Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ඇමරිකාවේ අලුත් පනතක් සම්මතවීමට හේතුවූ මැතිව් ෂෙපර්ඩ් ඝාතනය

“ඔහුගේ මුහුණ පුරා වෙළුම් පටි සහ මැහුම් යොදා තිබුණා. අවසාන පහරින්  මොළයට හානි සිදුවූ නිසා හිස වටාත් වෙළුම් පටි තිබුණා. ඇඟිලි වකුටු වෙලා, අප්‍රාණික වෙලා. සිරුරේ හැමතැනටම සම්බන්ධකොට තිබූ නාල මඟින් ඔහුගේ සිරුර පණපිටින් තබන්න හැකි වුණා. එක ඇසක් අර්ධව විවෘත නිසා ඇස්වල නිල් පැහැය දකින්න පුළුවන් වුණත්, ඔහුගේ මුහුණ ඉදිමී තිබුණු නිසා ඔහුගේ සමීපයට යනතුරු ඔබට ඔහුව හඳුනාගැනීමට බැහැ.”

ජූඩි ෂෙපර්ඩ්, ඇයගේ පුත්‍රයා වූ මැතිව් ෂෙපර්ඩ්ගේ තත්ත්වය ගැන  වරෙක විස්තරකොට තිබුණේ ඒ අයුරින්.

අදින් දශක දෙකකට පෙර, 1998 ඔක්තෝබර් 12 වැනිදා, මුළු ඇමරිකා එක්සත් ජනපදයම කම්පා කළ ඝාතනයක් වයොමිං ප්‍රාන්තයේ සිදුවෙනවා. අමුතුවෙන්ම පනතක් සම්මතකර ගැනීමට තරම් මෙම ඝාතනය එක්සත් ජනපදයට බලපෑම් එල්ල කළා. මරණයෙන් පසු මැතිව් ෂෙපර්ඩ් තම හදවත් තුළ ජීවමානව තබා ගැනීමට ඇමරිකානු ජනතාව උත්සහ කළා. සමාජ අසාධාරණයට එරෙහිව සාමාන්‍ය පුරවැසියෙකුගේ වගකීම ගැන පරමාදර්ශයක් ඒ අනුව මේ සිදුවීමෙන් අපට උකහාගත හැකි යි. 

මැතිව් ෂෙපර්ඩ් ඔහුගේ දෙමව්පියන් සමග/people.com/

දක්ෂ සහ කාරුණික තරුණයෙක්

1976 දෙසැම්බර් 1 වන දින වයෝමිං ප්‍රාන්තයේ කැස්පර් නගරයේ උපත ලද මැතිව්, ෂෙපර්ඩ් පවුලේ දරුවන් දෙදෙනාගෙන් වැඩිමලා යි. මැතිව් ප්‍රචලිතව සිටියේ සංවේදී, මෘදුව කතාබස් කරන, කාරුණික තරුණයෙකු ලෙස යි. මූලික අධ්‍යාපනය සඳහා කැස්පර්හි රජයේ පාසලකට ඇතුළත් වූ මැතිව්, පසුකලෙක සෞදි අරාබියට සංක්‍රමණය වෙනවා. ඒ, ඔහුගේ පියා සෞදි අරාබියේ ඉංජිනේරුවෙකු ලෙස සේවය කළ නිසා යි. උසස් අධ්‍යාපනය සඳහා මැතිව් ජර්මන් සහ ඉතාලි බසට අමතරව නාට්‍ය කලාවත් හැදෑරුවා. සංගීතය සහ විලාසිතා ගැනත් ඔහුට උනන්දුවක් සහ රසාස්වාදයක් තිබුණා.

