Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

වෛද්‍ය මතයට එරෙහි බැටර්ස්බී පවුලේ අරගලය

එංගලන්තයේ බැටර්ස්බී පවුල කේන්ද්‍ර කර ගනිමින් මේ දිනවල සිදු වන අධිකරණ ක්‍රියාවලියට සැලකිය යුතු අවධානයක් ලැබී තිබෙනවා. බැටර්ස්බී පවුල මුහුණ දෙමින් සිටින දුක්ඛිත තත්ත්වය සහ එහි ඇති මානුෂීය බව බොහෝ දෙනකුගේ සිත් සංවේදී කර තිබීම ඊට හේතුව යි. මෙය එක්තරා අන්දමක අරගලයක් ලෙසත් හැඳින්විය හැකි යි. වෛද්‍යවරුන්ගේ විද්‍යාත්මක සත්‍යය සහ බැටර්ස්බී පවුලේ විශ්වාසය අතර ඇති මේ අරගලය, දැන් අධිකරණය දක්වා ම ගොස් ඇත්තේ විසඳුමක් බලාපොරොත්තුවෙන්.

උපතින් ම සටන්කරුවෙක් වූ ආචී

ආචී බැටර්ස්බී යනු තවමත් දොළොස් හැවිරිදි වියේ පසුවන ක්‍රියාශීලි ජීවිතයක් ගත කළ දරුවෙක්. ඔහු ජිම්නාස්ටික් ක්‍රීඩාවට සහ සටන් කලාවට දක්ෂ වූ නිසා ආචී ගේ මව, හොලී ඩාන්ස්, උපතින් ම සටන් කිරීමට දක්ෂ දරුවෙක් ලෙස ආචී හඳුනා ගෙන තිබුණා. වරෙක අනෙකුත් සටන්කරුවන් පුහුණු වීමට ප්‍රථම යාච්ඤා කර අන්දම දුටු ආචී, ඉන්පසු ක්‍රිස්තියානි ධර්මය කෙරෙහිත් උනන්දු වූ බව පැවසෙනවා.

ආචී යනු සටන් කලාවට සහ ජිම්නාස්ටික් ක්‍රීඩාවට ඇළුම් කළ ක්‍රියාශීලි දරුවෙක් – www.bbc.com 

සියල්ල සමබර වන අන්දමින් කාලය ගෙවී ගියත්, පසුගිය අප්‍රියෙල් 07 වැනිදා බැටර්ස්බී පවුල ශෝකජනක ඉරණමකට මුහුණ දුන්නා. එදින ඔවුන් ගේ නිවස තුළ සිහිසුන්ව වැටී සිටින ආචී දුටු හොලී ඩාන්ස්, වහාම ඔහු රෝහල් ගත කිරීමට කටයුතු කළා. සමාජ මාධ්‍ය ඔස්සේ හෝ වෙනත් මාර්ගගත ක්‍රමයකින් එල්ල වූ අභියෝගයක් භාර ගැනීමෙන් ඔහු අනතුරකට අත වැනූ බව ආචී ගේ මාපියන් විශ්වාස කරනවා. ඔහු දක්ෂතා දක්වන අංශ සලකා බැලීමේ දී නිසි ආරක්ෂක පියවර නොගැනීමෙන් අනතුරක් සිදුවීමේ හැකියාව ඉහළ බවත් අනුමාන කළ හැකි යි.

නැගෙනහිර ලන්ඩනයේ පිහිටි “රෝයල් ලන්ඩන්” රෝහලට ඇතුළත් කිරීමෙන් පසු සිදු කළ පරීක්ෂණවලට අනුව අනතුරෙන් ආචී ගේ මොළයට සිදු වී ඇති හානිය බරපතල බව වෛද්‍යවරුන් නිගමනය කළා. මස්තිෂ්කය සහ සුෂුම්නාව සම්බන්ධ කරන කොටස මිය ගොස් ඇති බවටත් ඔවුන් සැක පහළ කළා.

සිහිය නොලැබූ ආචි, ජීව ආධාර පද්ධතිය සමඟ තවදුරටත් සම්බන්ධ ව සිටීමෙන් කිසිදු ප්‍රගතියක් අත්කර නොගන්නා බව වෛද්‍යවරුන්ට වැටහුණා. ඒ අනුව ජීව ආධාරක පද්ධතිය ක්‍රියා විරහිත කොට ආචීට සමුදීමේ තීරණය වෙත එළඹීම වඩාත් සුදුසුයැ යි ඔවුන් නිගමනය කළා.

