Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

වාහන උණු කරන වෝකි – ටෝකී බිල්ඩිම

ඉතාමත් ප්‍රසිද්ධ මෙන්ම පැරණි නගරයක් වන ලන්ඩනය ලෝකයේ සුවිශේෂී ස්ථානයන් රැසකට නිවහනක්. අද මේ කියන්නේ ලන්ඩනයේ පිහිටන, ප්‍රශ්න රැසකට මුල් වුණු ගොඩනැගිල්ලක් ගැන. ලෝකය පුරා ඇති, අන්තර්ජාතික වශයෙන් වැදගත් ගෘහ නිර්මාණයන් පිළිබඳව තොරතුරු ඔබට ලබාදෙන ලිපි පෙලේ මේ තවත් එක් ලිපියක්.

වෝකි-ටෝකි ගොඩනැගිල්ල තැනීමට පෙර

වෝකි-ටෝකී කියන්නේ 20, ෆෙන්චර්ච් වීදිය යන ගොඩනැගිල්ල හඳුන්වන අන්වර්ත නමයි. එහි ලිපිනය පදනම් කරගෙන ඒ ගොඩනැගිල්ලට මේ නම ලැබී තිබෙනවා. මෙම ගොඩනැගිල්ල ඉදිකිරීමට පෙර මෙම ස්ථානයේ පැවති ගොඩනැගිල්ලත් ඉතා වැදගත් එකක්. එය නිර්මාණය කර තිබුණේ එක්සත් රාජධානියේ ප්‍රසිද්ධ සමාගමක් වන “Land Securities” නම් ඉදිකිරීමේ සමාගම විසිනුයි. 1968 වසරේ නිර්මාණය වුණු එය විලියම් රොජර්ස් නම් ගෘහ නිර්මාණ ශිල්පියා අතින් නිමවූවක්. දෙවන ලෝක යුද්ධයෙන් පසුව ලන්ඩන් නුවර නිර්මාණය වුණ උසම ගොඩනැගිලි අතරින් එකක් ලෙස සැලකුණු ඒ ගොඩනැගිල්ල එකල මීටර් 91ක පමණ  උසකින් යුතු වූ අතර තට්ටු 25කින් සමන්විත වුණා. එය 2008 වසරේ කඩා ඉවත් කෙරුණේ එම ස්ථානයේ අලුත් ගොඩනැගිල්ලක් ඉදිකිරීමට යි.

ගොඩනැගිල්ල සාදන අතරතුර –  ( dailymail.co.uk)

පරණ සමාගම අලුත් ගොඩනැගිල්ලත් තනයි

මෙම ස්ථානයේ කලින් ගොඩනැගිල්ල ඉදිකරන ලද “Land Securities” සමාගම 2007 වසර වනවිට බ්‍රිතාන්‍යයේ ප්‍රමුඛතම ගොඩනැගිලි ඉදිකිරීම් සමාගමක් බවට පත්ව සිටියා. ඒ නිසා එහි ඉදිකෙරෙන අලුත් ගොඩනැගිල්ල නිර්මාණය කිරීම සඳහා ඔවුනුත් අයදුම්පත් ඉදිරිපත් කර තිබුණා. ඔවුන් විසින් එයට ඉදිරිපත් කරන ලද, වර්ග මීටර් 5575 ක වපසරියකින් සහ මීටර් 220ක පමණ උසකින් යුතු ගොඩනැගිල්ලක් සඳහා වූ සැලසුම අනුමත වුණා. කාර්යාලයන්ට අමතරව අවන්හල්, සහ ලන්ඩනයේ වැඩිම උසින් පිහිටි පොදු උද්‍යානයත් සැලැස්මට ඇතුළත් වුණා.

රෆායල් විනෝලි

මේ සුවිශාල ගොඩනැගිල්ල සැලසුම් කළ ගෘහ නිර්මාණ ශිල්පියා රෆායල් විනෝලියි. 1983 දී ඇරඹුණු “රෆායල් විනෝලි ගෘහනිර්මාණ සමාගමේ” ආරම්භකයා වන්නේ මොහුයි. මෙම සමාගමේ ශාඛා නිව් යෝක්, ලන්ඩන්, අබුඩාබි යන නුවරවලත් ස්ථාපිතව පවතිනවා.

විනෝලි 1968 වසරේ දී ඔහුගේ ගෘහ නිර්මාණ උපාධිය ඔහු සම්පූර්ණ කරන්නේ බුවනොස් අයර්ස් සරසවියෙන්. 1969 වසරේ දී ඔහු තම පශ්චාත් උපාධිය සම්පූර්ණ කරනවා. 1978 වසරේ දී ඔහු තමන්ගේ පවුල සමග නැවත වරක් එක්සත් ජනපදයේ පදිංචියට යන්නේ හාවඩ් විශ්වවිද්‍යාලයේ බාහිර කථිකාචාර්යවරයෙකු ලෙස රැකියා ලබා යි. විනෝලි 1979 වසරේ සිට නිව්යෝක් නුවර ස්ථිර පදිංචිකරුවෙක් වුණා.

oneriverpoint.com

බාධක මැද ඉහළට

වෝකි-ටෝකි ගොඩනැගිල්ල මුල් සැලසුම අනුව උස මීටර් 220ක් වුණු බව අප සඳහන් කළානේ. නමුත් එවිට ගොඩනැගිල්ල මඟින් සහශ්‍රකයක් පමණ පැරණි ශාන්ත පාවුළු ආසන දෙව්මැදුරේ දර්ශනයට බාධාවක් වන නිසා, එහි උස මීටර 160 කට හා තට්ටු 34කට අඩුකෙරුණා. මෙහි ඉදිකිරීම් 2009 වසරේ ආරම්භ වුණා.

