Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ටොංගාව සුනාමියකින් සසල කළ ගිනි කඳු පිපිරුම

පසුගිය සෙනසුරාදා (ජනවාරි 15) පැසිෆික් සාගරයේ පිහිටි කුඩා දූපත් රාජ්‍යයක් වූ ටොංගා රාජධානිය ලෝකයේ ප්‍රමුඛත ම ප්‍රවෘත්තියක් බවට පත් වුණා. ටොංගා දූපත් ආසන්නයේ පිහිටි “හුන්ගා ටොංගා-හුන්ගා හාපායි” යනුවෙන් හඳුන්වන යමහල විදාරණය වීම සහ එයින් ඇති වූ සුනාමි රළ පහර ටොංගාවට මහත් විනාශයක් සිදු කළ අතර, පැසිෆික් සාගර කලාපයේ බොහෝ රටවලට සුනාමි අනතුරු හැඟවීම් නිකුත් කර තිබුණා.

පැසිෆික් සාගරයේ ගිනි වළල්ල හෙවත් වැඩි ම යමහල් ක්‍රියාකාරීත්වයක් ඇති ප්‍රදේශය – www.mirror.co.uk 

ජනවාරි 14 වැනිදා යමහල සක්‍රීය වීම ඇරඹුණු අතර, කන්ද පුපුරා යෑමෙන් කිලෝ මීටර් 20 ක් තරම් ඉහළට අළු, වාෂ්ප සහ වායූන් නිකුත් වීම සිදු වූ බව වාර්තා වුණා. කෙසේ නමුත්, ප්‍රබලත ම පිපිරුම ජනවාරි 15 වැනිදා එරට වේලාවෙන් සවස 5.10 ට පමණ සිදු වුණා. එම පිපිරුමෙන් අති විශාල ශක්ති ප්‍රමාණයක් මුදා හැරුණු අතර, සයුරෙන් මතු වූ විශාල කුඩයක් වැනි අළු වලාවක් ආකාරයෙන් පිපිරුම දර්ශනය වුණා.

විදාරණයට පෙර සහ විදාරණයෙන් පසු “හුන්ගා ටොංගා හුන්ගා හපායි” දිස් වූ අයුරු – www.aljazeera.com 

පෙර නොදුටු විරූ ව්‍යසනය

ඕස්ට්‍රේලියානු කාලගුණ විද්‍යා කාර්යාංශයට අනුව පිපිරුමෙන් මිනිත්තු විස්සකට පසු ටොංගා අගනුවර වන නුකුඅලෝෆා වෙත මීටර් 1.2 ක් පමණ උස සුනාමි රළ කඩා වැදී තිබෙනවා. වෙරළබඩ ප්‍රදේශ ජලයෙන් යට වන අයුරු වීඩියෝගත කළ ඇතැමුන්, ඒවා සමාජ මාධ්‍ය වෙත මුදා හැර තිබුණා. පැසිෆික් කලාපයේ ජීවත් වන මිනිසුන්ට ලෝකයේ අන් කලාපවලට වඩා සුනාමි පිළිබඳ දැනුමක් සහ අත්දැකීම් තිබෙනවා.

ටොංගා වැසියන් වහාම ක්‍රියාත්මක වන පරිදි උස්බිම් කරා ඇදුණේ ඒ නිසා යි. විනාශය හමුවේ සන්නිවේදන සබඳතා බිඳ වැටීමකට ලක් වූ හෙයින්, ටොංගාවේ සුනාමි ව්‍යසනය පිළිබඳ තොරතුරු ලෝකයට වේගයෙන් සම්ප්‍රේෂණය වුණේ නැහැ. කෙසේ නමුත්, තමා පෙර නොදුටු විරූ ව්‍යසනයකට ගොදුරු වී ඇති බව ටොංගා රජය ප්‍රකාශ‍යක් නිකුත් කර තිබුණා.

