ආසියා භූ දේශපාලනික ක්‍රීඩාවේ ඊළඟ ඉත්තා අගලෙගා දූපත් ද?

පසුගිය දශක කිහිපය පුරා ම ඉන්දියන් සාගරයේ තිබෙන උපායමාර්ගික වැදගත්කම ක්‍රම ක්‍රමයෙන් වර්ධනය වුණා. ලෝකයේ වැදගත්ම නැව් මාර්ග කිහිපයක් ඉන්දියන් සාගරය හරහා වැටී තිබීමත් එයට එක හේතුවක්. බටහිර අප්‍රිකානු කලාපයේ සිට පාකිස්තානය, ඉන්දියාව, ශ්‍රී ලංකාව, බංග්ලාදේශය සම්බන්ධ කරමින් ඕස්ට්‍රේලියාව සහ චීනය දක්වාත්, මධ්‍යධරණි මුහුදු කලාපයේ සිට සූවස් ඇළ හරහා ඉන්දියන් සාගරයට ප්‍රවිෂ්‍ට වන අයුරිනුත්, මේ නැව් මාර්ග විහිදී තිබෙනවා.

ඒ අනුව ලෝකයේ ප්‍රධාන ආර්ථික කලාප එකිනෙක සම්බන්ධ කරන මංසන්ධියක් ලෙස ඉන්දියන් සාගරය හැඳින්විය හැකි යි. ලෝකයේ ඛනිජ තෙල්වලින් 60% කටත් වඩා වැඩි ප්‍රමාණයක් ප්‍රවාහනය වන්නේ ඉන්දියන් සාගරය හරහා යි. එහිදී ඉරානය ආසන්නයේ පිහිටි හොර්මුස් සමුද්‍ර සන්ධිය වැදගත් කාර්යභාරයක් ඉටු කරනවා.

අගලෙගා දූපත්වල පිහිටීම – www.lowyinstitute.org

සහයෝගී ආධිපත්‍යය

 බලශක්ති සුරක්‍ෂිතතාව‍ සහ ආර්ථික සමෘද්ධිය සඳහා රටවල් ගණනාවකට මෙම සමුද්‍ර ප්‍රදේශය හරහා සංචරණය වීමේ නිදහස ඉතා වැදගත් බව පැහැදිලිව ම පෙනී යන්නක්. ඉන්දියන් සාගර කලාපය තුළ වැඩි වශයෙන් බලය තහවුරු කරගන්නා කඳවුරට ලෝක දේශපාලනයේ වැදගත් භූමිකාවක් ඒ අනුව නිරායාසයෙන් ම හිමි වෙනවා.

 පසුගිය දශක පහ තුළ මෙම කලාපයේ වැඩි වශයෙන් ආධිපත්‍යය දැරුවේ ඉන්දියාව, එක්සත් ජනපදය, ප්‍රංශය සහ එක්සත් රාජධානිය වැනි රටවල්. ප්‍රධාන භූමියට අමතර ව දූපත් කිහිපයක් මේ රටවල් සතු ව පැවතීමෙන් ආධිපත්‍යය කළමනාකරණය කිරීම ඔවුන්ට පහසු වුණා. බ්‍රිතාන්‍ය ඉන්දියානු සාගර කලාපය තුළ එක්සත් ජනපදයේ සහභාගීත්වය ඇතුව ගොඩනැඟූ ඩියේගෝ ගාර්ෂියා කඳවුර, අදටත් ප්‍රංශයේ පරිපාලනය යටතේ පවතින රියූනියන් දූපත, ඒ සඳහා ප්‍රබල උදාහරණ වෙනවා.

කෙසේ නමුත්, භූගෝලීය පිහිටීම සැලකීමේදී සාගර කලාපයේ පවත්නා බල තුලනයට සෘජු මැදිහත්වීමක් දැක්විය හැකි බලවතා වන්නේ ඉන්දියාව යි. ඒ නිසා ඉන්දියාව සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමේ වැදගත්කම එක්සත් ජනපදය ඇතුළු බටහිර කඳවුර තේරුම් ගත්තේ බොහෝ කලකට පෙරාතුව යි. නමුත්, මේ සහයෝගී ආධිපත්‍යයට දැන් අභියෝගයක් එල්ල වෙමින් තිබෙනවා. 

