ආර්ථිකයටත් රතු එළි දල්වන ජපානයේ වයස්ගත ජනගහනය

ශ්‍රී ලංකාව මුහුණ දෙන ආර්ථික අර්බුදයත් සමඟ බොහෝ ශ්‍රී ලාංකිකයන් විදේශ රැකියාවක නිරත වීම කෙරෙහි උනන්දුවක් දක්වනවා. ඒ සමඟ ම විදේශ රැකියාවක නිරත වීමේ ඉඩ ප්‍රස්තාව ලබාදෙන රටවල් කිහිපයක් වෙත ශ්‍රී ලාංකිකයන් ගේ වැඩි අවධානය යොමු වී තිබෙනවා. ඒ රටවල් අතුරින් මේ දවස්වල වැඩියෙන් ම කතාබහට ලක්වන රටක් තමයි ජපානය. ලෝකයේ විශාලත ම ආර්ථිකයක් හිමි රටවල් පහෙන් එකක් වන ජපානය, ඕනෑම ක්ෂේත්‍රයක් සඳහා රැකියා අවස්ථා තිබෙන රාජ්‍යයක් ලෙස හැඳින්විය හැකි යි. නමුත්, ඒ සෑම ක්ෂේත්‍රයක් ම විදෙස් ශ්‍රමිකයන් සඳහා පහසුවෙන් විවෘත බව මින් අදහස් වන්නේ නැහැ.

ජපානය වසර කිහිපයක පටන් සමාජීය අර්බුදයකට මුහුණ දෙමින් සිටිනවා. ඒ අර්බුදය දැන් රැකියා වෙළෙඳපොළ හරහා ඔවුන් ගේ ආර්ථිකයටත් රතු එළි දල්වමින් සිටිනවා. උපත් සංඛ්‍යාවේ වේගවත් අඩුවීම සමඟ තම ස්වභාවික ජනගහනයේ විශාල පරිහානියක් දකිමින් සිටින රාජ්‍යයක් ලෙස ජපානය අද හඳුනා ගැනෙනවා. නුදුරු අනාගතයේ දී ශ්‍රම බළකාය විශාල වශයෙන් දුර්වල වී සුබසාධනය වැඩියෙන් අවශ්‍ය වන වැඩිහිටි ජනගහනයක් ජපානය තුළ නිර්මාණය වීමේ අවදානමත් ඒ සමඟ ම මතු වේවි.  ඔවුන්ට තම ප්‍රතිපත්ති ගැන ආපසු සිතීමට සිදු වෙන කාලයක් තමයි දැන් එළඹෙමින් තිබෙන්නේ.

ජපානයේ තරුණ තරුණියන් අතර වෘත්තීය මට්ටමින් පවත්නා තරඟකාරීත්වය සහ ආර්ථික අනාරක්ෂිතභාවය දැන් සමාජ අර්බුදයක් බවට පත් වෙලා – www.usatoday.com 

බිය උපදවන දත්ත හා සංඛ්‍යා

ජපාන රජය නිකුත් කළ දත්ත වලට අනුව සියවසකට වැඩි කාලයක් තුළ ජපානයේ සිදු වූ අඩුම උපත් සංඛ්‍යාව 2021 දී වාර්තා වුණා. ජනගහනය තුළ සිදුවන අඛණ්ඩ පරිහානයේ තරම ගැන නැවතත් කළ සිහි කැඳවීමක් ලෙස මෙම වාර්තා හැඳින්විය හැකි යි. ජපාන දේශපාලනයේ සහ ප්‍රතිපත්ති තුළ දීර්ඝ කාලයක පටන් සාකච්ඡාවට බඳුන් වූ ගැටලුවක් වුවත්, තවමත් එරට ජනගහන පරිහානියට නිශ්චිත විසඳුමක් ලබා දීමට හැකියාවක් ලැබී නැහැ.

