ජීවමානව අත්විඳ නොමැති වුවත් දිව්‍ය ලෝකයත් අපායත් පිළිබඳ ව මිනිසුන් සතු ව පවතින්නේ පුදුමාකාර විශ්වාසයක්. ඇතැම් පුද්ගලයන් විශ්වාස කරන්නේ දිව්‍ය ලෝකයත් අපායත් මේ ලොවෙහි ම කොටස් වශයෙන් පවත්නා බව යි. අපායෙහි පැවැත්ම පිළිබඳ ව විශ්වාස කරන්නන් අපායෙහි ස්වරූපය පිළිබඳ ව දරන මතයක් වන්නේ එය නිරන්තරයෙන් ගිනි ගනිමින් පවත්නා ලෝ දිය කුහරයක ස්වභාවයක් ගන්නා බව යි. වසර හතළිහක් පුරා අඛණ්ඩ ව ගිනි ගනිමින් පවත්නා ලෝ දිය කුහරයක විවරය ටර්ක්මෙනිස්ටාන් (Turkmenistan) රාජ්‍යයේ, ආහෙල් (Ahal) පළාතෙහි, ඩර්වීස් (Derweze) ගම්මානයෙන් හමුවන්නේ මෙවන් මතවාදයක් ලොව පුරා ස්ථාපිත වී තිබෙන අවස්ථාවක යි.

කාන්තාරය මැද පිහිටි අපායේ දොරටුව (Imgur)

මෙම ලෝදිය කුහර විවරය හෙවත් වසර හතළිහක් පුරා අඛණ්ඩ ව ගිනි ගනිමින් පවත්නා ආගාධය අඩි 230ක පළලින් යුක්ත යි. මෙහි පවත්නා භයංකර පෙනුම හේතුවෙන් ම ප්‍රදේශවාසීන් විසින් මෙය the door to hell හෙවත් අපායේ දොරටුව ලෙසින් හැඳින්වීම ආරම්භ කළා. එසේ නම් කිරීමට හේතු වූයේ බිම අගාධය තුළ  අඛණ්ඩ ව දැල්වෙන ගිනි දැල් සහ නිරන්තර පැසීමට ලක් වන මඩ තට්ටුව යි. මෙම ස්ථානය අනාවරණය කරගන්නා ලද්දේ තෙල් නිධි ගවේෂණය කරමින් සිටි සෝවියට් විද්‍යාඥයන් පිරිසක් විසිනුයි. 1971 දී සිදුකරන ලද මෙකී අනාවරණය කර ගැනුමට ප්‍රථමයෙන් මෙම ස්ථානය, සමස්ත විශ්වයට ම අභිරහසක් ව පැවතියා. මෙකී ස්ථානයෙහි පවත්නා වටිනාකම අවබෝධ කරගැනීමෙන් අනතුරුව සෝවියට් ආණ්ඩුව විසින් මෙම ප්‍රදේශයේ කඳවුරු බැඳ කැණීම් කටයුතු සිදුකිරීම ආරම්භ කළා.

අභ්‍යන්තරය ගවේෂණය කිරීමට සූදානම් ව (AKIpress News Agency)

සෝවියට් ගවේෂකයින් ව අතිශයින් සතුටට පත් කරමින් මෙම භූමියෙන් අවසානයේ මතු වූයේ විශාල ගෑස් නිධියක්. තමන් විසින් මෙම ගෑස් සංචිත ගබඩා කර ගත යුතු බව අවසානයේ දී ඔවුන් තීරණය කළා. කෙසේ නමුත් අපේක්ෂිත අරමුණට ළඟා වීමට ප්‍රථමයෙන්, එකී ගවේෂක කණ්ඩායම දැවැන්ත අභියෝගයකට මුහුණ දුන්නා. ක්‍රමක්‍රමයෙන් ගැඹුරට ම කැණීම් කටයුතු සිදුකරගෙන යත් ම ගවේෂණ කණ්ඩායම ඉදිරියේ හදිසියේ මතු වන්නේ ඔවුන් කිසි විටෙක බලාපොරොත්තු නොවූ ආකාරයේ භයානක ප්‍රතිඵලයක්. මහා පරිමාණයෙන් මීතේන් වායුව නිකුත් කළ හැකි ආකාරයේ විශාල ගෑස් විවරයක්. ඒ අනුව ගවේෂණ කණ්ඩායමට අවබෝධ වූයේ තමන් විසින් තවදුරටත් මෙකී කැණීම් කටයුතු පවත්වාගෙන ගියහොත් එමඟින් අසල්වැසි ගම් නියම්ගම්වලට විශාල හානියක් එල්ල වීමට නියමිත බව යි.