මැතිව් සිය ජ්‍යෙෂ්ඨ වසර තුළ දී මිතුරන් තිදෙනෙකු සමග නිවාඩුවක් ගත කිරීමට මොරොක්කෝවට සංචාරය කළා. එම සංචාරය අතරතුර ඔහු ස්වදේශිකයන් පිරිසකගේ පහරකෑමකට සහ මංකොල්ලකෑමකට ලක් වී, ලිංගික අඩත්තේට්ටමට ද භාජනය වුණා. ප්‍රහාරය සිදුකළේ කවුරුන්ද යන්න සොයා බැලීමට පොලිසිය උත්සාහ කළත්, වැරදිකරුවන් කිසි විටෙකත් හසුවුණේ නැහැ. පහරදීමෙන් පසුව මැතිව් මනෝ චිකිත්සක ප්‍රතිකාර ලබා ගත්තත්, ඒ බියකරු සිදුවීමේ මතකයෙන් ඈත් වෙන්න ඔහුට හැකි වුණේ නැහැ. අවුරුදු 21ක් තරම් ලාබාල ජීවිතයේ ඉතිරි කාලය ඔහු මානසික ආතතිය, මානසික අවපීඩනය, කාංසාව, සහ සියදිවි නසාගැනීමේ සිතුවිලිවලින් අඛණ්ඩව පීඩා වින්ඳා.

මැතිව්ගේ අවසාන දවස්

මැතිව් කුඩාකල සිටම තමාගේ ලිංගික දිශානතිය ගැන අවබෝධයෙන් සිටි තැනැත්තෙක්. උසස් පාසලේ අධ්‍යාපන කටයුතු හමාරවීමෙන් පසු තමාගේ ලිංගික අනන්‍යතාවය ඔහු තම මවට හෙළි කරනවා. කෙසේ නමුත්, මැතිව් සමලිංගික නැඹුරුවක් තිබෙන තරුණයෙක් බව ඔහුගේ මව කලෙක පටන් අවබෝධයෙන් හිඳ තිබුණා. ඒ නිසා මැතිව්ට තමාගේ අනන්‍යතාවය තුළ ජීවත්වෙන්න අපහසු වුණේ නැහැ. පසු කලෙක ඔහු රොමේන් පැටර්සන් නම් සමරිසි කාන්තාවක් සමග මිතුදමක් ගොඩනඟාගත් අතර, රොමේන් ඔහුගේ සමීපතමයෙකු බවට පත්වෙනවා. ඔවුන් දෙදෙනා කොලරාඩෝ ප්‍රාන්තයේ ඩෙන්වර් නගරයට සංක්‍රමණය වෙනවා. එහි වෙසෙමින් අර්ධකාලීන රැකියාවක නිරත වන අතරතුර, මිනිසුන්ට උපකාර කිරීමට තමාට හැකි නේදැ යි මැතිව් නිතරම සිතුවා. එනිසා 1998 දී නැවත වයෝමිං වෙත පැමිණි ඔහු ලැරමි ප්‍රදේශයේ පිහිටි වයෝමිං විශ්වවිද්‍යාලයයට ඇතුළත් වෙනවා.

මැතිව් ෂෙපර්ඩ් තරුණයා ඝාතනයට ලක්වූ ස්ථානය/theguardian.com/

විශ්වවිද්‍යාලයේ දී මැතිව් දේශපාලන විද්‍යාව හා ජාත්‍යන්තර සබඳතා හැදෑරූ අතර, විදේශ සේවා වෘත්තියක නිරතවීම ඔහුගේ සිහිනය වුණා. ආචාරශීලී, කල්පනාකාරී, සහ සංවාදයේ දක්ෂයෙකු ලෙස විශ්වවිද්‍යාලයයේ ප්‍රසිද්ධියක් ලබා ගන්නා මැතිව්, විශ්වවිද්‍යාලයයේ සමලිංගික, ද්වි ලිංගික, සහ සංක්‍රාන්ති ලිංගිකයන් (LGBT) වෙනුවෙන් ගොඩනඟාගත් ශිෂ්‍ය සන්ධානයකට සම්බන්ධ වෙනවා. 

