Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

පෝලන්ත රජුන්ගේ මහගෙදර: වාවල් මාළිගය

මධ්‍යම යුරෝපයට අයත් රටවල් අතුරින් එකක් වන පෝලන්තයට ඇත්තේ දීර්ඝ ඉතිහාසයක්. මේ හේතුවෙන් පෝලන්තයේ ඇතැම් පැතිවල පෞරාණික වටිනාකමකින් යුත් ගොඩනැගිලි බොහෝ දක්නට ලැබෙනවා. ඒ අතරින් සමහර ගොඩනැගිලිවල වැදගත්කම සලකා ඒවා සංරක්ෂණය කිරීමට පෝලන්ත රජය කටයුතු කර තිබෙනවා. 

සංරක්ෂණය කර තිබෙන පෞරාණික ගොඩනැගිලි අතරින් ක්‍රකෝව් නගරයේ වාවල් රාජකීය මාළිගයට හිමිවන්නේ ප්‍රමුඛස්ථානයක්. ඒ, යුනෙස්කෝව විසින් නම් කරන ලද මුල්ම ලෝක උරුමයන් කිහිපය අතරට මෙම මාළිගය ද අයත්වීම නිසා යි. අද වන විට කෞතුකාගාරයක් ලෙසින් පවත්වාගෙන යන මෙම ඓතිහාසික ස්ථානය ලොව පුරා සිටින සංචාරකයන් අතර ජනප්‍රිය යි. 

වාවල් රාජකීය මාළිගයේ ඉතිහාසය

වර්තමාන වාවල් මාළිගය තිබෙන ස්ථානයේ මුල්ම වරට කුඩා මාළිගයක් ඉදිකළේ බොල්ස්ලෝ ක්‍රොබි නම් රජතුමා යි. පසුව කසිමියර්ස් වේල්කි නම් රජතුමා එම කුඩා වාසස්ථානය විශාල බලකොටුවක් බවට පත්කළා. එම බලකොටුව නිර්මාණය කරන ලද්දේ ගොතික් ගෘහ නිර්මාණ ශිල්ප ක්‍රමයට අනුව යි. මේ අලංකාර බලකොටුව 1499 වසරේ දී ගින්නෙන් විනාශ වුණා. ඉන් අනතුරුව බලයට පත්වුණු සිග්මන්ට් ස්ටාරි නම් රජතුමා වසර 30ක පමණ කාලයක් තුළ දී විනාශ වුණු වාවල් මාළිගය හැකි අයුරින් ප්‍රතිසංස්කරණය කළා. මාළිගයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකිරීම සඳහා යොදාගත්තේ ඉතාලි ගෘහ නිර්මාණ ශිල්පීන්. 

1595 වසරේ දී මෙම මාළිගයේ ඊසානදිග කොටස යළි ගින්නෙන් විනාශ වුණා. ඒ වන විට එම මාළිගය භාරව සිටියේ සිගිස්මන්ඩ් වාසා නම් රජතුමා යි. එදා වාසා රජතුමා මාළිගය යළි අලුත්වැඩියා කිරීම භාර කළේ ජියෝවානි ට්‍රෙවානෝ නම් ශිල්පියාට යි. ඔහු මාළිගයේ අලුත්වැඩියා කටයුතු සිදුකළත් එය යථා තත්ත්වයට පත්කිරීමට හැකිවුණේ නැහැ. ඒ සමගම වාවල් රාජකීය මාළිගය අත්හැර දැමුනා. නමුත් පෝලන්තයේ රජකම් කළ ඇතැම් රජවරුන් මෙම මාළිගය පිළිබඳව සොයා බැලුවා. ඒ අතරින් ජෝන් සොබිස්කි, ස්ටැනිස්ලස්, සහ ඔගස්ටස් යන රජවරු මෙහි විවිධ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකළා. 18 වන සියවස අවසානය වන විට ඔස්ට්‍රියානු හමුදා මෙම මාළිගය අල්ලාගත්තා. ඔවුන් මෙම මාළිගයේ කොටස් හමුදා බැරැක්ක, ගබඩා, සහ රෝහල් බවට පත්කළා. එම නිසා මාළිගය විනාශයට පත්වුණා. 

