ටිබෙට් ජාතිකයින් මළසිරුරු බැහැර කරන ‘ආකාශ දානය’

මනුෂ්‍යයෙකු මරණයට පත් වූ විට අවසානයට අප සියළු දෙනාම පිළිපදින්නේ එකම ආකාරයේ අවමංගල්‍ය චාරිත්‍ර ක්‍රම කීපයක්. ඒ ගෞරව සහිතව සිරුර භූමදානය කිරීම හෝ ආදාහනය කිරීම යි.

මේ ක්‍රමයන් දෙක හැරුණු විට මෘත ශරීරයක් බැහැර කිරීමේදී වෙන කිසිම ක්‍රමයක් ශ්‍රී ලාංකික අප විසින් භාවිතා කරන්නේ නැහැ. නමුත්, ගින්නෙන් සහ භූමියෙන් වන මෙම ක්‍රමයන් හැරුණුකොට වාතයෙනුත් මළ සිරුරක් විනාශ කිරීමේ චාරිත්‍රයක් ඇතැම් ජන කොටස් විසින් පිළිපදිනු ලබනවා. මේ ලිපියෙන් සාකච්ඡා වෙන්නෙ ඒ පිළිබඳවයි.

ටිබෙට්යේ අවමංගල්‍ය චාරිත්‍ර

sky-burial-in-tibet.jpg ටිබෙටයේ ලරන්ග් ගාර් බෞද්ධ ආශ්‍රමයේ අවමංගල්‍ය චාරිත්‍රයක්. (Tibettravel.org)

වාතයෙන් මෘත ශරීර විනාශ කිරීම පිළිබඳව සාකච්ඡා කිරීමේ දී ටිබෙටය එහි ප්‍රධානම තැන ගන්නවා. ඒ, මෙම අවමංගල්‍ය චාරිත්‍ර ක්‍රමය මූලිකවම නිරීක්ෂණය කළ හැක්කේ ටිබෙටයේ නිසායි. ඊට අමතරව මෙය නිරීක්ෂණය කළ හැක්කේ මොන්ගෝලියාවේ සහ චීනයේ ඇතැම් ප්‍රදේශ වල පමණයි.

ටිබෙටයේ මූලිකවම භාවිතා වන අවමංගල්‍ය චාරිත්‍ර ක්‍රම කීපයක් තිබෙනවා. ප්‍රධාන ලෙසම වාතයෙනුත්, ඊට අමතරව භූමදානය, පිළිස්සීම, ජලයට දැමීම, සහ මමීකරණය කිරීමත් මේ අතර බහුලම ක්‍රම වනවා.

මමීකරණය

stupa-burial.jpg ලාමාවරුන්ගේ සිරුරු හෝ සිරුරු දැවූ අළු තැන්පත් කළ ස්ථූප. (Tibet Vista)

මෙම ක්‍රමය බොහෝවිට භාවිතා කරන්නේ ඉතාම උසස් සහ පූජනීය පුද්ගලයින්ගේ අවසන් කටයුතු සිදු කිරීම සඳහායි.

දලයි ලාමා, හෝ ඉතාම උසස් පෙළෙහි ලාමා වරයෙකු (ටිබෙට් බුදු දහමේ උසස් පූජකවරය ‘ලාමා’ යනුවෙන් හැඳින්වේ)  මියගිය විට මෙම ක්‍රමය භාවිතා කෙරෙනවා. මෙහි දී මියගිය ලාමා වරයාගේ සිරුරේ ඉක්මනින් දිරා යන අභ්‍යන්තර කොටස් ඉවත් කොට සිරුර තුලට කල්තබා ගැනීමේ ද්‍රව්‍ය අඩංගු ලැකර් වැනි ද්‍රව්‍යයක් පුරවනු ලබනවා. ඉන්පසු හිඳ සිටින ඉරියව්වෙන් සකස් කරන මෘත ශරීරය ලුණු සහ ඖෂධ අඩංගු කුටියක දමා තාපය ද සපයමින් විජලනය කරනු ලබනවා. ඉන්පසු සිරුර මත ඖෂධ තවරනු ලබන අතර, ඇතැම්විට අවසානයේ රන් පතුරු ආලේප කෙරෙනවා. ලාමාගේ තරාතිරම අනුව රනින්, රිදියෙන්, පිත්තලින්, ලීයෙන්, හෝ මැටියෙන් සකස් කරනු ලබන ස්ථූපයක මෙම සකස් කරගත් මළ සිරුර අවසානයේ දී තැන්පත් කරනු ලබනවා.

mummifiedmonk.jpg මමීකරණයට ලක්කළ භික්ෂුවක්. (BBC)

ගින්නෙන් දැවීම

මෙම ක්‍රමය බොහෝවිටම භාවිතා වන්නේ උසස් භික්ෂූන්ගේ සහ වංශවතුන්ගේ අවමංගල්‍යයන් උදෙසායි.