ස්ට්‍රින්ග් ඔෆ් පර්ල්ස් නම් භූ දේශපාලනික න්‍යායට උරදෙන බව පැවසෙන භූ ගෝලීය පිහිටුම් – www.indiatimes.com 

ඉන්දියාව වටා ගෙතෙන මුතු මාලය

 පසුගිය වසර 20 තුළ චීනය සිය භූ-දේශපාලනික බලපෑම ඉහළ නැංවීමේ අරමුණින් “බෙල්ට් ඇන්ඩ් රෝඩ්” සැලැස්ම හරහා ආසියාව සහ අප්‍රිකානු කලාපයේ රාජ්‍යයන්වල විශාල මුදල් ප්‍රමාණයක් ආයෝජනය කළා. එහිදී මාලදිවයින, ශ්‍රී ලංකාව, ටැන්සානියාව, පාකිස්තානය, කෙන්යාව සහ අග්නිදිග ආසියානු රටවල සමුද්‍රීය යටිතල පහසුකම් සඳහා ආයෝජනය කිරීමට චීනය විශේෂ උනන්දුවක් දැක්වූවා.

මෙම ආයෝජනවල ප්‍රතිලාභ හෝ ආයෝජනවල ස්වභාවය පිළිබඳ විවාදාත්මක ස්වභාවයක් ඒ ඒ රටවල පරිපාලනය සමඟ බැඳී පැවතුණත්, බටහිර කඳවුර සහ ඉන්දියාව මේ ආයෝජන දෙස බලන්නේ වෙනස් ම කෝණයකින්. සමුද්‍රීය යටිතල පහසුකම් සඳහා චීනය කරන මේ ආයෝජන “ස්ට්‍රින් ඔෆ් පර්ල්ස්” නම් භූ දේශපාලනික උපාය මාර්ගය සැබෑ කිරීමේ උත්සාහයක් ලෙස ඉන්දියාව දකිනවා.

 ස්ට්‍රින්ග් ඔෆ් පර්ල්ස් යනු ඉන්දියානු සාගර කලාපය තුළ චීන අභිප්‍රායන් සාක්ෂාත් කිරීමට උරදෙන එක්තරා භූ දේශපාලනික න්‍යායක්. තවත් පැහැදිලි කළොත්, චීනයේ සිට සුඩාන ජනරජයේ  “පෝර්ට් සුඩාන්” දක්වා චීනය ඉදි කරන හමුදා සහ වාණිජ පහසුකම් ජාලය “ස්ට්‍රින්ග් ඔෆ් පර්ල්ස්’ ලෙස හැඳින්වෙනවා. මේ එක් එක් ව්‍යාපෘතීන්වල භූගෝලීය පිහිටීම් එකිනෙක යා කළොත්, ඒවා ඉන්දියාව වටා ගෙතුණු මාලයක් මෙන් දර්ශනය වෙනවා. අදාළ සිතියම නිරීක්ෂණය කිරීමෙන් ඔබටත් ඒ පිළිබඳ ව යම් අවබෝධයක් ලබාගත හැකි යි. මේ ව්‍යාපෘතීන් බොහෝමයක් තව ම පවතින්නේ ආරම්භක අවධියේ යි. එහෙත්, 2017 දී චීනය සිය පළමු විදෙස් හමුදා කඳවුර ජිබුටි රාජ්‍යයේ ස්ථාපනය කළා. තත්ත්වය එසේ නම්, ඉන්දියාවත් යමක් කළ යුතු යි.

ඉන්දියාව මුරුසියට කරන බලපෑම කාටුන් ඇසකින් interactive.aljazeera.com

අගලෙගා වටා අබිරහස් නෞකා

 මුරුසියට අයත් වුවත්, අගලෙගා දූපත් පිහිටා තිබෙන්නේ මුරුසි ප්‍රධාන ගොඩබිමට කිලෝ මීටර් 1100 ක් පමණ ඈතින්. අගලෙගා ප්‍රදේශයට දූපත් දෙකක් අයත් වන අතර, ඒවායේ මුළු විශාලත්වය වර්ග කිලෝ මීටර් 25 ක් පමණ වෙනවා. ප්‍රමාණයෙන් සහ සම්පත් අතින් අගලෙගා දූපත්වල එතරම්ම වැදගත්කමක් නැහැ. මුරුසියේ පවතින සොබා සුන්දරත්වය මෙහි දැකිය හැකි වුණත්, අගලෙගා දූපත් සංචාරකයන් අතරත් ප්‍රචලිත නැහැ.

