Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ක්ලිව්ලන්ඩ් නගරයේ බැලුන් අකරතැබ්බය

ලෝකය පුරා දෛනිකව විවිධාකාරයේ අනතුරු සිද්ධ වෙනවා. බලාපොරොත්තු නොවූ හේතුවක් නිසා ඇතිවන විනාශකාරී සිදුවීමක්, “අනතුරක්” ලෙස විස්තර කළ හැකියි. ඕනෑම අනතුරක මූල සිද්ධිය අධ්‍යයනය කිරීමෙන් අනාගතයේ දවසක එම අනතුර නැවත සිදුවීමේ හැකියාව වළක්වාගන්න පුළුවන්. අනතුරු ගැන කතා කරනකොට ශ්‍රී ලංකාවේ දී අපිට වැඩියෙන්ම අත්දකින්න ලැබෙන අනතුරු ආකාරයක් තමයි රිය අනතුරු කියන්නේ. ඊට අමතරව ගෘහස්ථව ඇතිවන අනතුරු, අකුණු, ගංවතුර, නායයෑම් වැනි ස්වභාවික සංසිද්ධි නිසා ඇතිවන අනතුරු, රැකියා ස්ථානවල ඇති වන අනතුරු වැනි විවිධාකාර වූ පැතිකඩයන් ඔස්සේ අනතුරු ඇති වෙනවා.

මේ අතර බොහොම කලාතුරකින් හා අනපේක්ෂිත සිදුවීම් මත ඇති වන වෙනස් ආකාරයේ අනතුරුත් තිබෙනවා. 1986 වර්ෂයේ සැප්තැම්බර් මස විසිහත් වැනිදා ඇමරිකා එක්සත් ජනපදයේ ක්ලීව්ලන්ඩ් නගරය ආශ්‍රිතවත් එවැනි අමුතුම ආකාරයේ අනතුරක් සිදුවෙනවා. මේ අනතුරු සිද්ධ වෙන්නේ බැලූන්වලින්. නමුත් මේ බැලූන්, මිනිසුන් ඒවායේ නැගී ගුවන්ගතවීම උදෙසා භාවිතා කරන සුවිශාල ගෑස් බැලුන් නම් නොවෙයි!

ක්ලීව්ලන්ඩ් බැලූන් සැණකෙළිය එදා පුවත්පත්වල පළවී තිබුණු හැටි/youreverydayheroes.com

කැඩීමට නියමිතව තිබූ වාර්තාව

ක්ලීව්ලන්ඩ් නගරයට තියෙන්නේ තරමක් කැලඹිලි සහගත ඉතිහාසයක්. විශේෂයෙන්ම හැත්තෑව දශකය පුරා මෙහි නගර වැසියන් ගතකළේ තරමක දුෂ්කර කාල පරිච්ඡේදයක් බව ඉතිහාසය සාක්ෂ්‍ය දරනවා. වරින් වර සිදුවූ වෙඩි තැබීම්, කර්මාන්තශාලා වසා දැමීම්, ගංගා සහ විල්වල සිදුවූ අධික දූෂණය වැනි කාරණා නිසා ක්ලීව්ලන්ඩ් නගරය තවදුරටත් වාසය කිරීමට නුසුදුසු නගරයක් බවට පත්වුණා. ඒ නිසා ජනගහනයෙන් සැළකිය යුතු කොටසක් නගරය හැර දා ගියා. කෙසේ නමුත් ක්ලීව්ලන්ඩ් නගරය නැවත ගොඩනැඟීම සහ නැතිවූ කීර්තිය නැවත වතාවක් අත්පත් කර ගැනීමේ උත්සාහයක් ද ක්‍රියාත්මක වෙමින් තිබුණා. එහි ප්‍රතිඵලයක් ලෙස ගැටලු සාර්ථකව විසඳීම සඳහා වූ ප්‍රජා සහභාගීත්වය සහ සහයෝගීත්වය සඳහා පිරිනමන සම්මානයක් වූ “ඕල් ඇමරිකා සිටි” සම්මානය අසූව දශකය තුළ තුන් වතාවක් දිනා ගැනීමට ක්ලීව්ලන්ඩ් නගරය සමත් වුණා.

