Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

මර්ලින් නම් ඉන්ද්‍රජාලිකයාගේ පුරාවෘත්තය සොයා යමු

“In a land of myth, and a time of magic, the destiny of a great kingdom rests on the shoulders of a young boy. His name, Merlin

ඔබ “මර්ලින්” ටෙලිකතා මාලාවේ රසිකයෙක් නම්, ඉහත වදන් පෙළ ඔබට ආගන්තුක වෙන්න විදිහක් නැහැ. බ්‍රිතාන්‍යයේ BBC One නාලිකාව හරහා මුල් විකාශනය සිදුකෙරුණු මේ අපූරු ටෙලිකතා මාලාව පසුකලෙක සිංහල උපසිරැසි සමග අපේ දේශීය නාලිකාවක් හරහා ද විකාශනය වුණා.

ඉයැල්දෝරය නම් දුෂ්කර ගමක සිට කැම්ලොට් නගරයට පැමිණෙන මර්ලින් නම් තරුණයා, ගයස් නම් රාජකීය වෛද්‍යාචාර්යවරයාගේ රැකවරණය ලබමින් කැම්ලොට් මාලිගයේ සේවයට යන්නේ එක්තරා රහසක් ගැඹුරින්ම රැකගනිමින්. ඒ වගේම ඔහුට සේවය කරන්න සිදු වෙන්නේ එවකට එතරම් පරිණතභාවයක් නොපෙන්වූ සහ ටිකක් කරදරකාර චරිතයක් වූ ආතර් කුමරු යටතේ යි. ඉන්පසු ඔවුන් දෙදෙනාගේ වීර වික්‍රමයන් ඔස්සේ මේ අපූරු ටෙලිකතා මාලාව ගලා යනවා.

පුරාවෘත්තයට අනුව මර්ලින් නිතරම ආතර් ළඟ රැඳුණේ නැහැ. නමුත් “මර්ලින්” ටෙලිකතා මාලාවේ දී එය අපූරු මිතුදමක් ලෙසින් දැක්වෙනවා/facebook.com/MerlinOfficial/

ඒ වනවිටත් රොබින් හුඩ් කතා මාලාවන් සහ ආතර් රජු වටා ගෙතුණු නිර්මාණ නරඹා සිටි අපට, බ්‍රිතාන්‍යය මුල්කරගෙන නිර්මාණය වූ පුරාවෘත්තයන් ආගන්තුක වුණේ නැහැ. ඉතින් මර්ලින් කියන්නේත් බ්‍රිතාන්‍යය තුළ ජනප්‍රිය වූ එවැනිම පුරාවෘත්තයක්. ආතරියානු පුරාවෘත්තයන් (එනම් ආතර් රජු සම්බන්ධ පුරාවෘත්තයන්) සොයා බැලීමේ දී මර්ලින්, ආතර් රජු වෙනුවෙන් ඉමහත් කාර්යභාරයක් කළ පුද්ගලයෙකු බව පෙනෙන්නට තිබෙනවා. නමුත් වෙනස් මතයන් සහ විශ්වාසයන්ගේ බලපෑම නිසා අපට අද වන විට මර්ලින්ගේ නියම ස්වභාවය තේරුම් ගැනීම ටිකක් අසීරු යි.

ක්‍රිස්තියානි විශ්වාසයන් හමුවේ මර්ලින්

මර්ලින් යනු ආතරියානු පුරාවෘත්තයේ වගේම වේල්සයේ සාහිත්‍යයේ එන වැදගත්ම චරිතයක්. ඔහු ආතර් රජතුමා වෙනුවෙන් එංගලන්තයේ කිරුළ රැකගත් අතර, රජුගේ ජීවිතයේ මුල් අවධියේ දී රාජ්‍ය පාලනය සඳහා සාර්ථක පදනමක් පිහිටුවීමට රජුට සහාය වූ පුද්ගලයෙක්. කෙසේ වෙතත් මර්ලින් කියන්නේ BBC හරහා විකාශනය වූ ටෙලි කතා මාලාවෙන් පෙන්වන අන්දමේ සරල වීරයෙකු නොවේ. මධ්‍යකාලීන සම්ප්‍රදායන්ට අනුව මර්ලින් යනු ක්‍රිස්තියානි ධර්මයේ පරිහානිය වෙනුවෙන් යක්ෂයා විසින් නිර්මාණය කළ බලවන්තයෙක්. පුරාවෘත්ත අනුව යහපත් පුද්ගලයෙකු වූ මර්ලින්ට මෙවැනි ස්වභාවයක් ආරෝපණය කෙරුණේ කොහොම ද?

