Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

අර්බුද හමුවේ ඇද වැටුණු මැද පෙරදිග ‘මුතු ඇටය’

ලෙබනනය යනු මැද පෙරදිග පිහිටා ඇති කුඩා රටක්. එය වර්ග කිලෝමීටර් 10,000ට මඳක් වැඩි වර්ග ප්‍රමාණයකින් යුක්ත යි. ලෙබනනය ශ්‍රී ලංකාවට වඩා හය ගුණයකින් කුඩා යි. අප මේ කතා කරන්නට යන්නේ මැද පෙරදිග මුතු ඇටය ලෙස විරුදාවලිය ලද ලෙබනනය අද පත් වී තිබෙන ඛේදනීය තත්ත්වය ගැන යි. 

ලෙබනනය මේ වනවිට දැවැන්ත ආහාර, ඖෂධ ඇතුළු ද්‍රව්‍යවල දැඩි හිඟයකට මුහුණ දී සිටිනවා. නිම නොවන දිගු ඉන්ධන පෝලිම් එහි සුලබ දසුනක්. එම ඉන්ධන පෝලිම්වල සිටින අය අතර නිරන්තරයෙන් ගැටුම් ද හට ගැනෙනවා. සමහර දිනවල පැය 15ක පමණ එහි විදුලි කප්පාදුවක් පවතිනවා. මෑත කාලීන සංඛ්‍යා ලේඛනවලට අනුව ලෙබනනයේ ජනගහනයෙන් 80%ක් සිටින්නේ දරිද්‍රතා මට්ටමේ යි. 

මැද පෙරදිග ස්විට්සර්ලන්තය​ ලෙස විරුදාවලිය ලැබූ ලෙබනනය මෙම දුර්භාග්‍ය සම්පන්න තත්ත්වයට පත් වූයේ කෙලෙස ද? වර්තමානයේ ශ්‍රී ලාංකීක අප ද අත්දකිමින් පවතින මෙවැනි ම අර්බුදවලට ලෙබනනය කදිම උදාහරණයක්.  

ලෙබනනයේ අර්බුදය මාතෘකා කිහිපයක් ඔස්සේ සාකච්ඡා කළ හැකි ය​. 

මූල්‍ය අර්බුදය

ඉස්ලාම් ආගමිකයන්ගේ ආගමික උත්සව සඳහා මාංශ මිලදී ගැනීමේ අර්බුදයෙන් ලෙබනන් ජනතාව පසුගිය දා වෙලී සිටියේ මාංශවල මිල ඉතා අධික වූ නිසා යි. එක් විටක ලෙබනනයේ අගමැතිවරයා එරට ජනතාවට මාංශ භක්ෂණයෙන් වැලකී සිටීම ශරීරයට ගුණදායක බව කියා සිටියේ මේ මූල්‍ය අර්බුදයේ ප්‍රතිඵලයක් ලෙස යි. 1990 දී එරටේ මුදල් ඒකකය වන ලෙබනන් පවුම, අමෙරිකානු ඩොලර් ඒකකයක් සඳහා 1,500ක් ලෙස නියතයක් බවට පත් කළා. මෙම කෘත්‍රිම​ අගය පවත්වා ගැනීම සඳහා එරට බැංකු තමන් සතු ඩොලර් වෙළඳපොළට නිකුත් කරන්නට කටයුතු කළා. දීර්ඝ කාලීනව එය අර්බුදයකට ලක්වුණා. එහි ප්‍රතිපලයක් ලෙස ලෙබනන් පවුම 90% ක් වැනි ඉතා ඉහළ අගයකින් අවප්‍රමාණය වුණා.

