සිව්විසි චීන අධිරාජ්‍යයන්ට සෙවණ දුන් තහනම් නගරය

ක්‍රි. ව. 1420 සිට 1911 දක්වා කාල සීමාවේ දී චීන අධිරාජ්‍යයන්ට සෙවණ දුන්, බෙයිජිං අගනුවර හෙක්ටයාර 72 (අක්කර 178)ක භූමි ප්‍රදේශයක් පුරා විහිදී ඇති සොඳුරු මාළිගා සංකීර්ණය, ‘තහනම් නගරය’ ලෙස හඳුන්වනු ලබනවා. හයසිය වසරක් මුළුල්ලේ වැඩිදියුණු වෙමින්, චීන අධිරාජ්‍යයන් 24 දෙනෙකුගේ රාජකීය නවාතැන ලෙස භාවිතා වූ එයට ඇතුළු වීම සඳහා අවසර හිමි වුණේ චීන අධිරාජ්‍යයා, ඔහුගේ පවුලේ සාමාජිකයන්, ඔහුගේ අන්තඃපුර බිසෝවරුන්, රාජ්‍ය නිලධාරීන්, සහ මාළිගා සංකීර්ණයේ සේවයේ යෙදී සිටින නපුංසක මෙහෙකරුවන් වැනි සීමිත පිරිසකට පමණ යි.

දීප්තිමත් රතු සහ කහ පැහැ ගොඩනැගිලි 980 කින් සමන්විත ‘තහනම් නගරය’ වටා උසින් මීටර් 10 (අඩි 32)ක් පමණ වන දැවැන්ත ප්‍රාකාරයක් සහ පළලින් මීටර් 52 (අඩි 171)ක් වන දිය අගලක් දැක ගැනීමට ලැබෙනවා. චීන අධිරාජ්‍යයා, ස්වර්ගයේ පුත්‍රයෙකු බව ලොවට කියාපෑමට මෙන් ‘තහනම් නගරය’ ගොඩනංවා ඇත්තේ ධ්‍රැව තාරකාව සමග පෙළට පිහිටා ඇති උතුරු-දකුණු අක්ෂ රේඛාව මත යි. මාළිගා සංකීර්ණයේ දකුණු කොටසේ පිහිටා ඇති ‘පිටත අංගණය’ අවසන් වන්නේ අධිරාජ්‍යයාගේ නිල රාජකාරි කටයුතු පවත්වන ලද ‘උත්තරීතර ප්‍රසංවාද මණ්ඩපය’ නම් ශාලාවෙන්. ‘ඇතුළත අංගණය’ ලෙස සැලකෙන උතුරු කොටස භාවිතා කර ඇත්තේ අධිරාජ්‍යයා, ඔහුගේ පවුලේ සාමාජිකයන් සහ ඔහුගේ අන්තඃපුර බිසෝවරුන්ගේ වාස භවන ලෙස යි.

(© Abe Yoffe) ‘තහනම් නගරය’ ඈතට දිස්වන අයුරු

තහනම් නගරය’ පිටස්තර පුරුෂයන්ට සම්පූර්ණයෙන් ම තහනම් ස්ථානයක් වූ අතර අවසර නොමැති ව එයට ඇතුළු වූ පුද්ගලයින්ගේ පුරුෂ ලිංගය කපා දමා ඔවුන් ව නපුංසක මෙහෙකරුවන් ලෙස සේවයේ යෙදවීමට අධිරාජ්‍යයා කටයුතු කර තිබෙනවා. නමුත් වර්තමානයේ දී ‘තහනම් නගරය’ වසරකට නරඹන්නන් මිලියන ගණනක් ආකර්ෂණය කර ගන්නා ප්‍රකට සංචාරක ගමනාන්තයක්. 2013 ඔක්තෝම්බර් 2 වැනි දින එය නැරඹීමට පැමිණි සංචාරකයින් ගණන 175,000 ඉක්මවා ඇති අතර එක් දිනක දී වැඩිම නරඹන්නන් පිරිසක් සංචාරය කරන ලද ලෝක උරුමය ලෙස ‘තහනම් නගරය’ වාර්තා පොතට පවා එක් වී තිබෙනවා.