ආචී බැටර්ස්බී – www.kentlive.news 

අල්ප මාත්‍රයක හෝ අපේක්ෂාවක්..?

බැටර්ස්බී පවුලේ සාමාජිකයන් වෛද්‍ය මතය සමඟ එකඟ නොවූ අතර, ආචීට තවත් කාලයක් ලබා දිය යුතු අවධාරණය කළා. වෛද්‍ය වෘත්තිකයන් මෙවැනි අවස්ථාවක ඇති බැරෑරුම් ස්වභාවය අත්දැකීමෙන් ම දන්නවා. ඉතා සංවේදී සහ ආවේගාත්මක හැඟීම් ගහණ පසුබිමක් මැද ඔවුන්ට කටයුතු කිරීමට සිදු වෙනවා. මවක් ලෙස හොලී ගේ එක ම අධිෂ්ඨානය වුණේ ඉතිරි වී ඇති අපේක්ෂා මාත්‍රයක් වෙනුවෙන් හෝ සටන් කිරීම යි.

මූලික පරීක්ෂණ හරහා ආචී ගේ තත්ත්වය ගැන විශ්වාසනීය තහවුරුවක් ලැබී තිබුණත්, උද්ගත වූ අනපේක්ෂිත වාතාවරණය හේතුවෙන් තවත් ඉදිරි පියවරක් තැබීමට රෝහල් කාර්ය මණ්ඩලයට සිදු වුණා. මොළයේ මරණය සිදු වී ඇතිද නැද්ද යන්න වග ආපසු තහවුරු කිරීම සඳහා පරීක්ෂණයක් සිදු කිරීමේ අවසරය බැටර්ස්බී පවුලෙන් ලබා ගන්න වෛද්‍යවරුන් උත්සහ කළේ ඒ නිසා යි. බැටර්ස්බී පවුලේ සාමාජිකයින් ඊට විරුද්ධත්වය ප්‍රකාශ කළා. මේ නිසා ලන්ඩන් මහාධිකරණය දක්වා අර්බුදය රැගෙන යමින් පරීක්ෂණය සිදු කිරීම සඳහා අධිකරණ තීන්දුවක් ලැබෙන තුරු කල් මැරීමට ඔවුන්ට සිදු වුණා.

බැටර්ස්බී පවුල ආචීට දෙවැනි අවස්ථාවක් ලබා දීමට හැකි සෑම දෙයක් ම සිදු කරමින් සිටිනවා – esajaelina.com 

“රෝහලට ඇතුළත් කළ අවස්ථාවේ දී මගේ පුතා එදින රාත්‍රිය වනතුරු වත් ජීවතුන් අතර සිටින එකක් නැහැ කියලා ඔවුන් පැවසුවා. දැන් ආචී රෝහලට ඇවිත් සති දහයක්. ඔහු සටන්කාමියෙක්. ඔහු ජීවිතය වෙනුවෙන් සටන් කරමින් ඉන්නේ. ඉතින් මං සෑම මොහොතක් වෙනුවෙන් ම දැඩි ව සටන් නොකර ඉන්නේ කොහොමද?”

ආචී මුහුණ දුන් ඛේදවාචකයෙන් පසු හොලී සහභාගී වූ සම්මුඛ සාකච්ඡාවක් අතරතුර පවසා තිබුණා.

“අපි ඉල්ලන්නේ කාලය පමණ යි. මිනිසුන් මාස ගණනක් කෝමා තත්ත්වයේ පසු වෙනවා. නමුත්, රෝහලට අවශ්‍ය වුණේ ආචී ඇතුළත් කොට දින තුනක් ඇතුළත ඔහු සිහිසුන් ව සිටින අතරේදී ම මිය ගිය බව ප්‍රකාශ කිරීමට යි! ඒ බව ඔප්පු වනතුරු ජීවමාන රෝගියකු ලෙස සලකා ආචීට ප්‍රතිකාර කළ යුතු යි.”