1998 ඔක්තෝම්බර් 6 වන දින, ලැරමි වෙත පැමිණ මාස කිහිපයකට පසු, මැතිව්ට එක්තරා අවන්හලක දී ඒරන් මැක්කිනී සහ රසල් හෙන්ඩර්සන් නම් තරුණයන් දෙදෙනා මුණ ගැසෙනවා. ඒරන් සහ රසල්, හීන්දෑරි සිරුරක් ඇති මැතිව් පහසු ඉලක්කයක් ලෙස දුටුවා. එනිසා මැතිව් මංකොල්ලකෑමට ඔවුන් සැලසුම් කළා. ඔක්තෝබර් 7 වැනිදා අළුයම ඔවුන් දෙදෙනා කෙසේ හෝ මැතිව් ෂෙපර්ඩ් තරුණයා ප්‍රදේශයේ ග්‍රාමීය, පාළු ප්‍රදේශයකට රැගෙන යාමට සමත් වුණා. එහිදී ඔහු වැටකට තබා බැඳ, ඔහුට .357 ස්මිත් ඇන්ඩ් වෙසන් වර්ගයේ පිස්තෝල බඳකින් දරුණු ලෙස පහරදීමට තරම් ඒරන් සහ රසල් දෙපළ කුරිරු වෙනවා. අනතුරුව ඔවුන් වැටට තබා ගැටගැසූ අප්‍රාණික මැතිව් අධික ශීතල මධ්‍යයේ දමා යනවා. පැය 18කට පසු ඒ අසලින් ගමන් කළ පාපැදිකරුවෙකු වූ ඒරන් ක්‍රයිෆෙල්ස් නැමැත්තෙකු මැතිව් අහම්බෙන් සොයාගත් පසු ඔහු රෝහල්ගත කෙරෙනවා. දින කිහිපයක් තිස්සේ ජීවිතයත් මරණයත් අතර සටනක යෙදුණු මැතිව් 1998 ඔක්තෝබර් 12 වැනිදා අවසන් හුස්ම හෙළනවා.

මැතිව් ෂෙපර්ඩ්ගේ ඝාතනයට චූදිතයන් වූ රසල් (වම) සහ ඒරන් (දකුණ)/bbc.com/

මෙම ඝාතනයේ ප්‍රධාන විමර්ශකයා ලෙසකටයුතු කළේ ප්‍රදේශයේ ෂෙරිෆ්වරයා වූ ඩේව් ඕ’ මැලී යි. ඔහු ඒරන් මැක්කිනීගෙන් ලබාගත් ප්‍රකාශයට අනුව, ඒරන් සහ රසල් සමලිංගික තරුණයන් දෙදෙනෙකු ලෙස මැතිව් ඉදිරියේ පෙනී සිටිමින් ඔහුගේ විශ්වාසය දිනාගෙන තිබෙනවා. ස්වභාවයෙන්ම තම ප්‍රජාව වෙනුවෙන් පෙනී සිටින්නෙකු වූ මැතිව් ඔවුන් ගැන කිසිදු සැකයක් නොසිතන්නට ඇති. ඝාතකයන් දෙපළ සමලිංගික භීතිකාවකින් පෙළුණ පුද්ගලයන් බවට සැලකෙනවා. එබැවින් පුද්ගලයෙකුගේ ලිංගික දිශානතිය නිසාවෙන් සිදුවූ ඝාතනයක් ලෙස මැතිව් ෂෙපර්ඩ්ගේ සිදුවීම එක්සත් ජනපදය පුරා ප්‍රසිද්ධ වුණා.

මැතිව්ගේ ඇවෑමෙන් ඇතිවූ සමාජ පෙරළිය

මැතිව්ගේ අවසාන කටයුතු 1998 ඔක්තෝබර් 16 වැනිදා කැස්පර් ප්‍රදේශයේ ශාන්ත මාක්ස් එපිස්කෝපල් දේවස්ථානයේ දී පැවැත්වුණා. පවුලේ අය සහ ලොව පුරා මිතුරන් ඇතුළුව 700 දෙනෙකු අවමංගල්‍යයේ කටයුතු සඳහා සහභාගී වුණා. 