එයට සාපේක්ෂ ව ලෙබනනයේ ආනයන වියදම ඉතා ඉහළ අගයක් ගත්තා. බොහෝ රටවල් මෙන් ම ලෙබනනය ද තමන්ගේ ආර්ථික අවශ්‍යතා පිරිමසා ගැනීමට ජාත්‍යන්තරයෙන් ණය ගැනීම යහමින් සිදු කළා. එහි ප්‍රතිඵලයක් ලෙස ලෙබනනය, ඩොලර් බිලියන 90ක ණයගැති රටක් බවට පත් වුණා. ලෙබනනයේ ආනයන ලැයිස්තුව ඉතා දීර්ඝ යි. අපනයන කඩා වැටීමත් ආනයන වැඩි වීමත් හේතුවෙන් ලෙබනනය ඩොලර් හිඟයකට මුහුණ දුන්නා. ඩොලර් අර්බුදයකට පත් වූ ලෙබනනය එරට ඩොලර් විදේශ රටවලට ගලා ගෙන යාම අවහිර කිරීමේ නීති පැනවුවා. එම නීති පැනවීමට දින කිහිපයකට පෙර එරට දේශපාලකයන් හා ඔවුන් සමඟ ජාවාරම්වල නිරත වී සිටි ව්‍යාපාරික ප්‍රජාව තමන්ගේ ඩොලර් වෙනත් රටවලට ගෙන ගියේ අර්බුදය තවත් තීව්‍ර කරමින්. 

ඉන්ධන අර්බුදය

ලෙබනනය මැද පෙරදිග රටක් වුව ද ඔවුන් තමන්ගේ පරිභෝජනයට තෙල් ආනයනය කරනවා. එරටට වුවමනා ඉන්ධන ආනයනය කිරීමට ඩොලර් නොමැති වීමෙන් මූල්‍ය අර්බුදය ඉන්ධන අර්බුදයක් බවට පරිවර්තනය වුණා.  

මූල්‍ය අර්බුදය හේතුවෙන් ඇති වූ ඩොලර් හිඟය හේතුවෙන් ලෙබනනයට ඉන්ධන ආනයනය සීමා පැනවීමට සිදු වූ අතර, ඒ අනුව බරපතළ තෙල් හිඟයකට එරට මුහුණ දුන්නා. ලෙබනනය ඉන්ධන සඳහා දී තිබූ සහනාධාරය ද අහෝසි කළා. එහි ප්‍රතිඵලයක් ලෙස ඉන්ධන මිල සාමාන්‍ය ජනයාට දැරිය නොහැකි ප්‍රමාණයකින් ශීඝ්‍ර ලෙස ඉහළ ගියා. ඉන්ධන ලබා ගැනීම සඳහා පවතින දීර්ඝ වාහන පෝලිම් එරට සුලබ දසුනක් බවට පත් වුණා.

නිමක් නැති දිගු ඉන්ධන පෝලිම් – www.middleeasteye.net

මේ ඉන්ධන පෝලිම්වල ඇති වූ ගැටුම් විටක ප්‍රචණ්ඩ වෙමින් මිනී මරා ගැනීම් දක්වා වර්ධනය වූ අවස්ථා ද වාර්තා වුණා. ඉන්ධන අර්බුදය හේතුවෙන් කාර්යාල, පාසල් ආදිය අකර්මණ්‍ය වුණා. ඉන්ධන යනු බොහෝ අංශවලට බලපාන සාධකයක් බැවින් ලෙබනනයේ සියලු අංශ අර්බුදයක් කරා එය රැගෙන ගියා. පානීය ජලයේ මිල හතර ගුණයකින් ඉහළ ගියා.  විදුලි ජෙනරේටර් සඳහා ඩීසල් නොමැති වීමෙන් විදුලි කප්පාදුවක් ක්‍රියාත්මක කිරීමට බලධාරීන්ට සිදු වුණා. සමහර ප්‍රදේශවලට දිනකට විදුලිය ලබා දීම පැය 2 -3කට  සීමා කෙරුණා. විදුලි අර්බුදයෙන් ආරෝග්‍ය ශාලාවල කාර්යයන් නිසි ලෙස පවත්වා ගැනීමට නොහැකි වීමෙන් එය සෞඛ්‍යය අර්බුදයක් බවටත් පත් වුණා. 

සෞඛ්‍යය අර්බුදය

සෞඛ්‍ය අර්බුදය කෙතරම් උඩු දිව්වාදැයි කිවහොත් ලෙබනනයේ ආරෝග්‍ය​ ශාලාවලට ඉන්ධන ලබා දීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයටත් මැදිහත් වීමට සිදුවූවා. ජීවිතාරක්ෂක ඖෂධ පමණක් නොව පැරසිටමෝල් පවා හිඟයක් ඇති වුණා. බොහෝ පිරිස් රාජ්‍ය නොවන සංවිධාන ඔස්සේ සංවිධානය වෙමින් එරටට ඖෂධ ගෙන්වා ගැනීමේ ක්‍රියාමාර්ගවලට එළැඹුණා. ඉන් සක් සුදක් සේ විද්‍යමාන වූයේ ලෙබනන් රාජ්‍යයේ කඩා වැටීමයි.

