Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

සුරඟන ලොවක සිරි මවන පිලිපීනයේ පිහිටි අපූරු ගංගාව

සොබාදහම තරම් මිනිසා පුදුමයට පත් කරවන වෙනත් කිසිවක් නැති තරම්. සොබාදහම විසින් දායාද කර තිබෙන සෑම සම්පතකට ම ආවේණික විශේෂතාවක් පවතිනවා. කෙසේ නමුත් ඒ අතරිනුත් ඇතැම් නිමැවුම් වඩාත් විශේෂිත ස්වභාවයක් දරනවා. ලොව කොතෙකුත් ගංගා පැවතියත්, ඒවාට ආවේණික යම් යම් ලක්ෂණ තිබුණත්, ඇතැම් ලක්ෂණ ඉතා ම දුර්ලභ යි. එවන් දුර්ලභ ගණයේ පිහිටීමක් සහිත ගංගාවක්, පිලිපීනයෙන් හමුව තිබෙනවා. පිලිපීනයේ හිනාටුයන් (Hinatuan) නගරයේ සිට කි. මී. 14ක් පමණ දුර ඉක්ම ගිය තැන බැරන්ගැයිස් ටැලිසෙයි (Barangays Talisay) සහ කැම්බටෝන්ග් (Cambatong) යන ගම් දෙක අතර යි මෙම ගංගාව පිහිටා තිබෙන්නේ. ලුනු දියෙන් යුක්ත හිනාටුයන් එන්චාන්ටඩ් (Hinatuan Enchanted) ගංගාව ගලා ගොස් මුහු වන්නේ පැසිපික් සාගරයට යි. මෙම ගංගාව ගැඹුරින් අඩි 80ක්. ඒ වගේ ම සාමාන්‍ය ගංගාවක තරම් දිගක් මෙහි ඇත්තේ නැහැ. මෙම ගංගාවට ජලය සැපයෙන්නේ කුමන ජල පෝෂකයකින්දැ යි කියාවත් තවම සොයාගෙන නැහැ. මෙම ගංගාව පිළිබඳ ඇතැම් කරුණු කාරණාවන් තවම එක්තරා අබිරහසක්.

දීප්තිමත් නිල් පැහැති ගංගාව (2il org)

මෙම ගංගාව පිළිබඳ ව රසවත් කතා පුවත්, පුරාවෘත්තයන් ගණනාවක් ප්‍රදේශය පුරා ව්‍යවහාරයේ පැතිරී පවතිනවා. ඒ අතර දිය කිඳුරියන් පිළිබඳ ව කතාන්දරයන් ද පවතිනවා. මෙම ස්ථානය සංචාරකයන්ගේ වැඩි ආකර්ෂණයක් දිනාගැනීමට හේතු වී ඇත්තේ මෙහි ගංගා ජලයෙහි පවත්නා විශේෂිත නිල්වන් පැහැය යි. කොළ පැහැති සාරවත් තණ පිටියකට මැදි ව ගලා යන දීප්තිමත් නිල් පැහැති ජලය සංචාරකයන්ගේ සිත් තදින් ආකර්ෂනය කරගැනීමට සමත් දසුනක්. විනිවිද පෙනෙන නිල්වන් ජලයෙහි ඒ මේ අත පිහිනන මාළුවන්ගේ දසුන සංචාරක සිත් කුල්මත් කිරීමට සමත්. එපමණක් නොවෙයි ගංගාවෙහි දියට යටින් පෙනෙන නොයෙක් ආකාරයේ හැඩතල බොහෝ දෙනාගේ විශේෂ අවධානයට බඳුන් වනවා. මෙම ගංගාව ලොවට අනාවරණය වීමට පෙර මෙම ප්‍රදේශය කෙරෙහි එතරම් දැඩි සංචාරක ආකර්ෂණයක් පැවතියේ නැහැ. එසේ පැවතියා නම් ඒ හිනාටුයන් මුහුදු බොක්ක නැරඹීමට පැමිණි සංචාරකයන් කිහිප දෙනාගෙන් පමණයි. එතෙක් ඒ ආශ්‍රිත ව පැවතියේ ද ලැගුම්හල් කිහිපයක් පමණයි.

