Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

වසර 75කට පසු හිමෙන් මතු වූ යුවල

හිමෙන් ගැවසීගත් කඳු මුදුන් හා ධ්‍රැවාසන්න අයිස් තට්ටු සමහර දේ දීර්ඝ කාලීනව සඟවාගෙන සිටීමෙහි සමත්කම් දක්වනවා. විශේෂයෙන් මේ පෙදෙස් වල සංචාරය කරන්නට යන සමහර පුද්ගලයින් සදාකාලිකවම අයිස් තට්ටු යට වැළලී යනවා.

ගෝලීය උණුසුම වැඩිවීම සමග හෝ තාවකාලිකව මේ අයිස් තට්ටු දියවීමත් සමග ඒවාවලට යට වී තිබූ පුද්ගල මළසිරුරු වැනි දේ ලොවට නැවත නිරාවරණය වන අවස්ථා ඉතිහාසය පුරා වාර්තා වී තිබෙනවා. ශීතල දේශගුණය හේතුවෙන් මේවා සමහරක් වසර ගණනාවක්ම නරක් නොවී තිබෙනවා. මේ ආකාරයට වසර 75කට පෙර අතුරුදහන් වූ යුවලකගේ මළසිරුරු නැවත මතුවීමේ පුවතක් ඇල්ප්ස් කඳුවලින් පසුගිය දා වාර්තා වුණා.

අතීත කතාව

ස්විට්සලන්තයේ ඇල්ප්ස් කඳු අඩවියට ආසන්නව දිවිගෙවූ 40 හැවිරිදි මර්සෙලින් ඩුමොලින් හා ඔහුගේ බිරිඳ වන 37 වියැති ෆ්‍රොන්සීන් ඩුමොලින් දෙවන ලෝක යුධ සමයේ හෙවත් 1942 වසරේ අගෝස්තු මස 15 වැනිදා තමන් සතු ගව පට්ටියේ කිරි දෙවීම සඳහා සිය නිවසට මඳක් ඈතින් පිහිටා තිබූ තණ පිට්ටනිය වෙත ගියා. ග්‍රීෂ්මයේ අවසන් සමය වූවත් කඳුකර පෙදෙසක් වූ බැවින් මෙහි පැවතියේ ශීතල දේශගුණයක් වූ අතර ඒ තදාසන්නව තිබූ සන්ෆ්ලෙරොන් ග්ලැසියරය දෙසට ඔවුන් ගොස් තිබුණා.

ඩුමොලින් යුවල- edition.cnn.com

සාමාන්‍යයෙන් ඔවුන් නැවත පැමිණෙන වේලාව පසු වී බොහෝ වේලාවක් ගතවුණුමුත් නැවත නොපැමිණීම නිසා ඔවුන්ගේ නිවැසියන් ඔවුන් පිළිබඳ සොයන්නට පටන්ගත්තා. නමුත් ඔවුන් පිළිබඳව කිසිදු සටහනක් හමු වූයේ නැහැ. මේ යුවලට දරුවන් සත් දෙනෙක් සිටියා.

75 වසරකට පසු නැවත මතුවෙයි.

සන්ෆ්ලෙරොන් ග්ලැසියරය- swisseduc.ch

පසුකාලීනව මේ පෙදෙස සංචාරකයින් හා හිම ක්‍රීඩා කරන අයවලුන් අතර ප්‍රසිද්ධ වෙනවා. මේ නිසා විවිධ හෝටල මෙන්ම හිම ක්‍රීඩා පථයන් ද ඉදිවෙනවා. 2017 වසරේ සන්ෆ්ලෙරොන් ග්ලැසියරය අසල හිම ක්‍රීඩා පථයක නඩත්තු කටයුත්තක් කරමින් සිටි සේවකයෙකුට යමක් හිම තට්ටුවට පහළින් පවතිනු නිරීක්ෂණය වුණා. මේ පෙදෙස මුහුදු මට්ටමේ සිට මීටර 2,600ක් තරම් උස් උස් වූ ප්‍රදේශයක් වූ අතර කාලයෙන් කාලයට හිම තට්ටුවේ වෙනස් වීමක් සමග තැනින් තැන ගල් කැබලි පෑදීම වැනි දේ සුලබ දසුනක්. මේ නිසා එක වරම එම සේවකයා තමන්ට පෙනෙන්නේ එසේ මතු වූ ගල් තලාවක් යැයි නිර්ණය කළත් එය එසේ නොවන බැව් ඔහුට වැටහුණා.

සිරුරු- theindependentbd.com/AFP

එය ආසන්නයට ගොස් නිරීක්ෂණය කරන්නට ඔහු තීරණය කළ අතර මුලින්ම ඔහුගේ නෙත ගැටෙන්නේ බෑගයක්, පැරණි ඔරලෝසුවක්, වීදුරු බෝතලයක්, හා බූට් යුගලයක් වැනි දේ යි. මේ සියල්ලම දශක ගණනාවක් පැරණි ඒවා බැව් වටහාගන්නට ඔහුට වැඩි වේලාවක් ගතවන්නේ නැහැ. වඩා හොඳින් නිරීක්ෂණය කළ විට දෙවන ලෝක යුධ සමයට අයත් ඇඳුම් ඇඟලාගෙන එකිනෙකාට සමීප වී මියගොස් සිටි යුවලක් ඔහු හඳුනාගන්නවා. මේ සියළු දේ අයිස් නිසා ආරක්ෂා වී තිබුණා.

