Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

යුආන් බිලියන 6.6ක් ඉපැයූ චීන අධිවේගී දුම්රිය මාර්ගය

ඩෙන් ෂියෝජින්ග්ගේ ජපන් ගමන

ඒ 1978 වර්ෂයේ ඔක්තෝබර් මස 2 වන දින යි. ඩෙන් ෂියෝජින්ග් නම් වූ විශේෂ රාජ්‍ය නායකයා චීනයේ සිට ගමන් ගන්නේ ජපන් සංචාරයකට යි. එවකට 74 වන වියේ පසු වූ ඩෙන්ට, මේ ජපන් සංචාරය බෙහෙවින් කාර්යබහුල එකක් වුණු බව යි පැවසෙන්නේ. එහෙත් ඔහුට කෙසේ හෝ සංචාරය අවසන් වීමට පෙර අධිවේගී දුම්රියක ගමන් කිරීමට බොහෝ සෙයින් අවශ්‍ය වුණා. ඒ අනුව ලොව ඉදිකළ පළමු අධිවේගී දුම්රිය මාර්ගය වන ෂින්කන්සෙන් 1964 නම් අධිවේගී දුම්රිය මාර්ගයේ යි ඔහු ගමන් කරන්නේ. අධිවේගී දුම්රිය මාර්ගයක පළමු වතාවට ගමන් කළ ඩෙන් ෂියෝජින්ග් දුම්රිය ගමනේ දී මාධ්‍යවේදියෙකුගේ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ප්‍රකාශ කර තිබුණේ මෙසේ යි. “ඉතාමත් වේගවත්. මේ දුම්රිය ධාවනය වෙන්නේ හරියට සුළඟ වගේ. ඒක දැනෙන්නේ හරියට ඔබ ව දුවන්න තල්ලු කරනවා වගේ. අපි ඉඳගෙන ඉන්නේ නිවැරදි දුම්රියේ.”

ඩෙන් ෂියෝජින්ග්ගේ මේ ප්‍රකාශය යි චීන අධිවේගී දුම්රිය මාර්ගයේ ආරම්භය වු බව ඉතිහාසය පවසන්නේ.

විශේෂඥ මතයන්  

ඩෙන්ගේ ජපන් සංචාරයෙන් මාස දෙකකට පසු චීන කොමියුනිස්ට් පක්ෂයේ, 11 වන මධ්‍යම  කමිටු සමුළුවෙහි පැවති තෙවන ප්ලැනරි සැසිවාරයේ දී ප්‍රතිසංස්කරණ හා විවෘතභාව ප්‍රතිපත්ති මත ආර්ථික සංවර්ධනය ගොඩනැඟිය යුත්තේ කෙසේ ද යන්න පිළිබඳ ව නොයෙකුත් අදහස් මතු වුණා. අධිවේගී දුම්රිය චීනයට හඳුන්වා දීමේ වැදගත්කම ‍ගැනත් මේ අතර කතා වුණා.

චීනයේ එවකට පැවති සාමාන්‍ය දුම්රිය පද්ධතියේ උපරිම වේග සීමාව පැ. කි. මි. 80ක් පමණක් වූ නිසා අධිවේගී දුම්රිය මාර්ග චීනයට අවශ්‍ය වන බව යි එහි දී මත පළ වුණේ. නමුත් චීනයට අධිවේගී දුම්රිය මාර්ග අත්‍යවශ්‍ය ද යන ප්‍රශ්නය මෙහි දී මතු වුණා. මේ සම්බන්ධයෙන් බොහෝ විශේෂඥයින් පක්ෂ ව හා විපක්ෂ ව අදහස් දැක්වූ අතර, අධිවේගී දුම්රිය චීන ආර්ථිකයේ ප්‍රධාන අංගයක් බවට අනාගතයේ දී පත්වන බව යි බොහෝ විශේෂඥයන් පවසා තිබුණේ.

 දියුණුව ඇති චීන අධිවේගී දුම්රිය මාර්ගයක්. (asia.nikkei.com)

ඔවුන්ගේ තර්කය වූයේ, අනාගත ආර්ථික සංවර්ධනයෙහි වැදගත් ම අංගයක් බවට පත් වීමට නියමිත නිසා අධිවේගී දුම්රිය මාර්ග ඉදිකළ යුතු බව යි. නමුත් අධිවේගී දුම්රිය මාර්ගයට විපක්ෂ වූවන් පවසා තිබුණේ, අධිවේගී දුම්රිය පැවති රටවල ඒවා මිල අධික හා අලාභ සහිත වූ බැවින් එය ඉදිකිරීම අත්‍යවශ්‍ය වන්නක් නොවන බව යි.

ආරම්භය

චීන අධිවේගී දුම්රිය මාර්ගයේ ආරම්භය වශයෙන් දුම්රිය අමාත්‍යංශය විසින් 1990 වසරේ දී අධිවේගී දුම්රිය තාක්ෂණය සම්බන්ධයෙන් සිදුකරන ලද පර්යේෂණාත්මක නිගමන ඇතුළත් වන වාර්තාවක් චීන රාජ්‍ය කවුන්සිලය වෙත ඉදිරිපත් කර තිබුණා. එහි දැක්වුණු ආකාරයට ප්‍රධාන නගර ආශ්‍රිත ව අධිවේගී දුම්රිය මාර්ග ඉදිකිරිම අත්‍යවශ්‍ය වුණු බව යි පැවසෙන්නේ.