කෙසේ නමුත්, නගර සංවර්ධන ව්‍යාපෘති සඳහා විශාල අරමුදලක් සම්පාදනය කර ගැනීම අවශ්‍ය වුණා. ඒ සඳහා ක්ලීව්ලන්ඩ් නගරවාසීන්, “යුනයිටඩ් වේ ඔෆ් ග්‍රේටර් ක්ලීව්ලන්ඩ්” නමැති සංවිධානය සමග එක්ව අමුතුම ආකාරයේ උත්සවයක් සංවිධානය කිරීමට එක්රොක් වුණා. ඔවුන්ගේ අරමුණ වුණේ, මෙතෙක් එකවර අහසට මුදාහැර තිබූ වැඩිම බැලුන් ප්‍රමාණය සම්බන්ධ ලෝක වාර්තාව බිඳ දමා, එම ගෞරවය තම නගරය ඉදිරියෙන් ලියා ගැනීමට යි. එවකට එම වාර්තාව එක්සත් ජනපදයේ ඇනහෙයිම් නගරයේ තිබූ ඩිස්නිලන්තය සතු වුණා. ඩිස්නිලන්තය බැලුන් මිලියන 1.2ක් එකවර අහසට මුදාහැර එම වාර්තාව තබා තිබූ අතර, එනිසා ක්ලීව්ලන්ඩ් නගරවාසීන්ගේ සැලසුම වී තිබුණේ බැලුන් මිලියන 1.5ක් මුදාහැරීම යි. බැලුන් දෙකක් ඩොලර් එකකට විකුණමින් මේ අරමුදල සම්පාදනය කිරීමට ඔවුන් එක් වී සිටියා.

සුවිශාල දැලක් මඟින් හීලියම් පුරවපු බැලුන් රඳවා තබාගෙන තිබුණා/mashable.com/

සැප්තැම්බර් 25 වන දින ස්වේච්ඡා සේවකයන් හීලියම් වායුව භාවිතයෙන් බැලූන් පිරවීම ආරම්භ කළ අතර, 26 දිනය පුරා රාත්‍රිය තෙක්ම ඔවුන් මෙම මහා කර්තව්‍ය වෙනුවෙන් තම ශ්‍රමය වැය කළා. 26 දින වන විට තවත් දහස් ගණනක් වූ ජනයා බැලූන් පිරවීම සඳහා ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වුණා. සාමාන්‍ය පුද්ගලයෙකු විනාඩියකට බැලූන් 2-3ක් පමණ වූ වේගයකින් බැලුම්වලට හීලියම් වායුව පුරවන කාර්යයේ නියැලුණා. මෙම ක්‍රියාව වෙනුවෙන් ස්වෙච්ඡා සේවකයන්ට පැය 46ක් පුරා වෙහෙස වීමට සිදුවූ අතර, එක දිගට බැලුන් ගැටගැසීම නිසා සමහරුන්ගේ ඇඟිලි තුඩුවල දිය බුබුළු හටගෙන තිබුණා. පුරවන ලද බැලුන්, ක්ලීව්ලන්ඩ් නගර චතුරශ්‍රයේ යෝධ දැලක් යොදා අදාල මොහොත එනතෙක් රඳවා තබා ගෙන සිටීමට ඔවුන් ක්‍රියා කළා.

කාළගුණයෙන් අනතුරු ඇඟවීමක්!