මර්ලින්, එංගලන්තය තුළ ක්‍රිස්තියානි විශ්වාසයන් මුල්බැස ගැනීමට පෙර ජීවත්වූ පුද්ගලයෙක්. එංගලන්තයට ක්‍රිස්තියානි විශ්වාසයන් පැමිණීමට පෙර යුගයේ, එහි ජනයාට වෙනත් විවිධාකාර ඇදහිලි සහ විශ්වාසයන් තිබුණා. එංගලන්තය තුළ ක්‍රිස්තියානි ධර්මය පිහිටුවාගත් මුල් අවධිය තුළ මෙම ඇදහිලි සහ සම්ප්‍රදායන් ක්‍රිස්තියානි පූජකවරුන්ට ඉවසා සිටීමට සිදුවුණා. අළුතින් ක්‍රිස්තියානි ආගමට හැරුණු වැසියන් අතරින් පවා මේ සාම්ප්‍රදායික ඇදහිලි මුළුමනින්ම ඉවත්ව ගියේ නැහැ. සිය බලය ක්‍රමයෙන් වැඩිවත්ම, පල්ලිය විසින් තමන් මිත්‍යාදෘෂ්ඨිකයැ යි සැලකූ මේ ඇදහිලි ඉවසා නොසිට, ඒවාට විරුද්ධව ක්‍රියා කරන්න පටන්ගැනුනා.ඒ අනුව පල්ලිය විසින්,  පැරණි ඇදහිලි වැළඳ සිටි පුද්ගලයන් මිත්‍යාදෘෂ්ඨිකයන් හෝ මායාකරුවන් ලෙස හැඳින්වෙන්න පටන්ගත්තා.

යක්ෂයාගේ බලපෑමෙන් සිදුවූ මර්ලින්ගේ උපත දැක්වෙන චිත්‍රයක්/bookilluminators.nl/

පැරණි විශ්වාසයන්, ඇදහිලි, සහ කෙල්ටික් ජනප්‍රවාදවලින් පෝෂණය ලද ආතර් රජුගේ පුරාවෘත්තයටත් එල්ලවී තිබෙන්නේ මේ ක්‍රිස්තියානි බලපෑම යි. ආතරියානු පුරාවෘත්තය තුළ කේන්ද්‍රීය භූමිකාවක් තිබූ මර්ලින්ටත් එයින් ගැලවෙන්න හැකි වුණේ නැහැ. මර්ලින් හොඳ පුද්ගලයෙකු වුවත්, ඔහු මායාකරුවෙකු බවට පත්කෙරුණේ පෙර සඳහන් වූ කරුණු නිසාවෙන්.  

යක්ෂයින්ගෙන් ලැබුණු ඉන්ද්‍රජාලික හැකියාව

දොළොස්වන සියවසේ දී ප්‍රංශ ජාතික රොබට් ඩි බෝරෝන්, කවියක් මාර්ගයෙන් මර්ලින් නම් ඉන්ද්‍රජාලිකයාගේ උපතට ක්‍රිස්තියානි දෘෂ්ඨිකෝණයක් ලබා දුන්නා. එම කවියට අනුව අපායේ වධ හිංසාවලින් මනුෂ්‍යත්වය ගලවාගැනීම සඳහා යේසුස් ක්‍රිස්තුස් විසින් සිදුකෙරුණු පරිත්‍යාගයන් ගැන යක්ෂයා බෙහෙවින් කෝපයට පත්ව, ඒවා අහෝසි කිරීම සඳහා ක්‍රිස්‍තු විරෝධියෙකු මනුෂ්‍ය ලොවට යැවීමට ක්‍රියා කරනවා. ඒ සඳහා ඔහු තෝරා ගන්නේ එක්තරා ආගමික පවුලකින් පැවත එන ශක්තිමත් සහ භක්තිමත් කාන්තාවක්. යක්ෂයා ඔවුන්ගේ පවුලට හානි පමුණුවන අතර, ඇයගේ දෙමාපියන් යක්ෂයාගේ බලපෑම හමුවේ සියදිවි නසා ගන්නවා. මෙම යක්ෂ බලපෑමෙන් ඇය නින්දේ දී ලිංගික අතවරයට ලක් වෙනවා. පසුදින, ඇය තම පවුලේ පාපොච්චාරණ පූජකයා මුණගැසීමට යනවා. පූජකවරයා ඇයගේ දරු ගැබට කුරුසියේ ලකුණින් ආශිර්වාද කරන අතර, එහි ප්‍රතිඵලයක් වශයෙන් මර්ලින් බෞව්තීස්මය ලැබූ පුද්ගලයෙක් බවට පත්වෙනවා.