ජීවිත හානි අවම වුණත්, ටොංගා රාජ්‍යයට විශාල වශයෙන් දේපළ හානි සිදු වුණා –  www.bbc.com 

හුන්ගා ටොංගා-හුන්ගා හාපායි

“හුන්ගා ටොංගා-හුන්ගා හාපායි” යනු දකුණු පැසිෆික් සාගර කලාපයේ පිහිටි සමුද්‍රීය ගිනි කන්දක්. එය ටොංගා රාජධානියේ ප්‍රධාන දිවයින වන ටොංගපාටු සිට කිලෝ මීටර් 65 ක් උතුරට වන්නට පිහිටා තිබෙනවා. රටේ අගනුවර වන “නුකුවාලෝෆා” පිහිටා ඇත්තේත් මෙම දිවයින තුළ යි. ඉතා ක්‍රියාකාරී ගිනි කඳු කලාපයක “හුන්ගා ටොංගා-හුන්ගා හාපායි” පිහිටා තිබෙන නිසාත්, ටොංගාවේ හදවත බඳු ටොංගපාටු දිවයිනට ඉතා ආසන්නයෙන් මෙම යමහල පිහිටා තිබෙන නිසාත්, ටොංගාවේ මිනිසුන් කලක පටන් සිටියේ අනතුරුදායක වාතාවරණයක යි.

යමහලේ උස මුහුදු පත්ලේ සිට මීටර් 2000 ක් පමණ වන අතර, පුපුරා යෑමට පෙර මුහුදෙන් ඉහළට එසවුණු බිම්කඩක් ආකාරයෙන් යමහල දර්ශනය වී තිබෙනවා. ගිනිකඳු කල්දේරාවේ උතුරු සහ බටහිර දාර පිළිවෙලින් හුංගා ටොංගා සහ හුංගා හපායි ලෙස හඳුන්වන නිසා යමහලට ඒකාබද්ධ නාමයක් ලැබුණත්, පිපිරුමෙන් පසු යමහලට අදාළ බිම්කඩේ උස් ම ස්ථාන පමණක් ඉතිරි වුණා.

සුනාමි රළ වාර්තා වූ ප්‍රදේශ සහ සුනාමි රළ ළඟා වීමට ගත වූ කාලය – www.bbc.com 

පසුගිය වසර කිහිපය තුළ ගිනි කඳු පිපිරීම් සැලකිය යුතු ගණනක් වාර්තා වුණත්, ටොංගා ආශ්‍රිත ව සිදු වූ පිපිරුම තරම් ඒවා ප්‍රබල නොවන බව පැවසෙනවා. දත්ත වලට අනුව “හුන්ගා ටොංගා-හුන්ගා හාපායි” විදාරණය, වසර 30 කට පෙර පිලිපීනයේ සිදු වූ පිනාටුබෝ විදාරණයෙන් පසු වාර්තා වූ විශාලත ම සිදුවීම යි. විද්‍යා රචකයකු සහ ගිනිකඳු පිළිබඳ විද්වතකු වන රොබින් ජෝර්ජ් ඇන්ඩෲස්ට අනුව 21 වන සියවසේ මෙතෙක් සිදු වූ ශක්තිජනක ම යමහල් විදාරණය ටොංගා ආශ්‍රිත ව සිදු වී තිබෙනවා.

සුනාමි රළ පහරින් නවසීලන්තයේ බෝට්ටුවක් අනතුරට පත් වී ඇති අයුරු – www.dw.com 

අළු වලින් වැසුණු බිම

එක්සත් ජනපදයේ භූ විද්‍යා සමීක්ෂණ නියෝජිතායතනයට අනුව ලොව පුරා ක්‍රියාකාරී මට්ටමෙන් ඇති යමහල් ගණන 1350 ක් පමණ වෙනවා. එයින් බොහෝමයක් පැසිෆික් සාගරයේ “ගිනි වළල්ල” ලෙස හඳුන්වන කොටසේ පිහිටා තිබෙන අතර, ලොව භූමි කම්පාවලින් 90% ක් පමණ සිදු වන්නේත් මෙම ප්‍රදේශය ආශ්‍රිතව යි. මුහුද යට විශාල වශයෙන් යමහල් පිහිටා තිබුණත්, ඒවායින් බොහෝමයක් අක්‍රීය මට්ටමින් පවතිනවා.