මාධ්‍යට අදහස් දක්වමින් – colorsofindia.media 

වෛද්‍ය මතයට එදිරි ව විශ්වාසය

හොලී ඩාන්ස් මේ සියල්ල පැවසුවේ සිය පුත්‍රයා ගේ ජීව ආධාරක පද්ධතිය ඉවත් කරනවා ද නැද්ද යන්න වග අධිකරණයට තීන්දු කිරීමට ඉඩ දෙන අතරවාරයේ යි. අධිකරණ තීන්දුව ලැබෙන තුරු  ආචීට තවත් කාලයක් සටන් කිරීමට අවකාශය ලැබීමත් හොලීට සහනදායී හැඟීමක් ගෙන දුන්නා.

“මං දන්න එකම දේ තමයි මගේ අත මිරිකන්න පුළුවන්කම තියෙන ආචී ගේ මොළය මිය ගිහින් නැහැයි කියන එක.”

තමා මුහුණ දෙමින් සිටින තත්ත්වයට පත් වූ අනෙක් මාපියන් ගෙන් පවා ඇය ඉල්ලා සිටින්නේ මෙවැනි අවස්ථාවක දී සටන් කරන ලෙස යි. නමුත්, ඒ වෛද්‍යවරුන් සමඟ නොවෙ යි. බැටර්ස්බී පවුල සටන් කළේ වෛද්‍යවරු පෙන්වා දුන් යථාර්ථය සමඟ යි. වෛද්‍යවරුන් තම රැකවරණය යටතේ සිටින රෝගියාට නිවැරදි දේ කරන බව රෝගීන් ගේ සමීපතමයන් විශ්වාස කරනවා. ආචී ගේ පියා සහ මවටත් එවැනි සැකයක් තිබුණේ නැහැ.

ඔවුන් සෙව්වේ අවස්ථාවක්. ‍රෝහල් කාර්ය මණ්ඩලය විද්‍යාත්මක සත්‍යය මත පිහිටා ආචීට දෙවැනි අවස්ථාවක් ලැබීමේ සම්භාවිතාව ගැන විශ්වාසය අතහැර සිටියත්, හොලී ප්‍රමුඛ බැටර්ස්බී පවුලේ සාමාජිකයන් සිය විශ්වාසය හෝ ප්‍රාතිහාර්යයක් සිදුවීමේ හැකියාව මත පිහිටා ආචීට අවස්ථාවක් සොයා දෙන්න වෙහෙසුණා. අධිකරණය දක්වා ම මෙම සිදුවීම ඔවුන් රැගෙන යන තැනට ක්‍රියා කළේ ඒ නිසා යි.

ආචී ට ශක්තියක් වීමට මිනිසුන් රෝහල වටා ඒකරාශී වුණා – www.bbc.com 

තීන්දුව ප්‍රකාශ වෙයි..

පසුගිය අප්‍රියෙල් 26 වැනිදා “රෝයල් ලන්ඩන්” රෝහල පවත්වා ගෙන යන “The NHS trust” පරීක්ෂණය සිදු කිරීමට අවසර ඉල්ලා මහාධිකරණයේ ක්‍රියාවලියට ඇතුළත් වූ අතර, මැයි 13 වැනිදා අදාළ පරීක්ෂණය සිදු කිරීමේ අවසරය ලැබුණා. මැයි 16 වැනිදා විශේෂඥයන් දෙදෙනෙක් ආචී ගේ මොළයේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූවා. මහාධිකරණයෙන් සිදු කිරීමට අවසර ලබා ගත් පරීක්ෂණයේ මූලික අදියරක් වන පර්යන්ත ස්නායු උත්තේජක පරීක්ෂණවලට ආචී ප්‍රතිචාර දැක්වූයේ නැහැ.

මැයි 25 වැනිදා තවදුරටත්  MRI ස්කෑන් පරීක්ෂාවක් ආචී වෙනුවෙන් සිදු කළ යුතු ද යන්න සම්බන්ධයෙන් නඩු විභාගය පැවැත්වුණා. ආචී එවැන්නක් උදෙසා රැගෙන යෑමෙන් ඔහුට හානි සිදුවීමේ හැකියාව මත ඔහු ගේ මාපියන් ඊට එකඟ වුණේ නැහැ. කෙසේ නමුත්, MRI ස්කෑන් පරීක්ෂාවක් සිදු කිරීමේ අනුමැතිය මහාධිකරණයෙන් රෝහලට මැයි 31 වැනිදා ලැබුණා. සියලු කාරණා රැස් කරගත් පසු ජුනි 6-8 අතර කාලය අවසාන තීන්දුව ලබාදීමේ සාක්ෂි විමසීම සිදු කෙරුණා. ඒ අනුව පසුගිය ජුනි 13 වැනිදා MRI ස්කෑන් ප්‍රතිඵල මත ආචී මිය ගොස් ඇති බව මහාධිකරණ විනිසුරුවරයා තීරණය කළ අතර, රෝහල් කාර්ය මණ්ඩලයට ජීව ආධාරක පද්ධතියෙන් ආචී වෙන් කිරීමේ අවසරය ලැබුණා.

