උමං තුළ වයින් ගබඩාකරන මෝල්ඩෝවාව

වයින් කියන්නේ ලොව වටා ප්‍රසිද්ධ වගේම ජනප්‍රිය වුණ මධ්‍යසාරමය පානයක්. උත්සව අවස්ථා සැමරීමට මෙන්ම ඇතැම් සංස්කෘතීන්වල කොටසක් ලෙසත්, ලෝකය පුරා වයින්වලට ලැබෙන්නේ සුවිශේෂ වූ ස්ථානයක්.

වයින් නිෂ්පාදනයට ඉතා දීර්ඝ වූ ඉතිහාසයක් තිබෙනවා. කලකට ඉහත ජොර්ජියා රාජ්‍යයේ තිබිලිසි අගනුවරට දකුණින් පිහිටි ස්ථාන දෙකකින්, අවුරුදු අටදාහක් දක්වා වූ ඈත අතීතයට විහිද යන වයින් සංයෝග අඩංගු මැටි භාජන සොයාගැනීමට විද්‍යාඥයින් සමත්වුණා. සමහර භාජනවල මිදි පොකුරු සහ මිනිසෙකු නටමින් සිටින අයුරුත් කැටයම් කොට තිබුණා. ටොරොන්ටෝ විශ්වවිද්‍යාලයයේ ජ්‍යෙෂ්ඨ පර්යේෂකයෙකු වන ස්ටෙෆන් බැටියුක්ට අනුව, අතීතයේ වනගතව වැවුණු මිදි ශාකය වයින් කර්මාන්තය හරහා මිනිස් ශිෂ්ඨාචාරය වෙත පැමිණීමේ පැරණිතම උදාහරණය ජොර්ජියාවෙන් හමුවූ මෙම මැටි බඳුන්.

මිදි වයින් ඇතැම් සංස්කෘතීන් හා බැඳී පවතින පානයක්/The Guardian

වයින් කියන්නේ බටහිර සංස්කෘතියේ කේන්ද්‍රස්ථානයක් තරමටම වැදගත් වෙන පානයක්. මනස සැහැල්ලු කරන පානයක් ලෙස, ඉහළ වටිනාකමක් ඇති වෙළෙඳ භාණ්ඩයක් ලෙස, ආගමික පූජාවිධිවලට භාවිතා කරන පානයක් ලෙස මෙන්ම ආහාර සංස්කෘතියේ අංගයක් ලෙසත් වයින් බටහිර සංස්කෘතිය තුළ මුල් බැසගෙන තිබෙනවා. මේ ආදී නොයෙකුත් කාරණා නිසා බටහිර වැසියන්ට වයින් කොතරම් වැදගත් වුණා ද කිවහොත්, වයින් ගබඩාකර තැබීම සඳහා භූගතව පවතින සුවිශාල උමං මාර්ග තැනීමට පවා ඔවුන් උනන්දු වුණා. ඉතින් මේ ලිපියෙන් මෝල්ඩෝවා නම් රාජ්‍යයේ පවතින භූගත වයින් ගබඩාවන් ගැන විස්තර ඔබට කියනවා.

වයින් සම්බන්ධයෙන් මෝල්ඩෝවාව විශේෂ වන්නේ ඇයි?

මෝල්ඩෝවා රාජ්‍යය පිහිටලා තියෙන්නේ යුරෝපයේ ගිණිකොන දෙසින්, යුක්‍රේනය සහ රොමේනියාව අතර. මෝල්ඩෝවා රාජ්‍යයට අයත් භූමිය භූගෝලීය වශයෙන් කළු මුහුදේ ද්‍රෝණි කලාපය තුළ පිහිටා තිබෙනවා. මේ රාජ්‍යය විවිධාකාර වූ භූමි දර්ශනවලින් අනූන සුන්දර රාජ්‍යයක්. එතරම් උස් නොවූ කඳු, යුරෝපයේ අනෙකුත් කලාපවලට සාපේර්ෂව හොඳින් හිරු එළිය ලැබෙන සානු, සහ තැනිතලාවලින් මෙරට සමන්විත යි . මේ තැනිතලා බිම් පෲට් සහ නිස්ටර් යන විශාල ගංගාවන් දෙක කරා ගලාබසින දිය පහරවල් රාශියකින් පෝෂණය වෙනවා.