බෞතීස්මය නිසා මර්ලින් තුළ සිටින නපුරු ආත්මය ඔහු තුළින් ඉවත්ව ගියත්, ඔහු යක්ෂයාගේ බලපෑමෙන් උපන් කෙනෙකු නිසා ඉන්ද්‍රජාලික හැකියාව ඉතිරි වෙනවා. ක්‍රිස්තියානි විශ්වාස අනුව මර්ලින් “යහපත් ඉන්ද්‍රජාලිකයෙක්” වුණේ එලෙස යි. මෙලෙසින් ආතර් රජුගේ පුරාවෘත්තය හා සම්බන්ධ අනෙකුත් සිද්ධීන්වලටත් ක්‍රිස්තියානි බලපෑම එල්ලවී තිබෙනවා.

චාල්ස් අර්නස්ට් බට්ලර් නම් චිත්‍ර ශිල්පියා අතින් නිමවූ ආතර් රජුගේ සිතුවමක්/wahooart.com/

පැරණි ඇදහිල්ල හමුවේ මර්ලින්

මර්ලින් කියන්නේ ඉන්ද්‍රජාලිකයෙකු පමණක්ම නොවේ. ඔහු අනාගත වක්තෘවරයෙක්, වන්දිභට්ටයෙකු, උපදේශකවරයෙකු මෙන්ම ගුරුවරයෙකු ද වෙනවා. පුරාවෘත්තවලට අනුව ඔහු පියෙකු නොමැති තරුණ පිරිමි ළමයෙකු යි. ඔහු තමා වයසින් වැඩි, බුද්ධිමත් මිනිසෙකු ලෙස පෙනී සිටිමින් බ්‍රිතාන්‍ය රජවරුන් සිව්දෙනෙකුට තම ප්‍රඥාව නොමසුරුව ලබා දී තිබෙනවා. නමුත් මනුෂ්‍යයෙකු ලෙස ඔහු තුළ දුර්වලතා නොතිබුණා නොවේ. මර්ලින්ට සුන්දර කාන්තාවන් ඉදිරියේ තම රාගය පාලනය කිරීමට නොහැකි වූ බව පැවසෙනවා. තවත් විටෙක ලේ වැගිරුණු සටනකින් පසු ඔහු උන්මත්තකයෙකු මෙන් මහ වනයට පළාගොස් තිබෙන අතර, එහිදී ඔහු සතුන් සමග කතා කරන ආකාරය ඉගෙනගත් බව සඳහන් වෙනවා. මෙම කාලය අතරතුර මර්ලින් “වනවාසී මිනිසා” නමින් ප්‍රසිද්ධ වී තිබෙනවා. ඔහු කෙල්ටික් විශ්වාසවල එන පුරාණ පූජක පිරිසක් වූ ඩෘයිඩ්වරුන්ගේ අවසාන සාමාජිකයා යි. ඩෘයිඩ්වරුන් සොබාදහම සමග සමීපව සිටින පූජක පිරිසක් වූ අතර, දැනුමේ සහ ගුප්ත රහස්වල ආරක්ෂකයන් ලෙසත් ක්‍රියා කර තිබෙනවා.

