Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

විසඳුමක් නොව ගැටලු රැසක ඇරඹුම වූ චීනයේ එක් දරු ප්‍රතිපත්තිය

1980 දශකය වන විට ශීඝ්‍රයෙන් ඉහළ යමින් පැවැති චීන ජනගහණය පාලනය කිරීම පිළිබඳ ව චීනයේ අවධානය යොමු විය. එහි ප්‍රතිපලයක් ලෙස හඳුන්වා දුන්, දශක කිහිපයක් තිස්සේ ක්‍රියාත්මක වූ “එක්දරු ප්‍රතිපත්තිය” හේතුවෙන් එරට දරු උපත් ප්‍රමාණය විශාල ලෙස පහළ ගොස්, තවත් අහිතකර ප්‍රතිවිපාක ගණනාවක් ද ඇති විය.

එම තත්ත්වයන් සැලකිල්ලට ගත් චීනය මීට වසර කිහිපයකට පෙර නිවේදනය කළේ එක්දරු ප්‍රතිපත්තිය පදනම් කර ගත් වැඩසටහන අවසානයක් කරා එළඹෙන බව යි. මේ වන විට අදාළ නීති ප්‍රතිපාදන හඳුන්වා දී, එම ප්‍රතිපත්තිය සම්පූර්ණයෙන් ම අහෝසි කර ඇතත් ඉන් ඇති වූ අහිතකර ප්‍රතිවිපාක තවමත් චීනයට විශාල අභියෝගයක් වී තිබේ.

එක්දරු ප්‍රතිපත්තියට අනුගත නොවන පවුල්වලින් දඩ මුදල් අයකිරීම සිදු විය – www.wikipedia.lk

එක්දරු ප්‍රතිපත්තිය

වර්තමානය වන විට ලොව වැඩි ම ජනගහණය, එනම් බිලියන 1.4ක ජනගහණයකට හිමිකම් කියන චීන ජනගහණය 1980 දශකයේ දී ශීඝ්‍රයෙන් ඉහළ යමින් තිබිණි. එම තත්ත්වය නිසා එරට දරු උපත් පාලනය සඳහා වැඩපිළිවෙළක් සකස් කිරීම පිළිබඳ ව අදාළ ආයතනවල අවධානය යොමු විය.

එහි ප්‍රතිපලයක් ලෙස “එක්දරු ප්‍රතිපත්තිය” යනුවෙන් වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට එරට රජය කටයුතු කළේ ය. 1982 වසරේ දී එය එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ද ඇතුළත් කෙරිණි. එම වැඩසටහන යටතේ පවුලක සිටිය හැකි දරුවන් ගණන එක් කෙනකුට සීමා විය.

එක් දරුවකු පමණක් සිටින ලෙස යුවළ දිරිමත් කරන දැන්වීම් පුවරුවක් පසුකරමින් කාන්තාවක් බීජිං නගරාසන්නයේ ගමකට යන මාර්ගයක් දිගේ බයිසිකල් පදියි – GOH CHAI HIN/AFP/Getty Images

විවාහ වීම සහ දරුවන් ලැබීම සඳහා අවම වයස් සීමාවක් ප්‍රකාශයට පත් කිරීම, දරු උපත් පිළිබඳ ව දැඩි අවධානයක් යොමු කිරීම සහ එක්දරු ප්‍රතිපත්තියට අනුගත නොවන පවුල්වලින් දඩ මුදල් අයකිරීම ද එකල සිදු විය. 1980 දශකයේ මැදභාගයේ දී තෝරා ගත් ඛාණ්ඩ කිහිපයකට අයත් පවුල්වල සිටිය හැකි දරුවන් සංඛ්‍යාව දෙකක් සහ තුනක් ආදී වශයෙන් ඉහළ දැමීමට බලධාරීහු කටයුතු කළ හ.

2021 වසරේ සිට දරුවන් ලැබීම සම්බන්ධයෙන් වන මේ සියලු සීමා සහ ඒවා උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් අයක ළ සියලු දඩ මුදල් අහෝසි කර තිබේ.