මෝල්ඩෝවා රාජ්‍යයේ පිහිටීම/vidiani.com/

කළු මුහුදේ බලපෑම නිසා මෝල්ඩෝවාවේ දේශගුණය මධ්‍යස්ථ-මහද්වීපික ස්වභාවයක් ගන්නවා. වයින් නිපදවීමට ප්‍රසිද්ධ අනෙකුත් කලාප මෙන්ම මෝල්ඩෝවාවත් පිහිටා තියෙන්නේත් උතුරු අක්ෂාංශ 46-47 අතර යි. මේ සියලු පිහිටීම් නිසා මෝල්ඩෝවා රාජ්‍යයට ඉහළ ගුණාත්මකභාවයකින් යුතු වයින් නිෂ්පාදනය කිරීමට හැකිවී තිබෙනවා. ඒ අනුව, එරට දකුණු ප්‍රදේශය ඉහළ ගුණාත්මකභාවයකින් යුතු රතු වයින් සඳහාත්, මධ්‍යම ප්‍රදේශය ඉහළ ගුණාත්මකභාවයකින් යුතු සුදු වයින් සඳහාත් ප්‍රසිද්ධ වී තිබෙනවා.

මේ වනවිට මෝල්ඩෝවාවේ මිදි වතු හෙක්ටයාර 112000ක් පමණ වගා කෙරෙන්නේ වයින් නිෂ්පාදනය අරබයා යි. එය රටේ මුළු භූමි ප්‍රමාණයෙන් 3.8%ක් පමණ වෙනවා. මිදි ප්‍රභේද 30ක් දක්වා වූ විවිධත්වයකින් යුතුව මෙම වගාවන් කරගෙන යෑමටත් ඔවුන් සමත්වී තිබෙනවා. පුරාවිද්‍යාත්මක සාක්ෂ්‍ය සහ ඓතිහාසික වාර්තා අනුව මෝල්ඩෝවා රාජ්‍යය ක්‍රිස්තු පූර්ව 7000 සිට මිදි වගාකොට තිබෙන බව සඳහන් වෙනවා. ඔවුන් වයින් නිෂ්පාදනය ආරම්භ කොට තිබෙන්නේ ක්‍රිස්තු පූර්ව 3000 තරම් ඈත වකවානුවක යි.

මිදි අස්වනු නෙලීම/moldovawine.nl

බාධක මැද ජයගත් වයින් කර්මාන්තය

16 වන ශත වර්ෂයේ දී, අද මෝල්ඩෝවා ලෙස හැඳින්වෙන භූමි භාගය ඔටෝමන් අධිරාජ්‍යයේ අණසකට යටත්වෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස මේ ප්‍රදේශයේ එතෙක් පවති වයින් කර්මාන්තයට තහනමක් පැනවුණ අතර, එම තහනම 19 වන සියවස තෙක් පැවතුණා. දෙවන ලෝක යුද සමයේ දී මෝල්ඩෝවාව සෝවියට් සංගමයේ බලපෑමට නතුවුණා. නමුත් එම කාලය තුළ වයින් නිෂ්පාදනයේ පිබිදීමක් ඇතිවුණ අතර, සෝවියට් සංගමය බිඳවැටීමෙන් පසුව වයින් කර්මාන්තශාලා පෞද්ගලීකරණය කිරීම ඇරඹුණා. එහිදී නව හිමිකරුවන්ට උසස් තත්ත්වයේ වයින් නිෂ්පාදනය කිරීම සඳහා අවශ්‍ය නවීන තාක්ෂණය වෙනුවෙන් මුදල් ආයෝජනය කිරීමට අවස්ථාව හිමිවුණා.

කෙසේ නමුත්, 2006 වර්ෂයේ දී මෝල්ඩෝවාවේ වයින් කර්මාන්තයට නැවතත් නරක කලදසාවක් එළඹුණා. එවකට තිබූ මෝල්ඩෝවා පාලන තන්ත්‍රය යුරෝපා සංගමය සමග එක්වීමට උනන්දුවෙන් සිටි අතර, එයට විරෝධය පෑමක් ලෙස රුසියාව මෝල්ඩෝවාවට අපනයන තහනමක් පැනවූවා. මෝල්ඩෝවාවේ වයින් නිෂ්පාදනයෙන් 90%ක් පමණ අපනයනය කළේ රුසියාවට යි. තම වයින් කර්මාන්තය බංකොලොත්වීමෙන් බේරා ගැනීම උදෙසා නව වෙළඳපොලක් සොයා ගැනීමට ඒ අනුව මෝල්ඩෝවාවට සිදු වුණා. යුරෝපා සංගමයට එක්වීමත් සමගම, බොහෝ යුරෝපා රටවල් තම වෙළඳපොල මෝල්ඩෝවාවේ වයින් නිෂ්පාදන උදෙසා විවෘත කළා.