මර්ලින්ගේ උපත ගැටළුකාරී එකක් වුණත්, පැරණි ආගම් සහ විශ්වාසයන් ඇදහූ මිනිසුන්ට එය බාධාවක් වුණේ නැහැ. නමුත් මර්ලින් නම් චරිතය සාහිත්‍යකරණය වීමේ දී ඔහුගේ උපතට යම් යම් දේ ආරෝපණය වෙනවා. ඒ ආරෝපණයන් බොහෝමයක් සිදු වන්නේ පෙර කී ලෙසම ක්‍රිස්තියානි බලපෑම නිසා යි. උදාහරණයක් ලෙස වර්ෂ 1137 දී පමණ මොන්මත්හි ජෙෆ්රි විසින් රචනා කළ  “History of the Kings of Britain” ග්‍රන්ථයට අනුව මර්ලින්ගේ මව කන්‍යා සොහොයුරියක් වන අතර, ඇය කිසි විටෙකත් කිසිම මිනිසෙකු සමග නොසිටි බවට දිවුරුම් දුන් තැනැත්තියක්. නමුත් වරෙක යම් කිසි ප්‍රාණියෙක් තරුණ කඩවසම් හාදයෙකුගේ හැඩරුවක් ගත් බවත්, ඔහු ඇයව සිපගත් නිසා ඇය ගැබ්ගත් බවත්, මොන්මත්හි ජෙෆ්රී ලියූ මේ පොතේ සඳහන් වන බව කියවෙනවා.

මර්ලින්ගේ ගැටළුකාරී උපත හමුවේ, මේ කතුවරුන් එය යක්ෂ බලපෑමක් නිසා සිදුවූ බව උපකල්පනය කළායැ යි සිතිය හැකියි. ජෙෆ්රී මේ අද්භූත සම්භවයන් ගැන එතරම් වධ වූ නිර්මාණකරුවෙකු නෙවෙයි. නමුත් ඔහු ජනප්‍රවාදවල එන මර්ලින්ගේ ගැටළුකාරී උපත පදනම් කරගෙන, මර්ලින් සහ අමනුෂ්‍ය බලවේගයන් අතර සම්බන්ධයක් ගොඩ නැඟුවා.

මොන්මත්හි ජෙෆ්රි විසින් රචිත, මර්ලින්ගේ ජීවිත කතාව හා සබැඳි කෘතියක කවරයක්/amazon.com/

කෙසේ හෝ වේවා, ප්‍රංශ සහ ඉංග්‍රීසි සාහිත්‍ය තුළ මර්ලින් ඔහු ඉපදුණු මොහොතේම යහපත් පැත්තට පැමිණි බව සහතික කිරීම උදෙසා ක්‍රිස්තියානි චාරිත්‍ර මාලාවකට භාජනය වෙනවා. ඔහු වහාම බෞතීස්මය ලබා ක්‍රිස්තියානි නීත්‍යානුකූලභාවයට ගෙන ආ බව අවධාරණය කිරීම සඳහා නිර්මාණකරුවන් බොහෝ වෙහෙස මහන්සි වී තිබෙනවා. මේ සියල්ලෙහිම ප්‍රතිඵලයක් ලෙස, ඈත අතීතයේ සිටම ස්වදේශික බ්‍රිතාන්‍ය ජනයා අතර පුරාවෘත්තයක්ව සිටි මර්ලින්, ක්‍රිස්තියානි පදනම තුළ සිටින වීරයෙකු බවට පත්වෙනවා. නමුත් මෙයින් මහා බ්‍රිතාන්‍ය තුළ පල්ලියේ බලය මුල්බැස ගැනීමට පෙර වූ ඇදහිලිවල සිටි මර්ලින් වියැකීයාම වැලැක්විය නොහැකියි. සාහිත්‍යය තුළ නියම මර්ලින් දැකගත නොහැකි වුණත්, අදටත් ශේෂව පවතින ජනප්‍රවාදවල නියම මර්ලින් යම්තාක් දුරකට රැකී සිටිනවා. නමුත් ඒ ජනප්‍රවාදවල මර්ලින්ගේ සම්භවය, ජීවිතය හා හැකියාවන් ගැන වෙනස් වෙනස් කරුණු කියවෙනවා. එය පුදුමයට පත්විය යුතු කරුණක් නොවේ. මක්නිසා ද යත්, මර්ලින් යනු ඓතිහාසික කතා පුවතක් නොව, ජනප්‍රවාදයක් පමණ යි. ඉතිහාසගත සිදුවීමකට පැහැදිලි භෞතික සාක්ෂ්‍ය තිබුණත්, පුරාවෘත්තයකට එසේ නැහැ. ඉතින් ඒවා පහසුවෙන් වෙනස්වීම්වලට ලක්වෙනවා.

