Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

තායි රටේ “ගෑණු ළමයි”

තායිලන්තය යනු ලිංගික සුව සොයා ඇදෙන සංචාරකයින්ගේ පාරාදීසයකි. තායිලන්තයේ කාන්තාවන් මෙන්ම කාන්තාවන් පරිදිම හැඩට රූපකල්‍යාණය ඔප් නංවාගත් “ලේඩිබෝයිස්” නමින් හැඳින්වෙන තුන්වන ලිංගයක පිරිසක් ද වෙති. ලිංගික සුව විකිණෙන තායි වීදිවල ඔවුන් බහුල ය.  පුරුෂයින්ව සිට පසුව ස්ත්‍රීන් විදියට අඳින පළඳින, හැසිරෙන, සහ රුචිකත්වයන් දක්වන සංක්‍රාන්ති ලිංගික පිරිස් ද, සමලිංගික පුරුෂයින් ද වැඩි වශයෙන් තායි සංචාරක ප්‍රදේශ ආශ්‍රිතව සිටිති. අනෙක් රටවලට සාපේක්ෂව තායිලන්තයේ ස්ත්‍රීන් ලෙස හැසිරෙන මොවුන් වැඩි ප්‍රමාණයක් සිටිති. මෙය තායිලන්තයේ සංචාරක පාරාදීසයන් ආශ්‍රිතව මෙන්ම සමාජයේ සෑම ස්ථරයකම පාහේ දැකිය හැකි දෙයකි. එනම් කලා ක්ෂේත්‍රවල, රූපලාවන්‍ය ක්ෂේත්‍රවල මෙන්ම දේශපාලනය වැනි දේට ද මේ කාන්තාවන් පැමිණ තිබේ.

තායි නිකැළැල් සංස්කෘතිය

යුරෝපයේ වික්ටෝරියා අධිරාජිනියගේ කාලයේ දී ස්ත්‍රී-පුරුෂ භාවය සහ විවාහය මූලික වූ තදබල මතිමතාන්තර ලොව වටා පැතිරී ගියේ ය. 1950 ගණන් වන තෙක්ම එංගලන්තයේ තුන්වන ලිංගයකට අයත්, හෝ වෙනත් ලිංගික රුචිකත්වයන් සහිත පුද්ගලයින් විවිධ අඩන්තේට්ටම්වලට ලක් විය. පරිගණක තාක්ෂණයේ පියා වූ එංගලන්ත විද්‍යාඥ ඇලන් ටියුරින්ට පවා 1950 වර්ෂය ආසන්නයේ දී සමලිංගික සම්බන්ධතාවයක් පවත්වාගැනීමේ වරද පිට දඩුවම් නියම විය.

තායිලන්තය කිසිදාක යටත් විජිතයක්ව නොතිබූ රටකි. ලෝක දේශපාලන පෙරළි අනුව යම් යම් එකඟතා තිබුණත්, තායිලන්තය කිසිදිනෙක යුරෝපීය ජාතියක් යටතේ සම්පූර්ණයෙන්ම පාලනය වී නොමැත. එබැවින් 18-19 වන සියවස්වල යුරෝපීය මතිමතාන්තරවලට අනුකූලව ස්ත්‍රී පුරුෂ භාවයන් සහ විවාහ කටයුතු ගැන තදබල යුරෝපීය නීති රීති තායිලන්තයට ළඟා වූයේ සෙමිනි. එබැවින් එදා පටන්ම තායි සමාජයේ යම් කොටසක් සංක්‍රාන්ති ලිංගික පුද්ගලයින් සිටි අතර, එය ඒ තායි සමාජයට අමුතු මැජික් එකක් බවට පත් වූයේ නැත. මෙම සංස්කෘතිය තුළ ඔවුන්ව “කැතොයි” යනුවෙන් හැඳින්වුණි. සරලවම කිවහොත් පෙර සිට පැවත එන තායි සංස්කෘතිය තුළ කැතොයි, නැතහොත් පුරුෂයින් ස්ත්‍රීන් පරිදි හැසිරීම, ඔවුන්ට ලොකු ගැටළුවක් වූයේ නැත.