පසුගිය වසර තුළ ජපානයේ උපත් 811,604 ක් සහ මරණ 1,439,809 ක් වූ බව වාර්තා වෙනවා. ඉන් අදහස් වන්නේ ජපානයේ ජනගහනය 628,205 කින් පහත වැටී ඇති බව යි. ඒ අනුව මෑත ඉතිහාසය තුළ ජපානය මුහුණ දුන් විශාලත ම ස්වභාවික ජනගහන පරිහානිය මෙය බව නිගමනය කෙරුණා. උපත් ගණන අඩුවීම පෙර වසරට වඩා තවදුරටත් සිදුවන අතර, කාන්තාවකට සිය ජීවිත කාලය තුළ උපත ලබා දිය හැකි දරුවන් සංඛ්‍යාවේ සාමාන්‍ය අගය හෙවත්, සපලතා අනුපාතය අඛණ්ඩ ව හයවන වසර සඳහාත් 1.3 දක්වා අඩු වී තිබෙනවා. එම අනුපාතය මෙතෙක් වාර්තා වූ සිව්වන අඩු ම අගය යි. 

මෙම අවදානමට මුහුණ දෙන්නේ ජපානය පමණක් නොවෙයි – www.weforum.org 

ලෝක බැංකුව 2020 දී ප්‍රසිද්ධ කළ ගෝලීය දත්ත ප්‍රකාශයට අනුව ලෝකයේ සපලතා අනුපාතය දැක්වෙන්නේ කාන්තාවකට දරු උපත් 2.4 ක් ලෙස යි. එම අගය එක් එක් රටවල සපලතා අනුපාතය සමඟ සංසන්දනය කිරීමේ දී ජපානයටත් වඩා අඩු අගයක් වාර්තා කරන රටවල් ඇති බව හෙළිදරව් වුණා. නමුත්, දිනෙන් දින වේගයෙන් දියුණු වන රාජ්‍යයක් ලෙස මානව සම්පතේ පිරිහීම ජපානයට උග්‍ර ව දැනෙමින් තිබෙනවා. ගැටලුව වන්නේ වාර්ෂික ව ඔවුන් ගේ ජනගහන දත්ත බිය උපදවන ආකාරයෙන් තවදුරටත් අර්බුදය කරා ගමන් කරමින් සිටින බව පෙන්නුම් කිරීම යි.

දියුණුව තුළින් ම අහිමි වූ නිදහස

ජපානයේ ජනගහනයෙන් 30% කට ආසන්න ප්‍රමාණයක් වයස අවුරුදු 65 ඉක්මවා ගොස් තිබෙනවා. විශ්‍රාම සුවය විඳිය යුතු අවධියට ඇතුළු වන පුද්ගලයන් ගණන වැඩි වෙද්දී ඒ හිඟය පිරවිය හැකි අනාගත තරුණ පරපුරක් ජපානය තුළ ප්‍රමාණවත් පරිදි බිහි වන්නේ නැහැ. ආයු අපේක්ෂාව වැඩි වීමත්, වයස්ගත ජනගහනයේ වර්ධනය පිටුපස තිබෙන ගාමක බලවේගයක් ලෙස සැලකෙනවා. වසර පනහකට පමණ පෙර ජපානයේ ආයු අපේක්ෂාව අවුරුදු 72 ක් වූ අතර, වර්තමානය වනවිට ආයු අපේක්ෂාව වසර 84 දක්වා ඉහළ ගොස් තිබෙනවා.  මෙම අර්බුදය පසුගිය කොවිඩ්-19 වසංගත සමයේ දී ප්‍රායෝගික ව දැනුණු අතර, ජනගහන පරිහානියේ අනාගත අවදානම ගැන කනස්සල්ලක් ඇති කිරීමටත් එය හේතු වුණා.

රැකියාව සහ පෞද්ගලික ජීවිතයේ සමබරතාව බැරෑරුම් ලෙස ගිලිහී ගිය රටවල් – www.statista.com 

මෙවැනි අර්බුදයක් ජපානය තුළ නිර්මාණය වුණේ කෙසේ ද? විශේෂඥයන් උපත් අනුපාතයේ පහත වැටීම සාධක කිහිපයක් ඔස්සේ පැහැදිලි කර ගැනීමට උත්සහ කර තිබෙනවා. 