මර්ලින්-ආතර් සබැඳියාව

ආතර්ගේ පියාණන් වන ඌතර්, වරෙක කෝර්න්වෝල්හි ආදිපාද ගොර්ලොයිස්ගේ බිරිඳ වූ ඉග්‍රෙයින් සමග පෙමින් බැඳෙනවා. ඒ සඳහා මර්ලින්, ඌතර්ට උදව් කරනවා. ගොර්ලොයිස් මියයන විට ඌතර් ඉග්‍රේන් සමග විවාහ වූ නමුත්, ඇය ඒ වන විටත් ගැබ්ගෙන සිටියා.

මොනොමූත්හි ජෙෆ්රි, වේස් සහ ලෙයමන් වැනි කතුවරුන්ට අනුව, අනාගත රජු වන ආතර්ගේ සහාය ඇතිව බ්‍රිතාන්‍යයන් සැක්සන්වරුන් පරාජය කරන බවට මර්ලින් කියූ දිවැස් වැකිය හැරෙන්නට, මර්ලින් කිසිවිටෙකත් ආතර්ගේ පාලන සමයේ දී ඔහු අසල සිට නැහැ. කෙසේ වෙතත්, පසුකාලීන බොහෝ ලේඛකයින් පවසන්නේ ආතර්ගේ අධ්‍යාපනයට මර්ලින් සම්බන්ධ වූ බව යි. 

එක්තරා ගලක කිඳා බස්වා ඇති කඩුවක් එයින් ගලවා ගැනීමට හැකියාව ඇති පුද්ගලයා ඌතර්ට පසු රජකමට සුදුසුවන බව කියැවෙන ජනප්‍රවාදයත් මර්ලින් විසින් නිර්මාණය ලද්දක් බව විශ්වාස කරනවා. ඔහුට අවශ්‍ය වුණේ ආතර්ගේ රාජ්‍යත්වය කෙසේ හෝ තහවුරු කිරීමට යි. ආතර්ට පමණක් කඩුව ඇද ගැනීමට හැකි වූ විට ඇතැම් සාමිවරුන් අතෘප්තියට පත්වූ බව කියැවෙනවා. තවත් කතාවකට අනුව පෙලිනෝර් නම් රජ කෙනෙක් සමග වූ සටනක දී පාෂාණයෙන් ඇදගත් මේ අසිපත ආතර් අතින් විනාශ වෙනවා. එවිට මර්ලින් ආතර්ව විලකට කැඳවාගෙන ගොස් අළුත් අසිපතක් ලබා දෙනවා. මේ අළුත් අසිපත අන් කිසිවක් නොව සුප්‍රසිද්ධ “එක්ස්කැලිබර්” අසිපත යි.

“තුවාල සිදුවී ලේ ගැලීම වළකන හෙයින් කඩුවට වඩා කඩුවේ කොපුව හොඳ බව” මර්ලින් එක්ස්කැලිබර් අසිපත තරුණ රජුට ලබාදීමේ දී උපදේශාත්මක ආකාරයෙන් පැවසූ බව කියවෙනවා. 

මර්ලින්ගේ ඉරණම විසදුණේ කොහොමද?

“ලේඩි ඔෆ් ද ලේක්” නැතහොත් නිමුඒ සමග මර්ලින් ආදරයේ වෙළී සිටියා/allthingsarthurian.wordpress.com/

මර්ලින්ගේ මරණයත් ඔහුගේ උපත වගේම අපැහැදිලි සිදුවීමක්. ඔහුගේ මරණය සම්බන්ධ ජනප්‍රවාදයන් කිහිපයක්ම තිබෙන අතර, ඇතැම්වාට අනුව ඔහු ඉබේ අතුරුදහන් වී ගොස් තිබෙනවා.

ඇතැම් ජනප්‍රවාදවලට අනුව අවිවාහක ස්ත්‍රියක් හෝ දෙව්දුවක් මර්ලින්ව යම් ඉන්ද්‍රජාලයකට ලක්කළ බව කියවෙනවා. මෙම ස්ත්‍රිය අන් කිසිවෙක් නොව ආතර්ට එක්ස්කැලිබර් අසිපත ලබාදීමට මුල්වූ විලට අධිපති තැනැත්තියක් බව විශ්වාස කරනවා. ඇය “ලේඩි ඔෆ් ද ලේක්” යනුවෙන් හැඳින්වෙනවා.