විශේෂයෙන් ම, අත්‍යවශ්‍ය​ ඖෂධ ගෙන්වීම රාජ්‍යය නොවන ආයතන හරහා සිදුවීමත් සමඟ​ ම ලෙබනනයේ රාජ්‍යයේ සහභාගීත්වය එරට ජනයාගේ ප්‍රශ්න කිරීමට ලක්වුණා. සමහර අවස්ථාවල වෛද්‍යවරයකුගෙන් වේලාවක් වෙන් කර ගෙන ප්‍රතිකාර සඳහා පැමිණීමට රෝගීන්ට සිදු වූවා. වෛද්‍ය ගාස්තු මෙන් ම ඖෂධ මිල ද විශාල ලෙස ඉහළ ගියේ රෝගියා මෙන් ම වෛද්‍යවරයා ද අපහසුතාවට පත් කරමින්. කොරෝනා අර්බුදය හමුවේ දී මෙම සෞඛ්‍යය අර්බුදය ලෙබනන් වැසියන්ට දැඩි ව බලපෑවා.

 මේ සියලු අර්බුද අවසානයේ දේශපාලන අර්බුදයක් දක්වා වර්ධනය වූවා.

සෞඛ්‍යය අර්බුදය ලෙබනන් වැසියන්ට ඉතා තදින් බලපෑවා – www.gettyimages.com 

 

දේශපාලන අර්බුදය

ලෙබනනයේ දේශපාලනය අර්බුදය අවසානයේ මතු වුවත් එය එරට කලෙක පටන් අළු යට ඇති ගිනි පුපුරු සේ සැඟ වී තිබුණා. විටින් විට දේශපාලන අර්බුදය මතු පිටට පැමිණියත් එය සමනය කර ගැනීමට මීට පෙර අවස්ථාවල දී දේශපාලන අධිකාරියට හැකියාව ලැබුණා. ලෙබනනයේ දේශපාලන අර්බුදය එහි ක්‍රමවේදයේ ම ප්‍රතිඵලයක් ලෙස හඳුන්වා දෙන්නත් පුළුවන්. ලෙබනනයේ ප්‍රධාන දේශපාලන තනතුරු වන ජනාධිපති, අගමැති හා කතානායක ධූර බෙදී යාම ආගම් අතර බෙදී යන ලෙස පැවතිය යුතු බවට එරට ව්‍යවස්ථාවෙන් ස්ථාපිත කර තිබුණා.

ඒ අනුව ජනාධිපති ධූරය සඳහා මැරනයිට් ක්‍රිස්තියානුවකු ද, අගමැති ධූරය සඳහා සුන්නි මුස්ලිම් ජාතිකයකු ද, කතානායක ධූරය සඳහා ෂියා මුස්ලිම් ජාතිකයකු ද පත් කර ගත යුතු බවට එරට ව්‍යවස්ථාවේ සඳහන්. මේ ලෙස එරට නීති සම්පාදනය කෙරුණේ වසර 30කට අධික කාලයක් පැවති සිවිල් යුද්ධයෙන් අනතුරුව විවිධ ජාතීන් අතර විරසකයන් ඇතිවීම වැලැක්වීමටයි.

එම ක්‍රියාමාර්ග ලෙබනනය අරාජික කරන්නට හේතු වුණා. මේ හරහා අවස්ථාව ලබා දීමේ දී පුද්ගල හැකියාවන්ට වඩා හැඳුනුම්කම් රාජ්‍ය ආයතන වෙළා ගත්තා. රාජ්‍යය බිඳ වැටීමට එය හේතු වූවා පමණක් නොව, දූෂණය ද ඉහවහා ගියා. මේ සියල්ල විඳ දරා ගැනීමේ උපරිමයකට පැමිණි එරට මිනිසුන් අවසානයේ (2019 දී) උද්ඝෝෂණ සඳහා යොමු වුණා. 