මසුන්ට ආහාර දමන අවස්ථාවක් (tupanggala.com)

සංචාරක ආකර්ෂණය යොමුවීමට පෙර මෙම දිය උල්පතෙහි පිහිනීම් කටයුතු සිදුකළේ ග්‍රාමාශ්‍රිත වැසියන් පමණයි. ඇතැමුන් පිහිනීම් කටයුතු සඳහා මෙහි පැමිණි අතර, ඇතැමුන් මෙහි පැමිණීමට පුරුදු ව සිටියේ මාළු බෑමට යි. කෙසේ නමුත් මෙම ස්ථානය ලොවට අනාවරණය වීමත් සමග ම මෙම ස්ථානය කරා පැමිණෙන සංචාරකයන් ප්‍රමාණය වැඩිවීමත් සිදුවුණා. මෙම පරිසර පද්ධතිය පිළිබඳ පර්යේෂණ කටයුතු සිදුකළ විද්‍යාඥයන් සහ පර්යේෂකයන් අනතුරු හැඟවූයේ තවදුරටත් විධිමත් නෛතික ව්‍යුහයක් නොමැති ව සංචාරකයන් උදෙසා මෙම ස්ථානය විවෘත කළහොත් ඉන් විශාල පාරිසරික හානියක් සිදුවිය හැකි බවත්, ජෛව පද්ධතිය යථා තත්වයට පත් කළ නොහැකි අනතුරකට මුහුණ පෑ හැකි බවත් ය. ඒ අනුව වහා ම ක්‍රියාත්මක වූ හිනාටුයන් පළාත් පාලන ආයතනය මෙම ගංගාව සතු වූ ප්‍රධාන ස්වභාවික තටාකයේ පිහිනීම සියලු දෙනාට ම පොදුවේ ක්‍රියාත්මක වන පරිදි තහනමට ලක් කළා. ඒ වෙනුවට ප්‍රධාන තටාකයෙන් ඔබ්බෙහි පිහිටි කුඩා තටාකයක ස්නාන කටයුතු සිදුකිරීමටත්, පිහිනීමටත් අවසර ලබා දුන්නා. එසේ පිහිනීම් කටයුතු හෝ ස්නාන කටයුතු සිදුකරන්නේ නම් ජීවිතාරක්ෂක කබා පැළඳිය යුතු බවටත් නියම කෙරුණා.

අභ්‍යන්තර ගුහාව (tupanggala.com)

සෑම දිනෙක ම මධ්‍යාහ්න දොළහට මෙම ගංගාවේ මාළුන් සඳහා ආහාර ලබාදීම සිදුකෙරෙනවා. එය විනාඩි පහක කාලයක් පුරාවට ක්‍රියාත්මක වනවා. ඒ අතර පසුබිමින් හිනාටුයන් හි පවතින ස්තොත්‍ර ගායනාවකුත් සිදුකෙරෙනවා. මෙම ස්ථානය කරා පැමිණෙන සංචාරකයන්ගේ පහසුව උදෙසා නාන කරාම, වැසිකිලි, ආහාර ගත හැකි ස්ථානයන්, වෙළඳ කුටි, වාහන නවතාලීමේ ප්‍රදේශ පවා නිසි පරිදි විධිමත් ව සකසා තිබෙනවා. ගංගාව කරා දිවෙන මාර්ගයෙහි ආරම්භක දොරටුවේ සිට ගංගාව දක්වා මීටර 400ක පමණ දුරක් ඇවිද යා යුතු බැවින් එසේ ගමන් කිරීමට අකමැති සංචාරකයන්ට පහසු වනු පිණිස ගමන් කිරීමට රථ පවා සපයා තිබෙනවා. සිහිවටන මිලට ගත හැකි කඩ සාප්පු පමණක් නොව හිනාටුයන් මුහුදු බොක්කෙන් සපයා ගත් නැවුම් මුහුදු ආහාර පිළියෙල කර පිළිගැන්වීම සඳහා භෝජනාගාර පවා අද වන විට මෙම ස්ථානයෙහි ඉදිකර තිබෙනවා. ගංගාව කෙළවර ක්‍රියාත්මක වන කුලී බෝට්ටු සේවාව මඟින් බෝට්ටුවක් ලබාගෙන දූපත නැරඹීමට යාමටත් සංචාරකයන්ට හැකියාව පවතිනවා. සවස 5.00 වන තෙක් ම මෙම ගංගාව සංචාරකයන් උදෙසා‍ විවෘත ව පවතිනවා.

