Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලෝකය මුහුණදුන් දරුණුතම සුළි කුණාටු

ඉතිහාසය පුරා ම වරින් වර ලෝක ප්‍රජාව සුළි කුණාටු හේතුවෙන් පීඩාවට පත්ව තිබෙනවා. කෙසේ නමුත් ඒවායේ ප්‍රබලත්වය පිළිබඳ ව නිශ්චිත ගණනය කිරීම් කිරීමේ හැකියාව මිනිසාට ලැබුණේ මෑතක දී යි. එසේ ගණනය කිරීම්වලින් තහවුරු කරන ලද දරුණුම සුළි කුණාටු කිහිපය පහත පරිදි වෙනවා.

ටිප් ටයිෆූනය – පැයට කි. මී. 306

ටිප් ටයිෆූනය-NOAA.gov

1979 වසරේ බටහිර පැසිෆික් සයුරේ හටගත් ටිප් ටයිෆූනය ප්‍රබලතම අවස්ථාවේ දී පස්වන කාණ්ඩයේ චණ්ඩ මාරුතයක් බවට පත්වූ අතර, උපරිම සුළං වේගය පැයට කි. මී. 306ක් ලෙස සටහන් වුණා. මෙය තුළ වායු පීඩනය එක් අවස්ථාවක මිලිබාර් 870ක් දක්වා පහත වැටුණු අතර එය සුළි කුණාටුවක වාර්තා වූ අඩු ම වායු පීඩනය ලෙස අද වන තුරුත් සඳහන් ව තිබෙනවා. මෙය ගණනය කිරීම් ඇරඹි පසු ලොව වාර්තා වූ ප්‍රබලතම ඝර්ම කලාපීය සුළි කුණාටුව යි. චණ්ඩ මාරුතයේ උපරිම අවස්ථාවේ දී එය කි. මී. 2,220ක් දක්වා විෂ්කම්භයක් දැරූ මාහා සුළි කුණාටුවක් වුණා.

1959 දී බටහිර පැසිෆික් සාගරයෙන් ම වාර්තා වූ වේරා සුළි කුණාටුව (අවම වායු පීඩනය මිලිබාර් 895), හා 1980 දී වාර්තා වූ ඇලන් හරිකේනය ද (අවම ආයු පීඩනය මිලිබාර් 899) ටිප් ටයිෆූනය හා සමාන උපරිම සුළං වේග දැරූ ඒවා වුණා.

ජොආන් ටයිෆූනය – පැයට කි. මී. 314

1959 වසරේ බටහිර පැසිෆික් සාගරයේ හටගත් ජොආන් ටයිෆූනයේ විෂ්කම්භය සැතපුම් 1000ක් තරම් වුණා. මෙහි උපරිම සුළං වේගය පැ. කි. මී. 314ක් ලෙස සටහන් වූ අතර අවම වායු පීඩනය මිලිබාර් 885ක් වුණා. මෙය පස්වන කාණ්ඩයට අයත් ව තිබිය දී ම පැ. කි. මී. 300කට ආසන්න වේගයකින් තායිවානයට හා චීනයට කඩාවැදුණු අතර, තායිවානයෙ පමණක් ජීවිත 11ක් හා ඇ.ඩො. මිලියන 3ක දේපළකුත් හානියට පත්වුණා.

හයියාන් ටයිෆූනයෙන් පිලිපීනයේ වූ හානි- NOAA Climate.gov

2013 වසරේ අවම වායු පීඩනය මිලිබාර් 895ක් ලෙස සටහන් වූ හයියාන් ටයිෆූනය ද, 1964 වසරේ හටගත් අවම වායු පීඩනය මිලිබාර් 895ක් ම වූ සැලී ටයිෆූනය ද ජොආන් ට සමාන උපරිම සුළං වේගයක් දැරූ ප්‍රබලතම සුළි කුණාටු වුණා.

ඉඩා ටයිෆූනය හා පැට්‍රීෂියා හරිකේනය-  පැයට කි. මී. 325

1958 දී බටහිර පැසිෆික් සයුරේ ඇති වූ ඉඩා ටයිෆූනය හා නැගෙනහිර පැසිෆික් සයුරේ 2015 උපන් පැට්‍රීෂියා හරිකේනය යන ප්‍රබල සුළි කුණාටු ද්විත්වයේ ම උපරිම සුළං වේගය පැයට කි. මී. 325ක් වුණා.

