භූමදානය හෝ ආදාහනය වෙනුවට “පොහොරක්” වන මිනිස් සිරුරු

මිනිස් සිරුරු කොම්පෝස්ට්කරණයට අවසර ලබාදුන් නවත ම එක්සත් ජනපද ප්‍රාන්තය බවට “නිව් යෝර්ක්” පත් වී තිබෙනවා. පුද්ගලයෙක් මිය ගිය පසු භාවිතයට ගත හැකි පොහොරක් බවට මිනිස් සිරුරු මෙමඟින් පරිවර්තනය කෙරෙන අතර, භූමදානය හෝ ආදාහනයට වඩා පරිසර හිතකාමී විකල්පයක් ලෙසත් එය සැලකෙනවා.

මානව කොම්පෝස්ට් නිෂ්පාදනය කිරීමට අවසර දුන් ප්‍රථම එක්සත් ජනපද ප්‍රාන්ත ආණ්ඩුව වන්නේ වොෂිංටනය යි. 2019 දී පළමු වරට නීතිගත කිරීමෙන් පසු මේ දක්වා ප්‍රාන්ත හතරක් “මානව කොම්පෝස්ට්කරණය” සඳහා නීතිමය අවසරය ලබා දී තිබෙනවා. කොලරාඩෝ, ඔරිගන්, වර්මොන්ට් සහ කැලිෆෝනියා එම ප්‍රාන්ත හතර වන අතර, නිව් යෝර්ක් ප්‍රාන්තය එක් වීමත් සමඟ ප්‍රාන්ත ගණන හය දක්වා ඉහළ යනවා.

පුද්ගලයෙක් මිය ගිය පසු සිරුර, භාවිතයට ගත හැකි පොහොරක් බවට මෙමඟින් පරිවර්තනය කෙරෙනවා – www.geekwire.com

විවිධ ආගමික විශ්වාස හමුවේ “මානව කොම්පෝස්‍ට්කරණය” විවේචනයට බඳුන් වීමේ ඉහළ හැකියාවක් තිබෙනවා. එය සනාථ කරමින් නිව් යෝර්ක් ප්‍රාන්ත ආණ්ඩුවේ තීරණය ප්‍රශ්න කිරීමට ඇතැම් ආගමික නායකයන් දැනටමත් පෙළ ගැසී අවසන්. මීට අමතර ව, සදාචාරාත්මක සහ වෙනත් ප්‍රායෝගික ගැටලුත් ඉස්මතු වෙමින් තිබෙනවා.

“Recompose”

පුද්ගලයෙක් මිය ගිය පසු දින කිහිපයක් මළ සිරුර කල්තබා ගැනීම, චාරිත්‍රානුකූල ව ආදාහනය හෝ භූමදානය සිදු කිරීම, අවමංගල්‍යයේ සංවිධාන කටයුතු, වැනි වගකීම් දරණ ව්‍යාපාරික ආයතන ඕනෑ තරම් තිබෙනවා. එහි නව මානයක් සනිටුහන් කරමින් විද්‍යාත්මක ව සහ ආරක්ෂිත ලෙස “මානව කොම්පෝස්ට්කරණය” සේවාවක් ලෙස ලබාදෙන ආයතනත් එක්සත් ජනපදයේ ප්‍රචලිත වෙමින් තිබෙනවා. “Recompose” යනු එවැනි ආයතනයක්.

“Recompose” ආයතනයේ නිර්මාතෘ කැත්‍රිනා ස්පේඩ් – www.seattletimes.com

ආදාහනය හෝ සාම්ප්‍රදායික භූමදානය හා සසඳන විට මෙම ක්‍රියාවලිය හරහා කාබන් ටොන් ගණනක් ඉතිරි කරගත හැකි යි. “Recompose” ආයතනයේ ප්‍රධාන විධායක සහ නිර්මාතෘ වන කැත්‍රිනා ස්පේඩ් පවසන පරිදි දේශගුණික විපර්යාසය සම්බන්ධයෙන් කනස්සල්ලට පත්වන ඕනෑම කෙනකුට මෙම සේවාව ලබා ගැනීමට පුළුවන්. දැනටමත් “මානව කොම්පෝස්ට්කරණය” එක්සත් ජනපදය තුළ ප්‍රචලිත වෙමින් තිබෙනවා.

