Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

නොසිතූ ලෙස මරා දැමුණු තරු ත්‍රිත්වයක්

කිසිවෙකුට මුළු මහත් ලෝකයක ආදරය ලැබීමේ වාසනාව ලැබෙන්නේ කලාතුරකින්. නමුත් කිසිදු සතුරෙකු නොමැතිව, ජනාදරය පමණක් දිනාගන්නා මිනිසුන් නැති තරම්. ජන ගංගාවක ස්නේහය හා සැලකුම් මැද දීර්ඝ කාලයක් වැජඹී සිටියත්, එම ප්‍රසාදය පරයා අතලොස්සක් වූ සතුරන් අතින් ජීවිතය අහිමි වුණු “තරු” ඉතිහාසය පිරික්සීමේ දී අපට හමු වෙනවා. මේ ලිපිය එවැනි අවාසනාවන්තයින් තිදෙනෙක් ගැන යි. සිය කෙටි දිවිය තුළ ජනප්‍රසාදයේ හිණි පෙත්තටම ළඟා වූ, ඔවුන්ගේ වෘත්තීය ජීවිතයන්හි ඉහළම තලයක සිටිය දී ඝාතනය වූ මොවුන් තිදෙනා ඝාතනය කිරීමට පැහැදිළි හේතුවක් ඉදිරිපත්ව නොතිබීමත්, මේ ඝාතනයන්හි අවාසනාවන්තබව කියා පානවා.

ජෝන් ලෙනන්

collective-evolution.com

හැටේ දශකයේ ලොව පුරා ඉමහත් ප්‍රසිද්ධියට ලක්වූ බීට්ල්ස් සංගීත කණ්ඩායමේ සාමාජිකයෙකු වූ ජෝන් ලෙනන්, ගායනය, වාදනය පමණක් නොව රචනයේ ද නිසඟ හැකියාවක් දැක්වූවෙක්. මීට අමතරව විවිධ සමාජ සුභසාධන කටයුතු වලට ද සහභාගී වීම නිසා ලොව පුරා ඔහුට පැවතියේ මහත් වූ ජන ප්‍රසාදයක්.

1980 දෙසැම්බර් මස 8 වැනි දා ඇමෙරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් නුවර පිහිටි සිය නිවස්නයෙන් ලෙනන් පිටතට පැමිණියේ අවශ්‍යතා කිහිපයක් සඳහා යි. මේ අවස්ථාවේ දී රසික ජනයා ඔහුගෙන් සමරු අත්සන් ලබා ගැනීමට පොර කෑ අතර, එහි හවායිහි සිට පැමිණි ආරක්ෂක නිලධරයෙකු වන මාර්ක් ඩේවිඩ් චැප්මන් නැමැත්තා ද සිටියා. ඔහුට ඉක්මණින්ම සමරුවක් ලබාගැනීමට හැකි වුණත්, ඔහුගේ අභිප්‍රාය වී තිබුණේ අනෙකක්.

පැය කිහිපයකට පසු ලෙනන් නැවතත් නිවස බලා එනවා. ඒ වන විටත් චැප්මන් ලෙනන් ගේ නිවස ආසන්නයේ රැඳී සිටිනවා. ලෙනන් ඔහුට ආසන්න වෙද්දීම .38 වර්ගයේ රිවෝල්වරයක් ඉවතට ඇදගන්නා ඔහු ලෙනන්ට වෙඩි පිට වෙඩි තබනවා. වෙඩි ප්‍රහාර ලෙනන්ගේ පිටුපසට හා උරහිසට වදින අතර ‘මට වෙඩි වැදුණා’යි  කෑ ගසමින් ඔහු සිය නිවස දෙසට දිව යාමට උත්සාහ කළත් ඇද වැටෙනවා. එවිටම පොලිසිය එම ස්ථානයට පැමිණෙන අතර චැප්මන් විරුද්ධත්වයක් ප්‍රකාශ නොකරම ඔවුනට භාර වෙනවා.

ප්‍රතිකාර සඳහා ඉක්මණින් ලෙනන්ව රෝහල වෙත ගෙන ගියත්, ඒ වන විටත් ඔහු සිය ජීවිතයෙන් සමුගෙන තිබුණේ ලොව පුරා රසිකයින් කඳුළු සයුරේ ගිල්වමින්. මියයන විට ඔහු 40 වන වියෙහි පසු වුණා. ඝාතක චැප්මන් චෝදනා වලට වරදකරු වූ අතර ලෙනන් ඝාතනයට පැහැදිළි හේතුවක් ප්‍රකාශ කිරීමට ඔහු අපොහොසත් වූ හෙයින්, ඔහුගේ මානසික තත්ත්වය පිරික්සා බලා මරණ දඬුවම වෙනුවට වසර 20ක සිර දඬුවමක් ලබාදීමට අධිකරණය තීරණය කරනවා.

ටුපැක් ෂාකුර්

Getty Images

ඇමෙරිකා එක්සත් ජනපදයෙන් බිහිවුණු දක්ෂතම රැප් ගායකයෙක් ලෙස ටුපැක් හඳුන්වා දිය හැකියි. ගීත රචනයෙහි හා රංගනයෙහි ද ඔහු මනා දක්ෂතා දැක්වූවා. ඔහු ලොව පුරා කොතරම ජනප්‍රිය වී ද යත්, සිය කෙටි ජීවිතය තුළ ඔහුගේ ඇල්බම මිලියන 75ක් පමණ විකිණී තිබුණා.

