රිෂී සුනක් : එක්සත් රාජධානි දේශපාලනයේ ආසියා සලකුණ

අගමැති පදවිය සම්බන්ධයෙන් වාර්තා තබන අවධියක් එක්සත් රාජධානිය ගත කරමින් සිටිනවා. පසුගිය සතියේ දී එරට කෙටි ම කලක් අගමැති ධූරය හෙබවූ ලිස් ට්‍රස්, එම තනතුරෙන් ඉල්ලා අස් වූ අතර, එක්සත් රාජධානියේ නව අගමැති ලෙස රිෂී සුනක් ඔක්තෝබර් 25 වැනිදා තේරී පත් වුණා.

ඔහු එරට දේශපාලන ඉතිහාසයට එක් වන්නේ ආසියානු සම්භවයක් ඇති ප්‍රථම අග්‍රාමාත්‍යවරයා ලෙසට යි. රිෂී සුනක්ට අගමැති පුටුව හිමි වුණේ ජන මතයකින් නොවෙ යි. එය දැනට එක්සත් රාජධානියේ පාලන බලය හිමි කරගෙන සිටින කොන්සර්වේටිව් පක්ෂ අභ්‍යන්තරයෙන් සිදු වූ තෝරාපත් කර ගැනීමක්.

කෙටිම කලක් එක්සත් රාජධානියේ අගමැති ධූරය හෙබවූ ලිස් ට්‍රස් – www.bloomberg.com

කොන්සර්වේටිව් පක්ෂයට 2019 දී පැවති මහ මැතිවරණයෙන් සුවිශේෂී ජයග්‍රහණයක් හිමි වුව ද බෝරිස් ජොන්සන් ගේ ආන්දෝලනාත්මක පාලන සමය තුළ පක්ෂයේ ජනප්‍රියත්වය වේගවත් හායනයකට ලක් වුණා. ඔහු ගේ ඉල්ලා අස්වීමත් සමඟ එක්සත් රාජධානියේ දේශපාලන අර්බුදයක් නිර්මාණය වූ අතර, ලිස් ට්‍රස් ගේ දින 44 ක් වැනි කෙටි පාලන සමය නිසා තත්ත්වය තවදුරටත් බැරෑරුම් වුණා.

අප්‍රිකාවෙන් පැමිණි ඉන්දියානුවෝ

අගමැති තනතුර සඳහා ස්ථිර දැක්මක් ඇති පුද්ගලයෙක් ඊළඟ මහ මැතිවරණය දක්වා පත්ර කර ගැනීමෙන් පසු එක්සත් රාජධානියේ දේශපාලන අර්බුදය නිමා කිරීමට කොන්සර්වේටිව් පක්ෂයට හැකි වෙනවා. ලිස් ට්‍රස්ට එම ස්ථාවරභාවය රැක ගැනීමට නොහැකි වුණෙත් ඇයට ස්ථිර දැක්මක් නොමැති වූ නිසා යි.

ආර්ථික අර්බුදයට පිළියම් ලෙස ලිස් ට්‍රස් ඉදිරිපත් කළ ආර්ථික සැලැස්ම විශාල ආන්දෝලනයකට තුඩු දුන් අතර, ඒ සැලැස්ම ම ඇය ගේ අගමැති තනතුරත් අහිමි කළා. නමුත්, රිෂී සුනක් යනු තරමක වෙනස් පසුබිමක් සහිත පුද්ගලයෙක්.  එය වටහා ගැනීම සඳහා ඔහු මෙතෙක් පැමිණි ගමන් මඟ සලකා බැලීමට සිදු වෙනවා.