 

මෝල්ඩෝවා රාජ්‍යයේ සරුවට වැඩෙන මිදි වතු/itinari.com/

භූගත වයින් ගබඩා

විවිධ වයින් වර්ගවල තිබෙන ලාක්ෂණික වූ රසයන්, වර්ණයන්, ගන්ධයන් ඇතුළු ගුණාංග බොහෝමයක් රැකෙන පරිදි වයින් ගබඩාකර ගැනීමට කර්මාන්තකරුවන් බොහෝ වෙහෙස මහන්සි වෙනවා. වයින්වල මේ සියලු ගුණාංග රැකීමට නම්, ඒවායේ තිබෙන රසායනික සංයෝගත් එලෙසම රැකිය යුතු වෙනවා. මේ නිසා වයින් කර්මාන්තයක් ලෙස සිදුකරන රටවල් වයින් ගබඩා කිරීම සඳහා විවිධ වූ ක්‍රම භාවිතා කරනවා. ඒ අතර වඩාත් ආකර්ෂණීය සහ ඇතැම් විට පුදුමය දනවන ගබඩා ක්‍රමය වන්නේ වයින් භූගතව ගබඩා කිරීම යි.

ආලෝකය සහ තාප ප්‍රභවයන්ගෙන් ඈත්ව තැබීම, ආර්ද්‍රතාව ප්‍රශස්ත මට්ටමකින් පැවතීම, කම්පන රහිත වන සේ වයින් බෝතල් තිරස්ව තැබීමට ඇති පහසුකම වැනි කාරණා වයින් ගබඩාකොට තැබීමේ දී සැලකිය යුතු මූලික කාරණා යි. මේ කරුණු කාරණා එලෙසින්ම රැකගැනීමට ඇති සුදුසුම ක්‍රමය ලෙස වයින් භූගතව ගබඩා කිරීමේ ක්‍රමවේදය සැළකිය හැකියි. මේ නිසා ඇතැම්විට නිවාස ආශ්‍රිතව කුඩා පරිමාණයෙන් මෙන්ම, කර්මාන්ත ආශ්‍රිතව මහා පරිමාණයෙන් ද භූගත වයින් ගබඩා ඉදිකිරීම මේ රටවල සිදුවෙනවා.

බෝතල් පමණක් නොව මෙවැනි විශාල වයින් ගුදම් පවා භූගතව ගබඩාකොට තිබෙනවා/davidsbeenhere.com/

විශාලතම භූගත ගබඩාව මෝල්ඩෝවාවෙන්

ලොව විශාලතම වයින් නිෂ්පාදකයාට හිමි තැන බොහෝදුරට හිමිකර ගන්නේ ඉතාලිය යි. ඊට අමතරව ප්‍රංශය, ස්පාඤ්ඤය, ඇමරිකා එක්සත් ජනපදය, ආජන්ටිනාව යන රටවලුත් ලොව විශාලතම වයින් නිෂ්පාදකයන්. නිෂ්පාදන ධාරිතාව අතින් මෝල්ඩෝවා රාජ්‍යය ජාත්‍යන්තර මට්ටමෙන් තරමක් පිටුපසින් සිටියත්, ලොව විශාලතම භූගත වයින් ගබඩාව හිමිව තිබෙන්නේ මෝල්ඩෝවාවට යි. මෝල්ඩෝවාවේ නගරයක් වන “මිලෙස්ටි මිසි”වල තමයි මේ සුවිශාල භූගත වයින් ගබඩාව පිහිටා තිබෙන්නේ. හැබැවින්ම මෙය භූගත වයින් ගබඩාවකට වඩා, “භූගත වයින් නගරයක්” ලෙස හැඳින්වීම සුදුසු යි. මෙම භූගත වයින් නගරයේ පවතින මාර්ග පද්ධතිය කිලෝමීටර් 200ක් තරම් දිගු වෙනවා. සෑම උමං මාර්ගයක්ම මිදි පළතුර ආශ්‍රයෙන් නම්කර තිබෙනවා.

