Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලොව වටා ඇති බිහිසුණු මහාමාර්ග

මිනිසා ඉදිකළ බොහෝ මාර්ග පහසු සහ සුවදායී ගමනකට සහය දැක්වූව ද ඇතැම් මාර්ගයන් ඔස්සේ ගමන් කිරීම ත්‍රාසජනක සහ බියජනක අත්දැකීමක් ලබාදෙන්නක්. බොහෝවිට එම ප්‍රදේශයන්හි පවතින කාලගුණික හා දේශගුණික තත්ත්වයන්, භූගෝලීය පිහිටීම්, සතුන්ගෙන් පැමිණිය හැකි උවදුරු, සහ මිනිස් ක්‍රියාකාරකම් මෙම භයානක බවට හේතු වී ඇති නමුත් එදිනෙදා අවශ්‍යතා සපුරාගැනීම සඳහා එම භයානක බව නොතකා මෙවැනි මාර්ගයන භාවිතා කරන පුද්ගලයින් ගණන බොහෝ යි.

මේ ලිපියෙන් ඔබ වෙත ගෙන එන්නේ එවන් මාර්ගයන් කීපයක ලැයිස්තුවක්. 

පෑන් ඇමෙරිකානු මහාමාර්ගය (ඇලස්කාවේ සිට චිලී දක්වා)

උතුරු, මධ්‍යම, සහ දකුණු ඇමෙරිකාව හරහා දිවෙන මෙම මාර්ගයේ දිග කිලෝමීටර 48,000ක්. මුහුදු මට්ටමේ සිට උපරිම උස මීටර 3,200ක් වන මෙහි ගමන් කිරීමේ දී අයහපත් කාලගුණ තත්ත්ව, අසීරු භූ පිහිටීම්, වන සතුන්, සහ බොහෝවිට මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් සංචාරකයින්ට ත්‍රාසජනක අත්දැකීම්වලට මුහුණ පෑමට සිදුවිය හැකියි. විශේෂයෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් බහුල මෙක්සිකෝව සහ මධ්‍යම ඇමරිකාව හරහා දිවෙන කොටස සහ කොළොම්බියානු කැරළිකරුවන් බහුල පැනමාව සහ කොළොම්බියාව අතර කොටස හරහා රථ ධාවනය අනතුරුදායක විය හැක්කේ ඔවුන් සිදුකරන කප්පම් ඉල්ලීම් සහ පැහැරගැනීම් හේතුවෙන්.

පෑන් ඇමෙරිකානු මහාමාර්ගය (https://www.pbase.com)

සිචුවාන්- ටිබෙට් මහාමාර්ගය (චීනය)

චීනය හා ටිබෙටය හරහා වැටී ඇති කිලෝමීටර 2293ක දිගකින් යුක්ත මෙම මාර්ගය මුහුදු මට්ටමේ සිට මීටර 4,700ක උපරිම උසකින් පිහිටා ඇති අතර, මෙහි ගමන්කිරීම ත්‍රාසජනක වන්නේ ගල් පෙරළීම්, නාය යෑම්, හිම කුණාටු, සහ මාර්ගයේ ඇති දරුණු වංගු සහ හෙල් සහිත ස්වභාවය හේතුවෙන්. අධික සුළං තත්ත්වය සහ උන්නතාංශයේ සිදුවන වෙනස්වීම් හේතුවෙන් මෙහි ගමන් කරන්නන් හට වමනය සහ කැරකැවිලි ස්වභාවයක් දැනීම සාමාන්‍යයෙන් සිදුවන්නක්. බෞද්ධ ආරාමයන්, සහ කඳුකරයේ සිටින ‍යැක් ගවයින් රංචු දැකගත හැකි සුන්දර වටපිටාවක් හරහා වැටී ඇති මෙහි වැසි සමයේ හෝ ශීත සෘතුවේ දී ගමන් කිරීම අතිශයින්ම අන්තරාදායක යි.

සිචුවෑන්- ටිබෙට් මහාමාර්ගය(https://www.dangerousroads.org)

ජේම්ස් ඩෝල්ටන් මහා මාර්ගය (ඇලස්කාවේ සිට චිලී දක්වා)

දරුණු කාලගුණික තත්ත්වයන්, ගැඹුරු ප්‍රපාත, අසීරු භූ විශමතා, පාළු බව, සහ වන සතුන් හේතුවෙන් භයානක මාර්ගයක් ලෙස නම් කර ඇති මෙහි දිග කිලෝමීටර 666ක්. මෙම මාර්ගය ප්‍රධාන වශයෙන්ම පෲදෝ බොක්කේ ඇති තෙල් නිධිවලට සහ ඉන් පිටට ගමන් කරන ට්‍රක් රථ රියදුරන් විසින් භාවිතා කරන්නක්. මෙය හරහා පිහිටා ඇත්තේ නගර 3ක් පමණක් වීම සහ කිසිදු වෛද්‍ය පහසුකම් ලබා දෙන ස්ථානයක් නොතිබීම හේතුවෙන් මෙහි ගමන්කරන්නන් හට උපදෙස් දී ඇත්තේ තමාට අවශ්‍ය ප්‍රථමාධාර උපකරණ සහ හදිසියක දී ජීවත්වීමට අවශ්‍ය ආහාර තමා විසින්ම රැගෙන යන ලෙස යි.