ගෑස් කුහරයට ගමන් කරමින් (Daily Mail)

ඒ අනුව අවසාන වශයෙන් විද්‍යාඥයින් විසින් තීරණය කරන ලද්දේ මෙකී ගැටලුව විසඳාලීමට සුදුසු ම ක්‍රමවේදය වන්නේ මෙම ගෑස් නිධිය පුළුස්සා දැමීම බව යි. ඔවුන් විශ්වාස කළේ එසේ කළහොත් දින කිහිපයක් තුළ මෙකී ගෑස් නිධිය දැවී අවසන් වන බව යි. කෙසේ නමුත් ඔවුන්ගේ නිගමනය දෝෂ සහගත එකක් බවට තහවුරු කරමින් දශක හතරක කාලයක සිට අදටත් මෙම ගෑස් නිධිය සක්‍රීය ව දැල්වෙමින් පවතිනවා. එමෙන්ම මෙය නැරඹීමට වසරක් පාසා සිය දහස් ගණනින් සංචාරකයන් පැමිණෙනවා. ඩර්වීස් හෙවත් මෙම දැවෙමින් පවත්නා ගෑස් නිධිය පිහිටා තිබෙන්නේ  කරකම් (Karakum) කාන්තාරයේ යි. එය ලොව පවත්නා විශාලතම ගෑස් නිධිවලින් එකක්. ටර්ක්මෙනිස්ටාන් පාලකයන්ගේ සැලැස්ම වන්නේ වසර විස්සක් තුළ කියුබික් මීටර මිලියන 75ක පමණ ගෑස් ප්‍රමාණයක් මෙම සංචිතයෙන් ලබාගැනීම යි.

සංචාරකයන්ගේ ආකර්ෂණය (Regard Post)

බැලූ බැල්මට මෙය අපායට පවත්නා දොරටුවක් බව දිස් වුවත්, ඉහත කරුණු අධ්‍යයනය කිරීමේ දී මෙහි පවත්නා විද්‍යාත්මක පසුබිම අනාවරණය වනවා. අද වන විට සමාජ මාධ්‍ය ජාලවල පවත්නා අධි ක්‍රියාකාරීත්වය හේතුවෙන්, මෙතෙක් ලොවට අනාවරණය නොවී පැවති පුදුම සහගත ස්ථානයන් බොහෝමයක් අනාවරණය වීමට පටන්ගෙන තිබෙනවා. අපායේ දොරටුවත් කරළියේ වැඩි කතාබහට ලක්වීමට පටන් ගන්නේ මෙ‍වන් අනාවරණය කිරීමක් හේතුවෙනුයි. මීටර් 69ක් පළල, මීටර් 30ක් ගැඹුරට කැණීමට ලක් කර තිබෙන මෙම නිධිය ලොව විශාලතම ගෑස් සංචිත අතරින් 6වන ස්ථානයේ පවතින බව අද වන විට අනාවරණය කරගෙන තිබෙනවා.

මෙම ගිනිගනිමින් පවත්නා ගෑස් කුහරය තුළට ගමන් කළ පළමු පුද්ගලයා වන්නේ කැනේඩියානු ගවේෂකයෙකු වන ජෝර්ජ් කර්නූනිස් (George Kourounis) ය. මෙකී අන්තරායකර ගමනෙහි අරමුණ වූයේ මෙම ගිනි ගන්නා වළෙන් පස් සාම්පලයක් එකතු කර ගැනීම යි. මෙකී පස් සාම්පලය ඇසුරින් පර්යේෂණ පවත්වා, එවන් පරිසර තත්ත්වයක් යටතේ වුවත් ජීවය රඳා පවත්වා ගත හැකි ද යන්න පිළිබඳ නිගමනයකට එළඹීම අපේක්ෂිත අරමුණ විය. තමන් මුහුණ දුන් අත්දැකීම පිළිබඳ ව අදහස් දක්වමින් ගවේෂක ජෝර්ජ් පසු ව ප්‍රකාශ කර සිටියේ, කුහරය තුළ ගිනිදැල්වලින් පිට වූ ශබ්දය දැරීමට අතිශයින් අපහසු, විනිවිදභාවයෙන් යුතු එකක් වූ බව යි. එය ඔහු උපමා කරන ලද්දේ ජෙට් යානයක එන්ජිමක ශබ්දයට යි. මෙකී කුහරය තුළ දී තමාට සැබැවින් ම දැනුණේ තමා පිටස්තර ලොවකට පා තබා තිබෙන්නාක් මෙන් බවත් ඔහු තවදුරටත් පැවසුවා.

රාත්‍රී කාලයේ දිස්වන ආකාරය (Advantour)

මෙම පරීක්ෂණයෙහි ප්‍රතිඵලයක් ලෙස අනාවරණය වූයේ එතරම් අධික උෂ්ණත්වයක් යටතේ වුව ද ගිනිගනිමින් පැවති පස මතුපිට ඇතැම් බැක්ටීරියාවන් ජීවත් වන බවත්, එම බැක්ටීරියාවන් මෙම කුහරයෙන් එපිට, අවට කිසිදු ස්ථානයකින් සොයාගත නොහැකි බවත් ය. අපගේ සෞරග්‍රහ මණ්ඩලයෙන් පිටත ද මෙම ගෑස් ආගාධයෙහි අභ්‍යන්තරික ලක්ෂණ දරන ග්‍රහලෝක ගණනාවක් පවත්නා බවත්, මෙකී අනාවරණය කරගන්නා ලද තොරතුරු, එම ග්‍රහලෝකයන් පිළිබඳ ව පර්යේෂණ කටයුතු සිදුකිරීමේ දී සහායක් වනු ඇති බවටත් පර්යේෂකයන් විශ්වාස කරනවා. පෘථිවියෙන් එපිට ජීවය සෙවීම සඳහා ද මෙම තොරතුරු පන්නරයක් වන බව ඔවුන් තවදුරටත් පවසනවා.