ටොංගා වැසියන් කලක පටන් ජීවත් වුණේ අනතුරුදායක වාතාවරණයක් මැද යි – www.dw.com 

සාගර ගවේෂණය උදෙසා වූ ගෝලීය පදනමට අනුව පෘථිවියේ සිදුවන යමහල් ක්‍රියාකාරීත්වයෙන් හතරෙන් තුනක් ම සිදු වන්නේ සමුද්‍රය තුළ යි. සමුද්‍රීය යමහලක් විදාරණය වීමේ දී උණුසුම් මැග්මා මඟින් සාගර කබොල විවෘත වන අතර, එයින් හට ගන්නා අතිමහත් ශක්තිය සුනාමි තත්ත්වයක් නිර්මාණය කිරීමට හේතු වෙනවා.

අළු වලින් වැසී ඇති ටොංගා රාජ්‍යය – www.dw.com 

ටොංගා ආශ්‍රිත ව සිදු වූ විදාරණයෙන් හටගත් සුනාමි තරංග පැසිෆික් සාගරය හරහා වේගයෙන් පැතිරීමට පටන් ගත් අතර, පැය පහකටත් අඩු කාලයක දී නවසීලන්තය එහි බලපෑම අත් වින්දා. ඇලස්කාවට සුනාමි රළ ළඟා වීම සඳහා පැය දහයක කාලයක් ගත වූ බව සඳහන්.

ඒ අතරතුර තිබූ ෆිජී, අමෙරිකන් සැමෝවා, නියුඒ, වනුවාටු වැනි කුඩා දූපත් රාජ්‍ය බොහෝමයක් සුනාමියේ බලපෑමට යටත් වුණා. නවසීලන්තය, ඕස්ට්‍රේලියාව, එක්සත් ජනපදයේ බටහිර වෙරළ තීරය, ජපානය, දකුණු අමෙරිකාවේ පැසිෆික් සාගරයට මායිම් වන රාජ්‍ය ඇතුළු පුළුල් භූ ගෝලීය කලාපයකට සුනාමි අනතුරු හැඟවීම් නිකුත් කර තිබූ අතර, පුද්ගලයන් 230,000 ක් පමණ අවදානම් කලාපවලින් ඉවත් කොට තිබුණා.

අළු වලින් වැසී ඇති ටොංගා බිම –  www.bbc.com 

යමහල් විදාරණයකින් පසු අවට ප්‍රදේශය අළු සහ දූවිලි වලාවකින් වැසී යන නිසා දින කිහිපයක් යනතුරු ව්‍යසනකාරී තත්ත්වය පහව යන්නේ නැහැ. සුනාමියෙන් පසු ටොංගාව මුහුණ දුන් ඊළඟ ගැටලුව වන්නේත් එය යි. විදාරණයෙන් පැය කිහිපයකට පසු ටොංගාවට අයත් දූපත්වලට අළු සහ කුඩා ගල් කැට සහිත වැසි පතිත වීම ඇරඹුණු අතර, අහස වසා පැතිරුණු දූලි වලාව නිසා අන්ධකාරයක් හට ගත්තා.

හුන්ගා ටොංගා හුන්ගා හාපායි යනු 2015 දී යමහල් ක්‍රියාකාරීත්වයෙන් ගොඩ නැගුණු නව දූපතක් සේ පෙනෙන සමුද්‍රීය ගිනි කන්දක්-svs.gsfc.nasa.gov 

අසල්වැසි රාජ්‍යවලට සහන සේවා සඳහා ටොංගාවට ළඟා වීමේ දුෂ්කරතා මතු වීමටත් එය හේතු වුණා. දින කිහිපයක් යනතුරු ලෝකයෙන් සැඟ ව ගිය රාජ්‍යක් ලෙස ටොංගා වැසියන් භයංකර කාල පරිච්ඡේදයක් ගත කළා. යමහලේ බලපෑමෙන් ජලය, ආහාර වැනි අත්‍යාවශ්‍ය මානව සාධක දූෂණය වන නිසා ටොංගාවට මානුෂීය ආධාර ඉතා ඉක්මනින් අවශ්‍ය වන පසුබිමක් නිර්මාණය වුණා.