ජේම්ස් ඩෝල්ටන් මහා මාර්ගය (https://thedyrt.com)

ඇටසැකිලි මාවත හෙවත් කොලීමා සහ ලීමා මහාමාර්ග

රුසියාවේ පිහිටා ඇති මෙම මාර්ගය කිලෝමීටර 3080ක් දිගින් යුක්ත වන අතර මෙහි භයානක බවට හේතු වී ඇත්තේ අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන් ඇතිවූ හිම, මඩ, සහ අවට දැකීමේ අපහසුතාවය යි. කොලීමා මහාමාර්ගය සහ ලීනා මහාමාර්ගය යන දෙකේම එකතුවෙන් සෑදී ඇති මෙහි මෙකී මාර්ගයන් සම්බන්ධ වී ඇත්තේ “ලීමා ගඟේ අයිස් මාවත” හරහා යි. එනම් ලීමා ගඟ මිදුණු විට ඒ හරහා යි. එබැවින් මෙය විවෘතව පවතින්නේ ගඟ මිදෙන කාලය වන දෙසැම්බර් සිට අප්‍රේල් දක්වා යි. 

ඇටසැකිලි මාවත (https://bmwmcmag.com)

ග්වෝලියෑංග් උමං මාවත (චීනය)

කිලෝමීටර 1.2ක දිගකින් යුක්ත මෙම මාවතේ මුහුදු මට්ටමේ සිට උපරිම උස මීටර 600ක් වන අතර, මෙහි අනතුරුදායක බවට හේතු වී ඇත්තේ ගැඹුරු ප්‍රපාත, දැඩි මීදුම, ගල් පෙරළීම්, මඩ සහිත මතුපිට සහ ආරක්ශිත අත්වැටක් නොමැතිවීම යි. හේනාන් ප්‍රදේශයේ ජීවත් වන ගම්වැසියන් 300ක් සඳහා පමණක් මාර්ගයක් ඉදි කිරීම චීන ආණ්ඩුව විසින් ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් කෝපයට පත් ගම්වැසියන් 13 දෙනෙකුගේ මූලිකත්වයෙන් මෙය ඉදි කෙරුණු අතර, මෙම මාර්ගය අඩි 15ක උසකින් සහ අඩි 12ක පළලකින් යුක්ත උමගකින් සමන්විත යි.  

ග්වෝලියෑංග් උමං මාවත (https://www.charismaticplanet.com)

සෝජී ලා මංකඩ (ඉන්දියාව)

ශ්‍රී නගර් සහ ලේ නම් බටහිර හිමාල පෙදෙසේ ඇති නගර දෙක යා කරමින් සෑදුණු මෙම මාවත කිලෝමීටර 9ක දිගකින් යුක්ත වන අතර 1947 දී මෙම මාර්ගය ඉදිකිරීමට හේතු වී ඇත්තේ යුධ කටයුතු හා බැඳුණු අවශ්‍යතා යි. අයහපත් කාලගුණික තත්ත්වයන්, පටු සහ ආරක්‍ෂක වැටක් රහිත සිග්-සැග් හැඩැති මාර්ගය, සහ ගැඹුරු හෙල් සහිත භූමිය මෙහි භයානකත්වයට හේතු වී ඇති බව දැකිය හැකියි.

සෝජී මංකඩ (https://www.reddit.com)

උතුරු යුංගාස් මාවත හෙවත් මරණයේ මාවත

බොලීවියාව හරහා ලා පාස් සිට කොරොයිකෝ දක්වා වැටී ඇති මරණයේ මාවත කිලෝමීටර 80ක දිගකින් යුක්ත වන්නක්. මෙය තනි මංතීරුවක් පමණක් සහිත මාර්ගයක් වන අතර එක් පසෙකින් අඩි 3000ක් පමණ ගැඹුරු හෙළකින් සමන්විත යි. නිතර නායයෑම්, ගල් පෙරළීම්, අධික මීදුම් ගැලීම්වලට ලක්වන මෙම මාර්ගය වැලමිටි වංගු 200කින් පමණ යුක්ත වන්නක්. මෙහි ආරක්‍ෂක අත්වැටක් නොමැති අතර 1994 සිට මේ දක්වා සෑම වසරක දීම මෙහි ගමන් කරන්නන් අතරින් මිය යන සංඛ්‍යාව 300කට අධික යි.

උතුරු යුංගාස් මාවත (https://www.express.co.uk)

කිල්ලාර් සිට පාංගි දක්වා කිශ්ත්වාර් හරහා දිවෙන මාර්ගය (ඉන්දියාව)

ගිම්හාන සෘතුවේ දී පමණක් ගමනාගමනය සඳහා විවෘත වන මෙම මාර්ගය කිලෝමීටර 114ක දිගකින් යුක්ත වන්නක්. ගැඹුරු ප්‍රපාත, හුදෙකලා බව, මඩ සහිත මාර්ගය, සහ ආරක්ෂක වැටවල් නොමැතිවීම හේතුවෙන් මෙම මාර්ගයේ ගමන්කිරීම භයානක වන අතර මෙහි භයානකම කොටස වන්නේ ඕනෑම මොහොතක මාර්ගයට පෙරළීමේ අවදානමක් සහිත ගල් කුළු පිහිටා ඇති ප්‍රදේශය යි. මෙම මාර්ගය පිහිටි ප්‍රදේශයේ ඇති පසේ අස්ථාවර ස්වභාවය හේතුවෙන් වාහනයක් ඕනෑම මොහොතක මාර්ගයේ එක් පසෙකින් ඇති අඩි දෙහහසක් ගැඹුරු ප්‍රපාතයට පෙරළීමට හැකි අතර සංචාරකයින්ට මෙහි ගමන් කිරීමට නම් අධික චිත්ත ශක්තියක් අවශ්‍ය වන්නේ මෙහි ඇති බිහිසුණු බව නිසාම යි.

කිල්ලාර් සිට පාංගි දක්වා කිශ්ත්වාර් හරහා දිවෙන මාර්ගය(https://carbuzz.com

මෙවැනි තවත් මාර්ගයන් පිළිබඳව ඔබ අසා තිබෙනවා ද? 

Related Articles