Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

දෙව්ලොව දක්වා දිවෙන හවායි මාර්ගය

දිනය පුරා වෙහෙසට පත් වන මිනිසාට සති අන්තයේ පලා යාමට තැනක් ඇත් නම් ඒ සොබාදහම පමණක් නොවෙයි. තමන් විසින් ම නිර්මාණය කරගත් ගොඩනැගිලි අතර පවා විනෝදය සෙවීමට කවුරුත් ප්‍රිය කරනවා. නමුත් අද වන විට වැඩි ප්‍රවණතාවක් පවතින්නේ ඉසිඹුවක් ලද සැනින් සොබාදහම වැළඳගැනීමට සංචාරයේ යෙදීම යි. “මේක නම් දිව්‍ය ලෝකයක් වගේ”යැ යි ඇතැම් ස්ථානයන් දුටු විට අපේ සිතට නැගෙනවා. දිව්‍ය ලෝකයත්, අපායත්, සොබාදහමෙහි සුන්දරත්වයත්, භයංකර අසුන්දරත්වයත් ලෙස හඳුනාගන්නේ නම්, දිව්‍ය ලෝකයට දිවෙන මාර්ගයත් පාථිවි තලයෙන් සොයා ගත හැකි විය යුත්තක්. ඇමෙරිකා එක්සත් ජනපදයට අයත් හවායි දූපතේ  Oahu කලාපයේ පිහිටා තිබෙන The Stairway to Heaven යනුවෙන් හැඳින්වෙන අපූරු මාර්ගය සීතල නිම්නයක දිව්‍යමය පාරාදීසයක් කරා දිවෙන මාර්ගයක් ලෙසින් නිරන්තරයෙන් දිස් වනවා. පහතින් දිස්වන නිම්නයට වැටීමෙන් වළක්වාලන කුඩා ගරාදි වැටක් හැරුණු කොට වෙනත් කිසිවක් නොමැති ව මෙකී අඩි 3922 කින් යුත් මාර්ගය මනරම් කඳු වැටි අතරින් ඈතට විහි දී යනවා.

සොඳුරු වටපිටාව (SaraMak)

මෙම මාර්ගය ඉදිකරන්නේ ඇමෙරිකානු නාවික හමුදාව විසින් 1942 දී යි. පැසිෆික් සාගරයේ යාත්‍රා කරන නැව්වලට රේඩියෝ සිග්නල් සැපයීමට අවශ්‍ය පහසුකම් සැපයීම සඳහා, පළමු ගණයේ රහස් මාර්ගයක් ලෙසිනුයි එය එකල්හි භාවිත කෙරෙන්නේ. 1987 වන තෙක් මෙය පොදු ජනතාවට විවෘත ව පැවතියත් පසු ව මෙහි අලුත්වැඩියා කටයුතු නිසි ලෙස සිදු නොකිරීම හේතුවෙන් කිසිවෙකුට යාමට නුසුදුසු අනාරක්ෂිත ස්ථානයක් බවට පත්වනවා. එය යළිත් පිළිසකර කර ආරක්ෂිත තත්ත්වයට පත් කර 2002 දී විවෘත කිරීමට අදහස් කර තිබූ නමුත් නගරවාසීන්ගේ පැමිණිලි කිරීම් සහ ආරක්ෂාව පිළිබඳ පැවති ගැටලු හමුවේ එකී විවෘත කිරීම් කටයුතු තවදුරටත් ප්‍රමාද වෙනවා. මෙහි පියගැටපෙළෙහි අලුත්වැඩියා කටයුතු සිදුකිරීම සඳහා හොනොලුලු නගර බලධාරීන් විසින් ඩොලර් මිලියනයක පමණ මුදලක් වැය කළත්, මාර්ගය විවෘත කිරීමක් නිල වශයෙන් සිදු වූයේ නැහැ. නමුත් ඒ පිළිබඳ කිසිවක් නොතකා කඳු නගින්නන් සහ සංචාරකයන් මෙහි පැමිණීමත්, රිසි සේ සංචාරය කිරීමත් සිදුවෙනවා.