බේරූට් පිපිරීමෙන් අනතුරුව – www.vox.com 

 

බේරුට් වරායේ පිපිරීම

මේ සියලු අර්බුද මධ්‍යයේ මතු වූ කොරෝනා අර්බුදය ලෙබනනය ආර්ථික අතින් පසුගාමී තත්වයට පත්වෙද්දී මුළු ලොව ම කම්පා කරමින් සිදු වූ බේරූට් වරායේ පිපිරීම ලෙබනන් ආර්ථිකය බිමටම සමතලා කර දැමුවා. ඇමෝනියම් නයිට්‍රේට​ ටොන් 2,750ක් අනාරක්ෂිත ලෙස ගබඩා කිරීම මෙම පිපිරීමට හේතු වුණා. මෙම පිපිරීම කඩාවැටෙමින් තිබූ ලෙබනන සෞඛ්‍ය ක්ෂේත්‍රයට දරාගත නොහැකි වුණා. සමහර ආරෝග්‍ය ශාලාවල වෛද්‍ය කාර්ය මණ්ඩලයේ මේස උඩ පවා රෝගීන්ට ප්‍රතිකාර කෙරුණා. බේරුට් වරායේ පිපිරීමට අද වන විටත් කිසිදු වරදකරුවකු සොයා ගැනීමට අසමත් වීම, එරට ජනයා තවදුරටත් ආණ්ඩුව කෙරෙහි ඇති කලකිරීම වර්ධනය කරන්නට හේතු වුණා.

ජනාධිපතිවරයාගේ සිට වරාය ඇමති, වරායේ ප්‍රධානියා, රසායනික මෙම ස්ථානයේ වසර 6ක් පමණ අනාරක්ෂිත ලෙස ගබඩා කර ඇති බව දැන සිටි බව පරීක්ෂණවලින් හෙළි වූ කරුණක්. මෙසේ කරුණු හෙළි වෙද්දී ඒ සඳහා පරීක්ෂණ කළ විනිසුරු මඩුල්ල ඉවත් කර තමන්ට හිතවත් පිරිසක් ඊට පත් කරන්නට එරට ආණ්ඩුව ක්‍රියා කළා. මෙම පිපිරීමෙන් අනතුරුව ද, හානියට පත් වූ ජනයාට පිහිට වූයේ ආණ්ඩුවට වඩා රාජ්‍යය නොවන සංවිධාන යි. 

දේශපාලන පක්ෂවල එකමුතුවක්

ජනයාගේ බල කිරීම් හමුවේ එරට දේශපාලන පක්ෂ දේශපාලන එකමුතුවකට තල්ලු කෙරුණා. ඒ අනුව ඔවුන් නව අග්‍රමාත්‍යවරයෙක් හා ඇමති මණ්ඩලයක් පත් කර ගත්තා. එය නව අමාත්‍ය මණ්ඩලයක් ලෙස හැඳින්වීමට නොහැකි වූයේ පත් වූ බොහෝ අය පෙර අමාත්‍ය මණ්ඩලවල තනතුරු දරමින් ලෙබනනය මෙම අර්බුදය කරා තල්ලු කළ​ අය ම වීම යි. අලුතින් පත්වූ අග්‍රාමාත්‍යවරයා වූ නජීබ් මිකාටි මීට පෙර දෙවතාවක් එරට අග්‍රාමාත්‍යය ධුරය දැරූ අයෙක්. 

 

බොහෝ දේශපාලන විචාරකයන් මේ කැබිනට් මණ්ඩලය හැඳින්වූයේ අර්බුද තාවකාලික ව සමනය කිරීමට ලබා දුන් නිර්වින්දන බෙහෙතක් ලෙස යි. අපේක්ෂා කළ​ පරිදි ම නිර්වින්දන කාල සීමාවෙන් පසු ව ලෙබනන් අර්බුද නැවත මතු වුණා. ඒ අනුව නව අග්‍රමාත්‍යවරයා ණය ප්‍රතිව්‍යුහ​ගත කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය පැතුවා. තාවකාලිකව සමනය වූ දේශපාලන අර්බුදය නැවත මතු වූ අතර ලෙබ​නනය මෙම මස (2022 මැයි) පාර්ලිමේන්තු මැතිවරණයක් ද පැවැත්වූවා.