තරුණ රිෂී සුනක් – www.thetimes.co.uk

1980 දී උපත ලැබූ රිෂී සුනක් ගේ උපන් ගම් පියස වන්නේ එංගලන්තයේ සවුත්හැම්ප්ටන් වරාය නගරය යි. ඔහු ගේ පියා එරට ජාතික සෞඛ්‍ය සේවයට සම්බන්ධ වෛද්‍යවරයකු වන අතර, මව ඖෂධවේදියෙක් ලෙස සේවය කළා. සුනක් ගේ මාපියන් එක්සත් රාජධානියට සංක්‍රමණය වන්නේ නැඟෙනහිර අප්‍රිකාවේ සිට යි. ඔහු ගේ පියා සහ මව පිළිවෙළින් කෙන්යාව සහ ටැන්සානියාවේ උපත ලබා තිබුණා. රිෂී සුනක්ට ඉන්දියානු සම්භවයක් ලැබෙන්නේ ඔහුගේ මුතුන් මිත්තන් ඉන්දියාවේ පන්ජාබ් ප්‍රාන්තයේ උපන් නිසා යි.

ඉන්දියානුවන් සහ අප්‍රිකාවේ වෙළෙඳුන් අතර ඇති සබඳතාවලට දිගු ඉතිහාසයක් තිබෙනවා. විශේෂයෙන් ම යටත් විජිත සමයේ දී නිර්මාණය කළ “බ්‍රිතාන්‍ය නැඟෙනහිර අප්‍රිකාව” නිසා බොහෝ ඉන්දියානුවන් එම ප්‍රදේශයට සංක්‍රමණය වුණා. එහි ප්‍රතිපලයක් ලෙස මේ විශේෂිත ප්‍රදේශයේ ඉන්දියානු ජනගහනය වේගයෙන් වර්ධනය වූ අතර, ඔවුන් ගේ ආර්ථික ස්ථාවරභාවයත් ඉහළ ගියා.

මහා නික්මයෑම

මෙලෙස ඉන්දියාවේ සිට සංක්‍රමණය වූ මුතුන් මිත්තන් ගෙන් පැවත එන ඉන්දියානුවන් අදටත් නැඟෙනහිර අප්‍රිකානු රාජ්‍යවල වාසය කරනවා. කෙසේ නමුත්, 20 වැනි සියවසේ දෙවන භාගය වනවිට ඉන්දියානුවන්ට අඩු සත්කාර ඇති ප්‍රදේශයක් බවට නැඟෙනහිර අප්‍රිකාව පරිවර්තනය වුණා. උදාහරණයක් ලෙස එකල උගන්ඩාවේ පාලන බලය හිමිකර ගෙන සිටි ඉඩී අමින්, සිය රටේ සුළුතර ඉන්දියානුවන් නෙරපා හැරීමට ක්‍රියා කළා.

උගන්ඩාවේ තත්ත්වය අඩු වැඩි වශයෙන් කෙන්යාව සහ ටැන්සානියාවේ ද දක්නට ලැබුණු අතර, ඉන්දියානු ඩයස්පෝරාවේ සැලකිය යුතු කොටසක් නැඟෙනහිර අප්‍රිකාවෙන් ඉවත් ව ගියා. ඉන් වැඩි කොටසක් ඉන්දියාවට නැවත පැමිණියේ නැහැ. ඔවුන් එක්සත් ජනපදය, එක්සත් රාජධානිය සහ කැනඩාව වැනි රටවලට සංක්‍රමණය වුණා. රිෂී සුනක් ගේ පරපුර එක්සත් රාජධානියට පැමිණෙන්නේත් ඒ අයුරින්.

සිහින සැබෑ කරගත් පවුලක්

අමෙරිකානු සිහිනය ඔස්සේ පැමිණෙන සංක්‍රමණිකයන් මෙන් සුනක් පවුල පැමිණියේ බ්‍රිතාන්‍ය සිහිනය ඔස්සේ යි. ඔබ කොතැනක සිට පැමිණිය ද ඔබ වෙහෙස මහන්සි වී වැඩ කළහොත්, ඔබව නිවැරදි තැනට ගෙන යා හැකි විභවයක් එම දේශය සතු බව ඉන් අදහස් කෙරෙනවා. සුනක් ගේ පෞද්ගලික පවුල් ඉතිහාසය පුරා ඒ කැපවීම සහ අධිෂ්ඨානය දක්නට ලැබෙනවා.