පොල් වගා කිරීම සහ මසුන් ඇල්ලීම පාරම්පරික ජීවන වෘත්තිය කරගත් මිනිසුන් 300 ක් පමණ මෙහි ජීවත් වෙනවා. බැලූ බැල්මටම සාමකාමී වුවත්, ඉන්දියන් සාගරය තුළ පවත්නා භූ දේශපාලනික ක්‍රීඩාවේ ඊළඟ ඉත්තා අගලෙගා දූපත් ද යන සැකය දැන් මතුවී තිබෙනවා. අගලෙගා දූපත් සම්බන්ධයෙන් අල් ජසීරා මාධ්‍ය ආයතනය කළ විමර්ශනය මේ සැකය සඳහා හේතු වුණා.

 අත්‍යවශ්‍ය සැපයුම් රැගත් නෞකාවක් අගලෙගා දූපත් වෙත පැමිණියත්, එහි වැසියන් විශාල පරිමාණයේ නෞකා දුටුවේ කලාතුරකින්. නමුත්, 2019 වසරේ අගභාගයේ සිට දූපත්වලට උතුරින් විශාල තොග රැගත් නෞකා පෙනෙන්නට පටන් ගත් අතර, ඒවා මාස ගණනක් දූපත අසල රැඳී සිටියා.

ඉන්දියන් සාගරයේ නැව් මාර්ග වල විහිදීම පෙන්වන දළ සටහනක් – chellaney.net 

ප්‍රතිචාර නොදැක්වූ නැව

 2020 අප්‍රියෙල් 26 වැනිදා ග්ලොසම් නමැති නෞකාවක් ඉන්දියාවේ විශාකාපට්නම් වරායෙන් පිටත් වුණා. එම නෞකාව පැනමා ධජය යටතේ යාත්‍රා කළත්, එහි මෙහෙයුම් කටයුතු කළේ ඉන්දියානු සමාගමක්. නෞකාව සම්බන්ධයෙන් අල් ජසීරා ආයතනය විමසීමක් සිදුකොට තිබූ අතර, කිසිදු ප්‍රතිචාරයක් ඔවුන්ට පෙරළා ලැබුණේ නැහැ.  මාසයක් පමණ ගතවූ තැන නෞකාව මුරුසියේ පෝර්ට් ලුවිස් වෙත සේන්දු වුණා. ග්ලොසම් නෞකාව පසුව අගලෙගා දූපත් වෙත යාත්‍රා කළ අතර, දූපත් ආශ්‍රිත ව මාස තුනක් නැංගුරම් ලා තිබුණා.

පසුගිය කාලයේ ග්ලොසෙම් නෞකාව අනුගමනය කළ නෞකා මාර්ගය ඔස්සේ නෞකා කිහිපයක් පැමිණ තිබුණා. අල් ජසීරා ආයතනය වාර්තා කරන අන්දමට 2019 මුල් භාගයේ සිට 2021 මුල් භාගය දක්වා ඔවුන්ගේ විමර්ශන ඒකකය නැව් 12 ට වැඩි ප්‍රමාණයක් දූපත් කරා ළඟා වන අයුරු නිරීක්ෂණය කොට තිබුණා.  

වේගවත් ඉදිකිරීම් හමුවේ අගලෙගා භූමිය වෙනස් වී ඇති අයුරු – www.aljazeera.com 

අගලෙගා දූපත්වල සිදුකරන අබිරහස් ඉදිකිරීම් ඉන්දියාවට අයත් හමුදා කඳවුරක් වෙනුවෙන් සිදුවන බවට වූ මාධ්‍ය වාර්තා මුලින් ම පැතිරෙන්න පටන් ගත්තේ 2018 වසරේ සිට යි. කෙසේ නමුත්, මුරුසිය සහ ඉන්දියානු රජයන් අගලෙගාවල සිදු කරන ඉදිකිරීම් හමුදාමය කටයුතු උදෙසා නොවන බවත්, හුදෙක්ම ඒ ඉදිකිරීම් දූපත්වාසීන්ගේ යටිතල පහසුකම් දියුණු කිරීම උදෙසා බවත්, ප්‍රකාශ කොට තිබුණා. ඉන්දියාවෙන් පැමිණි ඉදිකිරීම් කාර්මිකයන් සිය ගණනක් අගලෙගා කලාපයේ උතුරින් පිහිටි දූපතේ වාසය කළ අතර, ඔවුන් දූපතේ ගස් කපා, භූමිය සමතලා කොට අර්ධ ස්ථිර නිවාස පවා තනා ගෙන තිබුණා. 