ටුපැක් උපත ලබන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් නගර සීමාවට අයත් හාර්ලෙම්හි දී යි. ඔහුගේ මව්පිය දෙදෙනාම ඇමෙරිකානු කළු ජාතික විප්ලවවාදී කණ්ඩායමක් වන ‘බ්ලැක් පැන්තර්‘ හි සාමාජිකයින් වුණා. ටුපැක් ද ඒ මග ගොස් සිටි අතර ඔහුගේ නිර්මාණයන්හි ද ඒ අදහස් ගැබ්ව තිබුණා.

1996 වන විට ටුපැක් තවමත් 25 වන වියෙහි පසු වූවත් ඔහුගේ ජනප්‍රියත්වය නම් කිසිවෙකුට දෙවැනි වූයේ නැහැ. ඉදිරි කාලය තුල ඔහු තවත් ඉහළට යනු ඇතැයි බොහෝ දෙනා බලාපොරොත්තු වුණා. කෙසේ නමුත් එම වසරේ සැප්තැම්බර් මස 13 වන දා ඒ සිහින වලට නැවතීමේ තිත වැටුණේ කිසිවෙකු නොසිතූ පරිදි යි.

ඇමෙරිකාවේ ලාස් වේගාස්හි පැවති, මයික් ටයිසන් සහභාගී වූ බොක්සිං තරඟයක් නැරඹීමෙන් අනතුරුව පෙරළා පැමිණීමේ දී ඔහුගේ කාරය හරස් කරන තවත් කාරයක සිටි අයෙකු ඔහුට වෙඩි තබනවා. වෙඩි පහර කිහිපයක්ම ටුපැක් ගේ පපුව, උදර පෙදෙස, දකුණු අත, හා කලවයකට වදිනවා. ඔහු වහාම රෝහල්ගත කෙරෙන අතර වෛද්‍යවරු විසින් කෙතරම් උත්සාහ කරත් අධික රුධිර වහනය හේතුවෙන් ඔහු මිය යනවා. මේ වන තුරුත් ඔහුගේ ඝාතන සිද්ධිය නොවිසඳුණු අභිරහසක්ව පවතිනවා.

ෂැරොන් ටේට්

classicblondes.com

ෂැරොන් ටේට් එදා මෙදා තුර හොලිවුඩය දුටු රූමත්ම හා සරාගීම නිලියක් ලෙස සැළකෙනවා. සිය රංගන දිවියේ මුල් කාලය තුල රූපවාහිනී වැඩසටහන් වල පෙනී සිටි ඇයට ඉක්මණින්ම හොලිවුඩයේ දොරගුළු විවර වෙනවා. ඉතා සාර්ථක ආරම්භයක් සනිටුහන් කළ ඇය ප්‍රේක්ෂක ප්‍රසාදය නොමඳව ලබාගන්නා අතර Golden Globe, Golden Laurel, සහ Motion Picture Herald’s Star of Tomorrow යන සම්මාන ත්‍රිත්වයටම නිර්දේශ වන්නේ ඉතා පැහැදිලි අනාගතයක් ඇය අභිමුඛයේ ඇති බව ශපථ කරමින්.

1968 දී ඇය සිනමා අධ්‍යක්ෂක රෝමන් පොලන්ස්කි විවාහ කරගන්නා අතර 1969 වසරේ අගෝස්තු මස වන විට අට මස් ගැබිණියක්ව සිටියා. අගෝස්තු මස 8 වන දා පොලන්ස්කි රාජකාරී කටයුත්තක් සඳහා ලන්ඩනය බලා ගොස් සිටි අතර ෂැරොන් ඇගේ මිතුරු මිතුරියන් කිහිපදෙනෙකු සමඟ ලොස් ඇන්ජලීස් නුවර පිහිටි ඇගේ නිවසේ දී දිවා ආහාරය ලබාගන්නවා. රාත්‍රී ආහාරය ද ඔවුන් සමඟ රසවිඳින ඇය සියළුදෙනා කැටුව රාත්‍රී 10.30ට පමණ තමන් පොලන්ස්කි සමග විසූ බෙවර්ලි හිල්ස්හි පිහිටි නිවස්නයට පැමිණෙනවා.

සිදුවන්නේ කිසිවෙකු නොසිතූ දෙයක්. ෂැරොන් හා ඇගේ මිතුරු කණ්ඩායම එනතුරු මඟ බලමින් සිටි මිනීමරු චාල්ස් මැන්සන්ගේ කණ්ඩායම ඒ සියළු දෙනාවම අමානුෂික ලෙස ඝාතනය කරනවා. ෂැරොන්ගේ සිරුරේ 16 පොළකට පිහියෙන් ඇණ තිබූ අතර නිවස පිටත බිත්තියක ‘PIG’ යනුවෙන් රුධිරයෙන් සටහන් කර තිබුණා. මියයන විට ෂැරොන් 26 වියේ පසු වුණා.

1971 දී ෂැරොන් ටේට් ඇතුළු පිරිස ඝාතනයට චාල්ස් මැන්සන් වරදකරු වූ නමුත්, කෙසේ හෝ මරණ දඬුවමෙන් ගැලවුණු ඔහු 2017 වසරේ මියයන තුරුම කැලිෆෝනියාහි සිර කඳවුරක ජීවිතාන්තය දක්වා වූ සිර දඬුවමක් වින්දා.

කවරයේ පින්තූරය -wmagazine.com

Related Articles