ජීවන රටාව වෙනස් වීම, විවාහය හැකිතාක් ප්‍රමාද කිරීමට උත්සහ දැරීම හෝ විවාහ නොවී සිටීමට තීරණය කිරීම, තරුණ පරම්පරාවේ ආර්ථික අනාරක්ෂිතභාවය, ඒ අතරින් ප්‍රමුඛ යි. පිරිමි පාර්ශවය වඩාත් හොඳ රැකියා ලබා ගැනීමට අරගල කරන අතර, විවාහය තවත් එක් අමතර වගකීමක් හෝ පීඩනයක් ලෙස සලකා විවාහ නොවී සිටීමටත් කටයුතු කරනවා. ජපානයේ මිනිසුන්ට විවාහයෙන් පිටත දරුවන් සිටින්නේ ද කලාතුරකින්. කොතරම් නවීන වුණත්, සාම්ප්‍රදායික සමාජයේ මතිමතාන්තර තවමත් නූතන ජපන් සමාජය තුළ හොල්මන් කරමින් සිටිනවා. ඒ නිසා ම විවාහ සංකල්පයට අකමැති තරුණ තරුණියන් දරුවන්ට කැමති වුණත්, ඒ සඳහා විකල්ප ක්‍රම සමාජය තුළින් තවමත් නිසියාකාරයෙන් ඉස්මතු වී නැහැ.

පීඩනයක් වූ මාතෘත්වය

 ස්ත්‍රී පාර්ශවය ද පසුගිය දශක කිහිපය තුළ උසස් අධ්‍යාපනය කෙරෙහි වැඩි උනන්දුවක් දක්වමින් තරගකාරී රැකියා වෙළාඳපොළේ තීරණාත්මක සාධකයක් බවට පත් වූ අතර, ජපාන ආර්ථිකයට එම ප්‍රවණතාව මහඟු පිටුවහලක් වුණා. ඊට ප්‍රතිඋපකාරයක් වශයෙන් රැකියාව සහ පෞද්ගලික ජීවිතය සමබර ව පවත්වා ගෙන යෑමේ ආර්ථික නිදහසක් ජපානය තුළ ගොඩ නැඟුණේ නැහැ. ළමයින් වෙනුවෙන් පවත්වා ගෙන යන දිවා සුරැකුම් මධ්‍යස්ථානවල මිල ගණන් අදටත් ජපාන මවකට අභියෝගාත්මක ලෙසින් පැවතීම ඊට කදිම උදාහරණයක්. පිරිමි සහකරුවාට සාපේක්ෂ ව ගැහැනිය ගෘහාශ්‍රිත ජීවිත‍යේ දී වැඩියෙන් ශ්‍රම දායකත්වයක් ලබා දිය යුතු යි යන විශ්වාසයට තවමත් එරට සමාජයේ වලංගුභාවයක් තිබෙන නිසා කාන්තාවන් සිතාමතා ම මාතෘත්වයෙන් ඉවත් වී වෘත්තීය ඉලක්ක වෙත අවධානය යොමු කරනවා.

ජපන් සමාජයේ විරුද්ධ ලිංගික ආකර්ෂණයේ සහ ලිංගික ජීවිතයේත් ගැටලු තිබෙනවා – toyokeizai.net 

ලිංගික ආසාවක් නොමැති සමාජයක්..?

ආර්ථික ගැටලු සහ තරගකාරීත්වය තුළින් අහිමි වන පුද්ගලික නිදහස හැරුණු කොට ජපාන තරුණ තරුණියන් එකිනෙකා සමඟ සබඳතා පවත්වා ගෙන යෑමේ දුර්වලතාවක් පෙන්නුම් කරනවා. සමීක්ෂණයකට අනුව වයස අවුරුදු 18-34 අතර පසුවන අවිවාහක පුරුෂයන් ගෙන් 70% ක් සහ ස්ත්‍රීන් ගෙන් 60% ක් පමණ ප්‍රේම සබඳතාවකට ඇතුළු වී නැහැ. විරුද්ධ ලිංගික ආකර්ෂණයෙත් ගැටලු තිබෙන බව මින් පෙනී යනවා. මිනිසුන් අතර පවතින සමාජ වාතාවරණය වටහා ගැනීමේ දුර්වලතා හෝ වටහා ගැනීමේ නොහැකියාව ගැටලුවලට හේතුව බව පැවසෙනවා.