භූමදානයේ සහ ආදාහනයේ ගැටලු

සාම්ප්‍රදායික භූමදානයක දී මිනිස් සිරුරු සොබාදහමට එකතු වන බැවින්, “මානව කොම්පෝස්ට්කරණය” හරහා විශේෂිත ප්‍රතිපලයක් අත් නොවන බව කෙනකුට සිතෙන්නට පුළුවන්. භූමදානයක් බොහෝවිට සිදු කරන්නේ “සුසාන භූමිය” නමැති විශේෂිත ස්ථානයක පමණ යි. මළ සිරුරෙන් පොළවට ලැබෙන පෝෂක, සීමා සහිත ප්‍රදේශයකට සංයෝජනය වීම පමණක් එවිට සිදු වෙනවා. ඒ භූමියෙන් වෙනත් ප්‍රයෝජනයක් ලැබෙන්නේත් නැහැ.

“සාමාන්‍ය පරිදි වැතිර තිබෙන මළ සිරුරක් නැවත පෘථිවියට ලැබීම සඳහා මාස කිහිපයක් ගත වෙන්න පුළුවන්. වියළි දේශගුණයක් තුළ එය වසර කිහිපයක් මමීකරණය වී තිබීමේ හැකියාවකුත් තිබෙනවා.”

අධිකරණ වෛද්‍ය සහ මානව විද්‍යාඥයෙක් වන ඩැනියෙල් වෙස්කොට් පවසනවා.

“හොඳ බැක්ටීරියා ක්‍රියාකාරීත්වයක් තිබෙනවා නම් මාසයක් ඇතුළත මළ සිරුර දිරාපත් වෙන්න පුළුවන්.”

“Recompost” ආයතනයේ ඇතුළත දර්ශනයක් – edition.cnn.com

සාම්ප්‍රදායික භූමදානය හෝ ආදාහනය සමඟ පැමිණෙන තවත් ගැටලු තිබෙනවා. භූමදානයේ දී සිරුර පෙට්ටියක තැන්පත් කිරීම තමයි සුලබ ව සිදු වෙන්නේ. ඇතැම් විට සුරක්ෂිතාගාරයක තැන්පත් කිරීමත් සිදු කරනවා. එම ක්‍රියාවලියේ දී දැව හෝ වෙනත් ස්වභාවික සම්පත්, ඉඩකඩ, පරිභෝජනය වීම වැලැක්විය නොහැකි යි. අද වනවිට සීමිත වෙමින් තිබෙන සම්පත් වන්නේ ද මේවා යි.

පරිසර හිතකාමී සමුදීම

ආදාහනයේ දී බලශක්තිය අධික ව වැයවන අතර, ඉන් පිටවන වායුවෙන් සිදුවන පාරිසරික හානියත් සැලකිල්ලට ගත යුතු වෙනවා. අප දැන් සිටින්නේ පාරිසරික හදිසි තත්ත්වයක් මැද යි. අප ගන්නා ඉතා කුඩා පියවර පවා අපේ අනාගතයට වැදගත්. දැනටමත් එක්සත් ජනපදය තුළ භූමදාන කටයුතුවල දී පැන නැඟෙන ප්‍රායෝගික ගැටලු සම්බන්ධයෙන් හඬක් නැඟෙමින් තිබෙනවා.

භූමදානය සහ ආදාහන‍ය වර්තමානයේ ගැටළු රැසකට මුල් වී තිබෙනවා – www.bbc.com

“අපේ ශරීරය පසට හරවන අන්දම ස්වභාවධර්මය හොඳින් දන්නවා. මා මියගිය පසු මට සහාය වූ මේ පොළොවට මගේ ශරීරය ලබා දීමත්, ඒ හරහා නව ජීවයක් නිර්මාණය කිරීම තමයි මට වැදගත් වෙන්නේ.”

සියැටල් නගරයේ පදිංචිකරුවෙක් වන නීනා ෂෝන්, මිය ගිය පසු සිය සිරුර හරිත සංකල්පයක් යටතේ සොබාදහමට ලබා දෙන්නට උන්නදු වන පුද්ගලයෙක්.

