Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

නූතන ගෘහනිර්මාණ ශිල්පයේ ප්‍රංශ මුද්‍රාව : අයිෆල් කුලුන

‘ප්‍රංශය’ යන නාමය සමග වෙන් කළ නොහැකි ලෙස බැඳී පවතින අනෙක් වදන වන්නේ ‘අයිෆල් කුලුන’ බව පැවසීමේ වරදක් නැහැ. ‘ප්‍රේමයේ නගරය’ මෙන් ම ‘විදුලි පහන් නගරය’ ලෙස ද සැලකෙන පැරීසියට පා නගන අයෙක්ට මග නොහැරෙන මංසලකුණක් ලෙස හැඳින්විය හැකි අයිෆල් කුලුන, 1889 වර්ෂයේ දී පවත්වන ලද ලෝක වෙළඳ ප්‍රදර්ශනය සතු වූ අග්‍රගණ්‍ය ප්‍රදර්ශිතයක්. ප්‍රංශ විප්ලවයේ සියවස් සැමරුම සනිටුහන් කරනු පිණිස ගොඩ නංවන ලද අයිෆල් කුලුන මගින් ප්‍රංශය සතු කාර්මික බලය ලොවට පෙන්නුම් කිරීමක් ද සිදු වුණා.

ගොඩ නගන ලද මුල් කාලයේ දී ප්‍රංශ වැසියන් අයිෆල් කුලුන සලකා ඇත්තේ පැරීසියේ සුන්දරත්වය විනාශ කරන අවලස්සණ යකඩ කන්දක් ලෙස වුව ද, කාලයාගේ ඇවෑමෙන් පැරීසියේ සලකුණ බවට පත් වූ එය වර්තමානයේ දී නූතන ගෘහනිර්මාණ ශිල්පයේ ප්‍රංශ මුද්‍රාව ලෙස නම් කිරීමට පවා ලෝක වාසීන් යොමු වී තිබෙනවා. මේ ලිපිය දශක දහ තුනක් පුරාවට පැරීසිය මධ්‍යයේ අභිමානයෙන් නැගී සිටින අයිෆල් කුලුන ගැන තොරතුරු බිඳක්.

© Tanssin Talo / Twitter

ලෝක වෙළඳ ප්‍රදර්ශනය වෙනුවෙන් අමුතු නිර්මාණයක්

සාමාන්‍යයෙන් අයිෆල් කුලුන සැලසුම් කිරීමේ ගෞරවය හිමි වන්නේ ප්‍රංශ සිවිල් ඉංජිනේරුවෙකු වූ ගුස්ටාව් අයිෆල් වෙත යි. නමුත් සත්‍ය වශයෙන් ම එහි මුල් ඇඳීම් කටයුතු සිදු කර ඇත්තේ ගුස්ටාව් අයිෆල්ගේ ඉංජිනේරු සමාගමේ ප්‍රධාන ඉංජිනේරුවන් ලෙස කටයුතු කළ මොරිස් කෝච්ලින් සහ එමිල් නේග්ව්‍යායර් විසින්. ඔවුන්ට අමතර ව ප්‍රංශ ගෘහනිර්මාණ ශිල්පියෙකු වූ ස්ටීවන් සෝවිස්ටර් ද 1889 වර්ෂයේ ප්‍රංශයේ දී පැවැත්වීමට නියමිත ලෝක වෙළඳ ප්‍රදර්ශනය වෙනුවෙන් ගොඩ නැංවිය යුතු නවීන පන්නයේ ස්මාරකය සඳහා සැලසුමක් ඉදිරිපත් කර තිබෙනවා.