ඒ අතර වෙස්ට්බෝරො බැප්ටිස්ට් නම් අන්තවාදී පල්ලියේ කුප්‍රකට විරෝධතාකරුවන් පිරිසක් සමලිංගික විරෝධී පුවරු රැගෙනවිත් විරෝධතාවක් පැවැත්වූවා. මැතිව්ගේ මිතුරන් පිරිසක් සුදු වස්ත්‍ර සහ දේවදූත පියාපත් වැනි ඇඳුම් පැළඳගෙන විරෝධතාකරුවන්ගේ ක්‍රියාවන්වලට ප්‍රතිවිරෝධය දැක්වූවා. මැතිව්ගේ කුරිරු ඝාතනය කෙරෙහි බොහෝ මාධ්‍ය ආයතන ආකර්ෂණය වූ අතර, මැතිව් ෂෙපර්ඩ්ගේ මරණය සමරිසියන් කෙරෙහි එල්ලවන වෛරයට සහ ප්‍රචණ්ඩත්වයට එරෙහි විරෝධයේ කේන්ද්‍රස්ථානයක් බවට පත්වුණා.

මැතිව් ෂෙපර්ඩ්ගේ ඝාතනයෙන් සංවේගයට පත් ඇමරිකානු ජනතාව/trib.com/

මැතිව් අභාවප්‍රාප්ත වී දින දෙකකට පසු සිදුවීමෙන් කම්පනයට පත් දේශපාලකයන් සහ ප්‍රසිද්ධ පුද්ගලයන් මැතිව්ගේ මරණය සිහිපත්කිරීම සඳහා එක්රොක් වුණා. එවකට එක්සත් ජනපදයේ ජනාධිපතිධුරය හෙබවූ බිල් ක්ලින්ටන් පවා මෙම ඝාතනය හෙළා දකිමින් ප්‍රකාශ නිකුත් කළා. රට පුරා මිනිසුන් ඉටිපහන් දල්වා මැතිව් වෙනුවෙන් ශෝකය ප්‍රකාශ කළා. 

මැතිව් ෂෙපර්ඩ්ගේ අකල් මරණය වෛරයට එරෙහිව ක්‍රියා කරන මානව ක්‍රියාකාරීන්ගේ නැඟී සිටීමකට හේතුවුණා. එය මෑතක දී ඇමරිකාවේ පොලිස් නිලධාරියෙකු අතින් ඝාතනයට ලක්වූ ජෝර්ජ් ෆ්ලොයිඩ් නිසා ඇතිවූ සමාජ පිබිදීමට සමාන කළ හැකි යි. පසුකලෙක මැතිව්ට කරන ගෞරවයක් ලෙස ඔහුගේ දෙමව්පියන් “මැතිව් ෂෙපර්ඩ් පදනම” නම් සංවිධානයක් බිහි කළ අතර, එහි පරමාර්ථය වන්නේ පුද්ගලයන්ගේ ගෞරවය, විවිධත්වය පිළිගන්නා සමාජයක් නිර්මාණය කිරීමට දායක වීම සහ වෛරය වෙනුවට අවබෝධය, දයානුකම්පාව සහ පිළිගැනීම ඇති කිරීමට පෙනී සිටීම යි. වර්තමානයේ, ඔහුගේ බාල සොහොයුරා වන ලෝගන් ෂෙපර්ඩ් මෙම පදනමේ කාර්ය මණ්ඩල සාමාජිකයෙකු ලෙස ක්‍රියාත්මක වෙනවා. ඔහු එම පදනමේ දෛනික කටයුතු අධීක්ෂණය කරමින් තම සොහොයුරා මරණයට අර්ථයක් ගෙන ඒමට උත්සාහ කරනවා.

මැතිව් ෂෙපර්ඩ් වෙනුවෙන් වයෝමිං විශ්වවිද්‍යාලයයේ ඉදිකර ඇති ස්මාරකය/pinterest.com/pin/496521927661209439/