සාම්ප්‍රදායික ක්‍රම ඔස්සේ පැමිණෙන ප්‍රායෝගික ගැටලු මතත් මානව කොම්පෝස්ට්කරණයට යොමු වන පිරිස් සිටිනවා.

පරිසර හිතකාමී ක්‍රියාවලියක් වුවත්, මිනිස් සිරුරු පොහොර බවට හැරවීමේ ක්‍රියාවලිය දැඩි සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදය ඔස්සේ සිදු කළ යුතු යි. දැන් අපි ඒ පිළිබඳත් සොයා බලමු.

දිරාපත් වීමක් නොව විසංයෝජනයක්

කැත්‍රිනා ස්පේඩ් පවසන පරිදි “දිරාපත් වීම” යනු පොළෝ මට්ටමට ආසන්නයේ දී සිදුවන ක්‍රියාවලියක්. එය එක්තරා අන්දමකින් සීමා සහිත අවකාශයක සිදුවන ස්වභාවික ක්‍රියාවලියක් බඳු යි. කොම්පෝස්ට්කරණයේ දී මිනිස් ශරීරය නැවත පස සමඟ ඒකාබද්ධ කිරීමක් සිදු කරනවා. එය “විසංයෝජන” ක්‍රියාවලියක් ලෙස හැඳින්වීම වඩාත් නිවැරදි යි.

සංවෘත කුටියක සිදුවන කොම්පෝස්ට්කරණය ක්ෂුද්‍ර ජීවි සහ යාන්ත්‍රික ක්‍රියාවලියක එකතුවක් – www.seattletimes.com

ප්‍රථ්මයෙන් මළ සිරුර දැව කැබලි, පිදුරු සහ ඇල්ෆල්ෆා සහිත සංවෘත කුටීරයක තැබීම සිදු කරනවා. ඇල්ෆල්ෆා යනු රනිල කුලයට අයත් ශාකයක්. එය සත්ත්වාහාරයක් ලෙස අතීතයේ පටන් වගා කරන අතර, නයිට්‍රජන් සහ ප්‍රෝටීන් ප්‍රභවයක් ලෙස ක්‍රියා කරමින් කොම්පෝස්ට් ක්‍රියාවලිය වේගවත් කිරීමට උර දෙනවා.

පසුව ක්ෂුද්‍ර ජීවින්ට මළ සිරුරේ සංඝටක බිඳ දැමීමට සහාය වීමක් වශයෙන් ශරීරය සහිත සංවෘත කුටීරය සෙමෙන් භ්‍රමණය වීමට ඉඩ හරිනවා. දින තිහකට පසු දේහය කුටීරයෙන් ඉවතට ගනු ඇති.

කුටීරයක ඇතුළත ව්‍යුහය – thegreatnorthernfestival.com

සෞඛ්‍යාරක්ෂිත පසක්

ක්‍රියාවලිය සරල වුවත්, කොම්පෝස්ට්කරණයට අදාළ තාක්ෂණය පරිපූර්ණ කිරීම සඳහා වසර හතරක් මුළුල්ලේ විද්‍යාත්මක පර්යේෂණ පැවැත්වූ බව සඳහන්.

වොෂිංටන් ප්‍රාන්තය තුළ පශු සම්පත් කොම්පෝස්ට් කිරීම හොඳින් ස්ථාපිත කළ ක්‍රියාවලියක්. එය මිනිසුන්ට ගළපා ගැනීමේ දී දේහය පාරිසරික වශයෙන් සහතික කිරීමේ අවශ්‍යතාවක් පැන නැඟුණා.

අවසාන ප්‍රතිපලය ඥාතීන්ට භාර වන්නේ මේ අයුරින් – www.nbcnews.com

ඊට පිළිතුරක් වශයෙන් කැත්‍රිනා ස්පේඩ්, තම අදහසට උද්‍යෝගයෙන් යුතුව කැමැත්ත ලබාදුන් ස්වෙච්ඡා සේවකයන් සය දෙනකු සමඟ නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කළා. පාංශු විද්‍යාඥයෙක් වන මහාචාර්ය කාපෙන්ටර් බොස් ද ඊට සහයෝගය ලබා දුන් විද්වතෙක්.