සංචාරකයන් ස්නානය කරන ස්ථානයක් (tupanggala.com)

මෙම ගංගාවට ආව්ණික ගැඹුර සහ එහි පවත්නා විශේෂිත පැහැය හේතුවෙන් පුරාවෘත්තයන් ගණනාවක් නිර්මාණය වී තිබෙනවා. Engkantos යනුවෙන් පිලිපීන ජාතිකයන් විසින් හඳුන්වන ගුප්ත පුරාවෘත්තමය සත්ත්වයන් සහ තවත් එවැනි පුරාවෘත්තමය ජීවීන්, මෙම ස්ථානය ආරක්ෂා කරන බවට එම ප්‍රදේශයේ වැසියන් අතර විශ්වාසයක් පවතිනවා. මෙම ස්ථානයේ ධීවර කටයුතුවල නිරතවන්නන් දක්වන්නේ ද කිසිදිනෙක අල්ලා ගත නොහැකි මාළු විශේෂයන් මෙහි සිටිනු තමන් දැක ඇති බව යි. මෙම ස්ථානය පිළිබඳ ව පවත්නා වඩාත් ම ප්‍රචලිත පුරාවෘත්තයක් නම් සුරංගනාවන් විසින් මෙම ගංගාව තුළට නිල්මැණික් (sapphire) සහ හරිතමණී (jade) නමැති කොළ පැහැති මැණික් වර්ගය දැමූ බවත්, ඒ හේතුවෙන් මෙම ගංගාවට මෙකී දිව්‍යමය දීප්තිමත් පැහැය ලැබුණු බවත් ය. කෙසේ නමුත් ප්‍රදේශවාසීන් දක්වන්නේ මෙවන් පුරාවෘත්තයන් නිර්මාණය කර තිබෙන්නේ බාහිර පුද්ගලයන් මෙම ස්ථානය නැරඹීමට පැමිණීම වළක්වාලීමට වන බව යි.

ආචාර්ය Alfonso Amores වෙනුවෙන් වෙන් වූ ස්ථානය (tupanggala.com)

මෙම ගංගාවෙහි කිමිදෙමින් පර්යේෂණ කටයුතු සිදුකළ පුද්ගලයන් තිදෙනෙකු සිටිනවා. ඒ අතරින් ආචාර්ය අල්ෆොන්සෝ ඇමෝරස්ට හිමි වන්නේ වැදගත් ස්ථානයක්. 2010 පෙබරවාරි මස මොවුන් තිදෙනා මෙම ගංගාවෙන් අපූරු සොයාගැනීමක් කරනවා. මෙම ගංගාවෙහි ජලය යට තිබී පොළොවෙන් යටට විහිදුණු ගුහාවක් මොවුන් තිදෙනා සොයාගන්නවා. කෙසේ නමුත් 2014 ජූනි 17 වන දින මෙම ගුහාවේ කුඩා දොරටුවෙන් පිටවීමට උත්සාහ කිරීමේ දී පීඩනයට පත් ව ඇති වූ හෘද්‍යාබාධයකින් ආචාර්ය අල්ෆොන්සෝ ඇමෝරස් අවාසානාවන්ත ලෙස ජීවිතයෙන් සමුගන්නවා. මොහුගේ මරණයෙන් අනතුරුව වුවත්, මෙම ස්ථානයේ ගවේෂණ කටයුතු අඛණ්ඩ ව ක්‍රියාත්මක වුණා. කෙසේ නමුත් ඔහු ව සිහිවනු පිණිස සහ ඔහුට උපහාර පිණිස අද වන විට මෙම ගංගා පරිශ්‍රය ආශ්‍රිත උද්‍යානයේ සිහිවටන ස්ථානයන් පවා ඉදිකර තිබෙනවා.

 

කවරයේ පින්තූරය: Hinatuan Enchanted River (GetAboutAsia)

මූලාශ්‍රයයන්:

  • Hinatuan Enchanted River, atlasobscura.com
  • The sapphire Hinatuan Enchanted River in the Philippines is jaw-dropping, matadornetwork.com
  • THE HINATUAN ENCHANTED RIVER IS NOW CLOSED FOR SWIMMING,  tripzilla.ph
  • Hinatuan: Get Charmed at the Enchanted River, tupanggala.com
  • No More Swimming in Hinatuan Enchanted River, outoftownblog.com

Related Articles