ඩුමොලින් යුවලගේ බඩුබාහිරාදිය- ripleys.com

දූ දරුවන්ට මවුපියන් හමුවෙයි

ශීතලට ඝණව තිබූ මෘතශරීර දෙක පිළිබඳව සේවකයා විසින් වහාම බලධාරීන් දැනුවත් කරන ලද අතර වහාම ඒවා ඇල්ප්ස් කඳු පන්තියෙන් පර්යේෂණ සඳහා ගෙනයනවා. ඇඟලාගෙන සිටි ඇඳුම් හා අනෙකුත් දේ වලින් මේ දෙදෙනා මීට වසර 75කට පෙර මියගිය ඩුමොලින් යුවල බැව් තහවුරු වෙනවා. මෙය දැනුම් දීමට ඔවුන්ගේ ඥාතීන් කිසිවෙකු සිටීදැයි සොයා බැලුණු අතර එහි දී ඔවුන්ගේ බාලම දියණිය 79 හැවිරිදිවත්, තවත් දරුවෙකුත් වයෝවෘධව තවමත් දිවි ගෙවමින් සිටින බැව් සොයාගැනීමට හැකි වුණා.

මොවුන් දෙදෙනා වහාම දැනුවත් කරනු ලැබූ අතර ඔවුන් දෙදෙනා මෘතදේහයන් පරීක්ෂා කර බලා ඒ තමන්ගේ දෙමව්පියන්මයැ යි තහවුරු කරනු ලැබුවා. මොවුන් දෙදෙනා අතරින් වැඩිමහල් දරුවා සිය දෙමවුපියන් අතුරුදහන් වන විට 11 වියැති වූ අතර නැවත සිරුරු සොයාගන්නා විට අවුරුදු 86ක් තරම් වයෝවෘධව සිටියත් එම දිනයේ වූ සිදුවීම් හොඳින් ආවර්ජනය කළ හැකි මට්ටමක සිටියා.

හමුවූ බෝතලය- ripleys.com

1942 වසරේ අගෝස්තු මස 15 වන දා පල්ලියේ දේව මෙහෙයට සහභාගී වූ ඩුමොලින් යුවල ඉන් අනතුරුව සිය හරක් පට්ටිය බැලීමට පිටත් වී තිබෙනවා. මොවුන්ගේ ගව පට්ටිය නිවසෙන් ඈත ආරක්ෂිත ස්ථානයක රඳවා තබා තිබී ඇති අතර එහි නැවතීමේ පහසුකම් තිබූ නිසා එහි ගොස් පසුදින නැවත පැමිණීමේ බලාපොරොත්තුවෙන් ඔවුන් මේ ගමන ගොස් තිබෙනවා.  

නිවසේ සිට ගවපට්ටියට ඇති ආසන්නම මාර්ගය වැටී තිබී තිබෙන්නේ සන්ෆ්ලෙරොන් ග්ලැසියරයේ ඉවුරක් ඔස්සේ යි. තෙත් කාලගුණයක දී ලිස්සනසුළු බවට පත් වුවත් එදින හොඳ දීප්තිමත් දවසක් වූ නිසා මෙම යුවල ගවපට්ටිය කරා යන්නට මේ මාර්ගය තෝරා ගෙන තිබෙනවා. ඔවුන් පිටත් වූ පසු හදිසියේම වර්ෂාවක් ආරම්භ වී ඇති අතර එහි දී සිදුවූ අනතුරකින් මේ මරණ සිදු වී ඇතැයි සැලකෙනවා.

මේ වන විට ඔවුන්ගේ පුත්‍රයින් පස්දෙනා හා දියණියන් දෙදෙනා වයස 2 හා 13 අතර වයස් වල පසුවූ අතර ඥාතීන් හා අසල්වැසියන් ඔවුන් හදාවඩාගෙන තිබෙනවා. මොවුන් වයසෙන් මුහුකුරා ගිය විට නොනවත්වාම සිය මව්පියන්ට සිදුවූයේ කුමක් ද කියා සොයා ඇති මුත් ඔවුනට කිසිදු හෝඩුවාවක් හමු වී නැහැ.

සමාදානයේ සැතපෙයි

මරණ පරීක්ෂණ සිදුකිරීමෙන් අනතුරුව භූමදානය කිරීම සඳහා සිරුරු දෙක නිදහස් කරනු ලැබුවා. ජීවතුන් අතර සිටින ඔවුන්ගේ දියණුයන් දෙදෙනා හා ඔවුන්ගේත් දරු මුණුපුරන් සිරුරු භාරගත් අතර 2017 ජූලි මස 22 දින ඉහළ අවමංගල්‍යයක් සූදානම් කරනු ලැබුවා. මරණයට පත්වීමට පෙර අවසන් වතාවට ඔවුන් ගිය දේවස්ථානයේදීම මෙය සූදානම් කර තිබූ අතර අවසානයේ මරනයෙන් වසර 75 කට පසුව ඔවුන් දෙදෙනාගේ සිරුරු සමාදානයේ සතපවනු ලැබුවා.

අවමංගල්‍යය- EPA Photo

මේ සිද්ධියේදී සිය දෙමව්පියන් තරුණ ස්වරූපයෙන් ඔවුන්ගේ වයෝවෘධ දරුවන්ට පියවි ඇසින්ම දැකගැනීමට ලැබීම විශේෂ කාරණාවක් වෙනවා.  සිය දෙමව්පියන් නැවත සොයාගැනීමත් සමග තමන්ට දැන් සැනසිල්ලේ මෙලොවින් සමුගත හැකියයි දරුවන් පවසනවා.

කවරයේ පින්තූරය – AFP

Related Articles