යම් කාලයක් පුරා සෙල්සියස් අංශක 55 ක් වැනි උෂ්ණත්වයකට මළ සිරුර නිරාවරණය කරන්නේ නම්, රෝගාබාධ ඇති කරන ජීවින් සහ සිරුරට කිසියම් රසායනිකයක් යොදා ඇත්නම් ඒවා ද විනාශ වන බව ඔවුන් අවබෝධ කර ගත්තා. සිරුරේ සිටින තාපකාමී ක්ෂුද්‍ර ජීවින්ට තවදුරටත් ශරීරයේ සංඝටක බිඳ හෙළීම සිදු කළ බැවින්, දිරාපත් වීම අඩාල වන්නේ නැහැ. අවසාන ප්‍රතිපලය වශයෙන් ලැබෙන “කොම්පෝස්ට් පස” සෞඛ්‍යාරක්ෂිත වන්නේ ඒ අයුරින්.

මරණයෙන් ජීවයක්

“මානව කොම්පෝස්ට්කරණ” ක්‍රියාවලිය යනු ක්ෂුද්‍ර ජීවි සහ යාන්ත්‍රික යන ක්‍රියාකාරීත්වයන් ද්විත්වයක එකතුවක්. ක්ෂුද්‍ර ජීවින් සිරුර වියෝජනය කරන අතරතුර යාන්ත්‍රික ක්‍රියාවලිය මඟින් දත් හා අස්ථි බිඳ හෙලීම සිදු කරනවා. ක්‍රියාවලියේ අවසාන පියවරේ දී සෙන්ටිමීටරයකට වඩා විශාල අස්ථි කොටස් ආදාහනයට ලක් කරනවා. අස්ථි කොටස් පමණක් ආදාහනය කරන බැවින්, විශාල බලශක්ති හානියක් සිදු වන්නේ නැහැ.

“මානව කොම්පෝස්ට්කරණ” ක්‍රියාවලිය යනු ක්ෂුද්‍ර ජීවි සහ යාන්ත්‍රික යන ක්‍රියාකාරීත්වයන් ද්විත්වයක එකතුවක් – www.geekwire.com

මානව කොම්පෝස්ට්කරණ ක්‍රියාවලියේ දී එක් මළ සිරුරකින් කියුබික් යාරයක පසක් නිර්මාණය කරන බව පැවසෙනවා. සංවෘත බඳුනෙන් පාංශු අවශේෂ ඉවත් කළ පසු සති 2-6 දක්වා කාලයක් පදම් කිරීමකට ලක් කරන අතර, විශ්ලේෂණයක් ද සිදු කරනවා. ඒ අනුව සම්පූර්ණ ක්‍රියාවලිය සඳහා සති 6-10 අතර කාලයක් ගත විය හැකි යි. ඉන්පසු අවශේෂ ඥාතීන්ට භාරදෙන අතර, ඉඩම්, වනාන්තර හෝ උද්‍යාන සඳහා ඒවා භාවිත කළ හැකි යි. නමුත්, මෙහි දී යම් නීතිමය ගැටලුවකුත් පැන නඟිනවා. පාංශු අවශේෂය තුළ ඉතා කුඩා අස්ථි කැබලි පැවතිය හැකි බැවින්, උද්‍යානයක්, වනාන්තරයක් වැනි පොදු ස්ථානයකට බැහැර කිරීමේ දී යම් නීතිමය ක්‍රියාවලියක් හරහා ගමන් කිරීමට සිදු වෙනවා. නමුත්, එය විශාල බාධාවක් වී නැහැ.

උදාහරණයක් ලෙස වොෂිංටන් ප්‍රාන්තයේ පිහිටි “බෙල්ස් මවුන්ටන්ස්” රක්ෂිත වනාන්තරයට “Recompose” ආයතනය ලබා දෙන පස භාවිත කරනවා. අවදානමට ලක්විය හැකි දේශීය ශාක සහ අනෙකුත් වනජීවින්ට පුනර්ජීවනයක් ලබාදීම එහි අරමුණ යි.