ටොංගාවේ පිහිටීම සහ යමහල් විදාරණයෙන් පසු එහි බලපෑමට ටොංගා රාජ්‍යය නතු වූ අයුරු – www.bbc.com 

ක්‍රමයෙන් යථා තත්ත්වයට

මානුෂීය ආධාර රැගත් පළමු ගුවන් යානය ටොංගා රාජ්‍යයට ළඟා වුණේ විනාශයෙන් දින පහකට (ජනවාරි 20) පසුව යි. ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වූ පුරවැසියන් අළු වලින් වැසුණු ප්‍රධාන ගුවන් තොටුපළේ ධාවන පථය පිරිසුදු කරමින් ආධාර රැගෙන එන ගුවන් යානාවලට පහසුකම් සැපයීමට කටයුතු කළා. සුනාමි තත්ත්වයෙන් ටොංගාවේ ජිවීතක්ෂයට පත් වූ පුද්ගලයන් සංඛ්‍යාව තුනක් බව දැනට වාර්තා වෙනවා. මීට අමතර ව දකුණු අමෙරිකානු රාජ්‍යයක් වන පේරු හි පුද්ගල මරණ දෙකක් වාර්තා වෙනවා.

සුනාමියෙන් ටොංගාවට අත් වූ ඉරණම – www.bbc.com 

සුනාමි අනතුරු හැඟවීම් හේතුවෙන් කලාපයේ පුද්ගල මරණ හැකිතාක් අවම කර ගැනීමට හැකි වුණත්, දේපළ හානි සැලකිය යුතු මට්ටමකින් සිදු වී තිබෙනවා. වැඩි ම දේපළ හානිය සිදු වුණේ ටොංගාවට යි. ගම්මාන, නිවාඩු නිකේතන, බොහෝ ගොඩනැඟිලි මෙන් ම, ටොංගාවේ අගනුවරටත් බරපතළ හානි සිදු වී තිබෙනවා. වර්ග කිලෝමීටර් 700 ක් වැනි කුඩා වපසරියක් සහිත දූපත් රාජ්‍යයක් ලෙස සුනාමියකින් ඇති වන බලපෑම සුළුපටු නැහැ.

ජීවිත හානි අවම වුණත්, ටොංගා රාජ්‍යයට විශාල වශයෙන් දේපළ හානි සිදු වුණා – www.bbc.com 

විනාශයෙන් පසු ටොංගාව මුහුණ දුන් බරපතළ ම ගැටලුව වුණේ සන්නිවේදන සබඳතා ඇණ හිටීම යි. ඔවුන්ගේ තත්ත්වය ලෝකයට ප්‍රකාශ කිරීමේ මාර්ග සියල්ල ම පාහේ අවහිර වුණා. ඒ අනුව ටොංගා පරිපාලනයේ පළමු කාර්යය වුණේ හැකි ඉක්මනින් සන්නිවේදනය යථා තත්ත්වයට පත් කිරීම යි.

පසුගිය බදාදා බාහිර ලෝකය සමඟ දුරකථන සබඳතා යළි ගොඩනැඟීමට ඔවුන්ට සමත් වුණත්, අන්තර්ජාල සේවා නැවත මුල් තත්ත්වයට ගෙන ඒම සඳහා මාසයක් හෝ ඊට වැඩි කාලයක් ගත වනු ඇතැයි වාර්තා වෙනවා. මේ වනවිට ටොංගා රාජ්‍යය මුහුණ දුන් විනාශයට අදාළ ඡායාරූප ජාත්‍යන්තර මාධ්‍ය  ප්‍රසිද්ධියට පත් කොට තිබෙනවා. ලෝකයෙන් ලැබෙන මානුෂීය ආධාර සහ ස්වකීය ධෛර්යයේ උපකාරයෙන් ටොංගා වැසියන් නැවතත් යථා තත්ත්වයට පැමිණෙන්න උත්සහ කරමින් සිටිනවා.

කවරයේ ඡායාරූපය- යමහල් විදාරණය චන්ද්‍රිකා ඇසින් - www.abc10.com

මූලාශ්‍ර:

www.bbc.com

www.bbc.com

www.theguardian.com

www.aljazeera.com

Related Articles