කිසිදු ලිංගික අත්දැකීමක් නොමැති ව හෝ ලිංගික ව හැසිරීමේ ආසාවක් නොමැති ව විවාහ දිවියට ඇතුළත් වන බහුතරයක් ද ජපානයේ සිටිනවා. 2017 දී සිදු කළ එක්තරා සමීක්ෂණයකට අනුව පුරුෂයන් ගෙන් 42% ක් සහ ස්ත්‍රීන් ගෙන් 44.2% ක් තමාට කිසිදු ලිංගික අත්දැකීමක් නොමැති බව පිළිගෙන තිබෙනවා. එමෙන්ම, විවාහ දිවියට ඇතුළත් වූ පසුත් මසකට වඩා වැඩි කාලයක් ලිංගික ව එක් නොවූ අඹු සැමියන් ගේ ප්‍රතිශතය 50% ක් පමණ වෙනවා.

2015 ට සාපේක්ෂ ව 2045 දී වයස අවුරුදු 75 හෝ ඊට වැඩි මිනිසුන් ගේ ගහණයේ වර්ධනය – www.nippon.com 

ඔවුන් ගෙන් බහුතරයකට නුදුරු අනාගතයේ දී හෝ සිය ලිංගික ජීවිතය ගැන සිතා බැලීමේ අවශ්‍යතාවක් ද තිබී නැහැ. ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවය ම වෘත්තීය ජීවිතය වෙනුවෙන් අධික වේලාවක් කැප කිරීම, එකිනෙකා අතර නිසි සන්නිවේදනයක් නොමැතිකම වැනි තවත් බොහෝ සාධක මත ලිංගිකත්වයට ඇති කැමැත්ත ජපන් ජාතිකයන් ගෙන් ඈත් වන අවදානමක් මතු වී තිබෙනවා. එසේ නම්, ජනගහනයේ පරිහානිය අවම කිරීම සඳහා විවාහ දිවියට ඇතුළත් වන ප්‍රතිශතය වැඩි වීමෙන් ද පලක් වන්නේ නැහැ.

කාන්තාවන් ගෙන් 22% ක් පමණ ලිංගිකත්වය කරදරකාරී හැඟීමක් ලෙස සලකන අතර, පිරිමින් ගෙන් 35.2% ක් රැකියාවෙන් එල්ල වන පීඩනය හමුවේ ලිංගික ජීවිතය සඳහා වේලාවක් වෙන් කිරීම වෙහෙසකාරී දෙයක් බව පවස යි. 40 ගණන් වල සිටින පුද්ගලයන් අතර ලිංගිකත්වය විරහිත විවාහවල ඉහළ ම අනුපාතය ඇති බවත් හෙළි වී තිබෙනවා. මීට අමතරව, ලිංගික ජීවිතයක් නොමැති විවාහ තුළ සිටින මිනිසුන් ලිංගික ක්‍රියා සහ මානසිකත්වය සමඟ බැඳුණු සංකූලතා ගැනත් වාර්තා කරනවා.

රැකියා සොයන නව උපාධිධාරීන් ආයතනයක අනුහුරු වැඩසටහනකට සහභාගී වෙමින් – enews.com.ng 

අවදානම සහ විසඳුම්

“වයස්ගත වීම” ශ්‍රම බළකායෙන් ඉවත් වන මිනිසුන් ගණන ගැන අවබෝධයක් ලබාගත හැකි මිනුම් දණ්ඩක් ලෙස සැලකිය හැකි යි. විශ්‍රාම යෑමත් සමඟ ශ්‍රම බළකායේ හටගන්නා රික්තය පිරවීමට ප්‍රමාණවත් තරුණ ජවයක් ජනගහනය තුළ තිබිය යුතු යි. ඉහත සාකච්ඡා කළ කරුණුවලට අනුව ඒ ජවය ජපානයට වේගයෙන් අහිමි වන පසුබිමක් නිර්මාණය වී තිබෙනවා.

මෝටර් රථ සහ ඉලෙක්ට්‍රොනික උපාංග නිෂ්පාදනය වැනි ජපානයේ මහා පරිමාණයේ කර්මාන්තවලට ඉන් ඇතිවන බලපෑම සුළුපටු නැහැ. වර්තමානයේ පවත්වා ගෙන යන නිෂ්පාදන ධාරිතාවට සෑහෙන මිනිස් බලය ජපානයට අහිමි වෙමින් තිබෙන නිසා ලෝකයේ විශාලත ම ආර්ථිකයක් අනාගතයේ දවසක හැකිළී යෑමේ අවදානමක් පවතිනවා. 