“පිරිවැය” ප්‍රධාන ගැටලුව යි

ධනාත්මක කාරණා රැසක් තිබුණ ද “මානව කොම්පෝස්ට්කරණය” සම්බන්ධයෙන් මතුවන ප්‍රායෝගික ගැටලුවක් තිබෙනවා. ඒ පිරිවැය යි. “Recompose” ආයතනයට අනුව මේ සඳහා අමෙරිකානු ඩොලර් 7000 ක පමණ මුදලක් වැය වෙනවා. අනෙකුත් විකල්ප සහ පාරිසරික හිතකර බව සැලකීමේ දී එවැනි මුදලක් වැය කිරීම ප්‍රතිපලදායක බව ඔවුන් ගේ අදහස යි.

එක්සත් ජනපදයේ ජාතික අවමංගල්‍ය අධ්‍යක්ෂවරුන්ගේ සංගමයට (NFDA) අනුව භූමදානයක් සහිත අවමංගල්‍යයක් සඳහා එක්සත් ජනපදය තුළ වැයවන සාමාන්‍ය මුදල 2021 දී ඩොලර් 7848 ක් වැනි අගයක පැවතුණා. ආදාහනයක් සහිත අවමංගල්‍යයක් සඳහා වැය වන්නේ ඩොලර් 6971 ක් වැනි සාමාන්‍ය අගයක් පමණ යි. ඒ අනුව මානව කොම්පෝස්‍ට්කරණයක් සහිත අවමංගල්‍යයක් හරහා විශාල මූල්‍ය ඉතිරියක් බලාපොරොත්තු විය නොහැකි යි.

මානව කොම්පෝස්ට්කරණය සැකෙවින් – www.ecowatch.com

ක්‍රියාවලියේ ඇති පාරිසරික හිතවාදී බව සහ අවම සම්පත් භාවිතය යන කරුණු එක්සත් ජනපද පුරවැසියන් අතර ප්‍රචලිත වෙමින් තිබෙනවා. වොෂිංටන් ප්‍රාන්තයෙන් ඇරඹුණු “මිනිස් සිරුරු කොම්පෝස්ට් බවට හැරවීම” තවත් ප්‍රාන්ත පහක් පුරා ප්‍රචලිත වූයේ ඒ නිසා යි.

ආදාහනයත් එතරම් ලාභදායී වන්නේ නැහැ

නිව් යෝර්ක් හි ආණ්ඩුකාරවරිය වන කැතී හෝකල්, පසුගිය දෙසැම්බර් 31 වැනිදා සිට මානව කොම්පෝස්ට්කරණ ක්‍රියාවලියට අවසර ලබා දීමත් සමඟ අධි නාගරික පෙදෙස්වල ජීවත් වන වැසියන්ට විශාල සහනයක් ලැබී තිබෙනවා. සුසාන භූමිවල ඉඩකඩ අවම වෙමින් පැවතීම ඊට හේතුව යි. ලෝකය ම බලශක්ති අර්බුදයකට මුහුණ පාමින් සිටින යුගයක ආදාහනයත් එතරම් ලාභදායී වන්නේ නැහැ.

එක්සත් ජනපදයට අමතරව මිනිස් කොම්පෝස්ට් නිෂ්පාදනයට අවසර ලබාදුන් ප්‍රමුඛත ම රට වන්නේ ස්වීඩනය යි. කෙසේ නමුත්, මෙම ක්‍රියාවලිය විවිධ සංස්කෘති සහ ආගමික විශ්වාස සමඟ සෘජුව ගැටෙනවා. තවදුරටත් එවැනි විශ්වාස සැලකිල්ලට ගන්නවා ද නැතහොත්, පාරිසරික හදිසි අවස්ථාවකට ඇතුළු වෙමින් සිටින යුගයක වඩාත් ප්‍රායෝගික පියවර ගන්නවා ද යන්න සිතා බැලිය යුතු කාරණයක්.

කවරයේ ඡායාරූපය: පරිසර හිතකාමී අන්දමින් තම අවසාන කටයුතු සිදු කිරීමේ අභිලාෂයෙන් සිටින මිනිසුන් ගණන දැන් වර්ධනය වෙමින් තිබෙනවා -people.howstuffworks.com
මූලාශ්‍ර:
www.bbc.com
www.bbc.com/sinhala
recompose.life
www.healthline.com

Related Articles