Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

මෝදිගේ බලයත් අභිබවා ගිය ඉන්දීය ගොවි අරගලයේ ශක්තිය

2020 නොවැම්බරයේ සිට මේ දක්වා ගත වූ වසරක කාලය මුළු ලෝකයට ම අභියෝගාත්මක කාල පරිච්ඡේදයක් වුණා. ගෝලීය කොවිඩ් වසංගතය හා එහි ප්‍රතිඵලයක් වශයෙන් ඇති වූ ආර්ථික පසුබෑම මැද ඇතැම් රටවල් දරුණු කාලගුණික විපර්යාසවලට පවා මුහුණ දුන්නා. ගත වූ වසරක කාලය ඇතුළත මේ සෑම අභියෝගයකට ම එක සේ මුහුණ දුන් ර‍ටක් ලෙස ඉන්දියාව හැඳින්විය හැකි යි. යම් කාල පරාසයක් ඇතුළත ඉන්දියාව ගෝලීය වසංගතයේ කේන්ද්‍රස්ථානයක් වූ අතර, ඉන්දියානුවන් දහස් ගණනක් මිය ගියා. කොවිඩ් සමඟ පැමිණි ආර්ථික කුණාටුවේ ප්‍රබලත්වයත් සුළුපටු නැහැ. ඒ අතරතුර විවිධ කාලගුණික විපර්යාස හමුවේ ඉන්දීය ජන ජීවිතය අඩාල වූ අයුරුත් පසුගිය කාලයේ දකින්න ලැබුණා. නව දිල්ලියේ ප්‍රබල වායු දූෂණය ඒ අතරින් විශේෂ යි.

ඉන්දියාවේ ගොවි අරගලය යනු වසරක් පුරා අඛණ්ඩ ගෙන ගිය සාමුහික ප්‍රයත්නයක් – www.thenewsminute.com

 අභියෝගවල ස්වභාවය කුමක් වුවත්, ඉන්දියාවේ ගොවි අරගලය ඒ කිසිවකින් නවත්වන්නට හැකි වුණේ නැහැ. දේශපාලනයෙන් සහ සොබාදහමෙන් පැමිණි අපමණ ගැහැට එකින් එක ගෙවා දමමින් ඉන්දියාවේ ගොවි ප්‍රජාව පසුගිය සිකුරාදා (නොවැම්බර් 19) සුවිශේෂී ජයග්‍රහණයක් අත්පත් කර ගත්තා. ඒ ආන්දෝලනාත්මක කෘෂිකාර්මික ප්‍රතිසංස්කරණ යෝජනා හකුළා ගන්නට ඉන්දීය අගමැති හෙවත්, නරේන්ද්‍ර මෝදි  තීරණය කිරීමත් සමඟ යි. ඒ අනුව වසරක් පුරා පැවතුණු ඉන්දීය ගොවි අරගලය මෝදිගේ පසුබැසීමත් සමඟ අවසාන වේවි ද? මෝදි පියවරක් පසු පසට තැබුවේ පියවර කිහිපයක ඉදිරි පිම්මක් පනින්න ද? මේ ගැටලුවලට පිළිතුරක් සෙවීමට මත්තෙන් අරගලයේ පසුබිම සහ මෙතෙක් ඉන්දීය ගොවියන් පැමිණි  ගමන් මඟ මඳක් විමසා බලමු.   

මොනවද මේ ප්රතිසංස්කරණ?

ඉන්දීය ගොවියන් වසරක් මුළුල්ලේ විරෝධය පෑ කෘෂිකාර්මික ප්‍රතිසංස්කරණ, පනත් තුනක් හරහා ඉදිරිපත් කොට තිබුණා. එයින් එක් පනතක් සංශෝධිත පනතක් වූ අතර, ඉතිරි පනත් දෙක මෝදි ආණ්ඩුව අලුතෙන් ම පිහිට වූ ඒවා යි. එම පනත් තුන සංක්ෂිප්ත ව තේරුම් ගැනීමට දැන් උත්සහ කරමු.

1. කෘෂිකාර්මික නිෂ්පාදන වෙළඳපොළ කමිටු හෙවත් “මණ්ඩි” වලින් බැහැර ව  කෘෂි නිෂ්පාදන වෙළඳාම් කිරීමට අවසර ලබා දෙමින් ගෙන ආ ගොවි නිෂ්පාදන අලෙවි කිරීම සහ වාණිජකරණ (දිරි ගැන්වීම සහ ප්‍රවර්ධනය) පනත, 2020.