මැතිව් ෂෙපර්ඩ් පනත

මැතිව් ෂෙපර්ඩ්ගේ ඝාතනයට වැරදිකරුවන් වූ ඒරන් සහ රසල් දෙපළ ජීවිතාන්තය දක්වා සිර දඬුවමකට යටත් කෙරුණා. නමුත් මෙම තීන්දුවේ යම් ගැටලුකාරී ස්වභාවයක් තිබුණා. ඒරන්-රසල් දෙදෙනා මැතිව් ඝාතනය කිරීම පිටුපස ඔවුන්ගේ සමරිසි-විරෝධී වෛරී ආකල්පයන් ද තිබුණා. නමුත්, මේ සමරිසි-විරෝධී ක්‍රියා කලාපය වැරැද්දක් ලෙස ඔවුන්ගේ තීන්දුවට ඇතුළත් වුණේ නැහැ. එහි ප්‍රතිඵලයක් ලෙස මැතිව් ෂෙපර්ඩ් ඝාතනය උදාහරණයකට ගනිමින් LGBT ප්‍රජාවට විරුද්ධව කෙරෙන ප්‍රචණ්ඩත්වය සහ එහි ගොදුරුවූවන්ට ආරක්ෂාව හෝ නීතිමය පිහිට ලබා ගැනීමට හැකි වන සේ ෆෙඩරල් නීති සම්පාදනය කරන ලෙස විරෝධතාකරුවන් රජයට බලපෑම් එල්ල කළා.

මැතිව්ගේ ඝාතනයෙන් වසර එකොළහකට පසු, 2009 ඔක්තෝබර් 28 වැනිදා, එවකට එක්සත් ජනපද ජනපති වූ බැරක් ඔබාමා “The Matthew Shepard and James Byrd Jr. Hate Crimes Prevention Act” නම් පනතට අත්සන් තැබුවා. මෙහි “කණිෂ්ඨ ජේම්ස් බයර්ඩ්” යනු වර්ගවාදය හමුවේ ඝාතනයට ලක්වූ තැනැත්තෙක්. මෙය සාමාන්‍ය ව්‍යවහාරයේ දී “මැතිව් ෂෙපර්ඩ් පනත” ලෙස හඳුන්වනවා. ජනපති බැරක් ඔබාමා මෙම පනත අත්සන් කළේ මැතිව් ෂෙපර්ඩ්ගේ මව, ජූඩි ෂෙපර්ඩ් තමා අසලින් සිටුවාගෙන වීම විශේෂත්වයක්.

මෙම පනත යටතේ වෛරීසහගත හේතූන් මත සිදුකරන අපරාධ වැළැක්වීමට කටයුතු යොදා තිබෙනවා. ජාතිය, වර්ණය, ආගම, සම්භවය, ජනවාර්ගිකත්වය, ස්ත්‍රීපුරුෂභාවය, ලිංගික දිශානතිය, ආබාධිතබව ආදී කරුණු හමුවේ වෙනස්කොට සැලකීම සහ පීඩා කිරීම ආදිය වෛරී සහගත හේතූන් යටතට ගැනෙනවා. ඉහත සඳහන් කාරණා මත පදනම් වූ ප්‍රචණ්ඩත්වයට එරෙහිව නඩු පැවරීමට ඇති බාධාවන් නීතියෙන් ඉවත්කොට තිබෙනවා.

ජනපති බැරක් ඔබාමා සහ මැතිව් ෂෙපර්ඩ්ගේ දෙමාපියන් පණත බලාත්මක කිරීමේ අවස්ථාවට එක් වෙමින්/abcnews.go.com/

අපි හැමෝටම සිහින සහ බලාපොරොත්තු තිබෙනවා. මැතිව්ගේ ජීවිත කතාව සොයා බැලීමේ දී, ඔහු සැලසුම් සහගතව හා පරමාදර්ශී ලෙස තම අනාගතය සකස්කර ගැනීමට වෙර දැරූ පුද්ගලයෙකු බව පෙනී යනවා. නමුත් බහුතරයකට නැති එකම එක වෙනසක් නිසා මැතිව් ජීවිතයෙන් සමු ගත්තා. එමඟින් සමාජයට සේවයක් කළ හැකි වටිනා තරුණ ජීවයක් ඇමරිකානු ජනතාවට අහිමි වුණා. ඒ වෙනුවෙන් කළ ගෙවීමක් ලෙස ඇමරිකානු ජනතාව තම පුරවැසි වගකීම ඉටු කළ අන්දම අගය කළ යුතු නොවේ ද?

Cover photo: මැතිව් ෂෙපර්ඩ්/them.us/

මූලාශ්‍රයයන්:

bbc.com

biography.com/

law.cornell.edu/

Related Articles