සවුත්හැම්ටන් නගරයේ සුනක් පවුල සතු ඔසුසලක් තිබෙනවා – www.thenationalnews.com

 ඔහුගේ මාපියන් දෙදෙනා ම එක්සත් රාජධානියේ ඉතා හොඳ අධ්‍යාපනයක් ලැබූ අතර, ඔවුන් සිහින දුටු සෑම අවස්ථාවක් ම තමාට ලබා දීම උදෙසා කළ කැප කිරීම් රිෂී සුනක් සිහිපත් කර තිබෙනවා. එංගලන්තයේ පැරණිත ම සහ මිල අධික පොදු නේවාසික පාසලක් වන වින්චෙස්ටර් හි පෞද්ගලික අධ්‍යාපනය ලැබීමට තරම් රිෂී සුනක් වාසනාවන්ත වූයේ ඒ නිසා යි. සෑම සංක්‍රමණිකයකුට ම එම ආර්ථික ශක්තිය ළඟා කර ගැනීමට හැකි වන්නේ නැහැ.

 මූලික අධ්‍යාපනයෙන් පසු රිෂී සුනක් ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයෙන් දර්ශනය, ආර්ථික විද්‍යාව සහ දේශපාලන විද්‍යාව හැදැරූ අතර, උපාධිය ලබා ගත් පසු ආයෝජන බැංකු ක්ෂේත්‍රයට පිවිසුණා. ඉන්පසු MBA උපාධිය හැදෑරීම සඳහා එක්සත් ජනපදයේ ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාලයට ඇතුළත් වුණා.

“හවුස් ඔෆ් කොමන්ස්” හි ධනවතා

2009 දී රිෂී සුනක්, ඉන්දියානු ප්‍රකෝටිපතියකු වන එන්.ආර්.නාරායන මූර්ති ගේ දියණිය වන අක්ෂාතා මූර්ති සමඟ විවාහ වුණා. එන්.ආර් නාරායන මූර්ති යනු “Infosys” සමාගමේ නිර්මාතෘවරයා යි. ඔහු ඉන්දියාව් ධනවත් ම පුද්ගලයන් අතර සිටිනවා. පියා සතු ව්‍යාපාරයේ කොටස් නිසා අක්ෂාතා මූර්ති ද එක්සත් රාජධානියේ ධනවත් ම කාන්තාවක් බවට පත් වුණා. සුනක් සහ අක්ෂාතා ගේ ඒකාබද්ධ ධනය පවුම් මිලියන 730 ක් ලෙස වාර්තා වන අතර, එරට පාර්ලිමේන්තුවේ “හවුස් ඔෆ් කොමන්ස්” හි වාඩි වී සිටින ධනවත් ම මන්ත්‍රීවරයා බවට රිෂී සුනක් පත් වූ බවත් පැවසෙනවා.

රිෂී සුනක්, සිය බිරිය වන අක්ෂාතා මූර්ති සමඟ – www.bbc.com

රිෂී සුනක් ගේ දේශපාලන දිවියේ මූලික සන්ධිස්ථානය සනිටුහන් වන්නේ 2015 දී යි. ඔහු එම වර්ෂයේ දී කොන්සර්වේටිව් පක්ෂය වෙනුවෙන් යෝක්ෂයර් හි රිච්මන්ඩ් ප්‍රදේශයෙන් තේරී පත් වූ මන්ත්‍රීවරයා ලෙස පාර්ලිමේන්තුවට පැමිණියා. ඔහු ගේ දක්ෂතාව සහ පරිණතභාවය නිසා පක්ෂයේ වැදගත් නිල කිහිපයකට කෙටි කලකින් තේරී පත් වුණා.

හිටපු අගමැතිනී තෙරේසා මේ යටතේ ඔහු කනිෂ්ඨ අමාත්‍යවරයෙක් ලෙස කටයුතු කළ අතර, බෝරිස් ජොන්සන් ගේ ධූර කාලය අතරතුර කොන්සර්වේටිව් පක්ෂයේ බලපෑමක් කළ හැකි සාමාජිකයෙක් ලෙස ඉස්මතු වුණා. ඔහු යුරෝපා සංගමයෙන් එක්සත් රාජධානිය ඉවත් කර ගැනීමේ “බෝරිස් මෙහෙයුමට” අගනා සහයක් පළ කළ ආධාරකරුවෙක්.