සොඳුරු වටපිටාව (SaraMak)

 

ආරම්භයේ දී මෙම ගමන් මාර්ගය හැඳින්වූයේ Haiku Stairs යනුවෙනුයි. එය විහිදී පවතින්නේ Ko’olau කඳුවැටිය හරහා යි. 1942 දී නාවික හමුදාවේ රේඩියෝ කුලුනක් ලෙස මෙහි කඳු මුදුනත භාවිත වුවත්, අවසානයේ දී එනම්, 1950 දී එකී නාවුක මූලස්ථානය ඉන් ඉවත් කරගැනීමක් සිදුවෙනවා. එතෙක් පැවති ලී පඩි ගලවා, ඒ වෙනුවට මෙකී මාර්ගයට යකඩ පඩි ඇල්ලීම සිදුවෙනවා. මෙකී භූමියෙහි අයිතිය පවතින්නේ Honolulu Board of Water Supply සතු ව වන අතර, කෙසේ නමුත් මෙකී භූමියට ප්‍රවේශ වීම සඳහා පසු කළ යුතු ගමන් මඟ විවිධ පුද්ගලයන්ට අයත් ඉඩම් මතින් වැටී තිබෙනවා. මෙම කඳු මාර්ගය තරණය කරන්නන් සම්බන්ධ ව බලතල ක්‍රියාත්මක කළ හැකි ආයතනය වන්නේ Honolulu Board of Water Supply වන අතර ඔවුන්ගේ නීතිමය ප්‍රතිපාදනයන්ට අනුව, මෙකී මාර්ගය තරණය කරන්නන් විසින් එසේ කිරීමට පෙර සිය ජීවිතය පිළිබඳ පවත්නා අයිතීන් අත්හරිමින් ලියමනක් අත්සන් කළ යුතු යි සහ ඩොලර් මිලියනයක වගකීමකින් යුතු රක්ෂණාවරණයක් ඉදිරිපත් කළ යුතු යි. තමන්ගේ ආවරණ කලාපය තුළ දී යමෙකු හානියට පත් වී තමන්ට එරෙහිව නඩු පැවරීමට පවත්නා අධික ඉඩ ප්‍රස්ථාව හේතුවෙන් Honolulu Board of Water Supply විසින් මෙම පියවර ක්‍රියාත්මක කරයි.

ගමන් මාර්ගය ඉහළට නැගෙන ආකාරය (mylifesamovie.com)

අවදානම කෙතෙක් වුව ද, අඟල් 18ක් පළල පඩි මතින් අඩි 4000ක කඳු නැග්ම සිදුකිරීමට ත්‍රාසය අත්දකින්නට කැමති බොහෝ කඳුනගින්නන් සහ සංචාරකයන් ප්‍රිය කරයි. 2015 දී ඇති වූ දරුණු කුණාටු තත්ත්වයක් හේතුවෙන් පඩිපෙළෙහි ස්ථාන කිහිපයකට දැඩි හානි සිදු වූ අතර, පියගැට ගණනාවක් ම කැඩී ඉවත් වූවා. මේ හේතුවෙන් සංචාරකයන් සෑම පියවරක් ම තැබිය යුත්තේ මහත් අවධානයෙන් සහ ප්‍රවේශම් සහිත ව යි. යම් හෙයකින් අත්වැරැද්දක් සිදු වුවහොත් ස්වර්ගයට දිවෙන දිව්‍ය මාර්ගය, මරණයේ දොරටුවක් වීමේ හැකියාවෙන් ද යුක්ත යි. මනරම් මෙන්ම ත්‍රාසයජනක කඳුකර මාර්ගය අවසාන වන්නේ පහතට දිවෙන දර්ශන පථය ඈත මිටියාවත දක්වා ම විහිදුවාලමින්. කඳු මුදුන මත තිබෙන්නේ ආරම්භයේ දී ඇමෙරිකානු නාවික හමුදාව විසින් නැව්වල සන්නිවේදන කටයුතු සඳහා යොදාගන්නා ලද ‍උපකරණවල දිරාපත් වූ නෂ්ටාවශේෂයන් පමණයි. බොහෝ සංචරකයන් රාත්‍රී කාලයෙහි දී සඳ එළියෙන් සහ ගෙන යන ලාම්පුවල ආධාරයෙන් මෙකී දුෂ්කර කඳු මාර්ගය තරණය කරනවා. මධ්‍යම රාත්‍රිය පසුකර, කාල යන්ත්‍රය විසින් සලකුණු දක්වත් ම ඔවුන් ඉර සේවය නැරඹීමට සූදානම් වෙමින් ඈත ක්ෂිතිජය වෙත දෑස් දල්වා බලා සිටිනවා.