මෙහිදී මළ සිරුර විශේෂ ලී වේදිකාවක් මත තබා, වෙඬරු වත්කළ පිදුරු හෝ දර දමා පුළුස්සා දැමීම සිදුවෙනවා. ඉන්පසු ඉතිරිවන අළු සුළ‍ඟේ හෝ ජලයේ පා කර හැරීම හෝ, මඤ්ජුසාවක දමා භූමදානය සිදුකිරීම සාමාන්‍ය පිළිවෙතයි.

ජලයේ පා කිරීම

මෙම ක්‍රමය ප්‍රධාන වශයෙන්ම භාවිතා වන්නේ පහත් සමාජ තත්ත්වයක් හිමි පුද්ගලයින් හා යාචකයින්ගේ සිරුරු බැහැර කිරීමේ දී යි. මෙහි දී සිරුර රෙදි කඩක ඔතා ජලයේ පා කර හරිනවා.

භූමදානය

මෙම ක්‍රමය අනුගමනය කෙරෙන්නේ බෝවෙන රෝගයකින් මියගිය හෝ, සොරුන් හෝ මංකොල්ලකරුවන් විසින් මරා දැමුනු පුද්ගලයින් සඳහා පමණයි. එවැනි පුද්ගලයින් වාතයෙන් විනාශ කර දැමීමට තරම් ‘පිරිසිදු’ නොවන බවට සලකා භූමදානය කිරීම සිදුවෙනවා.

මේ අතරින් වඩාත්ම ප්‍රසිද්ධ සහ බහුලම ක්‍රමය වන්නේ තවමත් විස්තර නොකෙරුණු, වාතයෙන් සිරුරු බැහැර කිරීමේ ක්‍රමය යි.

ආකාශ දානය

vultures.jpg ලරන්ග් නිම්නයේ අවමංගල්‍ය භූමියේ ‍රැඳී සිටින ගිජු ලිහිණින්. (Reuters)

ටිබෙටයේ සාමාන්‍ය පුරවැසියෙකුගේ මළ සිරුරු බැහැර කිරීමට යොදාගන්නා ප්‍රධානම ක්‍රමයයි මේ. සරලවම පැහැදිලි කළහොත්, මෙහි දී සිදුවන්නේ පියාසරන සත්ත්වයින්, එනම් ටිබෙටයේ අති බහුල ගිජු ලිහිණින් වැනි මාංශ භක්ෂක පක්ෂීන්ට ආහාර පිණිස සිරුරක් එළිමහනේ අතැර දැමීමයි.

මූලික අවමංගල්‍ය චාරිත්‍ර

ට්බෙට් ජාතිකයෙකු මියගිය විට ඔහුගේ සිරුර රෙදි කඩක දවටා දින තුනක් ගෙවෙන තෙක් නිවසේ තබාගන්නවා. මෙහි දී බෞද්ධ භික්ෂූන් නිවසට පැමිණ නොනවත්වාම මන්ත්‍ර හා ගාථා සජ්ඣායනා කරමින් මියගිය තැනැත්තාගේ ආත්මයට සිරුර අත්හැර යා යුතු ගමනට මග පෙන්වනවා.

මෙම කාල පරාසයේ දී නිවසේ සිදුවන සියළුම වැඩ කටයුතු නවත්වා දමන්නේ මියගියවුන්ගේ ආත්මයට සාමකාමීව නිවෙස අත්හැර සුගතියකට යා හැකි වන ලෙසයි.

සිරුර නිවසින් පිට කිරීම

Tibetans_carry_a_body_of_their_deceased_.jpg සිරුර විනාශ කිරීමට පෙර ඥාතීන් විසින් එය ලරන්ග් ආශ්‍රමය වටා 80 වරක් ගෙනයයි. (Reuters)

පවුලේ සාමාජිකයින් විසින් ‍තෝරාගන්නා සුභ දවසක් මළ සිරුර ඉවත් කිරීම සඳහා යොදාගනු ලබනවා. මෙදි දී වකු‍ටු වී සිටින ඉරියව්වකට මළ සිරුර සකස් කර රෙදි කඩකින් එතීම සිදුවෙනවා.

අළුයම දී සිරුර නිවෙසින් ඉවත් කොට අවමංගල්‍ය චාරිත්‍ර සිදු කෙරෙන භූමිය වෙත ‍රැගෙන යනු ලබනවා. මෙය බොහෝවිට බෞද්ධ ආශ්‍රමයක් ආශ්‍රිතව පිහිටනවා

චාරිත්‍රානුකූලව සිරුර විනාශ කිරීම

මෙය ආරම්භ වන්නේ හිරු නැගීමට ප්‍රථමවයි. මෙහි දී අවමංගල්‍ය වතාවත් ඉ‍ටුකෙරෙන භූමියට ගෙන එන සිරුර ශවගෘහයක තැන්පත් කෙරෙනු ලබනවා.