  ආරම්භයේ දී උතුරු දිග දූපත සතුව මීටර් 800 ක් පමණ දිග ධාවන පථයක් තිබුණා. එය මුරුසි වෙරළාක්ෂක බලකාය භාවිතා කරන කුඩා ගුවන් යානා සඳහා ප්‍රමාණවත් වුවත්, භාණ්ඩ ප්‍රවාහන යානා සඳහා උචිත වුණේ නැහැ. 2019 නොවැම්බර් වනවිට පැරණි ධාවන පථය කිලෝ මීටර් තුනකටත් වඩා දිගින් යුත් ධාවන පථයක් බවට පරිවර්තනය වූ අතර, මාස 18 කට පසු ගුවන් ධාවන පථය සහ දූපතේ ජැටිය සැකසෙන ආකාරය අනුව එය ඉන්දියන් සාගරයේ ඉදිරි භූ දේශපාලනික සැලසුමේ කොටසක් විය හැකි බව අල් ජසීරා මාධ්‍ය ආයතනය වාර්තා කළා. 

හමුදා කඳවුරකට සුදුසුම තැනක්

 අගලෙගා දූපතේ පිහිටීමේ තිබෙන මූලෝපායික වැදගත්කම දශක ගණනාවක සිට සාකච්ඡා වන්නක්. 1975 දී සෝවියට් සංගමය දූපත මිල දී ගැනීම කෙරෙහි උනන්දු වූ බව කියවෙනවා. එහෙත්, දූපත මිලදී ගැනීම සම්බන්ධයෙන් සෝවියට් සංගමය දැක්වූ උනන්දුව ඔප්පු කිරීමට තරම් පැහැදිලි සාක්ෂි හෙළිදරව් වුණේ නැහැ. ඉන් වසර තිහකට පසු ඉන්දියාවේ අවධානය දූපත වෙත එල්ල වීම ඇරඹුණා.

ලෝක ඛනිජ තෙල් ප්‍රවාහනයේ වැදගත්ම ස්ථානයක් වූ හෝර්මුස් සමුද්‍ර සන්ධිය – iasbaba.com 

ඕස්ට්‍රේලියානු ජාතික විශ්ව විද්‍යාලයේ පර්යේෂණ නිලධාරී සැමුවෙල් බැෂ්ෆීල්ඩ්ට අනුව ගුවන් යානා සහ නැව්වලට ආධාර කළ හැකි ප්‍රදේශයක් ලෙස මෙන් ම, මෙහෙයුම් කටයුතු දියත් කිරීමේ මධ්‍යස්ථානයක් වශයෙන් ඉන්දියන් සාගරයේ නිරිත දිග කොටස ඉන්දියාවට අතිශයින් වැදගත්. ඒ අනුව අගලෙගා දූපත නිරිත දිග ඉන්දියන් සාගරයේ සුදුසු ම තැනක ස්ථානගත ව පවතිනවා. ජාත්‍යන්තර නැව් ගමනාගමනය බහුල ව සිදුවන මොසැම්බික් ඕඩයට සමීප ව පිහිටීමත් අගලෙගා දූපත්වල භූ දේශපාලනික වටිනාකම ඉහළ නංවනවා. එවිට ඉන්දියන් සාගරයේ නෞකා ගමනාගමයේ වැඩි කොටසක් ඉන්දියාවට රහසේ ම නිරීක්ෂණය කරන්න පුළුවන්.

මුරුසිය හා ඉන්දියාව අතර තිබෙන සබඳතාවත් සුළුකොට තකන්න බැහැ. වැදගත් ම විදේශීය සහකරුවා ලෙස මුරුසියට පහසුවෙන් බලපෑම් කිරීමේ හැකියාවක් ඉන්දියාවට තිබෙනවා. ඉන්දියාවේ මුතුන් මිත්තන් බහුතරයක් මුරුසියේ වාසය කරනවා. ඈත අතීතයේ පටන් ම මුරුසි දේශයේ සංස්කෘතියට ඉන්දියාවේ ආභාෂය නොඅඩු ව ම ලැබී තිබෙනවා. ආයෝජන සහ මූල්‍ය ආධාර අතිනුත් මුරුසියට ඉන්දියාවෙන් ඉහළ මට්ටමේ සහායක් ලැබෙනවා. දෙරට අතර පවතින සංස්කෘතික සහ ආර්ථික සබැඳියාව නිසා යුදමය අභිප්‍රායන් වෙනුවෙන් මුරුසිය යොදා ගැනීම ඉන්දියාවට එතරම් අපහසු කටයුත්තක් නොවෙයි. 