තායි කැතොයි ළඳුන් (maytermthailand.org)

තායි මිනිසුනගේ හැඩහුරුකම

යුරෝපීය ජාතික පිරිමියෙකු ගැහැණියක සේ වෙස්වලා ගතහොත් එය පහසුවෙන් සඟවාලීමට නොහැකි වේ. පුළුල් උරහිස්, උසින් වැඩි සිරුර, ශක්තිමත් අත පය ආදිය මෙන්ම ගමන් විලාශය, මුහුණුවර ආදියෙන් ද යුරෝපීය සහ අමෙරිකානු පිරිමින් පහසුවෙන් ගැහැනුන්ගෙන් වෙන්කරගත හැකි ය. එහෙත් තායි පිරිමි සාපේක්ශව කාන්තාවන් පරිදිම සියුමැලිය. මුහුණින් පියකරු ය. ඔවුන්ගේ ද කොන්ඩය ස්ත්‍රීන්ගේ පරිදි වැවේ. රූපාලංකරන ද්‍රව්‍ය භාවිතයෙන් සැබැවින්ම විටෙක සාමාන්‍ය ස්ත්‍රින්ටත් වඩා අලංකාර ආකාරයට තායි කැතොයි ළඳුන් හැඩට දිස්වේ. තායි ජාතික පිරිමින්ගේ මෙම මටසිලුටු ස්වභාවය නිසා ඔවුන්ට පහසුවෙන්ම කැතොයි ලෙස පෙනී සිටීමට අවකාශ ලැබී තිබේ.

වියට්නාම් යුද්ධය සහ ලිංගික වෙළඳාම

වියට්නාම යුද්ධයේ දී ඇමරිකානු හමුදාවන් තායි කාන්තාවන්ගේ ඇසුරට නැඹුරු විය. පසු කලෙක තායිලන්තය ප්‍රකට ලිංගික පාරාදීසයක් වීමට ද මෙය එක් ප්‍රබල හේතුවක් විය. එවිට හොර රහසේ ඇමරිකානු හමුදාවට තායි ගැහැනුන්ගේ කම් සුව විකිණීම ද ජනප්‍රිය විය. පෙර කි පරිදි තායි පිරිමින් ද ඇතැමෙක් ස්ත්‍රී ලාලිත්‍යයෙන් යුතු වූ විට ඔවුන් ද කෙසේ හෝ වෙස් ගන්වා ඇමරිකන් හමුදාවේ ලිංගික මනදොළ සපුරාලීම සඳහා යැවී ය. අමෙරිකාවෙන් බොහෝ ඈත, නිවර්තන රටක අපහසුවෙන් සිටින ඇමරිකානු සෙබලුන්ට කැතොයි ළඳුන් හා ආශ්‍රය එතරම් අපුල නොවන්නට ඇත.

එය පසුකලෙක තායි බලා එන සංචාරකයින්ගේ ද සිත් ගත් ලිංගික විනෝද ක්‍රමයක් බවට පත් වී ය. යුරෝපයේ සිට පෙරදිග එන සංචාරකයින්ගේ එක් අරමුණක් වන්නේ වෙනස් වෙනස් අත්දැකීම් ලබා ගැනීම ය. එබැවින් මෙම කැතොයි අත්දැකීම ද වරක් හෝ විඳගැනීමට ඇතැම් සංචාරකයන් පෙළඹි සිටියි.

රූ රැජින තරගයකට සහභාගි වූ තායි කැතොයි කතක්  (maytermthailand.org)

ලාබ පහසු සැත්කම්

තායිලන්තය රූපලාවන්‍ය සැත්කම් ආදියට ද ජනප්‍රිය, ලාබදායී තැනකි. කාන්තාවක් ලෙස දිස්වීමට අවශ්‍ය පියයුරු සකසා ගැනීම, මුහුණු සකසාගැනීම, රෝම ඉවත්කරගැනීම ආදී කාර්යයන් තායිලන්තයේ දී සාපේක්ශව අඩු මිලට පහසුවෙන්ම කරගත හැකි ය. එම නිසා තායි රටේ දී ගැහැනු ලෙස පෙනී සිටින්නට අවශ්‍ය ගැටවරයින්ට හෝමෝන ආදිය ලබාගැනීම මෙන්ම, අවශ්‍ය නම් ඉන්ද්‍රිය වෙනස්කම් ද කරගන්නට අවකාශ ලැබී තිබේ.

බුදු දහම

බුදුදහම තායිලන්තයේ 95%කගේම ප්‍රධාන ආගම ය. බෞද්ධ සංස්කෘතිය අනුව කුමන ලිංගික නැමියාවක් දක්වන අයෙකුට වුව ද ඒ ගැන සැලකීමකින් තොරව කරුණාව මෛත්‍රිය පැතිරවිය හැකි ය. සියලු සත්ත්වයින්ට මෙත් වැඩීමට කියාදෙන බෞද්ධ ආගම අනුව යමෙක් වැරදි තැනක උප්පත්තිය ලබන්නට පෙර ආත්මභවවල කරන ලද අකුශල කර්මයන් ද හේතු වන බව කියැවේ. එබැවින් එවැනි යම් වෙනස්කම් ඇතිව සමාජයේ සිටින අයට සත්‍ය බෞද්ධ සමාජයක දී ගැහැටක්, හිරිහැරයක් වන්නට ඉඩක් නැත.