සොඳුරු මාළිගා සංකීර්ණයක ඇරඹුම

(© Wikimedia Commons) යොංගල් අධිරාජ්‍යයා

ක්‍රි. ව. 1402 දී තමන්ගේ බෑණනුවන් බලයෙන් පහ කර චීන අධිරාජ්‍යයා ලෙස කිරුළු පැළඳූ යොංගල් අධිරාජ්‍යයාගේ මෙහෙය වීම ‘තහනම් නගරය’ ගොඩනගන ලද්දේ චීනයේ නව අගනුවර ලෙස නම් කරන ලද බෙයිජිං නුවර යි. යොංගල් අධිරාජ්‍යයා විසින් රාජකීය අගනුවර නැන්ජිං සිට බෙයිජිං දක්වා මාරු කිරීම සහ එහි අලුතෙන් රාජකීය මාළිගයක් නිර්මාණය කිරීම දැවැන්ත මෙහෙයුමක් වූ අතර, එය යථාර්ථයක් බවට පත් කර ගැනීම සඳහා චීන ඇළ මාර්ග පද්ධතිය පුළුල් කිරීමට සහ ගස් කැපීම, ගල් කැඩීම, ගඩොල් පිළිස්සීම, භාණ්ඩ ප්‍රවාහනය වැනි කාර්යයන් ඉටු කිරීමට කම්කරුවන් මිලියනයක් පමණ සේවයේ යෙදවීමට සිදු වූ බව ඉතිහාසයේ සඳහන් වෙනවා.  

(© Wikimedia Commons) මින්ග් රාජ සමයට අයත් සිතුවමක ‘තහනම් නගරය’ නිරූපණය කර ඇති අයුරු

‘තහනම් නගරය’ ගොඩනැංවීම සඳහා 15 – 16 වැනි සියවසේ දී ටොන් 330ක පමණ බරින් යුතු යෝධ ගල් කුට්ටි යොදාගෙන ඇති අතර, මෑතක දී හමු වූ වසර 500ක් පමණ පැරණි ලේඛනයක සඳහන් වන්නේ දිගින් මීටර් 9.5 (අඩි 31)ක් සහ බරින් ටොන් 135ක් පමණ වූ ගල් කුට්ටි කම්කරුවන් කණ්ඩායමක් විසින් තල්ලු කරන ලද හිම යානයක් මඟින් ප්‍රවාහනය කිරීම සඳහා 1557 සිසිර ඍතුවේ දී දින 28ක් පමණ ගත වූ බව යි. අලංකාර ගෘහ භාණ්ඩ සහ සිතුවමින් හැඩ ගන්වන ලද කාමර 10,000 කින් පමණ සමන්විත මාළිගා සංකීර්ණය ගොඩනැංවීම සඳහා වසර 14ක් පමණ ගත වී තිබෙනවා.

තහනම් නගරය’ තුළට පිවිසෙන අයුරු

(© Merten Snijders / Getty Images) ‘මෙරිඩියන් දොරටුව’

මාළිගා සංකීර්ණයේ ප්‍රධාන ද්වාරය ලෙස සැලකෙන්නේ දකුණු දෙසින් පිහිටා ඇති උසින් මීටර් 38 (අඩි 125)ක් පමණ වන ‘මෙරිඩියන් දොරටුව’ යි. එයින් ඇතුළු වන අයෙක්ට අංගණ ගණනාවක් පසු කරගෙන ගොස් මාළිගා සංකීර්ණය මධ්‍යයේ පිහිටි ‘තහනම් නගරය’ සතු විශාලතම ශාලාව වන ‘උත්තරීතර ප්‍රසංවාද මණ්ඩපය’ කරා ළඟා වීමට හැකියාව පවතිනවා. ඉතිහාසඥයින් ප්‍රකාශ කරන්නේ අතීතයේ දී මාළිගයේ රාජකාරි සඳහා පැමිණි නිලධාරීන්ට ‘මෙරිඩියන් දොරටුව’ විවර කරන තෙක් උදෑසන 3 පමණ සිට එයට පිටතින් රැඳී සිටීමට සිදු වූ බව යි. ‘මෙරිඩියන් දොරටුව’ මත අධිරාජ්‍යයාට රැඳී සිටිය හැකි සඳැල්ලක් පවතින අතර, හමුදා උත්සව සහ විජයග්‍රහණ පෙළපාලි නැරඹීමට පමණක් නොව චීන අධිරාජ්‍යයේ කෘෂිකාර්මික සහ සංස්කෘතිකමය උත්සවය පැවැත්විය යුතු දිනයන් හෙළිදරව් කරන වාර්ෂික දින දසුන ප්‍රකාශයට පත් කිරීම සඳහා ද අධිරාජ්‍යයා විසින් එය භාවිතා කර තිබෙනවා.