ළමා සහ තරුණ ජනගහණයට සාපේක්ෂ ව වැඩිහිටි ජනගහණය ශීඝ්‍රයෙන් ඉහළ යාම “එක්දරු ප්‍රතිපත්තියේ” අහිතකර ප්‍රතිවිපාකයකි – www.aa.com.tr

අහිතකර ප්‍රතිවිපාක: ඉහළ ගිය පිරිමි ජනගහනය

එක්දරු ප්‍රතිපත්තියේ ප්‍රතිපලයක් ලෙස එරට පිරිමි ජනගහනය කාන්තා ජනගහනයට සාපේක්ෂ ව 3% ත් 4%ත් අතර ප්‍රමාණයකින් සැලකිය යුතු ලෙස ඉහළ ගියේ ය. චීනයේ සමාජ තත්ත්වය අනුව දේපල සහ වැඩිහිටි පුද්ගලයන් රැක බලා ගැනීම වැනි වගකීම් පිරිමි පුද්ගලයන්ට පැවරෙන නිසා චීනයේ බොහෝ ප්‍රදේශවල, විශේෂයෙන් ම ග්‍රාමීය ප්‍රදේශවල, ජනතාව පිරිමි දරුවෙක් ලැබීම උසස් කොට සලකති. 

මෙම ප්‍රතිපත්තිය හඳුන්වා දීමෙන් පසු ගැහැනු දරුවෙක් ලැබීම පිළිබඳ ව චීන ජනතාව තුළ ඇති වූ ආකල්පය එතරම් සුබවාදී නොවිණි. එබැවින් අදාළ වෛද්‍ය පරීක්ෂණවලින් දරුවාගේ ස්ත්‍රී පුරුෂභාවය හෙළි වීමත් සමග බොහෝ දෙනෙක් ගැහැනු දරු කළල ගබ්සා කිරීමට පෙලැඹිණි. ගබ්සා කිරීම්වලට අමතර ව ගැහැනු දරුවන් විශාල පිරිසක් ළමා නිවාසවලට භාරදීම, අත්හැර දැමීම, එක්සත් ජනපදය වැනි විදෙස් රටවල පුද්ගලයන්ට අලෙවි කිරීම වැනි තත්ත්වයන් හට ගන්නට ද එක්දරු ප්‍රතිපත්තිය හේතු විය.

එක්දරු ප්‍රතිපත්තිය සමග චීන ජනගහනය අඩු වූ අයුරු – www.stlouisfed.org

වැඩිහිටි ප්‍රජාව මුහුණ පෑ දුෂ්කරතා

ළමා සහ තරුණ ජනගහණයට සාපේක්ෂ ව වැඩිහිටි ජනගහණය ශීඝ්‍රයෙන් ඉහළ යාම මේ නිසා ඇති වූ තවත් අහිතකර ප්‍රතිවිපාකයකි. චීන ජනතාවගේ ආයුකාලය දිගු වීම සහ ඉතා කෙටි කාලයක් තුළ දරු උපත් ප්‍රමාණය විශාල අගයකින් පහළ යාම මෙම තත්ත්වයට හේතු විය. චීනයේ බොහෝ වැඩිහිටියන් ඔවුන්ගේ දරුවන් හෝ මුණුබුරන්ගේ රැකවරණය ලබමින් ජීවත් වූ බැවින් මෙම ප්‍රතිපත්තිය හඳුන්වා දීම සමඟ එම පිරිසට නිසි රැකවරණයක් නොලැබිණි. 

විශේෂයෙන් ම යම්කිසි යුවළකගේ දරුවෙක් කුමන හෝ හේතුවක් නිසා මිය ගිය අවස්ථාවක, එම මාපියන් වැඩිහිටි‍යන් බවට පත් වූ පසු ඔවුන් රැකබලා ගැනීමට කිසිවෙක් නොවූහ. සමහර පවුල්වල පිරිමි දරුවන් විවාහ නොවීම වැනි හේතු නිසා මුණුබුරන් ලැබීම සීමා වූ බැවින් බොහෝ වැඩිහිටි පුද්ගලයන්ට ජීවිතයේ අවසන් කාලය ගත කිරීමට සිදු වූයේ වැඩිහිටි නිවාස හෝ වෙනත් සුබසාදන ආයතන තුළ ය.