ඒ අනුව එම වසරේ දී ම චීන මධ්‍යම ආණ්ඩුව දුම්රිය මාර්ග ඉදිකිරීම සඳහා යුආන් බිලියන 10.716ක මුදලක් ආයෝජනය කර තිබුණා. එම ආයෝජනය, එම වසර සඳහා චීන රජය විසින් සිදුකළ සමස්ථ ආයෝජනවලින් 6.3%ක ප්‍රමාණයක් වූ බව යි පැවසෙන්නේ.

චීන අධිවේගී දුම්රිය වැඩසටහන

චීන අධිවේගී දුම්රිය වැඩසටහන යටතේ මුලින්ම ඉදිකිරීමට යෝජනා වුයේ බෙයිජිං සිට ෂැන්හයි දක්වා වන අධිවේගී දුම්රිය මාර්ගය යි. බෙයිජිං – ෂැන්හයි අධිවේගී දුම්රිය මාර්ගය ඉදිකිරීම සම්බන්ධයෙන් ආර්ථික හා තාක්ෂණික ක්ෂේත්‍රවල මතු වූ ගැටලු පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡා ඇති වූ අතර, ඔවුන් ඒ සම්බන්ධයෙන් සකස් කළ වාර්තාව පිටු 50,000 ඉක්මවුණු බව යි පැවසෙන්නේ. මේ වාර්තාව මඟින් අවසානයේ තීරණය වුයේ බෙයිජිං- ෂැන්හයි අධිවේගී දුම්රිය මාර්ගය අත්‍යවශ්‍ය වන බවත්, එය ඉතා ඉක්මනින් ඉදිකිරිම ආරම්භ කළ යුතු බවත්. ඒ අනුව වාර්තාව පවසා තිබුණේ මේ සඳහා රජය හැකි ඉක්මනින් අනුමැතිය ලබා දීම වැදගත් වන බව යි. එය 1995 වසරේ ඉදිකිරීම ආරම්භ කර, 2000 වසර අවසානයේ දී අවසන් කළ හැකි බවත් ඔවුන් පවසා තිබුණා. ඒ අනුව අධිවේගී දුම්රිය මාර්ගය ඉදිකිරීම දුම්රිය අමාත්‍යංශයේ මුලිකත්වයෙන් එම වසරේ දී ම සිදුවුණු බව යි පැවසෙන්නේ.

ෂැන්හයි අධිවේගී දුම්රිය ස්ථානය (xinhuanet.com)

විවේචන

කඩිමුඩියේ ම අධිවේගී දුම්රිය මාර්ගය ඉදිකිරිම ආරම්භ කිරීම සම්බන්ධයෙන් බොහෝ විවේචන ද එල්ල වුයේ නැතුවා ම නොවේ. ෂැන්හයි දුම්රිය කාර්යාංශයේ හිටපු ප්‍රධාන ඉංජිනේරුවරයා වන යුන්ස්හැන්ග් හා දුම්රිය අමාත්‍යංශයේ සැලසුම් නිර්මාණ ආයතනයේ හිටපු උප සභාපති යාඕ සූඕසු යන දෙදෙනාගේ විරෝධය මේ අතර ප්‍රබල වුණා. ඔවුන් මුලිකව ම ප්‍රකාශ කළේ අධිවේගී දුම්රිය මාර්ග ඉදිකිරීම ආර්ථික වශයෙන් රටට හානිදායක වන බව යි.

කෙසේ හෝ මේ වාද විවාද හේතුවෙන් දුම්රිය අමාත්‍යංශය මඟින් නැවතත් සම්මන්ත්‍රණයක් සංවිධානය කෙරුණා. එහි දී අධිවේගී දුම්රිය මාර්ග ඉදිකිරිමට පක්ෂ ව හා විපක්ෂ ව වාර්තා ඉදිරිපත් වූ අතර, ඡන්ද විමසීමක් ද පැවතුණා. කෙසේ හෝ අවසානයේ බෙයිජිං-ෂැන්හයි අධිවේගී දුම්රිය මාර්ගය ඉදිකළ යුතු බවට යි තීරණය වුණේ.

අවසානයේ චීනයට අධිවේගී දුම්රිය මාර්ගයක්

මේ සියලු වාද විවාද හේතුවෙන් සිදු වූ එකම දෙය නම් අධිවේගී දුම්රිය මාර්ග ඉදිකිරිම ආරම්භය ප්‍රමාද වීම යි. ඒ අනුව බෙයිජිං-ෂැන්හයි අධිවේගී දුම්රිය මාර්ගය ඉදිකිරිම ආරම්භ වුයේ 2008 වසරේ දී යි. 2011 වසරේ දී විවෘත වූ මේ දුම්රිය මාර්ගයෙහි දුර කි. මී. 1318ක්. 2017 වසරේ සිට එහි වේගය පැ. කි. මී. 350ක්.

තර්ක විතර්ක මැද කෙසේ හෝ ඉදි වූ බෙයිජිං-ෂැන්හයි අධිවේගී දුම්රිය මාර්ගය, මේ වන විට චීනයේ ඉහළ ම ආදායමක් උපයන අධිවේගී දුම්රිය මාර්ගය යි. 2015 වසරේ දී එමඟින් උපයා ඇති මුළු ආදායම යුආන් බිලියන 6.6ක්.

අධිවේගී දුම්රියක ඇතුළත (thedailybeast.com)

මේ ආරම්භය යි, 2018 වර්ෂයේ මැද භාගය වන විට චීනයේ දුම්රිය ජාල පද්ධතිය කි. මී. 27,000ක් දක්වා දුරක් වන තරමට ගෙන තිබෙන්නේ. 2025 වසර වන විට අධිවේගී දුම්රිය මාර්ග පද්ධතියේ දුර ප්‍රමාණය කි. මී. 38,000ක් දක්වා පුළුල් කිරීම යි චීනයේ අරමුණ.

 

Related Articles