2. කොන්ත්‍රාත් පදනම මත කරන ගොවිතැන සඳහා නීතිමය රාමුවක් සැකසීම. එනම්, ව්‍යාපාරිකයන්ගේ අවශ්‍යතා අනුව වගා කිරීමේ පහසුකම් ඇති කරමින් ගොවියන් සහ ව්‍යාපාරිකයන් අතර ගිවිසුම් ගත කෘෂිකර්මාන්තය ප්‍රවර්ධනය කිරීම. මෙය ගොවියන් බලගැන්වීම සහ ආරක්ෂණය කිරීම සඳහා ගෙන ආ මිල සහතික කිරීම සහ ගොවිපළ සේවා පිළිබඳ පනත, 2020 යටතේ ආවරණය වෙනවා.

3. ධාන්‍ය වර්ග, මාෂ බෝග, අර්තාපල්, ළූණු, ආහාරයට ගත හැකි තෙල් බීජ සහ තෙල් වැනි ආහාර අත්‍යාවශ්‍ය භාණ්ඩ ලැයිස්තුවෙන් ඉවත් කරමින් ගෙන ආ අත්‍යාවශ්‍ය වෙළඳ භාණ්ඩ (සංශෝධිත) පනත, 2020. මෙමඟින් යුද්ධය, සාගතය, අසාමාන්‍ය ලෙස මිල ඉහළ යෑම, ස්වභාවික විපත්, යන කාරණාවල දී පමණක් අත්‍යාවශ්‍ය භාණ්ඩ ලැයිස්තුවෙන් ඉවත් කළ ඉහත ආහාර ද්‍රව්‍යවල සැපයුම සහ මිල නියාමනය සම්බන්ධයෙන් රජය මැදිහත් වෙනවා.

අරගලය වෙනුවෙන් දහස් සංඛ්‍යාත ගොවීන් මෙලෙස කඳවුරු බැඳගෙන සිටියා -themilitant.com 

පළමු පනතේ ගැටලුව 

 මෙම පනත් මඟින් බැලූ බැල්මට ම ඉන්දියාවේ ගොවියන්ට  සුබසෙත සැලසෙන බවක් පෙනී යනවා. පළමු පනතට අනුව කෘෂිකර්ම නිෂ්පාදන වෙළඳපොළ කමිටු (මන්ඩි) වලින් බැහැර ව කෙළින් ම සිය අස්වනු පිටතට විකිණීම සඳහා ගොවියන්ට ඉඩකඩ සැලසෙනවා. සාම්ප්‍රදායික ක්‍රමයට අනුව බොහෝ ගොවියන් තම නිෂ්පාදනවලින් වැඩි ප්‍රමාණයක් “මන්ඩි” නමැති රජය පාලනය කරන තොග වෙළඳපොළ ජාලයට ලබා දුන්නා. ඔවුන් ඒවා සහතික කළ අවම මිලකට (අවම ආධාරක මිල ලෙසත් හඳුන්වනවා.) ලබාදුන් අතර, මන්ඩි ක්‍රමය නිසා ඉන්දීය ගොවියන් තරගකාරී වෙළඳපොළින් ඈත් ව සිටියා. පළමු පනතට අනුව ගොවියන්ට තරගකාරී වෙළඳපොළ විවෘත වන අතර, පුද්ගලික ගැනුම්කරුවන්ට සිය නිෂ්පාදන අලෙවි කළ හැකි වනවා.

 ගොවියන් මෙය දුටුවේ පුද්ගලික සමාගම්වලට තම ඉරණම තීරණය කිරීමට ඉඩ දෙන උත්සාහයක් ලෙසට යි. පුද්ගලික වෙළඳපොළ කෘෂි නිෂ්පාදන සම්බන්ධයෙන් අවිධිමත් ලෙස ක්‍රියාත්මක වන බවට වූ විශ්වාසය නිසා ගොවියන් මන්ඩි ක්‍රමය තුළ පවත්නා “අවම ආධාරක මිල” මත විශ්වාසය තැබීමට තීරණය කළා. එවිට මිල තීරණය කිරීමේ අයිතිය පුද්ගලික වෙළඳුන්ට හිමි වන්නේ නැහැ.