එක්දරු ප්‍රතිපත්තිය පිළිබඳව ලියැවුණු පොතක් – www.time.com

වාර්තා නොවූ දරු උපත්

එක්දරු ප්‍රතිපත්තිය හේතුවෙන් චීනයේ බොහෝ දරු උපත් විධිමත් ආකාරයෙන් අදාළ ආයතනවල සටහන් නොවූ බව කියැවේ. සමහර පවුල්වල පළමු දරුවාට අමතර ව තවත් දරුවෙක් උපත ලැබූ අවස්ථාවල, දෙවැනි දරුවාගේ උපත අදාළ බලධාරීන්ගෙන් සැඟවීමට මව්පියෝ කටයුතු කළහ. නිශ්චිත ව ගණනය කර නැති නමුත් එවැනි දරු උපත් මිලියන ගණනක් සිදුවන්නට ඇතැයි පැවැසේ. 

උපත පිළිබඳ තොරතුරු විධිමත් ව සටහන් නොවීම හේතුවෙන් චීනයේ විශාල පිරිසකට දුෂ්කරතා රැසකට මුහුණ දීමට සිදු විය. අධ්‍යාපනය හැදෑරීම, උසස් අධ්‍යාපන කටයුතු සඳහා සම්බන්ධ වීම, රැකියා ලබා ගැනීම සහ විදේශගත වීම වැනි කරුණුවලදී අදාළ ලේඛන ඉදිරිපත් කිරීමට නොහැකි වූ බැවින් ඔවුහු දුෂ්කරතා ගණනාවකට මුහුණ පෑහ. පසුකාලීනව එවැනි ගැටලු නිරාකරණය කිරීමට අදාළ අංශ විවිධ පියවර ගෙන තිබේ.

දශක කිහිපයක් තුළ චීන ජනගහණය විශාල වශයෙන් අඩු විය – www.nytimes.com

විවිධ විකල්ප

එක්දරු ප්‍රතිපත්තිය චීනයේ සුළු ජාතික ජනකොටස්වලට සහ පළමු දරුවා ආබාධිත පවුල්වලට අදාළ ව ක්‍රියාත්මක නොකිරීමට එරට බලධාරීන් මූලික අදියරේදී ම තීරණය කර තිබිණි. මෙම ප්‍රතිපත්තිය හේතුවෙන් ඇති වූ අහිතකර තත්ත්වයන් නිසා සුළු ජාතික ජනකොටස් සහ පළමු දරුවා ආබාධිත පවුල්වලට අමතර ව ග්‍රාමීය ප්‍රදේශවල ජීවත් වූ පවුල්වලට ද දරුවන් දෙදෙනෙක් හෝ තිදෙනෙක් ලැබීමට පසුකාලීනව අවසර ලැබිණි. යම්කිසි පවුලක සැමියා සහ බිරිය යන දෙදෙනා ම ඔවුන්ගේ පවුල්වල එකම දරුවන් වේ නම් ඔවුන්ට, සහ පළමු දරුවා ලෙස ගැහැනු දරුවකු ලැබුණු පවුල්වලට ද දරුවන් දෙදෙනෙක් හෝ තිදෙනෙක් ලැබීමට අවසර හිමි විය.

එක්දරු ප්‍රතිපත්තියේ අවසානය

මේ වන විට චීනයේ ජීවත් වන බොහෝ දෙනෙක් එක්දරු ප්‍රතිපත්තිය ක්‍රියාත්මක වූ කාලයේ විවාහ වූ හෝ උපත ලැබූ අය වෙති. 2015 වසරේ අවසාන භාගයේ චීන රජය නිවේදනය කළේ එක්දරු ප්‍රතිපත්තිය මත පදනම් වූ එරට උපත් පාලන වැඩසටහන අවසානයක් කරා එළඹෙමින් පවතින බව යි. 2016 වසරේ මුල්භාගයේ සිට එරට සියලු පවුල්වලට දරුවන් දෙදෙනෙක් ලැබීමට අවසර හිමි විය. 

