූර කාලය අවුරුදු 6 ක් වනවා. මීළඟ ජනාධිපතිවරණය 2018 දී පැවැත්වීමට නියමිතයි. පුටින් ඒ සඳහා ඉදිරිපත් වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා. නමුත් මෙම වසරේ මැයි මාසයේදී මාධ්‍යවේදීන් අමතමින් ඔහු කියා සිටියේ තවමත් ඒ පිළිබඳ කතා කිරීමට කල් වැඩි බවයි.

Cover Image: ව්ලැඩිමීර් පුටින් (kremlin.ru)

Related Articles