ක්ලීව්ලන්ඩ් නගරවාසීන් බලා සිටි මොහොත උදා වුණා. සැප්තැම්බර් විසිහත් වැනි දින දහවල් කාලය වනවිට ඔවුන් මහන්සියෙන් පුරවාගත් බැලුන් මිලියන 1.5ක් එකවර ගුවනට මුදා හැරුණා. ඒවා සෙමින් සෙමින් පාවී ගොස්, ක්ලීව්ලන්ඩ් නගරයේ උසම ගොඩනැඟිල්ල වූ ටර්මිනල් කුළුණ වසා ගත්තා. මෙම දර්ශනය එදා සජීවිව දකින්නට අවස්ථාව හිමි වූ පුද්ගලයන් එය විස්තර කළේ, බැලුන් ‘අහසට විසි කළ විශාල හා වර්ණවත් වූ කඩදාසි කැබලි මෙන් පෙනුනු බව’ යි. මිලියන ගණනක් වූ වර්ණවත් බැලූන් අහස පුරා විසිරී ගිය දර්ශනයෙන් ඔවුන් මහත් සේ ප්‍රීතියට පත් වුණා. කෙසේ නමුත් ඔවුන් සිතූ ආකාරයටම මේ බැලුන් සැණකෙළිය සාර්ථක වුණේ නැහැ.

ටර්මිනල් කුළුණ වටා පැතිර ගිය බැලූන් කන්දරාව/rarehistoricalphotos.com/

එදින ක්ලීව්ලන්ඩ් නගරය ආශ්‍රිතව වැසි කුණාටු තත්ත්වයක් වර්ධනය විය හැකි බවට කාලගුණ අනාවැකි පළවී තිබුණා. එනිසා බැලූන් නිදහස් කිරීමට සුදුසු අන්දමේ කාලගුණයක් එදා තිබුණේ නැහැ. නමුත් මෙතරම් පරිශ්‍රමයක් දරා සූදානම් කළ කර්තව්‍යය කල්දැමීමට සංවිධායකයන්ට කිසි ලෙසකින්වත් අවශ්‍ය වුණේ නැහැ. ඒ අනුව ඔවුන් සැලසුම් කළ වේලාවට කලින්, එනම් දහවල් 1.50 වන විට දැල ඉවත්කොට බැලුන් ටික නිදහස් කිරීමට යුහුසුළු වුණා. නමුත් සුළු වේලාවකින් කුණාටු තත්ත්වය වර්ධනය වූ අතර, එයින් හටගත් වායු පීඩන වෙනස නිසා මිලියන ගණනක් වූ බැලූන නැවතත් නගරය වෙත පහත්වීමට පටන් ගත්තා.

ක්ලීව්ලන්ඩ් නගරය අවුල් ජාලාවක් වෙයි

එකවර පහත් වීමට පටන්ගත් බැලූන්වලින් මහා මාර්ග අවහිරවීම සහ රියදුරන්ගේ දර්ශන පථයට බාධා පැමිණීම නිසා අවුල් සහගත තත්ත්වයක් ඇතිවූ අතර, මාරාන්තික නොවන අනතුරු කිහිපයක්ම නගරය පුරාම සිදුවුණා. බැලූන්වලින් ධාවන පථය ආවරණය වූ නිසා ක්ලීව්ලන්ඩ් නගරයේ ගුවන් තොටුපළත් වසා දැමීමට සිදුවුණා. එක් අවස්ථාවක මේ බැලූන් ගොවියෙකුගේ වගා බිමකට පහත්වීම නිසා, තරගවල දී ත්‍යාග දිනූ ඔහුගේ අරාබි අශ්වයන් බියට පත්වී ඔවුන්ට තුවාල සිදුවුණා. මෙම ගොවියා බැලූන් උත්සවයේ සංවිධායකයන්ට එරෙහිව ඩොලර් ලක්ෂයක් ඉල්ලා නඩු පැවරූ අතර, පසුව හෙළි නොකළ ගණනක් සංවිධායකයින්ගෙන් ලබා ගැටලුව සමථයකට පත්කර ගත්තා. 