කෙසේ වෙතත් එම තීරණය එරට දරු උපත් සංඛ්‍යාවේ සැලකිය යුතු ඉහළ යාමකට හේතු වූයේ නැත. දීර්ඝ කාලයක් තිස්සේ ක්‍රියාත්මක වූ එක්දරු ප්‍රතිපත්තිය නිසා එරට ජනතාව තුළ නිර්මාණය වූ එක් දරුවකු සිටීම ප්‍රමාණවත් යන ආකල්පය, දරුවන් රැක බලා ගැනීම සඳහා ප්‍රමාණවත් පහසුකම් නොමැති වීම සහ දරුවන් ලැබීම නිසා සිය වෘත්තීය කටයුතු නවතා දැමීමට ජනතාව, විශේෂයෙන් ම කාන්තාවන් තුළ වූ අකැමැත්ත වැනි කරුණු ඊට හේතු විය.

දීර්ඝ කාලයක් තිස්සේ ක්‍රියාත්මක වූ එක්දරු ප්‍රතිපත්තිය නිසා එරට ජනතාව තුළ එක් දරුවෙක් සිටීම ප්‍රමාණවත් යන ආකල්පය ඇති වී තිබේ – www.wikipedia.org

නව ප්‍රතිපත්ති

2020 දී සිදු කළ සමීක්ෂණවල දී හෙළි වී ඇත්තේ දශක හතරකට ආසන්න කාලයක් තිස්සේ ක්‍රියාත්මක වූ එක්දරු ප්‍රතිපත්තිය නිසා චීනයේ වයස්ගත ජනගහණය ඉහළ ගොස් ශ්‍රම බළකාය ඉතා දුර්වල වී ඇති බව යි. මෙම කරුණු සැලකිල්ලට ගත් චීන රජය 2021 මැයි මාසයේ දී නිවේදනය කළේ විවාහක යුවළකට ඕනෑ තරම් දරුවන් ලැබීමට අවසර ලබා දෙන බව යි. 2021 අගෝස්තු මාසයේ දී ඒ සඳහා වන නීතිමය ප්‍රතිපාදන හඳුන්වා දීම සිදු විය. 

එක්දරු ප්‍රතිපත්තිය අහෝසි කිරීමෙන් පසු පවා බොහෝ පවුල් දරුවන් ලැබීම සීමා කිරීමට හේතුව එරට පවතින දරුවන් රැක බලා ගැනීමට පහසුකම් හිඟ වීම, අධ්‍යාපන අවස්ථා සීමිත වීම, විරැකියාව සහ වෙනත් මූල්‍ය දුෂ්කරතා වැනි ගැටලු බව හඳුනා ගෙන ඇත. ඒවාට පිළියමක් ලෙස එම ක්ෂේත්‍ර යාවත්කාලීන කොට ඒවායේ පවතින ගැටලු නිරාකරණය කිරීම සඳහා නව ප්‍රතිපත්ති හඳුන්වා දීමට කටයුතු කරන බව ද චීන රජය නිවේදනය කළේ ය.

එක්දරු ප්‍රතිපත්තිය නිසා චීනයේ වයස්ගත ජනගහණය ඉහළ ගොස් ශ්‍රම බලකාය ඉතා දුර්වල වී ඇත – www.pinterest.com

කවරයේ ඡායාරූපය - මේ වන විට එක්දරු ප්‍රතිපත්තිය සම්පූර්ණයෙන්ම අහෝසි කර ඇතත් ඉන් ඇති වූ අහිතකර ප්‍රතිවිපාක තවමත් චීනයට විශාල අභියෝගයක් වී තිබේ - GOH CHAI HIN/AFP via Getty Images

මූලාශ්‍ර - www.britannica.com
www.scmp.com
www.theguardian.com
www.ncbi.nlm.nih.gov

Related Articles