Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

අප්‍රිකාවේ සිව් වැනි දිගම ගංගාව – සැම්බේසි

ඇතැම් ගංගා සියවස් ගණනාවක් තිස්සේ මිනිස් ශිෂ්ඨාචාරය පෝෂණය කළා. අදටත් විවිධ සංවර්ධන කටයුතු සඳහා මෙම ජල මාර්ග භාවිතා වෙනවා. අප්‍රිකාවේ සිව් වැනියට දිගම ගංගාව වන සැම්බේසි නදිය ද වර්තමාන​ දකුණු දිග අප්‍රිකාවේ ජන ජීවිතයට වැදගත් කාර්ය භාරයක් ඉටු කරනවා.

භූ ගෝලීය පිහිටීම

භූ ගෝලීය පිහිටීම (Wikimedia Commons)

සැම්බේසි නදියේ ආරම්භය සිදු වන්නේ සැම්බියාවේ වයඹ දිග කෙළවරෙන්. එය සැම්බියාව​, ඇන්ගෝලාව​, නැමීබියාවේ කුඩා කොටසක්, සැම්බියා – සිම්බාබ්වේ දේශසීමාව ආදිය ඔස්සේ මොසැම්බික්වලින් ඉන්දියන් සාගරයට ළඟා වනවා. ලොව විශාලම දිය ඇල්ල ලෙස සැළකෙන​ වික්ටෝරියා ඇල්ල සැම්බේසිවල ඉතාමත් විශිෂ්ට විශේෂාංගයක් වනවා. මීට අමතරව අනෙකුත් සැලකිය යුතු ගණයේ දිය ඇලි වන්නේ සැම්බියා හා ඇන්ගෝලා අතර මායිමේ පිහිටා තිබෙන Chavuma නමැති ඇල්ලත්, බටහිර සැම්බියා හි සියෝමා අසල පිහිටා තිබෙන Ngonye නමැති ඇල්ලත් ය. සැම්බේසි ගංගාව Chinyingi, Katima Mulilo, Victoria Falls, Chirundu, Caia, හා Tete ආදීන්හි යුත් විවිධ පාලම් පසු කර ගලා යනු ලබනවා.

විදුලි බලය උත්පාදනය

සැම්බේසි ගංගාව මඟින් විදුලි බලය ද උත්පාදනය කරනු ලබනවා. ඒ සඳහා ප්‍රධාන මුලාශ්‍ර දෙකක් භාවිතා කරනු ලබනවා.

  • කරීබා වේල්ල

කරීබා වේල්ල (worldbank.org)

මේ අතරින් කරීබා වේල්ල යනුවෙන් හඳුන්වන්නේ ලොව විශාලතම ජල ධාරිතාවක් දරා සිටින වේල්ල වනවා. සැම්බේසි ගංගාවේ කරීබා නමැති දුර්ගය හරහා ස්ථාපිත කර තිබෙන මෙමඟින් කරීබා නමැති ජලාශය නිර්මාණය වීමද සිදු වනවා. මෙම ජලාශයට දරා ගත හැකි ජල ධාරිතාව ලෙස වාර්තා වන්නේ කියුබික් මීටර් බිලියන 185කි. මෙම ජල ධාරිතාව වර්ග කිලෝමීටර් 5,580 ක් පමණ ප්‍රදේශයක පැතිරී පවතිනවා. 1955-1959 අතර වකවානුවේ ඉතාලි සමාගමක් මඟින් නිර්මාණය කරන ලද මෙම වේල්ලේ පාලනය සිදු වන්නේ සැම්බේසි ගංගා අධිකාරිය මඟිනුයි.

  • කබෝරා – බස්සා වේල්ල​

කබෝරා – බස්සා වේල්ල​ (Bloomberg.com)

බටහිර මොසැම්බික් හි සැම්බේසි ගංගාව ආධාර කොට ගෙන ඉදි කර තිබෙන මෙම වේල්ල මඟින් ද ජල විදුලිය උත්පාදනය කරනු ලබනවා. වේල්ලේ වැඩ අරඹනු ලැබුණේ වර්ෂ 1969 දී වන අතර එහි වැඩ කටයුතු අවසන් වූයේ 1974 වසරේ දියි. පෘතුගීසි, ජර්මන්, බ්‍රිතාන්‍ය හා දකුණු ඇමරිකානු සමාගම් විසින් මෙහි ඉදි කිරීම් සිදු කරනු ලැබුවා. මෙහි ජල ධාරිතාව කියුබික් මීටර් 510,000,000  කි.

මීට අමතරව වික්ටෝරියා ඇල්ලහි කුඩා විදුලි බලාගාරයක් පිහිටා තිබෙනවා.

ගංගාවේ ඉහළ, මධ්‍යම හා පහළ කොටස්

bbc.com (සැම්බේසි ගංගාවේ ඉහළ කොටස)

ගංගාවේ ඉහළ කොටසේ ජනගහනය​ ගොවීන්, ධීවරයින් ආදී පුද්ගලයින්ගෙන් යුක්ත වනවා.  ගංගාව සැතපුම් 2,200 පමණ දිගකින් යුක්ත වන අතරම රටවල් හයක් හරහා මෙය ගලා බසිනු ලබනවා. ඇන්ගෝලා, නැමීබියා, බොට්ස්වානා, සිම්බාබ්වේ හා මොසැම්බික් හරහා ගලා විත් ඉන්දියන් සාගරයට පැමිණෙනවා.