භික්ෂූන් එම සිරුරෙන් නිදහස් වුණු ආත්මය වෙනුවෙන් යාඥා කළ පසු, එය ඔතා ඇති රෙදිකඩෙන් නිරාවරණය කරනවා. ඉන්පසු මළ සිරුරු සකස් කරන්නන් විසින් සිරුර කඩ කිරීම ආරම්භ කරනු ලබනවා. පළමුව ශරීරයේ කොඳු පෙදෙසින් මස කපා ඉවත් කරන සිරුරු සකස්කරන්නන්, ඉන්පසු සිරුරේ අනෙකුත් මාංශත්, අවසානයේ අභ්‍යන්තර ඉන්ද්‍රීයනුත් කුඩා කොටස් වලට කැපීම සිදු කරනවා. අස්ථි කොටස් කුඩු කර, ‘තසම්පා’, එනම් බැද කුඩු කළ බාර්ලි පිටි සමඟ මිශ්‍රණයක් සකස් කෙරෙනවා.

tumblr_mb3bdfr8G51qbplp4o1_r1_12805.jpg සිරුර කඩ කිරීම. (academia.dk)

ඉන්පසු මළ සිරුරු සකස් කරන්නන් විසින් ජුනිපර් ශාකයෙන් සකස් කළ සුවඳ දුම් දල්වා ගිජු ලිහිණින් ආකර්ශණය කරගැනීම සිදු වෙනවා. සිරුර කඩ කරනතෙක් එහි ‍රැඳී සිටි ගිජු ලිහිණින්ට ආහාර ගැනීම සඳහා සංඥාව ලබාදෙන්නේ මෙමගින්. පළමුවෙන්ම අස්ථි – බාර්ලි මිශ්‍රණය ගිජු ලිහිණින්ට ආහාර පිණිස පොළව මත විසුරුවන අතර, ඉන්පසු අභ්‍යන්තර ඉන්දීයනුත්, අවසානයේ මාංශයත් ගිජු ලිහිණින්ට පිළිගන්වනු ලබනවා.

මෙම ගිජු ලිහිණින් මියගිය තැනැත්තාගේ ආත්මය සිරුරෙන් පිටව ගොස් නැවත උපත ලබන තෙක් ‍රැඳී සිටින දෙව්ලොවට යෑමට සහය දෙන ‘සුර දූතයින්’ බවට සලකනු ලබනවා. ආත්මය සිරුර නම් හිස් කවචය අත්හැරීමට, සිරුර සම්පූර්ණයෙන්ම විනාශ කර දැමිය යුතු බව ටිබෙට් ජාතිකයින් අතර පවතින විශ්වාසයක්. එම නිසා සිරුරෙන් ඉතුරුවන යම් කොටසක් වෙතොත් එය පුළුස්සා විනාශ කිරීම සිදුවෙනවා.

skyburial1.jpg සිරුර ගිජු ලිහිණින්ට පිළිගැන්වීම. (Flickr)

වාතය හරහා සිරුර විනාශ කිරීමේ මෙම ක්‍රමය ටිබෙට් බුදු දහම හා බැඳී පවතින්නක්. ගිජු ලිහිණින්ට මාංශය දන් දීම පුණ්‍ය කටයුත්තක් බවත්, සිරුරෙන් මිදුණු ආත්මයට තවත් සිරුරක උත්පත්තිය ලැබීම මෙම ක්‍රියාව මගින් පහසු කෙරෙන බවත් ඔවුන් විශ්වාස කරනවා.

මෙම නිසා මෙම චාරිත්‍ර සිදුවන ආකාරය නැරඹීම මියගිය තැනැත්තාගේ ඥාතීන් විසින් ඉ‍ටු කරන කටයුත්තක්. ඊට අමතරව මෙවැනි චාරිත්‍රයක් ඇතිවීමට ටිබෙටයේ භූගෝලීය පිහිටීම ද හේතු වූ බව සැලකෙනවා. ඉහළ උන්නතාංශයක පිහිටි ටිබෙටයේ භූමිය ඉතා රළු නිසා සිරුරු භූමදානයට බිම කැනීම අපහසු වීමත්, දරට ගත හැකි ශාක අවම නිසා සිරුරු දැවීම අපහසු වීමත් මෙයට හේතු වන්නට ඇති.

කවරයේ පින්තුරය: skullslarung.png   (The Atlantic)

Related Articles