සුනක් ගේ ආර්ථික මෙහෙයුම

2020 පෙබරවාරි මාසයේ දී එක්සත් රාජධානියේ වඩාත් වැදගත් ම කැබිනට් තනතුර වන චාන්සලර් ධූරයට රිෂී සුනක් පත් වූ අතර, ඒ වනවිට එක්සත් රාජධානිය අභියෝගාත්මක කාල පරිච්ඡේදයකට ඇතුළත් වෙමින් තිබුණා. සුනක් එම ධූරයට පත් වී සති කිහිපයක් ඇතුළත කොවිඩ්-19 වසංගත රැල්ලෙන් ගැලවීම සඳහා එක්සත් රාජධානිය “ලොක් ඩවුන්” කිරීමේ තීරණයට පැමිණීම ඊට හේතුව යි.

ඒ අනුව විශේෂිත අවස්ථාවක් යටතේ එරට ආර්ථිකය මෙහෙයවීමේ අභියෝගය ඔහුට පැවරුණා. ආදායම් මාර්ග ඇහිරෙමින් තිබූ එක්සත් රාජධානියේ ආර්ථිකය ස්ථාවර කිරීමේ අරමුණින් ඔහු පවුම් බිලියන 400 ක පිරිවැයක් සහිත සැලැස්මක් ක්‍රියාත්මක කළා. ෆර්ලෝ යෝජනා ක්‍රමය, ව්‍යාපාරික ණය යෝජනා ක්‍රම සහ අවන්හල්වල ආහාර ගැනීමේ දී වට්ටම් ලබා ගැනීමේ අවස්ථා එම සැලැස්මට ඇතුළත් වුණා.

බෝරිස් ගේ දේශපාලන මතවාද සඳහා අනගි සහයක් ලබාදුන් පක්ෂ සාමාජිකයෙක් ලෙස රිෂී සුනක් හැඳින්විය හැකියි – edition.cnn.com

ෆර්ලෝ යෝජනා ක්‍රමය යනු කොවිඩ්-19 නිසා රැකියා අවදානමට පත්වන කම්කරුවන් මිලියන 11.6 ක් සඳහා වැටුප් ගෙවීමට උපකාර වූ ක්‍රියාවලියක්. එම යෝජනා ක්‍රමය 2020 වර්ෂයේ මාර්තු පළමුවැනිදා සිට ක්‍රියාත්මක වූ අතර, 2020 සැප්තැම්බර් 30 වන දින අවසාන වුණා.

මෙම කාල පරාසයේ දී එක්සත් රාජධානිය කොවිඩ් වසංගතයෙන් උපරිම පීඩා වින්දා. එහෙත්, පවුම් බිලියන 70 ක් පමණ වටිනා ෆර්ලෝ යෝජනා ක්‍රමය නිසා කම්කරුවන් ගේ රැකියාව ලොක්ඩවුන් කාල පරිච්ඡේදය තුළ රඳවා ගැනීමට හැකි වුණා.

ආර්ථිකය පිළිබඳ ඔහු ගේ දැක්ම සාධනීය මට්ටමකින් පවතින බව පැවසෙනවා – edition.cnn.com

කොවිඩ්-19 හරහා එක්සත් රාජධානියේ ආර්ථිකය බිඳ නොවැටී පවත්වා ගැනීමේ වැඩි ගෞරවය රිෂී සුනක් හට ලැබිය යුතු වුණත්, ඔහු ගේ සැලැස්ම සඳහා රජයට විශාල පිරිවැයක් දැරීමට සිදු වුණා. නැවත එම මුදල් උපයා ගැනීමේ දී රජය දුෂ්කරතා වලටත් මුහුණ දුන්නා.

