Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

රටවල් නොවන රටවල් හෙවත් Micronations – 1 කොටස

අපි කුඩා කාලයේ කියැවූ මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ මඩොල් දූව නවකතාව තවමත් අපේ සිත්වල හොඳින් රැඳී තිබෙනවා. එහි කතා නායකයා වන උපාලි ගිනිවැල්ලේ හා ඔහුගේ මිතුරු ජින්නා කුඩා දූවකට පැන ගොස් කාලයක් ජීවත් වන්නේ එය තමන්ගේ රාජධානිය කරගෙනයි.

වසර කිහිපයකට පෙර රූපවාහිනියේ විකාශය වූ රොබින්සන් අන්දරයේත් කුඩා දූපතක් සිය වාස භවන කරගත් පවුලක් ගැන කියැවෙනවා. අනතුරක් නිසා දූපතට ගොඩ බැස්ස රොබින්සන් පවුල කාලයාගේ ඇවෑමෙන් තමන් ගොඩබට දූව නිල නොලත් රාජ්‍යයක් කරගන්නවා. ප්‍රබන්ධ කතාවල ඒ වාගේ  දේ අහන්න දකින්නට ලැබුණත් සැබෑ ලෝකයේත් ඒ වාගේ නිල නොලත් කුඩා ‘රාජ්‍යයන්’ තිබෙන බව ඔබ දැන සිටියාද?

අද වන විට ලෝකයා නිල වශයෙන් පිළිගත් රාජ්‍යයන් 197 ක් තිබෙනවා. මීට අමතරව එසේ පිළි නොගත් එහෙත් ‘රාජ්‍යයක්’ හැටියට සැපිරිය යුතු කරුණු කාරණා රැසක් සපුරන ලද කුඩා ප්‍රාදේශීය බිම් ප්‍රදේශ රැසක් ලෝකයේ තිබෙනවා. ක්ෂුද්‍ර රාජ්‍යයන් හෙවත් micronations ලෙස හඳුන්වන මේ සමහරක් ඒවා තුළ ජීවත් වන්නේ එක් පවුලක් තරම් කුඩා ජනකායක් වුණත් මේ සමහරක් ඒවාට තමන්ගේම කියා නීති පද්ධතියක්, මුදල් ඒකක වැනි දේ පවා තිබෙනවා.

මේවායින් බොහොමයක බිහිවීම හා පැවැත්ම පිළිබඳ තොරතුරු අතිශයින්ම රසවත්. ඉතිහාසය පුරාවටම වරින් වර බිහි වූ micronations හෙවත් ක්ෂුද්‍ර රාජ්‍යයන් අතරින් වඩාත්ම කතා බහට ලක්වූ ඒවා කිහිපයක් ගැන තොරතුරු ඔබ සමඟ බෙදාගන්නට අපි හිතුවේ ඒ නිසාමයි.

The Grand Duchy of West-Arctica (බටහිර ආක්ටිකාව)

දකුණු පස සිටින්නේ ට්‍රැවිස් මැක් හෙන්රිය (youtube.com)

රටවල් කිහිපයක් ඇන්ටාක්ටිකා මහාද්වීපය බෙදාගැනීමේ ගිවිසුම අත්සන් කිරීමට සූදානම් වන විට බටහිර ඇන්ටාක්ටිකාවට අයත් ‘මරී බර්ඩ්’ නම් කුඩා භූමි කොටසකට කිසිවෙක් උරුමකම් කීවේ නැහැ. මෙය පිහිටා තිබුණේ චිලී දේශය හා නවසීලන්තය අයිතිවාසිකම් කියූ භූමි කොටස් දෙක මැද්දේයි. ක්‍රි.ව 2001 දී ට්‍රැවිස් මැක් හෙන්රි නැමැත්තෙක් මේ බව දැක ඒ කොටස නිදහස් රාජ්‍යයක් බවත් තමා එහි පාලකයා බවත් පැවසුවා.