ඊරි විලටවසාගෙන බැලූන් පැතිර තිබූ අයුරු/cleveland.com/

නමුත් මේ අනපේක්ෂිත අනතුරේ භයානකම සිද්ධිය වුණේ ඊරි විල ආශ්‍රිතව යි. රේමන්ඩ් බ්‍රොඩ්රික් සහ බර්නාඩ් සල්ස් යන ධීවරයින් දෙදෙනා ඊරි විලේ යාත්‍රා කරන අතරවාරයේ අතුරුදහන් වී සිටියා. නමුත් ගලවාගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක වන අතරවාරයේ මෙම විලටත් ක්ලිව්ලන්ඩ් නගරයෙන් ගුවනට මුදාහැරුණු බැලුන් පහත්වීමට පටන්ගත් නිසා, ගලවාගැනීමේ මෙහෙයුම්වලට බාධා ඇති වුණා. අහසේ පාවෙමින් තිබූ බැලූන් හේතුවෙන් වෙරළාරක්ෂක බලකායට ඔවුන්ගේ හෙලිකොප්ටරය දියත්කර ගැනීමට ද නොහැකි වුණා. අවසානයේ දී ඔවුන් හෙලිකොප්ටරය දියත්කළත්, ඊරි විලේ පාවෙමින් තිබුණු බැලුන් නිසා අනතුරට පත් ධීවරයන් දෙදෙනා වෙනුවෙන් සොයාබැලීමේ මෙහෙයුම් කිරීමට ඔවුන්ට නොහැකි වුණා. ජීවිතාරක්ෂක බෝට්ටුවල සිටි නිලධාරීන් පවා එම ගැටලුවට මුහුණ දුන්නා. මෙහි ප්‍රතිඵලයක් ලෙස උදව් නොලැබූ ධීවරයන් දෙදෙනාම අවාසනාවන්ත ලෙස දියේ ගිලී මියගිය අතර, ඔවුන්ගේ සිරුරු පසුව වෙරළට ගසාගෙනවිත්  තිබුණා. මෙම සිදුවීමෙන් වසර දෙකකට පසු, මියගිය එක් ධීවරයෙකුගේ බිරිඳ විසින් “යුනයිටඩ් වේ ඔෆ් ග්‍රේටර් ක්ලීව්ලන්ඩ්” සංවිධානයට එරෙහිව ඩොලර් මිලියන 3.2ක් වන්දි ලෙස ඉල්ලා නඩු පැවරුනා. නමුත්, පසුව එම නඩුව අනාවරණය නොකළ මුදලකට සමථයකට පත්වුණා.

එදා ක්ලීව්ලන්ඩ් අහස දර්ශනය වුණේ මෙහෙම යි/rarehistoricalphotos.com/

 

මේ බැලුන් අකරතැබ්බයෙන් එක්සත් ජනපදයේ අසල්වැසි කැනඩාවට පවා ගැලවීමට හැකිවුණේ නැහැ. ඊරි විලේ කොටස් එක්සත් ජනපදය හා කැනඩාව යන දෙරටටම අයත්. ඇමරිකානු බැලූන් විශාල ප්‍රමාණයක් කැනේඩියානු විල් තීරයටත් ගසාගෙන එන්නට පටන් ගත්තා. සති ගණනාවක් තිස්සේ කැනඩාවේ ජල මාර්ග මෙලෙස ගසා ගෙන ආ බැලුන්වලින් සිරවී තිබුණා. පුපුරා ගිය බැලුන්වල කැබලි හේතුවෙන් වන සතුන්ට හා පරිසර පද්ධතියට අහිතකර බලපෑම් එල්ල වුණා. අවසානයේ දී මේ බැලූන් උත්සවය සංවිධානය කළ අයවලුන්ට පිරිසිදු කිරීමේ කටයුතු සහ තමන්ට එරෙහිව පවරනු ලැබූ නඩු සඳහා මිලියන ගණනක් වියදම් කිරීමට සිදුවුණා. එය ඔවුන් එක්රැස් කරගත් අරමුදලටත් වඩා වැඩි අගයක් වූ බව සඳහන්. ක්ලීව්ලන්ඩ් නගරවාසීන් ඩිස්නිලන්තයේ බැලූන් වාර්තාව අභිබවා ගියත්, එයින් ඇතිවූ සෘණාත්මක ප්‍රතිඵල හේතුවෙන් එය ලෝක වාර්තාවක් ලෙස ගිනස් පොතට ඇතුළත් වුණේ නැහැ.

Cover photo: youtube.com/watch?v=X6GG5THIC-A

මූලාශ්‍රයයන්: forgottenhistory.me/

rarehistoricalphotos.com/

nationalcivicleague.org/a

unitedwaycleveland.org/

Related Articles