Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

පිහිටීම අතින් විශේෂ වූ ගුවන්තොටුපොළවල් තුනක්

ගුවන් තොටුපළක පිළිගත් නිශ්චිත ලක්ෂණ පැවතිය යුතු මෙන්ම ගුවන් පථය නිර්මාණය කිරීමේ දී අන්තර්ජාතිකව පිළිගත් නියමයන්ට අදාළ විය යුතු යි. එවැනි නියමයන්ට අභියෝග කරමින්, පිහිටීම අතින් ලෝකයේ අනෙක් ගුවන්තොටුපොළවලට වඩා විශේෂ වූ, අපූරු ගුවන්තොටුපොළවල් කිහිපයක් තිබෙනවා. ඉතින් ඒ පිළිබඳව කෙටි විස්තරයක් ගෙන එන්නට අප අද තීරණය කළා. 

ධාවන පථය හරහා මාර්ගයක් ඉදිකර ඇති ජිබ්‍රෝල්ටා ජාත්‍යන්තර ගුවන් තොටුපොළ 

ගුවන් යානා ගොඩ බැස්සවීමේ දී මහා මාර්ගයේ වාහන නතර කර ඇති අන්දම (Reddit)

ලෝකයේ ඇති විශේෂ ගුවන්තොටුපොළවල් අතරින් ජිබ්‍රෝල්ටා ගුවන්තොටුපළට ඉතා සුවිශේෂී ස්ථානයක් ලැබෙනවා. ඒ ගුවන් ධාවන පථය හරහා මහා මාර්ගයක් ඉදිකර තිබීම යි. ස්පාඤ්ඤ දේශ සිමාව වෙතට ගමන් කරන වාහන මෙම ධාවන පථය හරහා වැටී තිබෙන වින්ස්ටන් චර්චිල් මාර්ගය ඔස්සේ ගමන් කරනවා. ගුවන් තොටුපොළට ගුවන් යානයක් ගොඩ බස්සන හා නික්මෙන විට විශේෂ මාර්ග සංඥා පද්ධතියක් භාවිතා කරමින් ධාවන පථය හරහා දිවෙන මාර්ගය වසා තැබෙනවා. මේ නිසා ඇතිවන රථ වාහන තදබදය වැලැක්වීම පිණිස ජිබ්‍රෝල්ටා ගුවන්තොටුපොළ බලධාරීන් විසින් ගුවන් තොටුපොළ භාවිතා කිරීමට අවසර ලබා දී තිබෙන්නේ ගුවන් සමාගම් කිහිපයකට පමණ යි. එසේම එම සමාගම් කිහිපයට නියමිත වූ කාලසටහන් ලබා දී තිබෙනවා.

ජිබ්‍රෝල්ටා ගුවන්තොටුපොළ තුල සිවිල් ගුවන් සේවාව මෙන්ම බ්‍රිතාන්‍ය රාජකීය ගුවන් හමුදා සේවාවන් ද ක්‍රියාත්මක වෙනවා. මෙහි පාලන බලය පවතින්නේ ජිබ්‍රෝල්ටා ආරක්ෂක දෙපාර්තුමේන්තුවට යි. එම දෙපාර්තමේන්තුව බ්‍රිතාන්‍ය ආරක්ෂක අංශයට අයත් වෙනවා. ලෝකයේ පවතින සීමිත A ශ්‍රේණියේ ගුවන් තොටුපොළවල් අතරට ජිබ්‍රෝල්ටා ගුවන්තොටුපොළත් අයත් වීම තවත් සුවිශේෂි කරුණක්. 

බ්‍රිතාන්‍ය නාවික හමුදාවට දෙවන ලෝක යුද්ධයේ දී ජිබ්‍රෝල්ටාව උපාය මාර්ගිකව ඉතා වැදගත් වූ අතර මෙම ප්‍රදේශයේ තිබූ තුරඟ තරග පිටියක ගුවන් තොටුපොළ නිර්මාණය කර තිබෙනවා. ඒ 1939 වසරේ දී යි. සංග්‍රාමිකව මුලින්ම මෙම ගුවන් තොටුපොළ භාවිතා කරන්නේ රාජකීය නාවික හමුදාව යි. වර්තමානය වන විට බ්‍රිටිෂ් එයාර්වේස් (British Airways), මොනාච් (Monarch), හා ඊසි ජෙට්(easy Jet) යන ගුවන් සමාගම් විසින් භාවිතා කරනවා.

ජිබ්‍රෝල්ටා ගුවන්තොටුපොළේ ගුවන් ධාවන පථය හරහා වැටී ඇති මහාමාර්ගයේ ධාවන කටයුතු නවතා ගුවන් යානයක් ගොඩ බැස්සවීම සිදු කරන ආකාරය මේ වීඩියෝවෙන් ඔබට නරඹන්නට පුළුවන්.