ඉහළ හා මධ්‍යම සැම්බේසි හි මායිම ලෙස වික්ටෝරියා ඇල්ල දැක්විය හැකි වනවා. කරීබා වේල්ල නිර්මාණය කිරීමෙන් ස්ථාපිත වූ කරීබා විලට පැමිණීම සිදු වන්නේ මධ්‍යම අවස්ථාවේදී යි. Cahora Bassa නමැති විලට ඇතුළු වීමත් සමඟම සැම්බේසි හි මධ්‍යම කොටසේ අවසානයත් සිදු වනවා.

පහළ සැම්බේසි යනුවෙන් දැක්වෙන්නේ Cahora Bassa සිට ඉන්දියන් සාගරය දක්වා තිබෙන සැතපුම් 400ක් පමණ දිගයි.

සංචාරක ආකර්ෂණය

safari.co.za(සංචාරය කිරීමක් දැක්වෙන පින්තූරයක්)

ගංගාවේ සුන්දරත්වය හේතුවෙන් වසරකට සංචරයින් දහස් ගණනක් පැමිණෙනු ලබනවා. මෙලෙස සැම්බේසි ගංගාව නැරඹීම සඳහා පැමිණි පළමු යුරෝපීය ජාතිකයා වන්නේ වස්කෝද ගමා බව කියැවෙනවා. ඒ වර්ෂ 1498 දී පමණය. ඔහු මෙම ගංගාව හඳුන්වනු ලැබුවේ “River of Good Omens” යනුවෙනි. මෙම ගංගාව හේතුවෙන් ඇති වන වාර්ෂික ගංවතුර Kuomboka යනුවෙන් හඳුන්වනු ලබනවා. මෙය සැම්බියාවේ ඉතාමත් ප්‍රසිද්ධ උත්සවයකි. සංචාරකයින් දහස් ගණනක් ආකර්ෂණය කර ගැනීමට සමත් මෙම උත්සවයේ හා බැඳී අදහස වන්නේ ‘ වතුරෙන් ඉවත් වන්න’ යන්නයි.

අතු ගංගා

සැම්බේසි සතුව අතු ගංගා කිහිපයක්ම තිබෙනවා. කබොම්පෝ ආරම්භ වන්නේ සැම්බියා හා කොන්ගෝ අතර ඉහළ භුමියෙන්ය. එමෙන්ම මධ්‍යම සැම්බේසි හි විශාලම අතු ගංගාව වන Kafue ආරම්භ වනුයේ කොංගෝ ප්‍රජාතාන්ත්‍රික ජනරජයේ මායිම සමීපයේ සැම්බියාවේ කොපර්බෙල්ට් (තඹ පටිය​) පළාතෙන් ය. නැගෙනහිර දිශාවට වන්නට පිහිටා තිබෙන විශාලම අතු ගංගාව වන්නේ ලුවන්ගා යි. මෙහි නිම්නය ඉතාමත් වැදගත් වන සංරක්ෂණ ප්‍රදේශයක් වන අතරම උතුරු හා දකුණු ලුවන්ගා ජාතික වනෝද්‍යාන එම ප්‍රදේශයේ පිහිටා තිබෙනවා.

ආර්ථික කටයුතු

wetu.com(මාළු අල්ලන දසුනක්)

සැම්බේසි ගංගාවේ නිම්න වල මිලියන 32ක පමණ ජනහනයක් වාසය කරනු ලබනවා. මෙම ජනගහනයෙන් 80% පමණ මිනිසුන් යපෙනු ලබන්නේ මෙම භූමි ආශ්‍රිතව සිදු කරන කෘෂිකාර්මික කටයුතු හේතුවෙනි. ගංගාවේ ඉහළ ප්‍රදේශයෙන් සිදු වන ගංවතුර තත්ත්ව හේතුවෙන් කෘෂිකර්මයට සුදුසු භූමි නිර්මාණය කිරීම සිදු කරනවා. මීට අමතරව ආහාරය සඳහා මාළු ඇල්ලීම මෙන්ම සෙල්ලම් කිරීම් කටයුතු සඳහාද මාළු ඇල්ලීම මෙහි ප්‍රධාන කටයුත්තක් වනවා. ගංගා නිම්න ආශ්‍රිතව ඉතාමත් වටිනා ඛනිජ වර්ගද තැන්පත් වී තිබෙනවා.

ගංගාවේ ජලය දූෂණය වීම මෙහි තිබෙන ප්‍රධානතම ගැටළුවක් වනවා. ප්‍රධාන ගණයේ නගර කිහිපයක් ගංගාව අවට​ පිහිටා තිබෙනව. කෙසේ නමුත් අනෙකුත් බොහෝමයක් ප්‍රදේශ වල ජනගහනය ඉතාමත් අඩුයි.

ස්වභාවික සුන්දරත්වය

afrizim.com

සැම්බේසි ගංගාවේ ද්‍රෝණි සතුව ඉතාමත් වටිනා පරිසර පද්ධති, තෙත් බිම්, කඳුකර වනාන්තර, වියළි වනාන්තර ආදිය පිහිටා තිබෙනවා. මීට අමතරව කිඹුලන්, දිවියන්, චීටා, අලි වැනි සතුන් මෙන්ම හයසියයක් පමණ කුරුළු විශේෂද, වෙනස් විවිධත්වයෙන් යුත් ගස් වර්ග මෙන්ම පැළ වර්ගද දකින්නට ලැබෙනවා.

කවරයේ පින්තූරය: mundyadventures.co.uk

Related Articles