ඉඩා සුළි කුණාටුව 3 වන කාණ්ඩයේ කුණාටුවක් බවට දුර්වල වීමෙන් පසු ජපානයට කඩාවැදුණු අතර 1,200ක පමණ ජීවිත හානියක් හා විශාල දේපළ හානියක් ද සිදුකළා. කුණාටුවේ ප්‍රබලතම අවස්ථාවේ දී එය තුළ අවම පීඩනය මිලිබාර් 877 දක්වා පහත ගොස් තිබුණා.

පැට්‍රීෂියා හරිකේනය- edition.cnn.com

පැට්‍රීෂියා සුළි කුණාටුව 2015 ඔක්තෝම්බරයේ හටගත් අතර 21 වැනි සියවසේ ලෝකයා අත්විඳි ප්‍රබලතම කුණාටුව වෙනවා. පැට්‍රීෂියාහි තවත් විශේෂත්වයක් වන්නේ එම වසරේ ඔක්තෝම්බර් 22-23 අතර කාලයේ දී එහි මධ්‍ය වායු පීඩනය මිලිබාර් 980 සිට 880 දක්වා එක්වරම පහත වැටීම යි. මෙය 5 වන කාණ්ඩයේ සුළි කුණාටුවක් ව පවතිද්දී ම මෙක්සිකෝවට කඩාවැදුණු අතර භූමියට කඩාවැදුණු වහාම දුර්වල වන්නට පටන්ගත්තා. මින් වැඩිපුරම බලපෑම් එල්ල වූයේ ජනගහනය අඩු මෙක්සිකානු ගම්බද පෙදෙස්වලට වූ නිසා ජීවිත හානි 20කට සීමා වූ අතර දේපළ හානිය ද ඇමෙරිකානු ඩොලර් මිලියන 200කට අඩුවුණා.

වයලට් ටයිෆූනය- පැයට කි. මී. 335

වයලට් ටයිෆූනයෙන් බැට කෑ ජපානය -Gamma-Keystone/ Getty Images

1961 වසරේ බටහිර පැසිෆික් සාගරයේ හටගත්  වයලට් සුළි කුණාටුවේ උපරිම වේගය පැ. කි. මී. 335ක් දක්වා ඉහළ ගියා. මෙය තුළ වායු පීඩනය මිලිබාර් 886 දක්වා පහත වැටුණා. කෙසේ නමුත් මෙය ඇති වී කුඩා කලෙකින් හෙවත් දින කිහිපයක් තුළ මෙය වේගයෙන් වියැකී ගියා. මෙය ජපානයට ළඟා වන විට දුර්වල ව තිබුණත් සැලකිය යුතු හානි සිදුකළා.

නැන්සි ටයිෆූනය- පැයට කි. මී. 345

නැන්සි මඟින් සිදු වූ දේපළ විනාශය- alchetron.com

1961 වසරේ ම බටහිර පැසිෆික් සාගරයේ හටගත් මෙම ටයිෆූනය සුළගේ උපරිම වේගය සැළකූ විට ගණනය කරන ලද ප්‍රබලතම සුළිකුණාටුව වෙනවා. මෙහි දී ඇති වූ ප්‍රචණ්ඩ සුළං ධරාවන්හි උපරිම වේගය පැ. කි. මී. 345ක් වූ බව සටහන් වී තිබෙනවා. කෙසේ නමුත් ඒ කාලය වන විට අද මෙන් තාක්ෂණය දියුණුව නොතිබූ නිසා මෙම සුළං වේගය අතිශයෝක්තියක්යැ යි සමහරු තර්ක කරනවා. මෙම ටයිෆූනය මධ්‍යයේ වායු පීඩනය මිලිබාර් 882 දක්වා පහත වැටී තිබෙනවා.

සුළඟේ වේගය නිවැරදියැ යි සැලකුවහොත් මෙය පස්වන කාණ්ඩයේ වැඩි ම කාලයක් රැඳී තිබූ, උතුරු අර්ධගෝලයේ හටගත් සුළි කුණාටුව වෙනවා. මෙය දින 5 1/2 තිස්සේ පස්වන කාණ්ඩයට අයත් ව තිබුණා. වාසනාවකට නැන්සි ජාපානයට ළඟා වන විට 2 කාණ්ඩය දක්වා පහත වැටී තිබුණු නමුත්, ඇ.ඩො. මිලියන 500ක දේපළ හානියක් හා 200ක ජීවිත හානියක් සිදුකළා.

කවරයේ පින්තූරය: Noaa Goes

 

Related Articles