ලොව පුරා සංචාරකයන් අතර ප්‍රසිද්ධ ප්‍රින්සස් ජුලියානා ගුවන් තොටුපොළ 

 

වෙරළ හරහා ගමන් කරන ගුවන් යානා (YouTube)

මුහුදු වෙරළේ සිටින මිනිසුන්ගේ හිසට ඉතාම ආසන්නයෙන් ගමන් කර ගොඩබසින හෝ නික්මයන ගුවන් යානාවල වීඩියෝපට හෝ ජායාරූප ඔබ අනිවාර්යෙන්ම නරඹා ඇති. ශාන්ත මාටින් (Saint – Martin) දිවයිනේ ඕලන්දයට අයත් කොටසක පිහිටා ඇති ප්‍රින්සස් ජුලියානා (Princess Juliana) ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙනුයි එලෙස යානා ගුවන් ගත වෙන්නේ. 

ගුවන් තොටුපොළ, එක් පසෙකින් කඳු වැටියකින් ද අනෙක් පසින් ලොව පුරා සංචාරකයන් අතර ප්‍රසිද්ධ මහෝ වෙරළ තීරයෙන් ද (Maho Beach) වට වී තිබෙනවා. ගුවන් යානා, කදු පන්තියේ ගැටීම වැලැක්වීම සඳහා බොහෝ විට ගොඩබෑම හා නික්ම යාම සිදු වන්නේ මහෝ වෙරළ තීරය ඔස්සේ යි. මෙම ගුවන් යානා නිරීක්ෂණය කිරීම හා ජායාරූප ගැනීම සඳහා සෑම දිනකම විශාල සංචාරක පිරිසක් මහෝ වෙරළ තීරයට එක් වෙනවා. මෙහි පවතින භූ විෂමතාවය ගුවන් නියමුවන් විසින් නිවැරදිව අවබෝධ කර නොගැනීම අනතුරුවලට අත වැනීමක් ලෙස හඳුන්වා දෙන්නට පුළුවන්. 

1942 වසරේ යුධ භාණ්ඩ ප්‍රවාහනය සඳහා ආරම්භ කළ මෙම ගුවන් තොටුපොළට 1944 වසරේ දී නෙදර්ලන්තයේ ඔටුන්න හිමි ජුලියානා කුමරිය (princess Juliana) පැමිණීම හේතුවෙන් මේ නමින් නම් කරනු ලබනවා. වර්තමානය වන විට නැගෙනහිර කැරිබියානු ප්‍රදේශයේ පවතින තෙවන විශාලතම කාර්යයබහුල ගුවන්තොටුපොළ වන්නේත් මෙය යි.

සංචාරකයන්ගේ හිස අසලින් ගුවන් යානයක් ප්‍රින්සස් ජුලියානා ගුවන් තොටුපොළට ගොඩබස්සවන ආකාරය ඔබට මෙම වීඩියෝවෙන් නරඹන්නට පුළුවන්.

ගුවන්තොටුපොළක් වූ වෙරළක් – බරා වෙරළ තීරය 

 

බරා වෙරළ තීරය (Travel + Leisure)

මෙය වෙරළක පිහිටා තිබෙන ගුවන් තොටුපොළක්. ඒ 1936 වසරේ දී එංගලන්තයේ බරා වෙරළ තීරයේ (Barra) ස්ථාපිත කරන ලද බරා ගුවන් තොටුපොළ යි. මෙය ත්‍රිකෝණාකාර ලෙස නිර්මාණය කර ඇති කුඩා ධාවන පථ තුනක් මඟින් ගුවන් යානා ගොඩ බැස්වීමට හා නික්ම යාමට අවස්ථාව සලසා දෙනවා. 

මෙම වෙරළ තීරය ලොව පුරා සංචාරකයන් අතර ප්‍රසිද්ධ වී තිබෙන්නේ මුහුදු බෙල්ලන් විශේෂ සම්බන්ධව යි. වෙරළට රොක්වෙන සංචාරකයන් තමන් සඳහා ආරක්ෂාව සලසා ගන්නා ලෙසත් වෙරළ තීරය වෙත පැමිණෙන ගුවන් යානා පිළිබඳව නිතරම අවධානයෙන් සිටින ලෙසට සදහන් වූ පුවරු සෑම තැනකම පාහේ දකින්නට පුළුවන්. බරා සිට එංගලන්තයේ ප්‍රදේශ 10කට අධික ප්‍රමාණයකටත්,අයර්ලන්තය, ප්‍රංශය, හා ජර්මනිය වැනි රටවලටත් ගුවන් සේවා සපයනු ලබනවා.

බරා ධාවන පථයට ගුවන් යානයක් ගොඩ බස්සවන ආකාරය පහත වීඩියෝවෙන් ඔබට නරඹන්නට පුළුවන්.

Related Articles