ගොවි අරගලය අතරතුර ගත් මෙම ඡායාරූපය සමාජ මාධ්‍ය හරහා විශාල ප්‍රසිද්ධියක් අත්කර ගත්තා – www.bbc.com

දෙවන පනතේ ගැටලුව

 කොන්ත්‍රාත් කෘෂිකර්මය හරහා සිය නිෂ්පාදන වෙළඳපොළට නිකුත් කිරීමේ අවකාශය ගොවියන්ට ලබා දීම මෙම පනත හරහා සිදු වෙනවා. එහිදී කෘෂි ව්‍යාපාරික ආයතන, සැකසුම්කරුවන්, තොග වෙළෙන්දන්, අපනයනකරුවන් හෝ  මහා පරිමාණ සිල්ලර වෙළෙන්දන් සමඟ ගිවිසුම් ගත වීමට ගොවියන්ට අවකාශ ලැබෙන අතර, වෙළඳපොළේ අනපේක්ෂිත අවදානම ගොවීන්ගේ අනුග්‍රාහකයන් මත පැවරීම සිදු වෙනවා. අලෙවි කිරීමේ පිරිවැය අඩු කිරීම, අතරමැදියන් ඉවත් කිරීමෙන් ගොවීන්ට සෘජු අලෙවිකරණයට අවස්ථාව සැපයීම, නවීන තාක්‍ෂණය වෙත ප්‍රවේශ වීමට ඉඩ ලබාදීම, යන වාසි මෙහි දී ගොවියන්ට ලැබෙන බව රජය පවසා සිටියා.

කොන්ත්‍රාත් පදනමට වගා කළහොත්, තමාට අවශ්‍ය දේ ඒ අයුරින් ම සමාගම් හරහා නොලැබිය හැකි බව ගොවීන් පවසනවා. සමාගම්වල නිර්ණායක සහ ඉලක්ක තෘප්තිමත් කිරීමට නොහැකි වීම හමුවේ සූරාකෑමට ලක් විය හැකි බව ගොවීන්ගේ විශ්වාසය යි. ව්‍යාපාරවල දී අවම පිරිවැයකින් වැඩි ලාභ උපයන නිසා අවම පහසුකම් යටතේ ගුණාත්මකභාවයෙන් ඉහළ කෘෂි නිෂ්පාදන සැපයීමේ දී ගැටලු පැන නැඟිය හැකි යි. කුඩා පරිමාණයේ ගොවියන් සමඟ සමාගම් කටයුතු කිරීමට අකමැත්තක් දක්වන නිසා දෙවන පනතේ ප්‍රායෝගිකත්වයක් ගොවීන් දකින්නේ නැහැ.

බාධක බිඳ හෙලමින් ඉදිරියට ඇදෙන ගොවි අරගලය – gulfnews.com 

තුන්වන පනතේ ගැටලුව

 කෘෂිකර්මාන්තය සමඟ රජය ඇතිකර ගත් බැඳීම වඩාත් දරුණු අවදානමකට ලක් වන්නේ තුන්වැනි පනතෙන් බව කියවෙනවා. ඉන්දීය රජයට අනුව මෙම පනත හරහා ව්‍යාපාරවලට පැනවූ අධික නියාමන සහ මැදිහත්වීම් ඉවත් වීමක් සිදු වෙනවා. එවිට ආයෝජන පිළිබඳ ව ඇති බිය පහ වී ගොවිපළ ආශ්‍රිත ව්‍යාපාර සඳහා පුද්ගලික අංශය ආකර්ෂණය වනු ඇති බව රජය අපේක්ෂා කරනවා. පසු අස්වනු තාක්ෂණය දියුණු කිරීමෙන් කෘෂි නිෂ්පාදන අපතේ යාම අවම කොට තරඟකාරී වෙළඳපොළක් ඇති කිරීමත් මෙහි අරමුණු අතර තිබෙනවා.  ගොවීන් තෙවන පනතටත් දැඩි විරෝධයක් දක්වනවා.