ඇන්ටාක්ටිකා ගිවිසුම අත්සන් කළ අනෙක් සෑම රටකටම ඔහු මේ බව දැනුම් දෙමින් ලිපි යැව්වත් කිසිවෙක් එය ගණනකට ගත්තේ නම් නැහැ. කෙසේ වෙතත් තවමත් එහි ස්ථිර පදිංචිකරුවෙක් හෝ රජයක් ඇති වන ලකුණු පෙනෙන්නට නැහැ. මේ ‘රාජ්‍යයට’ අයත් යැයි සැළකෙන මුද්දර හා කාසි කිහිපයක් නිකුත් වී තිබෙන අතර ‘රට වැසියන්’ සඳහා වූ විද්‍යුත් තැපැල් සේවාවක්ද ආරම්භ වී තිබෙනවා.

මොලොසියානු ජනරජය

මොලොසියානු ‘අතිගරු ජනපති’ කෙවින් බෝ (Rex Features)

මේ නාමික ජනරජය ස්ථාපිත කරන ලද්දේ 1999 වසරේදීයි. එ් මොලොසියානු ‘අතිගරු ජනපති’ කෙවින් බෝ විසින්.

මොලොසියානු ජනරජය අක්කර 6.3 වැනි කුඩා බිම් කඩ දෙකක පැතිරි පවතින්නක්. මේවා පවතින්නේ ඇමෙරිකා එක්සත් ජනපදයේ නෙවාඩා ප්‍රාන්තයේ හා ඔහායෝහි ඩේටන් නුවරයි. ප්‍රමාණයෙන් කුඩා වුණත් මෙය සතුව ස්වකීය තැපැල් සේවයක්, අභ්‍යාවකාශ වැඩසටහනක් හා මුදල් ඒකකයක් තිබෙනවා. මේ මුදල් ඒකකයේ වටිනාකම බිස්කට් පිටි මෝලිවල (cookie dough) මිල අනුව උච්චාවචනය වෙනවා. මෙයට අමතරව මේ ජනරජය මෙක්සිකෝවෙන් කි.මී 470ක් මුහුද මැද්දට වන්නට ඇති මුහුදු කොටසකටද අයිතිවාසිකම් කියනවා.

හට් ගංගා ජනපදය

ලෙනාර්ඩ්ගේ හිසෙහි පිළිමයක් සහිත හට් දේශයේ ස්ථානයක් (Steinar Ellingsen)

මේ දේශයේ අැති වූ අාකාරයත් අමුතුම එකක්. ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවරට කිලෝමීටර 350ක් උතුරෙන් පිහිටි මෙහි නිර්මාතෘ වන්නේ ලෙනාර්ඩ් ජෝර්ජ් කැස්ලි නැමැත්තෙක්. ක්‍රි.ව 1970 දී ඕස්ට්‍රේලියානු රජය ගෙන ආ කෘෂිකාර්මික ප්‍රතිපත්ති මාලාවට විරෝධය පෑමක් ලෙස නිර්මාණය වුණු මෙහි විශාලත්වය වර්ග කිලෝමීටර 75ක් පමණ වන අතර එහි වැසියන් සිටින්නේ 23ක් පමණයි.

සංචාරකයින්ට හොඳ තෝතැන්නක් වන මෙය නැරඹීමට නන් දෙසින් වසරකට 40,000 ක පමණ පිරිසක් පැමිණෙනවා. මේ දේශය සතුව මුදල් ගණුදෙනු සඳහා කාසි වර්ග ඇති අතර ඕස්ට්‍රේලියානු බදු කාර්යාලය නීත්‍යානුකූල බව පිළිබඳව සැක මතු කළත් සමාගම් ලියාපදිංචිය පවා මෙහි සිදු කෙරෙනවා.

ලියොනාර්ඩ් තමන්ව ‘ලෙනාර්ඩ් කුමරු’ ලෙස හඳුන්වා ගන්නා අතර වසර 47 ක පාලන කාලයකින් පසු ඔහු සිය පාලන බලතල පසුගියදා සිය පුතුට පැවරුවා. දැන් ඔහුගේ වයස අවුරුදු 91ක්.