UK suffers crushing defeat in UN vote on Chagos Islands | Chagos Islands |  The Guardian
චගෝස් දූපත් – theguardian.com

චගෝස් දූපත්වල සබැඳියාව

 අල් ජසීරා මාධ්‍ය ආයතනයේ විමර්ශන අනුව අගලෙගා දූපත්වල සිදු කරන ඉදිකිරීම් නිසා මුරුසි ජනතාවගේ සිත් තුළට යම් සැකයක් ඇතුළු වී තිබෙනවා. දූපතේ ක්‍රියාත්මක වන ව්‍යාපෘතීන් කිසියම් භූ දේශපාලනික වැදගත්කමක් අරබයා සිදු කරනවා නම්, නිජ භූමියෙන් ඉවත් වීමට සිදුවේයැ යි අගලෙගා දූපතේ වැසියන් බියට පත් ව සිටිනවා. මුරුසි රජය අගලෙගා දූපතේ ජීවිතය වඩා දුෂ්කර තත්ත්වයට පත් කරමින් සිටින බවත් සඳහන් වෙනවා. නිදසුනක් ලෙස අනාගත ඉදිකිරීම් වැලැක්වීම පිණිස දූපතට සිමෙන්ති ගෙන ඒම අගලෙගා වැසියන්ට තහනම් කොට ඇති බව අල් ජසීරා මාධ්‍ය ආයතය වාර්තා කරනවා. මීට අමතර ව, අන්තර්ජාල වේගය අඩාල කිරීම, උසස් පාසල් සිසුන්ගේ විභාග කටයුතු සඳහා ප්‍රධාන දූපතට පැමිණෙන ලෙස බලපෑම් කිරීම, ආරක්ෂක දරු ප්‍රසූතියක් සඳහා ප්‍රමාණවත් වෛද්‍ය පහසුකම් නොමැති වීම, වැනි කාරණා දූපත් වැසියන්ගේ අවිනිශ්චිත අනාගතය ගැන ඉඟි පළ කිරීම් සිදු කරනවා.

 2020 නොවැම්බර් මාසයේදී අගලෙගා දූපතට යන මුරුසි ජාතිකයන් සඳහා ඕනෑම හදිසි වෛද්‍ය කටයුත්තක් ආවරණය වන පරිදි ඩොලර් 5,400 ක බැංකු ඇපයක් තැබීමේ සැලැස්මක් ගැන රජය අවධානය යොමු කළා. අගලෙගා දූපතේ වෙසෙන තම ඥාතීන් බැලීමට යන මිනිසුන් බැංකු ඇපයට බලවත් විරෝධයක් දැක්වූ අතර, මුරුසි රජය වහාම තම සැලැස්ම නවතා දැම්මා.

 නිජ භූමිය අහිමි වේයැ යි අගලෙගා වැසියන්ට ඇති බිය සාධාරණ බව සිතිය හැකි යි. ඒ සඳහා දර්ශීය උදාහරණයක් ඔවුන් අසල ම තිබෙනවා. ඒ චගෝස් දූපත් සමූහය යි. එක්සත් රාජධානිය සහ එක්සත් ජනපදයේ සහයෝගීත්වයෙන් පිහිටුවා ඇති ඩියේගෝ ගාර්ෂියා යුද කඳවුර චගෝස් දූපත් සමූහය තුළ පිහිටා තිබෙනවා. ඩියෙගෝ ගාර්ෂියා කඳවුර නිසා චගෝස් දූපත් සමූහයේ සිටි ස්වදේශිකයන්ට තම නිජ භූමිය අත්හරින්න සිදු වුණා. ඒ පිළිබඳ විස්තරයක් දැන ගැනීමට අවැසි නම් මේ ලිපියට පිවිසෙන්න.