මනරම් පරිසර පද්ධතිය කඳු මුදුනෙහි සිට දිස්වන ආකාරය (journeyera.com)

මෙම ගමන් මාර්ගයෙහි දෙපස ආරක්ෂාව උදෙසා ඉදිකර තිබෙන ගරාදි වැට ඈතට මහත් කලාවක් උපද්දවා පෙන්වයි. එමෙන්ම සිසිල් පැහැයෙන් හාත්පස සිසාරා දිස්වන මනස්කාන්ත පරිසර පද්ධතිය, අවදානම නොතකා තමන් වෙත පැමිණෙන්නැ යි සංචාරකයන්ගේ සිත් කුල්මත් කරමින් දන්වාලයි. මෙම ගමන් මාර්ගය අවහිර කරවාලමින් මුරපොළක් පවත්නා අතර බොහෝ පුද්ගලයන් රාත්‍රී කාලය ගමන සඳහා තෝරාගන්නේ එකී මුරපොළ මඟහැර ගමන් කිරීම රාත්‍රී කාලයේ දී පහසු වන බැවිනි. යම් හෙයකින් අදාළ මුරපොළෙහි සිටින නිලධාරියා විසින් අනවසර ඇතුල් වීමක් නිරීක්ෂණය කළහොත් පොලීසිය අමතා, එසේ අනවසරයෙන් ඇතුල් වීමට උත්සාහ කළ පුද්ගලයන් ව සිරභාරයට පත් කිරීමට පියවර ගනී.

කඳු මුදුන (journeyera.com)

මෙම මඟ ගමන් කිරීමට පෙර සංචාරකයන් දැනගත යුතු කරුනු ගණනාවක් පවතිනවා. ප්‍රථමයෙන් ම ඔවුන්, ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ මනා අවබෝධයකින් යුතු ව මෙකී ගමන ආරම්භ කළ යුතු යි. තනි ව ගමන් කිරීමට තරම් යහපත් සෞඛ්‍ය තත්ත්වයකින් පසු නොවන්නේ නම්, ගමනට තවත් සහායකයෙකු සම්බන්ධ කරගත යුතු වෙනවා. වර්ෂාව, ගෙරවුම්, කුණාටු තත්ත්වයන් පවත්නා අවස්ථාවන්හි දී මෙහි ගමන් කිරීම කිසිසේත් ම ආරක්ෂිත වන්නේ නැහැ. නිල් පැහැති අහසක් සහ මඳ පවන සහිත කාලගුණයක් පවත්නා විට මෙහි ගමන් කිරීම වඩාත් ආරක්ෂිත යි. මධ්‍යම රාත්‍රියෙහි මෙකී මාර්ගය තරණය කිරීමට අදහස් කරන්නේ නම් වඩාත් යෝග්‍ය වන්නේ දේශීය මඟපෙන්වන්නෙකුගේ සහාය ඒ සඳහා ලබාගැනීම යි.

ගරාදි වැට රහිත ස්ථානයක් (journeyera.com)

 

කවරයේ පින්තූරය: whatscuttlebutt.com

මූලාශ්‍රයයන්:

  • THE STAIRWAY TO HEAVEN OAHU, HAWAII: UPDATED 2018, journeyera.com
  • Stairway to Heaven: Everything you Need to Know, mylifesamovie.com
  • How to Legally hike the Stairway to Heaven in Oahu, Hawaii,  trevellers.com

Related Articles