ෆ්‍රී ටවුන් ක්‍රිස්ටියානියා

ක්රිස්ටියනියා තුලට ඇතුළු වීමට ඇති දොරටුව (artofthemooc.org)

මේ දේශය සාමාන්‍ය ක්ෂුද්‍ර රාජ්‍යයක් නොවන, ඇත්තටම ස්වයං පාලනයක් සහිත නිදහස් මතධාරීන් සුළු පිරිසක් වෙසෙන  ප්‍රදේශයක්. මෙය ඩෙන්මාර්කයේ කෝපන්හේගන් නුවර අත්හැර දමන ලද පැරණු හමුදා කඳවුරු භූමියක ස්ථාපිත කර තිබෙනවා. කිසිදු පාලන තන්ත්‍රයකට යටත් නොවූ, පොලිස් ස්ථානයක්වත් නැති ප්‍රදේශයක් වන මෙහි ස්වාධීනව ජීවත් වීමට වගේම නීති විරෝධී වැඩවලට වුණත් නිදහස පවතින නිසා පිටතින් පෙනෙන සුන්දරත්වය ඇත්තෙන්ම පවතිනවාද යන්න ගැටළුවක්.

ක්‍රි. ව 1971 දී ඇති කරන ලද, ප්‍රමාණයෙන් වර්ග කිලෝමීටරයකටත් වඩා අඩු මෙහි වැසියන් තවමත් කෝපන්හේගන් නුවරට බදු ගෙවනවා. ඔවුන් පවසන පරිදි ඔවුන් සතුව අන්‍යොන්‍ය අවබෝධයෙන් තනාගත් හිංසනයෙන් තොර නීතී පද්ධතියක් ඇති අතර එය ක්‍රියාත්මක වන්නේ කෙසේදැයි යන්න නම් තරමක් අපැහැදිළියි. මෙහි අඳුරු පැතිකඩක් ලෙස ගංජා වැනි මත්ද්‍රව්‍ය විශාල වශයෙන් සංසරණය වීම දැක්විය හැකියි. කොහොම නමුත් මේ බිම් කඩ තුළින් ඩෙන්මාර්ක් ජාතික රචකයින්, සිත්තරුන්, සිනමාවේදීන් වැනි අයත් බිහි වී තිබෙනවා.

රෙඩොන්ඩා රාජධානිය

රෙඩොන්ඩා දූපත (Lauren Delizia)

රෙඩොන්ඩා නම් කුඩා දූපත ස්ථානගත වී ඇත්තේ කැරිබියානු මුහුදේ නේවීස් හා මොන්ට්සෙරැට් දූපත්වලට අතරමැදිවයි. මෙයට දීර්ඝ ඉතිහාසයක් තිබෙනවා. ලියකියවිලිවලට අනුව බ්‍රිතාන්‍යයට අයත්ව තිබූ මෙම දූපත 1865 වසරේදී මැතිව් ඩවුඩි ෂියල් නැමත්තෙක් විසින් අයිතිවාසිකම් කියා පවරාගෙන ඇති අතර ඔහු තමන් එම දූපතේ ‘රජු’ ලෙස හඳුන්වාගෙන තිබෙනවා.

ඔහුගේ ඇවෑමෙන් 1880 වසරේදී මෙහි පාලන බලතල ලේඛකයෙක් වූ මැතිව් පිප්ස් ෂියල් නම් ඔහුගේ පුත්‍රයාට ලැබී තිබෙනවා. වර්තමානය වන විට මෙහි කිරුළට අයිතිවාසිකම් කීමට අවම වශයෙන් පාර්ශව හතරක්වත් ඉදිරිපත් වී සිටින අතර 2007 වසරේදී එංගලන්තයේ සදම්ටන් නුවර ප්‍රකට මත්පැන් අලෙවි සැලක් හා ආපනශාලාවක් වන ‘Wellington arms’, රජය පනවා ඇති ආවරණය වූ ප්‍රසිද්ධ ස්ථානවල දුම්බීමේ තහනම මඟ හරිනු වස් තමන් රෙඩොන්ඩාවේ තානාපති කාර්යාලයක් බව ප්‍රකාශ කර සිටියා.