ට්‍රස් ගේ අවාසනාව, රිෂී ගේ වාසනාව

දේශපාලනය තුළ සාධනීය ගමනක් ආ රිෂී සුනක්ට බෝරිස් ජොන්සන් ඉල්ලා අස්වීමෙන් පසු එරට අගමැති වීමේ අවස්ථාවකට මඟ පෑදුණා. රටේ ආර්ථිකය හැසිරවීම සම්බන්ධයෙන් ඇති අත්දැකීම නිසාත්, වර්ධනය වෙමින් පවතින් ආර්ථික අර්බුදයට විසඳුම් සෙවීම වැදගත් ම අංගය වූ නිසාත්, අගමැති තනතුර සඳහා රිෂී සුනක්ට ඇති සුදුසුකම සම්බන්ධයෙන් කතිකාවතක් ගොඩනැඟුණා. කෙසේ නමුත්, සිය ජනප්‍රියත්වය කොන්සර්වේටිව් සාමාජිකයන් අතර නිසි අයුරින් ස්ථාපනය කිරීමට ඔහුට හැකි වුණේ නැහැ. එහි ප්‍රතිපලය ලෙස ලිස් ට්‍රස්, එරට අගමැතිනිය ලෙස තේරී පත් වුණා.

රිෂී සුනක් සිය ආධාරකරුවන් සමඟ – www.tribuneindia.com

ලිස් ට්‍රස් ගේ අර්බුදකාරී පාලනය නිසා පක්ෂය තුළ රිෂී සුනක් ගේ ජනප්‍රියත්වය පෙරට වඩා ඉස්මතු වෙමින් තිබුණා. ලිස් ට්‍රස් සහ ක්වාසි ක්වාටෙන්ග් එක්ව ඉදිරිපත් කළ ආර්ථික සැලැස්ම නිසා එක්සත් රාජධානියේ වෙළඳපොළ විශාල කැලඹීමකට ලක් වූ අතර, සුනක් එම සැලැස්ම මුල සිට ම විවේචනයට බඳුන් කළා. ට්‍රස් ගේ අරමුදල් නොලබන බදු කප්පාදුව මූල්‍ය වෙළෙඳපොළ භීතියට ලක් කරනු ඇති බව ඔහු කල් තියා ම අනතුරු ඇඟවූවා. අවසානයේ දී එය සත්‍යයක් වූයේ ලිස් ට්‍රස්ට සිය අගමැති ධූරය පවා අහිමි කරමින්.

 ලිස් ට්‍රස් ලබා ගත් අවස්ථාව නැවතත් තමා වෙතට ආකර්ෂණය කර ගැනීමේ පසුබිම රිෂී සුනක් ඉදිරියේ නිර්මාණය වූ බැවින්, කොන්සර්වේටිව් පක්ෂය තුළ තමාගේ ජනප්‍රියත්වය ස්ථාවර කර ගැනීමට ඔහු යළිත් උත්සහ කළා. දෙවන වර ඔහු සාර්ථක වූ අතර, එක්සත් රාජධානියේ ආසියාතික සම්භවයක් ඇති ප්‍රථම අගමැති ලෙස තේරී පත්වීමට රිෂී සුනක් සමත් වුණා.

 එක්සත් රාජධානියේ බොහෝ දෙනෙක් මේ වන විට ජිවන වියදම සමඟ අරගලයක යෙදෙමින් සිටිනවා. දවසින් දවස යුක්‍රේන-රුසියානු අර්බුදය උග්‍ර වෙමින් පවතින නිසා එරට බලශක්ති අර්බුදයක් ද නිර්මාණය වෙමින් තිබෙනවා. එබැවින්, එක්සත් රාජධානියට සාධනීය සහ ඉක්මන් ආර්ථික සැලැස්මක් අවශ්‍ය යි. රිෂී සුනක් හමුවේ දැන් ඇති විශාලත ම අභියෝගය වන්නේත් එය යි.  

කවරයේ ඡායාරූපය :news.sky.com
මූලාශ්‍ර:
edition.cnn.com
theconversation.com
www.bbc.com
www.outlookindia.com
commonslibrary.parliament.uk

Related Articles