(© Simply Articles) ‘උත්තරීතර ප්‍රසංවාද මණ්ඩපය’

‘උත්තරීතර ප්‍රසංවාද මණ්ඩපය’ ගොඩනංවා ඇත්තේ උසින් මීටර් 35 (අඩි 115)ක් පමණ වන කුඩා වේදිකාවක් මත යි. එහි වහළයේ දෙකෙළවර එකිනෙකට මුහුණලා පිහිටා ඇති මකර රූ ද්විත්වයක් දැක ගැනීමට ලැබෙන අතර, උසින් මීටර් 3 (අඩි 11)ක් පමණ වන එක් මකර රුවක් ටොන් 5ක පමණ බරින් යුතු බව යි වාර්තා වන්නේ. පසුකාලීන ව මන්චූරියාවෙන් පැමිණි පාලකයින් චිං රාජ වංශය (ක්‍රි. ව. 1644 – 1912) පිහිටුවීමෙන් පසු ව අධිරාජ්‍යයාගේ නිල රාජකාරි කටයුතු පැවැත්වීම සඳහා ‘උත්තරීතර ප්‍රසංවාද මණ්ඩපය’ වෙනුවට භාවිතා කර ඇත්තේ ‘මානසික දියුණුව සඳහා වූ ශාලාව’ යි.

(© Gisling) ‘මානසික දියුණුව සඳහා වූ ශාලාව’

දෙස් විදෙස් සංචාරකයින්ට විවර වූ තහනම් නගරය

චීන රජ පෙළපතේ අවසානය සනිටුහන් කරමින් පුයී අධිරාජ්‍යයා සිහසුන අත්හැරීමෙන් පසු ව පවා ඔහුගේ වාසස්ථානය ලෙස ‘තහනම් නගරය’ භාවිතා කිරීමට විප්ලවකරුවන් අවස්ථාව ලබා දී ඇති අතර, 1924 දී එය කෞතුකාගාරයක් බවට පරිවර්තනය කර තිබෙනවා. පසු ව මාඕ සේතුංගේ නායකත්වයෙන් යුතු සාමාජවාදී බලයට පත් වීමෙන් පසු ව ඔවුන් ‘තහනම් නගරය’ කඩා ඉවත් කිරීමට තීරණය කළ ද එය ක්‍රියාත්මක වී නැහැ. එතැන් පටන් අද දක්වා ම ‘තහනම් නගරය’ ක්‍රියාත්මක වන්නේ ගණනින් මිලියන 1.5 ඉක්මවන කලා කෘතීන්ට සෙවණ සපයන කෞතුකාගාරයක් ලෙස යි.

‘තහනම් නගරය’ සතු ඓතිහාසක වටිනාකම සැලකිල්ලට ගෙන යුනෙස්කෝ සංවිධානය විසින් 1987 දී එය ලෝක උරුමයක් ලෙස නම් කර තිබෙනවා. එය නැරඹීම සඳහා ප්‍රවේශපත්‍රයක් මිල දී ගත යුතු අතර, අප්‍රේල් 1 සිට ඔක්තෝබර් 31 දක්වා උදෑසන 8.30 සිට පස්වරු 5.00 දක්වා, සහ නොවැම්බර් 1 සිට මාර්තු 31 දක්වා උදෑසන 8.30 සිට පස්වරු 4.30 දක්වා, සඳුදා දින හැර සතියේ අන් සෑම දිනක ම සංචාරකයින් සඳහා විවෘත ව පවතිනවා.

 

කවරයේ පින්තූරය: © Lord Runar / Getty Images

Related Articles