 පනතට අනුව අත්‍යවශ්‍ය භාණ්ඩ ලැයිස්තුවෙන් ඉවත් කළ කෘෂි නිෂ්පාදනවල සැපයුම් සහ මිල නියාමනය සඳහා රජය මැදිහත්වන්නේ දුෂ්කරත ම අවස්‍ථාවල දී පමණ යි. අනෙකුත් සෑම අවස්ථාවකදී ම මිල නියාමනය සම්බන්ධයෙන් වගකීම දරන්නේ සිදු වන්නේ ව්‍යාපාරික ප්‍රජාවට යි. ඔවුන් ඉතාමත් අසාධාරණ ලෙස ක්‍රියා කිරීමට වඩාත් ඉඩ ඇති බව ගොවීන් විශ්වාස කරනවා. ඔවුන් සිත්සේ අත්‍යාවශ්‍ය ලැයිස්තුවෙන් ඉවත් කළ කෘෂි භාණ්ඩවල මිල ඉහළ දැමීමට ඉඩ ඇති අතර, විශාල සමාගම්වලට නිෂ්පාදන ගබඩා කර තබා ගැනීමේ නවීන පහසුකම් තිබෙන නිසා ගොවියන් ගෙන් ඉතා අඩු මුදලකට කෘෂි නිෂ්පාදන ලබා ගැනීමේ අවදානමකුත් තිබෙනවා.

රතු බළකොටුව ඉදිරිපිට විරෝධතාවයේ යෙදෙන ගොවීන් – gulfnews.com

මේ සියලු අවාසි සහගත තත්ත්වයන් සැලකීමෙන් සහ පනත්වලට එල්ල වූ විරෝධය දිගින් දිගට ම නොසලකා හරිමින් රජය දැඩි ප්‍රතිපත්තියක සිටි නිසා ගොවි සංවිධාන දැවැන්ත අරගලයක් ඇරඹුවා. ගැටලු පැන නඟින බව දැන සිටියත්, නව දිල්ලිය වැටලීමට තරම් දසතින් එන ගොවි සේනාවක් මෝදිගේ රජය අපේක්ෂා කළේ නැහැ.  

ගොවීන් මාර්ග අවහිර කරයි!

 කෘෂිකාර්මික පනත් තුන සම්බන්ධයෙන් නරේන්ද්‍ර මෝදිගේ කැබිනට් මණ්ඩලය නිල වශයෙන් අදහස් දක්වන්නේ 2020 ජූනි 20 වැනිදා යි. සැප්‍තැම්බර් 17 වැනිදා ඉන්දියාවේ පහළ මන්ත්‍රී මණ්ඩලය පනත් සම්මත කිරීමත් සමඟ විරුද්ධ පක්ෂ සහ ගොවි සංවිධාන සිය විරෝධය දැක්වීම ඇරඹුවා. ඒ අතර ආහාර සැකසුම් අමාත්‍ය හර්සිම්රත් කෞර් බදාල්, අදාළ පනත් “ගොවි විරෝධි” යැයි පවසමින් ඉල්ලා අස්වීම විශේෂ සිදුවීමක් වුණා.

 සැප්තැම්බර් 20 වැනිදා වර්ධනය වන විරෝධ නොතකා පාර්ලිමේන්තුව පනත් සම්මත කළා. ඉන්පසු ඉන්දියාවේ තිරිඟු, සහල් මහා පරිමාණයෙන් නිෂ්පාදනය කරන ඇතැම් ප්‍රාන්තවල ගොවීන් දුම්රිය මාර්ග අවහිර කරමින් විරෝධතා දැක් වූ අතර, ට්‍රක් රථ, ට්‍රැක්ටර්, අස්වනු නෙළන යන්ත්‍ර සමඟින් නව දිල්ලිය කරා දිවෙන මහා මාර්ග පවා අවහිර කිරීමට ඔවුන් ක්‍රියා කළා.

පූජකයෙක් සියදිවි නසා ගනී

 රජය සමඟ අසාර්ථක සාකච්ඡා ගණනාවකින් පසු ගොවි සංවිධාන දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් කැඳවීමත් සමඟ ඉන්දියාව පුරා ගොවි අරගලය පැතිරීම ඇරඹුණා. විරෝධතා අතරතුර එක්තරා සීක් ජාතික පූජකයෙක් සියදිවි නසා ගත් නිසා අරගලය අතිශයින් තීව්‍ර ස්වභාවයකට හැරුණා. ඊට පසුවදා, එනම්, දෙසැම්බර් 17 වැනිදා සීක් ඩයස්පෝරාවත් ගොවි අරගලයට සහය දක්වමින් ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර විරෝධතා රැලියක් පැවැත්වූවා. එහි උත්තේජනයක් ලෙස ලොව පුරා විවිධ නගර 50 ක පමණ අරගලයට සහාය දක්වමින් විරෝධතා පැවැත්වුණා.