කොන්ච් ජනරජය

2012 අප්‍රේල් 23 දින කොන්ච් ජනරජය පිහිටුවීමේ 30වන සංවත්සරය සමරන උත්සවයක අවස්ථාවක් (Andy Newman/Florida Keys News Bureau/HO)

මේ දේශයත් ලෝකය පුරා සෑහෙන්නට කතාබහට ලක් වුණු එකක්. මෙය පිහිටා ඇත්තේ ඇමෙරිකා එක්සත් ජනපදයේ, ෆ්ලොරීඩා ප්‍රාන්තයේ කී වෙස්ට් ප්‍රදේශයේයි.

1982 වසරේ මෙය ස්ථාපිත කෙරුණේ ෆ්ලොරීඩා ප්‍රාන්තයේ කී වෙස්ට් දූපත හා ප්‍රධාන ගොඩබිම සම්බන්ධ වන ස්ථානයේ ඇමෙරිකානු රජය විසින් ඉදි කරන ලද පරීක්ෂණ ස්ථානයකට හා ඒ අනුබද්ධ ගොඩනැඟිල්ලකට විරෝධය දැක්වීමක් වශයෙනුයි. මෙය ඉදිකිරීමට හේතුව වූයේ කැරිබියානු දූපත් දෙසින් සිදු කෙරෙන අනවසර සංක්‍රමණ හා මත්ද්‍රව්‍ය ජාවාරම අඩපණ කිරීම වුවත් මේ නිසා කී වෙස්ට් දූපතට යාමට එ්මට තිබූ මාර්ගය ඇහිරී ගියා.

එමගින් දූපතේ සංචාරක කර්මාන්තයට බලපෑම් එල්ල වන ලකුණු පහළ වීමත් නිසා කී වෙස්ට් හි නගරාධිපති ඩෙනිස් වර්ඩ්ලෝ තම දූපත ස්වාධීන රාජ්‍යයක් බවත්, තමන් එහි අග්‍රාමාත්‍ය බවත් ප්‍රකාශ කළා. නාවුක නිලධාරියෙකු වෙත පරණ වූ පාන් ගෙඩියකින් දමා ගසා ඇමෙරිකාව සමඟ යුධ ප්‍රකාශ කළ ඔහු මිනිත්තුවක් තුළ යටත් වූ අතර ඒ සමඟම ඇමෙරිකානු රජයෙන් ‘විදේශ’ ආධාර පැතුවා.

ඩෙනිස් වර්ඩ්ලෝ (loridamemory.com)

ඇත්තෙන්ම නගරාධිපති ඒ තරම් දුරට නොහිතා විහිළුවකට මෙන් විරෝධය පෑම සඳහා මෙවැනි ක්‍රියාමාර්ග ගත්තත් අවසානයේ උත්සාහය සාර්ථක වුණා. මුහුදු බෙල්ලන් වර්ගයක නමක් ඈඳමින් ඔහු තමන්ගේ ‘රාජ්‍යය’ Conch Republic ලෙස හැඳින්වීම ඉතා ජනප්‍රිය වූ අතර එතැන් පටන් මේ ප්‍රදේශය ඒ නමින්ද හැඳින්වෙනවා. අදටත් එහි සංචාරය කරන්නෙකුට මතක සටහන් ලෙස කොන්ච් ජනරජයේ ගමන් බලපත්‍ර වැනි දෑ සිහිවටන ලෙස ලබාගත හැකියි. මෙහි නාම මාත්‍රික කොන්ච් ජනරජය උදෙසා වූ උත්සවත් පැවැත්වෙන නමුත් එ් සංචාරක ප්‍රවර්ධන අරමුණු සඳහා පමණයි.

තවත් මෙවැනිම ‘රාජ්‍යයන්’ කිහිපයක් ගැන රසබර තොරතුරු දෙවන කොටසින් බලාපොරොත්තු වන්න.

කවරයේ පින්තූරය: (travelwithstanito.com)

Related Articles