2002 මැයි මස ලෙබනනය මැතිවරණයක් පැවැත්වූවා – www.gettyimages.com 

 

2022 මහා මැතිවරණය

සියලු පැලැස්තර විසඳුම් පලක් නොවන තැන 2002 මැයි මස ලෙබනනය මැතිවරණයක් පැවැත්වූවා. මෙම මැතිවරණ ප්‍රතිඵල කිහිප ආකාරයකින් සුවිශේෂයි. වඩා වැදගත් ම ප්‍රතිඵලය නම් සාම්ප්‍රදායික පක්ෂ අභිබවා ස්වාධීන හා විකල්ප කණ්ඩායම්වල මතු වීම යි. එමෙන්, සමහර සාම්ප්‍රදායික හා වැදගත් ආසන ස්වාධීන හා විකල්ප කණ්ඩායම් ජයග්‍රහණය කිරීම ද සුවිශේෂි සිදුවීමක්. 

ඉරානයේ සහාය ලබන හිස්බුල්ලා කණ්ඩායම මෙම මැතිවරණයේ දී සැලකිය යුතු පසුබෑමකට ලක් වී තිබුණා. හිස්බුල්ලා කණ්ඩායමට සහාය දක්වන ජනාධිපතිවරයා නියෝජනය කළ ක්‍රිස්තියානි කණ්ඩායමක් වන නිදහස් දේශප්‍රේමී සංවිධානය ද මෙම මැතිවරණයේ දී පසුබෑමකට ලක් වූවා. වර්තමාන ප්‍රතිඵලවලට අනුව බහුතර ක්‍රිස්තියානි මන්ත්‍රීවරුන් සමන්විත වන්නේ සවුදි අරාබියේ හා අමෙරිකාවේ සහාය ලබන ලෙබනන් බලය නම් දේශපාලන පක්ෂයට යි. වසර ගණනාවක් සුන්නි මුස්ලිම් කණ්ඩායමේ නියෝජනය කල අනාගත බලවේගය පක්ෂය මෙවර මැතිවරණය වර්ජනය කළ​ අතර ඔවුන් කාලයක් තිස්සේ බලය තහවුරු කර ගෙන සිටි බේරූට් හා ට්‍රිපොලිවල බලය විරුද්ධ පක්ෂ අත්පත් කර ගත්තා.

නව දේශපාලන අර්බුදයක්

 හිස්බුල්ලා හා එහි හිතවත් පාර්ශව වෙත ලැබී ඇත්තේ සමස්ත ආසන 128න් ආසන 62ක්. ලෙබනන් බලය පක්ෂයට මන්ත්‍රීවරු 20ක් ලැබී ඇති අතර ඔවුන් බහුතරයක් ක්‍රිස්තියානි සාමාජිකයන් වීම නිසා ජනාධිපතිවරයා පත් කීරිමේ වැඩි හැකියාව ඇත්තේ ඔවුනට යි. අගමැති හා කතානායක පත් කිරීමේදි ගැටලු ඇතිවිය හැකි බැවින් එය නව දේශපාලන අර්බුදයක් කරා තල්ලුවීමේ හැකියාවක් පවතිනවා. 

ලෙබනනය තවමත් තම අර්බුදවලින් ගැල වී නැහැ. ලෙබනනය වැටී ඇති තත්ත්වය ශ්‍රී ලාංකීය දේශපාලකයන්ට හා මහජනයාට කියා දෙන පාඩම් අතිමහත්.  අතීතයෙන් පාඩම් ඉගෙන ගැනීමේ දුර්වලතාවෙන් පෙළෙන අප, ලෙබනනයෙන්වත් පාඩම් ඉගෙන ගනීවි දැයි සැක සහිත යි.

 

කවරයේ ඡායාරූපය- ආර්ථික අතින් හෙම්බත් වූ ලෙබනන ජනතාව පාරේ උද්ඝෝෂණවල යෙදෙමින් - socialistalternative.org

මූලාශ්‍ර:
The Beirut explosion could exacerbate Lebanon’s economic crisis - www.vox.com 

 www.middleeasteye.net 

 www.youtube.com 

Related Articles