මෙය වසර දෙකක් තුළ ඉදිකර නිමවීමට සැලසුම්කර තිබුණ ද එය නියමිත කාලයට නිමා කරන්නට නොහැකි වුණා. ගොඩනැගීම ආරම්භ කළ මුල් කාලයේ බිමේ වැඩකටයුතු හා නල එලීමේ කටයුතු කලට වෙලාවට නිසියාකාරව නිමවුණු නමුත්, යුරෝපයට බලපෑ දරුණු ආර්ථික අවපාතය නිසා මෙම ගොඩනැගිල්ලේ කටයුතු නතර වුණා. එනිසා ගොඩනැගිල්ලේ පාදමේ වැඩ කටයුතු 2011 ජනවාරි මාසය වනවිටත් ආරම්භ වී තිබුණේ නෑ. 2011 වසර අවසාන වනවිට ගොඩනැගිල්ල කෙමෙන් කෙමෙන් ඉහළට නැගීම ආරම්භ වුණා. වානේ සැකිල්ලේ වැඩකටයුතු 2012 වසරේ අවසාන වනවිට සම්පූර්ණ කෙරුණු අතර, ඉදිකිරීම් නැවත සාමාන්‍ය අයුරින් සිදුවීමට පටන් ගත්තා. නමුත් මේ වෙනුවෙන් යොදාගන්නා ලද වීදුරු නිසා ප්‍රදේශයේ උෂ්ණත්වය බලපොරොත්තු නොවූ ලෙස ඉහළ යාමෙන් නොයෙක් බරපතල ගැටළු මතුවුණා. ඒ අවට නවතා තබන ලද වාහන, ගොඩනැගිල්ලට හිරු එළිය වැටීමත් සමග ඉහළ ගිය වීදුරු වල උෂ්ණත්වය නිසා උණු වී ගොස් තිබුණා. මේ හේතූන් නිසා එම ගොඩනැගිල්ල අවට තිබූ වාහන නැවතුම් අංගන කිහිපයක් පවා නගර බලධාරීන් විසින් අහෝසි කරනු ලැබුවා. යම් තාක්ෂණික ක්‍රමවේදයක් මඟින් පසුව එම හිරු එළිය නිසා වන බලපෑම අවම කරන්නට කටයුතු සැලසුම් කෙරුණා. 2014 මැයි මාසයේ මේ ගොඩනැගිල්ලේ කාර්යාල ඉදිකිරීමේ කටයුතු ආරම්භ වූ අතර 2014 අගෝස්තු වනවිට ගොඩනැගිල්ලේ වැඩ අවසන් වුනා.

රස්නයට මෙලෙක් වන වාහන – (nbcnews.com)

මෙය සාදා නිමකර වැඩි කාලයක් යන්නට මත්තෙන් Building Design සඟරාව මඟින් පිරිනමන සම්මානයක් දිනාගන්නට එය සමත්වුණා. ඒ කාබන්කල් සම්මානය යි. ඒ සම්මානය පිරිනමනු ලබන්නේ පසුගිය මාස 12ක කාලය තුළ එක්සත් රාජධානියේ නිර්මාණය වූ අවලස්සනම ගොඩනැගිල්ල සඳහා යි. එසේම එහි ඉහළ මහල්වල නිර්මාණය කරන ලද පොදු උද්‍යානයට පිවිසීමට මහජනයාට තිබූ බාධා නිසා එය ඇත්ත වශයෙන්ම පොදු උද්‍යානයක් ද යන ප්‍රශ්නයත් පැන නැඟුනා. තව ද මෙම ගොඩනැගිල්ල නිසා පහළ වීදියේ හමායන සුළඟේ වේගය අසාමාන්‍ය අයුරින් ඉහළ ගිය බවට ද චෝදනාවක් එල්ල වුණා.

හිරු එලිය පරාවර්තනය වෙමින්  (adsttc.com)

කෙසේ නමුත් මෙම ගොඩනැගිල්ල පසුගිය වසරේ දී ඔයිස්ටර් සෝස් නිපදවන හොංග් කොංග් සමාගමක් විසින් යූරෝ බිලියන 1.3ක් තරම් වූ වර්තාගත මුදලකට මිලදීගෙන තිබුණා.

කවරය – The New York Times

මූලාශ්‍රයයන්:

www.insider-london.co.uk

Londontopia.net

www.skyscrapercenter.com

www.bbc.com

Related Articles