ජපානයේ කාර්යාලීය පරිසරයක් – english.theleader.lk 

පවතින අර්බුදයට මුහුණ දීම සඳහා ජපානය ක්‍රියා මාර්ග කිහිපයකට දැන් පිවිස තිබෙනවා. පෙරට වඩා තම රැකියා වෙළෙඳපොළ විදෙස් ශ්‍රමිකයන් වෙත විවෘත කිරීමට ජපානය උත්සුක වන්නේ එහි ප්‍රතිඵලයක් වශයෙන්. 2019 අප්‍රියෙල් මාසයේ සිට ක්‍රියාත්මක වූ නව රෙගුලාසියක් මඟින් ශ්‍රම හිඟයෙන් පෙළෙන අංශවලට විදෙස් ශ්‍රමිකයන් ලබා දීම සඳහා පදිංචිය හෝ වීසා තත්ත්ව තවදුරටත් නිර්මාණය කිරීමට ඔවුන් පෙලඹෙනවා. ඒ අතරතුර ජපාන රජය ව්‍යුහාත්මක සහ ශ්‍රම ප්‍රතිසංස්කරණ සිදු කරමින් ජාතියේ පලදායිතාව ඉහළ නැංවීමටත් කටයුතු කරමින් සිටිනවා. රොබෝ තාක්ෂණය අතිශයින් දියුණු කළ රටක් ලෙස යාන්ත්‍රික ශ්‍රමය, මිනිස් ශ්‍රමය වෙනුවට ආදේශ කළ හැකි ආකාර වැඩියෙන් සොයා බැලීමටත් ඔවුන් උනන්දු යි. 

මේ සියල්ලට ම වඩා ජපානය තුළ පවත්නා කාර්යාල සංස්කෘතිය තුළ වෙනසක් සිදු කිරීමේ අවශ්‍යතාවක් පවතින බව පැවසෙනවා. වෘත්තීය ජීවිතය සහ පෞද්ගලික ජීවිතයේ සමබරතාව (work life balance) කෙරෙහි දැඩි බලපෑමක් මේ කාර්යාල සංස්කෘතිය නිසා එල්ල වී තිබෙනවා. සාමාන්‍යයෙන් වෘත්තීය ජීවිතයට වැඩි ඉඩක් වෙන් කරන්න සිදුවන රටක් වශයෙන් ජපානය හඳුනා ගැනෙන අතර, “work life balance” ශ්‍රේණිගත කිරීම්වලට අනුව එම සමබරතාව වැඩියෙන් ම ගිලිහී ගිය රටවල් අතර ජපානයත් සිටිනවා.

රැකියාව සහ පෞද්ගලික ජීවිතයේ සමබරතාව උපරියෙන් ම පවත්වා ගෙන යන රටවල් – www.statista.com 

ඩෙන්මාර්කය, ස්වීඩනය, නෝර්වේ වැනි රටවල් ඉහළ මට්ටමකින් වෘත්තීය සහ පෞද්ගලික ජීවිතයේ සමබරතාව රැක ගෙන සිටින අතර, එය ඔවුන් ගේ සමාජීය ජීවිතයට යහපත් බලපෑමක් එල්ල කර තිබෙනවා. මේ සියලු කාරණා මැද ජපානය නැවතත් තම සමාජ ක්‍රමය ගැන  සිතමින් සිටින කාලයක් තමයි මේ ගත වෙන්නේ.

කවරයේ ඡායාරූපය: ජනගහනය තුළ සැළකිය යුතු වයෝවෘද්ධ මිනිසුන් ගේ නියෝජනයක් තිබෙන නිසා ජපානය අර්බුදයකට මුහුණ පාමින් සිටිනවා -www.dw.com

මූලාශ්‍ර:

www.washingtonpost.com

thediplomat.com

data.worldbank.org

www.japanpowered.com

www.theguardian.com 

 www.statista.com

Related Articles