අත් නොහරින බැටර්ස්බීවරු

“සති ගණනාවක් මුළුල්ලේ සිදු කළ නීතිමය අරගලයෙන් පසු විනිසුරුවරයා දුන් තීන්දුවෙන් මං අතිශය කලකිරීමකට පත් වුණා. “MRI පරීක්ෂණයක් මත පදනම් වෙලා ආචී බොහෝ දුරට මිය ගොස් ඇති බව විනිශ්චය කිරීම ප්‍රමාණවත් වන්නේ නැහැ. MRI පරීක්ෂණයක් මත පදනම්ව යමකු මිය යාමට ඉඩ ඇති බව ප්‍රකාශ කළ පළමු අවස්ථාව මෙයයැ යි විශ්වාස කෙරෙනවා.”

මහාධිකරණ තීන්දුව ගැන හොලී ඩාන්ස් දැක්වූයේ එවැනි අදහසක්.

ප්‍රාතිහාර්යයක් අපේක්ෂාවෙන් ආචීට කාලය ලබා දෙන්න සමීපතමයන් උත්සහ කරනවා – algeria.benzica.com

රෝහල් කාර්ය මණ්ඩලය සහ විනිසුරුවරයා බැටර්ස්බී පවුලේ කැමැත්ත සැලකිල්ලට නොගැනීම හොලී ගේ අප්‍රසාදයට පත් වූ අතර, ආචීට ප්‍රමාණවත් කාලයක් ලබා දීම සම්බන්ධයෙන් ඇති අවිශ්වාසය තවදුරටත් අර්බුදය උත්සන්න කිරීමට හේතු වුණා.

“ඔහුගේ හදවත තවමත් ගැහෙනවා. ඔහු මගේ අත අල්ලා ගෙන ඉන්නවා. ආචී තවමත් එතන ඉන්න බව අම්මා විදිහට  මං දන්නවා. දෙවියන් වහන්සේ තීරණය කරන තුරු ආචී සමුගත යුතු යි කියා මං පිළි ගන්නේ නැහැ. මොළය මිය ගිය මිනිසුන් නැවත පැමිණි ආශ්චර්යමත් කතා ගැන මං අසා තිබෙනවා!”

අවසානයේ දී බැටර්ස්බී පවුල තරයේ විශ්වාස කරන ආචී ගේ “දෙවැනි අවස්ථාව” ආශ්චර්යයක් ලෙස හෝ පැමිණේවියැ යි ඔවුන් අපේක්ෂා කළා.

කමෝන් ආචී..!

බැටර්ස්බී පවුල තවත් පියවරක් ඉදිරියට යමින් මිනිසුන් ගේ සහාය ලබා ගැනීමටත් ක්‍රියා කළේ ඉන් පසුව යි. සමාජ මාධ්‍ය හරහා ආචී වෙනුවෙන් තමා සංවිධානය කරන උපහාරයට එක්වන ලෙස හොලී ආරාධනා කළා. මේ සියලු සිදුවීම් දෙස බලා සිටි ජනතාවට ඇය ස්තූති කළ අතර, ආචී ගේ සුවය පතා යාච්ඤා කරන ලෙස සියලු ඇදහිලිවන්ත නායකයන්, සියලු ප්‍රජාවන් ගේ ආධාරකරුවන් සහ දේශපාලනඥයන්ගෙන් ඇය ඉල්ලා සිටියා.