ලන්ඩනයේ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය අසළ එක්රැස් වූ ඉන්දියානුවන් ගොවි අරගලයට සහය දක්වමින් – www.thehindu.com 

දෙසැම්බර් 21 වැනිදා පටන් ගොවි නායකයෝ පැය 24 බැගින් මාරුවන ක්‍රමයට උපවාසයක් ඇරඹුවා. මහා මාර්ගවල එළිමහනේ කඳවුරු බැඳගනිමින් මෙම උපවාසයන් ඇරඹූ නිසා ගොවීන් 30 කට වැඩි පිරිසක් අධික ශීතල හමුවේ මිය ගියා.  

ජනරජ දිනයේ දී දිල්ලිය වටල යි!

 ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය ගොවීන් ආරක්ෂා කිරීමට අවශ්‍ය බවත්, ඔවුන්ගේ විරෝධතාවලට සවන් දෙන බවත් පවසමින්, නව කෘෂිකාර්මික නීති ක්‍රියාත්මක කිරීම දින නියමයකින් තොර ව අත් හිටුවීමට 2021 ජනවාරි 12 වැනිදා නියෝග කළා. ජනවාරි 26 වැනිදා, එනම්, ඉන්දියාවේ ජනරජ දිනයේ දී ගොවීන්, පොලිසිය එල්ල කළ පීඩනය නොතකා මාර්ග බාධක බිඳ හෙළමින් නව දිල්ලියේ ඓතිහාසික රතු බළකොටු සංකීර්ණය ආශ්‍රිත ප්‍රදේශයට කඩා වැදුණා. පොලිසිය කදුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළත්, ඔවුන්ගේ වෑයම අසාර්ථක වූ අතර, විරෝධතා ක්‍රම ක්‍රමයෙන් ප්‍රචණ්ඩ වීම ඇරඹුණා. එයින් නගරය පුරා පොලිස් නිළධාරීන් 86 දෙනෙක් පමණ තුවාල ලැබුවා.

ග්‍රේටා, රියානා පෙරට..

වැඩි කලක් යාමට මත්තෙන් ඉන්දියාවේ ගොවි අරගලය ජාත්‍යන්තර අවධානයට පාත්‍ර වූ අතර, ලෝක ප්‍රසිද්ධ චරිත පවා අරගලයට සහය දක්වමින් සමාජ මාධ්‍ය වල මත පළ කොට තිබුණා. ජනප්‍රිය ගායිකාවක් වන රියානා “#FarmersProtest” යන හෑෂ්ටෑගය යටතේ “ඇයි අපි මේ ගැන කතා නොකරන්නේ?” යනුවෙන් ට්වීටර් සටහනක් පළ කොට තිබුණා. පාරිසරික ක්‍රියාකාරිණියක් වන ග්‍රේටා තුන්බර්ග්, එක්සත් ජනපදයේ උප ජනාධිපති ධූරය හොබවන කමලා හැරිස්ගේ ඥාතිවරියක් වන මීනා හැරිස් ද සහාය දක්වන්නන් අතර සිටියා.

ජනප්‍රිය ගායිකා රියානාගේ ට්විටර් සටහන – www.gulftoday.ae

 කොවිඩ් වසංගතය සහ ඉන්දියාව කලින් කලට මුහුණ දෙන ආන්තික කාලගුණික විපර්යාස හමුවේ ගොවියන් බොහෝ දෙනෙක් විරෝධතා අතරතුර මිය ගියා. නමුත්, ගොවි අරගලය දිගින් දිගට ම සක්‍රීය තත්ත්වයෙන් පවත්වා ගැනීමට ඉන්දීය ගොවියන් ක්‍රියා කළා. උදාහරණයක් ලෙස පසුගිය සැප්තැම්බර් 5 වැනිදා උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ පැවැත්වූ පෙළපාලියට ගොවීන් 500,000 කට වැඩි පිරිසක් සහභාගී වුණා.

මෝදි පසුබැස්සේ ඇයි?

පසුගිය සිකුරාදා (නොවැම්බර් 19) මවිත කරවනසුලු නිවේදනයක් කරමින් නරේන්ද්‍ර මෝදි ආන්දෝලනාත්මක කෘෂි පනත් තුන හකුළා ගත්තා. පසුගිය මාස කිහිපය තුළ ගොවි ප්‍රජාවගේ ඉල්ලීම්වලට යන්තමින් හෝ භාරතීය ජනතා පක්ෂය ප්‍රමුඛ ආණ්ඩුව සංවේදී නොවීම මවිතයට හේතුව ලෙස දක්වන්න පුළුවන්. අගමැති සහ අනෙකුත් ඇමතිවරුන් පුන පුනා කියා සිටියේ නව කෘෂි පනත් හරහා ගොවියන්ට සුබසෙත සැලසෙන බව යි.