(© Mondadori Portfolio / Getty Images) ප්‍රංශ සිවිල් ඉංජිනේරු ගුස්ටාව් අයිෆල්

නමුත් ප්‍රංශ රජය විසින් තෝරාගෙන ඇත්තේ අයිෆල්ගේ සමාගම විසින් ඉදිරිපත් කරන ලද සැලසුම යි. ඒ අනුව 1887 ජූලි මාසයේ දී සිද්ධ යකඩ​ (wrought-iron) යොදා ගනිමින් අයිෆල් කුලුන ගොඩ නැංවීම ආරම්භ කර තිබෙනවා. නමුත් පැරීසිය අඳුරු සෙවණැල්ලකින් අනාවරණය කරමින් නිර්මාණය වන දැවැන්ත ලෝහ ස්මාරකය ගැන ප්‍රංශ වැසියන් එතරම් කැමැත්තක් නොදක්වන ලද බව යි සඳහන් වන්නේ. අයිෆල් කුලුන ගොඩ නැංවීමට විරෝධය දක්වමින් ප්‍රංශ පුවත්පත් දිනපතා ම පාහේ විකට රූප පළ කර ඇති අතර කලාකරුවන්, ලේඛකයන්, ගෘහනිර්මාණ ශිල්පීන් සහ මූර්ති ශිල්පීන් 300 දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් එක් වී අයිෆල් කුලුන ගොඩ නැංවීම නතර කරන ලෙස ඉල්ලමින් ලෝක වෙළඳ ප්‍රදර්ශනයේ කොමසාරිස් වෙත පෙත්සමක් පවා යොමු කර තිබෙනවා.

(© Wikimedia Commons) 1887 දෙසැම්බර් මාසයේ දී අයිෆල් කුලුන

දෙවසරක් තුළ දී ගොඩ නැගූ යකඩ කුලුන

එහෙත් ප්‍රංශ විප්ලවයේ සියවස් සැමරුම සනිටුහන් කරන අයිෆල් කුලුන ගොඩ නැංවීමේ කටයුතු දිගට ම සිදු කළ යුතු බව යි ප්‍රංශ රජයේ තීරණය වී ඇත්තේ. ඒ අනුව පැරීසියේ ‘Champ de Mars’ නම් හරිත උද්‍යානය මධ්‍යයේ ගොඩ නැංවීම අරඹන ලද අයිෆල් කුලුනේ සියලු වැඩ කටයුතු දෙවසරක කාලයක් ඉක්ම යාමෙන් පසු ව 1889 මාර්තු 31 වැනි දින අවසන් කර තිබෙනවා.

අයිෆල් කුලුන ගොඩ නැංවීම සඳහා යොදා ගන්නා ලද ගණනින් 18,000 ක් පමණ වූ යකඩ කොටස් සියල්ල ම නිර්මාණය කර ඇත්තේ අයිෆල්ගේ සමාගම විසින්. දැවැන්ත පාද හතරක් මත පිහිටා ඇති එය ක්‍රමයෙන් ඉහළ නගන විට කැටයම් සහිත තනි කුලුනක් බවට පත් වෙනවා. එය ගොඩ නැංවීම සඳහා මිටියම් ඇණ මිලියන 2.5 ක් සහ යකඩ ටොන් 7,300 ක් පමණ යොදාගෙන ඇති අතර විඛාදනයෙන් ආරක්ෂා කර ගැනීම සඳහා එහි සෑම කොටසක් ම පින්තාරු කර තිබෙනවා. ඒ සඳහා තීන්ත ටොන් 60 ක් යොදාගෙන ඇති අතර මේ වන විට අයිෆල් කුලුන 18 වාරයක් නැවත පින්තාරු කර ඇති බව යි වාර්තා වන්නේ.