ජුනි 14 වැනිදා ආරාධනය අනුව පැමිණි බොහෝ පිරිසක් වයිට්චැපල් හී “රෝයල් ලන්ඩන්” රෝහල අසල ආචී වෙනුවෙන් යාච්ඤා කළා. දම් පැහැති බැලුන් ගුවනට මුදා හරිමින් ඔවුන් “කමෝන් ආර්ච්.. කමෝන් ආර්ච්..” කියමින් ආචී දිරිමත් කළා. මේ අතර ක්‍රිස්තියානි නීති මධ්‍යස්ථානයේ ප්‍රධාන විධායක ඇන්ඩ්‍රියා විලියම්ස් පැවසුවේ බැටර්ස්බී පවුල සමඟ දිගට ම සිටිමින් ප්‍රාතිහාර්යයක් උදෙසා දිගට ම යාච්ඤා කරන බව යි. නමුත්, ආචීට කාලය සම්බන්ධයෙන් ගැටලුවක් තිබුණා. අධ්‍යාත්මික වැඩකටයුතු සිදු කරන අතරතුරේ ම නීතිමය කටයුතු ඉදිරියට ගෙන යෑමේ වැදගත්කමත් ඉස්මතු වුණේ ඒ නිසා යි. ජුනි 13 වැනිදා ලැබුණු අධිකරණ තීන්දුව යළි සලකා බලන ලෙස ඉල්ලා අභියාචනා කිරීමට බැටර්ස්බී පවුල ඒ අනුව තීරණය කළා.

ආචී වෙනුවෙන් යාච්ඤා කිරීමට පැමිණි පිරිස – www.echo-news.co.uk 

ප්‍රශ්නාර්ථයකට ඉඩක් නැත!

බැටර්ස්බී පවුලේ නීති කණ්ඩායමට නායකත්වය දෙන එඩ්වඩ් ඩෙවරෝ, ජුනි 13 වැනිදා ලැබුණු තීන්දුව යළි සලකා බැලීමේ වැදගත්කම සම්බන්ධයෙන් අභියාචනා විනිසුරුවරුන් තිදෙනකු හමුවේ කරුණු ගෙන හැර දැක්වූවා. තීන්දුව ප්‍රකාශ කිරීමේ දී බැටර්ස්බී පවුලේ විශ්වාසයට ප්‍රමාණවත් සැලකිල්ලක් ලබා දී නොමැති බවත් ඔවුන් තර්ක කළා. මෙවැනි මානුෂික කාරණයක දී ප්‍රශ්නාර්ථ ලකුණක් සඳහා කිසිදු ඉඩක් තැබිය නොහැකි බව ඩෙවරෝ විශ්වාස කරනවා. මක් නිසාද යත්, රෝයල් ලන්ඩන් රෝහලේ වෛද්‍යවරු මීට පෙර පවසා තිබුණේ ආචී ගේ මොළයේ කඳ කොටස “මිය ගොස් ඇති බව සිතන්නට බොහෝ දුරට ඉඩ ඇති” බව යි. එසේ නම්, ආචී ගේ මොළය සම්පූර්ණයෙන් ම මිය නොයෑමේ “ඉතා ම අඩු ඉඩකඩක්” ඇති බවත් ගම්‍ය වෙනවා. එබැවින් ඩෙවරෝට අනුව ප්‍රශ්නාර්ථයකට ඉඩක් තිබෙන්න බැහැ!

මේ වනවිට ආචී ගේ ජීව ආධාරක පද්ධතිය ඉවත් කළ යුතුද නැද්ද යන්න සම්බන්ධයෙන් නැවතත් නඩු විභාගයක් පැවැත්විය යුතු බව තීන්දු කොට තිබෙනවා. එළඹෙන ජූලි 11 වැනිදා නඩු විභාගය පැවැත්වෙන දිනය ලෙස තීරණය කර ඇති අතර, බැටර්ස්බී පවුල එම අභියෝගයටත් මුහුණ දීමේ සූදානමෙන් පසු වෙනවා. වෛද්‍ය මතය මෙහි දී නිවැරදි වීමේ සම්භාවිතාවක් තිබීමට පුළුවන්. නමුත්, බැටර්ස්බී පවුල හැකි පමණින් ඔවුන් ගේ විශ්වාසය උදෙසා සටන් කරනු ඇති.

කවරයේ ඡායාරූපය: හොලී ඩාන්ස් සහ පෝල් බැටර්ස්බී සිය පුත්‍රයා වෙනුවෙන් දිගින් දිගට ම සටන් කරනු ඇති - www.echo-news.co.uk

මූලාශ්‍ර:

www.bbc.com

www.bbc.com/news

 www.dailymail.co.uk

Related Articles