 මෝදිගේ හදිසි තීරණය විශාල ජයග්‍රහණයක් ලෙස ගොවි සංගම් සැලකුවත්, ඒ පිටුපස ඇති කාරණා දෙකක් ගැන විශ්ලේෂකයන් අවධානය යොමු කොට තිබෙනවා. පසුගිය ඔක්තෝබරයේ දී එක්තරා අමාත්‍යවරයකුගේ පුත්‍රයෙක් උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයට අයත් ලකිම්පූර් හි විරෝධතාවේ යෙදී සිටි ගොවීන් පිරිසක් වෙතට සිය වාහනය පැදවීම පළමු කාරණය යි. එයින් ගොවීන් සහ මාධ්‍යවේදියෙක් ඇතුළුව අට දෙනෙක් මිය ගිය අතර, රජය කෙරෙහි ගොවින්ගේ වෛරය තවත් ප්‍රබල වීමට එම සිදුවීම හේතු වුණා.

අධික රාත්‍රී ශීතල සහ කොවිඩ් පිටුපසින් එන මාරයා සමඟ පො‍ර බඳමින් වසරක් පුරා යුක්තිය වෙනුවෙන් ඔවුන් සටන් කළා – www.forbesindia.com 

 දෙවැනි කාරණය වන්නේ පන්ජාබ්, උත්තර් ප්‍රදේශ් සහ උත්තර්කාන්ද් ප්‍රාන්තවල ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ප්‍රාන්ත මැතිවරණය යි. මෙම ප්‍රාන්ත ඉන්දීය කෘෂිකර්මාන්තයේ වැදගත් භූමිකාවක් ඉටු කරන ප්‍රදේශ වන අතර, ඡන්ද දායකයන් විශාල ගණනක් වෘත්තියෙන් ගොවියන් වෙනවා. පවතින රජය ගැන ගොවියන් අප්‍රසාදයට පත් ව සිටින නිසා ප්‍රාන්තවල මුල් බැස ගෙන සිටින ප්‍රාදේශීය පක්ෂවල බලය වැඩි වීම වැලැක්විය නොහැකි යි. එය භාරතීය ජනතා පක්ෂයට විශාල අවාසියක් ද වෙනවා. මේ සියලු කාරණා සැළකිල්ලට ගනිමින් නරේන්ද්‍ර මෝදි පියවරක් පසු පසට ගිය බව සිතිය හැකි යි.

කෙසේ නමුත්, රජයේ හදිසි තීරණය ගැන ගොවි සංවිධාන අවධානයෙන් පසු වෙනවා. ඉදිරි පාර්ලිමේන්තු සැසිවාරයක දී නිල වශයෙන් ආන්දෝලනාත්මක පනත් තුන බල රහිත කරන තුරු විරෝධතාව පවත්වා ගැනීමට ගොවි නායකයන් කටයුතු කරනු ඇති. කෘෂි නිෂ්පාදනවල සහතික මිල සම්බන්ධයෙන් රජයෙන් අමතර පොරොන්දුත් ඔවුන් බලාපොරොත්තු වෙනවා. නරේන්ද්‍ර මෝදි සැබෑ ලෙසට ම පසු බැස්සා ද යන්න වග තේරුම් ගැනීමට නම් ඉදිරි ප්‍රාන්ත මැතිවරණ අවසාන වන තුරු බලා සිටීමට සිදු වේවි. ඒ අතරතුර රජය ගත් හදිසි තීරණයේ ඉදිරි ප්‍රගමනය උදෙසා ගොවි සංවිධාන සිදු කරන බලපෑම මත අරගලයේ සැබෑ ජයග්‍රහණය තීරණය වේවි.

කවරයේ ඡායාරූපය: ආන්දෝලනාත්මක කෘෂි පනත් තුන නිසා නරේන්ද්‍ර මෝදිගේ ජනප්‍රියත්වය දැඩි පසුබෑමකට ලක් ව තිබෙනවා - asia.nikkei.com

 මූලාශ්‍ර:

www.aljazeera.com

www.bbc.com/sinhala

 indianexpress.com

timesofindia.indiatimes.com

Related Articles