විලේ කාන්තාව අතින් මර්ලින්ගේ අවසානය සිදු වුණ අන්දම ගැන නැවතත් ප්‍රවාද කිහිපයක් බිහිවී තිබෙනවා. එක්ස්කැලිබර් අසිපත ලබා ගැනීමට යාමේ දී ආතර් දුටුවේ විලක් පමණක් වුවත්, එම විල මේ මායාකාර ස්ත්‍රියට මනුෂ්‍ය ලොවෙන් වසන්වී සිටීම සඳහා කළ මායාවක් බව කියවෙනවා. මෙම ස්ත්‍රියට තවත් නම් බොහෝමයක් තිබෙනවා. නිනියන්, විවියන්, සහ නිමුඒ යනු තවත් එවැනි නම් කිහිපයක්.

මර්ලින්ට මෙම තරුණිය මුලින්ම මුණ ගැසෙන විට ඇයට වයස අවුරුදු දොළහක් පමණ යි. ඇය මර්ලින්ගේ ඉන්ද්‍රජාලික බලය ගැන මවිතයට පත්වී සිටි අයෙක්. මර්ලින් ඔහුගේ සියලු ශිල්ප ඇයට උගන්වන්නේ නම් ඔහුට ආදරය කරන බවට ඇය මර්ලින්ට පොරොන්දුවක් දුන්නා. වසර ගණනාවකට පසු මර්ලින්ට නැවත මෙම මායාකාර ස්ත්‍රිය හමුවූ අතර, ඇය තමන්ගේ මායාව උපයෝගී කරගෙන මර්ලින්ට කිසිදු බලයක් ක්‍රියාත්මක කළ නොහැකි කුළුණක සිරකළ බව කියවෙනවා.

ආතර් රජු එක්ස්කැලිබර් අසිපත ලබාගත්තා යැයි කියවෙන විල සහ නිමුඒ ජීවත්වූ පෙදෙස. මෙය එංගලන්තයේ කෝර්න්වෝල්හි පිහිටි ඩොස්මරී ජලාශය බව විශ්වාසයක් පවතිනවා/davidcastleton.net/

මර්ලින් කොතරම් බලසම්පන්න පුද්ගලයෙකු වුවත්, මෙම ස්ත්‍රියගේ උපායට හසු වෙනවා. ඇයගේ ආදරය ලබා ගැනීම වෙනුවෙන් මර්ලින් ඇයට තමන්ගේ ශිල්පය උගන්වනවා. තවත් කතන්දරවලට අනුව ම‍ර්ලින් ඇය වෙනුවෙන් බ්‍රොසිලියැන්ඩ් නම් වනාන්තරයේ, ඩයනා විලට ආසන්නව ඇයට නිවසක් පවා තනා දෙනවා. ඔහු තම මායාව උපයෝගී කරගනිමින් ඇයගේ නිවහන සතුරු ඇස්වලින් සඟවා තබනවා. මර්ලින්ගේ මායාව නිසා ඒ අසලින් ගමන් ගන්නා ඕනෑම කෙනෙකුට ඇයගේ නිවස වෙනුවට දර්ශනය වන්නේ විල යි. ඇතැම් විට මෙම තරුණිය “ලේඩි ඔෆ් ද ලේක්” වශයෙන් හඳුන්වන්නේ ඒ නිසා වන්නට පුළුවන්.

කෙසේ නමුත්, මෙම ලිපිය මූලිකවම සම්පාදනය වී ඇත්තේ මර්ලින්ගේ පුරාවෘත්තයේ ඉතා කුඩා කොටසක් ආශ්‍රයෙන් පමණ යි. ඔහුගේ ජීවිතය හා සබැඳි කතා තවත් ඕනෑ තරම් තිබෙනවා. මර්ලින් ටෙලි කතා මාලාව නැරඹීමේ දී පවා අපට මර්ලින්ව මීට වඩා වෙනස් මානයකින් කියවන්න ලැබෙනවා.

Cover photo: මර්ලින් ටෙලි කතා මාලාවේ මර්ලින්ගේ චරිතය නිරූපණය කරන කොලින් මෝගන්/wallpapersafari.com/

මූලාශ්‍රයයන්: heroofcamelot.com/

medievalists.net/

timelessmyths.com/

Related Articles