මේ භූගත වයින් ගබඩා තුළින් වාහනයකට වුණත් ගමන් කරන්න පුළුවන්/fr.wikiloc.com

මිලෙස්ටි මිසි භූගත වයින් නගරය නැරඹීමට නම් කෙනෙකුට තමන්ගේම කියා මෝටර් රථයක් හෝ බයිසිකලයක් අවශ්‍ය යි. වාහනයක් හැසිරවීමට තරම් පුළුල් මාර්ග පද්ධතියක් තිබීමෙන් මෙම ගබඩාවේ විශාලත්වය ගැන ඔබටත් අදහසක් ගත හැකියි. මෝල්ඩෝවාවේ වෙනත් ඕනෑම ස්ථානයක සේම සාමාන්‍ය මාර්ග නීති මේ වයින් ගබඩාව තුළත් බලපවත්වනවා! මිලෙස්ටි මිකි ප්‍රදේශයට ආසන්නයෙන් “ක්‍රිකෝවා” නමැති තවත් වයින් කර්මාන්තශාලාවක් පවතිනවා. ඔවුන්ගේ භූගත වයින් සංකී‍ර්ණයත් කිලෝමීටර් 120ක් පමණ දිගු යි. මේ උමං පද්ධතිවල තිබෙන සංකීර්ණත්වය නිසා පළමුවරට ඒවාට පිවිසෙන කෙනෙකු සිතියමක් භාවිතා කිරීම අත්‍යාවශ්‍ය යි. 

කෙසේ නමුත් මේ උමං පද්ධතිය වයින් ගබඩා කිරීමම උදෙසා තැනූ ඒවා නම් නොවෙයි. හුණුගල් කැණීමෙන් ඇති වූ උමං මාර්ග පද්ධතියක් තමයි පසුකාලීනව වයින් ගබඩා කිරීම සඳහා යොදාගෙන තිබෙන්නේ. ඕනෑම වයින්ලෝලියෙකුට මේ ස්ථානය ස්වර්ගය මෙන් දැනෙන්න හොඳාකාරවම ඉඩ තිබෙනවා. එතරම්ම සුවිශාල වයින් එකතුවක් සහ විවිධත්වයක් මේ ගබඩාව සතුව යි. මිලෙස්ටි මිසි භූගත වයින් ගබඩාවේ මුල්ම බෝතලය ගබඩාකර තිබෙන්නේ වර්ෂ 1968 දී යි. අද වන විට එහි ගබඩාකර ඇති බෝතල් සංඛ්‍යාව මිලියන දෙකකට වැඩියි.

මෙම උමං සංකීර්ණ තුළ වයින් බෝතල් මිලියන දෙකක් පමණ ගබඩා කොට තිබෙනවා/ https://worldalldetails.com/Pictureview/3769-Milestii_Mici_Moldova_Wine_cellar.html

මිලෙස්ටි මිසි භූගත වයින් ගබඩාවේ ඇති ඇතැම් වයින් වර්ග ඇමරිකානු ඩොලර් 540ක් දක්වා වූ අධික මිලකට යටත්ව අලෙවි වෙනවා. මෙහි ඇති වයින් බෝතල්වලින් තුනෙන් දෙකක්ම අයත්වන්නේ රතු වයින් නම් ප්‍රභේදයට යි. අනෙකුත් වයින් බෝතල් සුදු වයින් සහ අනෙකුත් විශේෂිත වයින් වර්ග වෙනවා.

2005 වර්ෂයේ දී මිලෙස්ටි මිකි වයින් ගබඩාව “ලොව විශාලතම භූගත වයින් ගබඩාව” ලෙස ගිනස් වර්තා පොතට එකතු වුණා. ඉතින් ඔබ යුරෝපා සංචාරයක් යෑමට සැලසුම් කරගෙන සිටිනවා නම්, මෝල්ඩෝවා රාජ්‍යයේ භූගත නගර බඳු වයින් ගබඩා නැරඹීමට යාමත් අපූරු සංචාරක අත්දැකීමක් වේවි.

Cover image: EU Neighbours

මූලාශ්‍රයයන්:

bbc.com/

moldovawine.nl/

thevintagenews.com/

timesofindia.indiatimes.com/

Related Articles