දෙමාපිය බලපෑම

තායිලන්ත සංස්කෘතිය තුළ යම් පිරිමි දරුවෙකු ගැහැනු දරුවෙකු ආකාරයෙන් හැඩ ගැසීම එම දෙමාපියන්ට බොහෝ විට විශාල ගැටලුවක් නොවේ. එය ඔවුන්ට සමලිංගිකත්වය අනුමත කරන බටහිර සමාජවලටත් වඩා සාමාන්‍ය වූ දෙයකි. දොස්තර අනුමැතියකින් තොරව අපරික්ෂාකාරීව හෝමෝන ආදිය ලබාගන්නට යෞවන අවදියේම සමහර පිරිමි දරුවන් පෙළඹේ. ඉන් පසු ඔවුන් කාන්තාවන් සේ සැරසී හැසිරෙන්නට පටන් ගතහොත් ඒ සදහා නිවෙස්වලින් තදබල ප්‍රතිරෝධයක් නොදැක්වෙන බව තායි කැතොයි ළඳුන් ඇතිවීම ගැන අධ්‍යයනය කළ අයවලුන් පවසති.

bemytravelmuse.com

පිළිගැනීම

කෙසේ වෙතත් තායිලන්තයේ බොහෝ කැතොයි ළඳුන් ජනතාව පිනවීමේ වැඩ කටයුතුවල නිරත වී සිටී. තායිලන්තයේ කැතොයි ළඳුන් බොහෝ සිටිය ද ඔවුන්ට නීත්‍යානුකූල පිළිගැනීමක් ලැබෙන අවස්ථා අඩු ය. තායිලන්තයේ හමුදා සේවය අනිවාර්යය වන අතර එහිදී කැතොයි පුද්ගලයින් මානසික රෝගීන් ලෙස වර්ග කර ඉවත දමනු ලැබේ. ඉන් පසු වෙනත් ඉහළ රැකියාවක් සොයාගන්නට මොවුනට නොහැකි ය. කැතොයි පුද්ගලයින් සාමාන්‍යකරණයට ලක් වී ඇතත් ඔවුන්ට සාමාන්‍ය පුද්ගලයින් පරිදි රැකියාවල නිරත වීමට තවමත් තායිලන්තයේ දී බාධාවන් පවතී.

තායි කැතොයි ජිවන තත්ත්වය වැඩිදියුණු කරගැනීම

තායිලන්තයේ කැතොයි ළඳුන් සංක්‍රාන්ති ලිංගිකයින් සඳහා වන ලෝක රූ රැජින තරගවලින් ද ජයග්‍රහණ අත්පත් කරගෙන තිබේ. තායිලන්තයේ රූපලාවන්‍ය සහ කලා ක්ෂේත්‍රවල ද ලේඩිබෝයිස්ලා ඉහළ තැන්වල සිටී. තායිලන්තයට අමතරව පිලිපීනය සහ බ්‍රසීලයේ ද මොවුන් සමාජයේම අංගයක් වන තරමට ජනප්‍රිය වී තිබේ. කෙසේ වෙතත් කැමති පුද්ගලයෙකුට තමුන්ගේ ලිංගික ස්වරූපය කැමති අයුරින් නිරූපනය කිරීමට අයිතියක් ඇත.

සංචාරකයින් මේ නියමම ස්ත්‍රීන්යැ යි කැතොයි ළඳුන්ට රැවටුණු අවස්ථා අඩු නැත. සමලිංගික චර්යාවන්, සහ සංක්‍රාන්ති ලිංගික ස්වභාවයන් දැන් දැන් ලොව පුරා පිළිගැනීමට ලක්වෙමින් පවතී. යමෙකුගේ ලිංගික චර්යාව, ඔහුගේ ලිංගික නැමියාව අතිශය පුද්ගලික තීරණයකි. එයට යම් තරමකට හෝ සැලකීමක් තායි සමාජයේ දී ලැබී තිබේ. 

Cover Image සමාජ ශාලාවක සිටින සුරූපී  තායි කැතොයි ලඳක්. (www.newyorker.com)

Related Articles