(© GetYourGuide) අයිෆල් කුලුන මුදුනට පැරීසිය දිස් වන අයුරු

සන්නිවේදන කුලුනක් වූ පැරීසියේ සලකුණ

අයිෆල් කුලුන නිර්මාණය කර ඇත්තේ දශක දෙකකින් පසු ව ගලවා ඉවත් කරන තාවකාලික ඉදි කිරීමක් ලෙස යි. නමුත් කාලයාගේ ඇවෑමෙන් ‘පැරීසියේ සලකුණ’ ලෙස එය ප්‍රංශ ජාතිකයන් අතර පමණ නොව ලෝක වාසීන් අතර ද ජනප්‍රිය වී තිබෙනවා. එසේ ම විද්‍යා සමාජයට අත්‍යවශ්‍ය මෙවලමක් වූ අයිෆල් කුලුන ඉවත් කිරීම ගැන ගුස්ටාව් අයිෆල් දක්වා ඇත්තේ ද නොකැමැත්තක්. අයිෆල් කුලුන විවෘත කිරීමෙන් අනතුරු ව ඔහු විසින් එහි තෙවැනි මහලේ කාලගුණ විද්‍යාගාරයක් පිහිටුවා තිබෙනවා. නමුත් බලධාරීන් විසින් අයිෆල් කුලුන දිගට ම තබා ගැනීමට තීරණය කර ඇත්තේ කාලගුණ විද්‍යාගාරය නිසා නොව සන්නිවේදන කුලුනක් ලෙස එහි ඇති වැදගත්කම සැලකිල්ලට ගෙන යි.

© Paul Gaudriault

ඒ අනුව 1910 වර්ෂයේ දී රැහැන් රහිත ටෙලිග්‍රාෆ් සම්ප්‍රේෂකයක් ලෙස භාවිතා කිරීමේ අරමුණෙන් මීටර් 324 (අඩි 1,063) ක උසින් යුතු අයිෆල් කුලුන ගලවා ඉවත් නොකිරීමට ප්‍රංශ රජය තීරණය කර තිබෙනවා. එසේ ම පළමු වැනි ලෝක සංග්‍රාම සමයේ දී ප්‍රංශ යුද හමුදාවන් විසින් අත්ලාන්තික් සාගරයේ ගමන් ගත් නෞකා සමග සන්නිවේදනය කිරීම සහ සතුරු හමුදාවන්ගේ සන්නිවේදන කටයුතු අඩාළ කිරීම සිදු කර ඇත්තේ අයිෆල් කුලුනේ සිට යි. වර්තමානයේ දී පවා අයිෆල් කුලුන සන්නිවේදන මධ්‍යස්ථානයක් ලෙස යොදා ගන්නා අතර මේ වන විට එය සතු ව ඇන්ටනා 120 කට අධික ප්‍රමාණයක් පවතිනවා.

© Slevomat

අයිෆල් කුලුන ගැන අපූරු කාරණා

ගුස්ටාව් අයිෆල් විසින් කුලුන ගොඩ නැංවීම සඳහා ගරාදි ගසන ලද සිද්ධ යකඩ​ යොදාගෙන ඇත්තේ සැහැල්ලු ලෝහ වර්ග ද පාෂාණ මෙන් ම ශක්තිමත් බව පෙන්නුම් කිරීම සඳහා යි.

අයිෆල් කුලුන ගොඩ නැංවීම සඳහා 1889 වර්ෂයේ දී ප්‍රංශ රන් ෆ්‍රෑන්ක් 7,799,401 (ආසන්න වශයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 1.5) ක් වියදම් වී තිබෙනවා.

1930 වර්ෂයේ දී නිව්යෝක් හි ක්‍රයිස්ලර් ගොඩනැගිල්ල නිර්මාණය කරන තෙක් ලෝකයේ උසින් වැඩි ම නිර්මාණය ලෙස සලකා ඇත්තේ අයිෆල් කුලුන යි.

හිරු කිරණ හේතුවෙන් ලෝහ ප්‍රසාරණය වී සෑම දිනක ම දහවල් කාලයේ දී අයිෆල් කුලුනේ උස සෙන්ටිමීටර් 18 (අඟල් 7) ක් පමණ ඉහළ යනවා.

අයිෆල් කුලුනේ බර ටොන් 10,000 ක් පමණ වෙනවා.

අයිෆල් කුලුන සතු විදුලි බුබුළු ප්‍රමාණය බිලියන 5 ඉක්ම වන බව යි සඳහන් වන්නේ.

මහල් 108 කින් සතු අයිෆල් කුලුන සතු පියගැට සංඛ්‍යාව 1,710 ක්. නමුත් අමුත්තන්ගේ පහසුව සඳහා අයිෆල් කුලුන සතු ව විදුලි සෝපාන ද්විත්වයක් පවතිනවා.

කවරයේ පින්තූරය : © Somphop Ruksutakarn

Related Articles