අගලෙගා ගැන මුරුසියේ  අදහස

 කෙසේ නමුත්, චගෝස් දූපත් නිසා ඇතිවූ ගැටලුවට සමාන පසුබිමක් තමා ඉදිරියෙන් ලියා ගැනීමට ඉන්දියාව උත්සහ නොකරනු ඇති. එවැනි දරදඬු අත්පත් කර ගැනීමක් හමුවේ ලෝකය තුළ විවාදාත්මක මාතෘකාවක් වීමට ඉන්දියාවට අවශ්‍ය නැති බව සිතන්නට පුළුවන්. සැමුවෙල් බැෂ්ෆීල්ඩ්ට අනුව අගලෙගා දූපත් විදේශීය හමුදාවකට ඉඩදෙන මුරුසියේ බල ප්‍රදේශයක් බවට පත් විය හැකි යි. එහිදී අගලෙගා දූපත්වල තමාට තිබෙන ස්වෛරීභාවය අත්හැරීමක් මුරුසි රජය සිදු කරන්නේ නැහැ. දූපත් වැසියන් ඉවත් කිරිමේ සැලසුමක් නොමැති බවට වූ සලකුණුත් පෙනෙන්න තිබෙනවා. මුරුසි රජය අගලෙගා දූපත්වල යටිතල පහසුකම් දියුණු කිරීම සඳහා ටෙන්ඩර් කිහිපයක් ප්‍රකාශයට පත්කොට තිබෙන බව සඳහන්. ඒ අනුව දූපතේ බෙහෙත් ශාලාවක්, නිවාස, මාළු ගොඩබෑමේ ස්ථානයක් සහ සිවිල් වැසියන්ට ප්‍රයෝජනවත් වන වෙනත් යටිතල පහසුකම් රාශියක් ඉදි වෙන්නට නියමිත යි.

Location-map-of-Mauritius
මුරුසිය – www.mauritiusinsideout.com 

කරුණු කාරණා එසේ වුවත්, හමුදා කඳවුරක් අගලෙගාවල පිහිටුවීමේ එකඟතාවක් ඉන්දියාව සමඟ නොමැති බව මුරුසිය දිගින් දිගට ම තහවුරු කරනවා. දූපතේ ප්‍රමාණවත් නොවන යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සඳහා අදාළ ඉදිකිරීම් සිදුවන බවත්, ඒ සඳහා විදේශ රටක (ඉන්දියාව) මැදිහත් වීම තිබුණත්, සියල්ල ම සිදු වන්නේ තම බලධාරීන්ගේ පාලනය යටතේ බව මුරුසි රජය පවසනවා.

 ඉන්දියානු සහ ඕස්ට්‍රේලියානු නැව් ජපන් සහ අමෙරිකානු නාවික ඒකක සමඟ ඒකාබද්ධ වී ගුවාම් ප්‍රදේශය ආශ්‍රිත සයුරේ යුද අභ්‍යාසයක් මෑතක දී පැවැත්වූවා. ඉදිරි නාවික අභ්‍යාස සඳහාත් ඉන්දියාවේ සහභාගීත්වය අපේක්ෂා කරන බව ඕස්ට්‍රේලියාව ප්‍රකාශ කර තිබුණා. ඕස්ට්‍රේලියාව තම ආරක්ෂක සහයෝගීතාව තවදුරටත් පුළුල් කිරීමටත් මේ වනවිට කටයුතු කරමින් තිබෙනවා. දැනටමත් අප වටා තිබෙන සාගරයේ සීතල යුද්ධයක සලකුණු පහළ වෙමින් තිබෙනවා. එහි මූලික උත්තේජකයා වන්නේ චීනය යි. එහෙත්, එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉන්දියාව, ජපානය ඇතුළු රටවල් කිහිපයක පවතින යුදමය සහයෝගීතාව කිසිසේත් අවතක්සේරු කරන්න බැහැ. නැඟී එන චීන බලපෑමට වඩා ඒ සහයෝගීතාවයේ ඉතිහාසය ප්‍රබල යි.

කවරයේ ඡායාරූපය: ප්‍රධාන දූපත් රාජ්‍යයක් ලෙස අපත් ඉන්දියන් සාගරයේ භූ දේශපාලනික අරගලය ගැන අවබෝධයෙන් සිටිය යුතු යි. - carnegieendowment.org

 මූලාශ්‍ර:

www.abc.net.au

interactive.aljazeera.com

www.indiatimes.com

indianexpress.com

Related Articles