මෙම රාජකීය මාළිගය පිළිබඳව පෝලන්ත ජාතිකයන්ගේ අවධානය යළි යොමුවුණේ 20 වන සියවසේ මුල් භාගයේ දී යි. පෝලන්ත සමාජ ක්‍රියාකාරීන් මහජනතාවගෙන් මුදල් එකතුකිරීමේ ව්‍යාපාරයක් ආරම්භ කළේ ඔස්ට්‍රියානු බලධාරීන්ගෙන් මෙම බලකොටුව යළි මිල දී ගැනීම සඳහා යි. 

වසර කිහිපයක් පුරාවට සිදුකළ මුදල් එකතුකිරීමේ ව්‍යාපාරය සාර්ථක වුණා.  අවසානයේ දී එකතු වුණු මුදල් ප්‍රමාණය ඔස්ට්‍රියානු ක්‍රෝන් මිලියන 3.5 ඉක්මවා ගියා. එම මුදල් ප්‍රමාණය වාවල් මාළිගය යළි මිලට ගැනීමට ප්‍රමාණවත් වුණා. ඒ අනුව 1918 වසරේ දී වාවල් බලකොටුවේ අයිතිය යළි පෝලන්තයට හිමිවුණා. එය පෝලන්ත වැසියන් ලබාගත් විශිෂ්ට ජයග්‍රහණයක් බවට පත්වුණා. 

වාවල් මාළිගයේ පැරණි ඡායාරූපයක් (Gettyimages)

වාවල් රාජකීය මාළිගය කෞතුකාගාරයක් බවට පත්වීම 

වාවල් රාජකීය මාළිගය යළි පෝලන්තයට හිමිවීමත් සමගම එය කෞතුකාගාරයක් කිරීමට එරට රජය තීරණය කළා. කෞතුකාගාරය ඉදිකිරීමේ කටයුතු ආරම්භ වුණා. එය කෙටි කලකින්ම මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත කිරීමටත් හැකිවුණා. එම අවධියේ දී වාවල් කෞතුකාගාරය නැරඹීම සඳහා පෝලන්ත වැසියන් නිතරම පැමිණියා. නමුත් දෙවන ලෝක යුද්ධය ආරම්භවීමත් සමග ජර්මන් හමුදාව පෝලන්තය ආක්‍රමණය කළා. ඒ සමගම වාවල් මාළිගයේ කෞතුකාගාරය ඔවුන් අතට පත්වුණා. 

යුද්ධය පැවති කාල සමය තුළ නාසි ප්‍රධාන ආණ්ඩුකාර හාන්ස් ෆ්රෑන්ක් මෙම රාජකීය මාළිගයේ වාසය කළා. එම වසර කිහිපය තුළ ඔහු මාළිගය තුළ විවිධ වෙනස්කම් සිදුකරමින් විනෝදාත්මක කටයුතු සඳහා යොදාගත්තා. 1945 වසර වන විට දෙවන ලෝක යුද්ධය අවසන් වුණා. ජර්මානුවන් ලද පරාජය නිසා යළි පෝලන්තයට නිදහස ලැබුණා. වාවල් මාළිගයේ කෞතුකාගාරය යළි මහජනතාවට විවෘත වුණා. මෙම කෞතුකාගාරය තුළ වසර ගණනාවක් පැරණි කෞතුක භාණ්ඩ එකතුවක් තිබෙනවා. 

කෞතුකාගාරය තුළ බැලීමට ඇති දේ

වාවල් කෞතුකාගාරය වෙත පිවිසෙන සංචාරකයන්ට එහි තිබෙන විවිධ කෞතුක භාණ්ඩ නැරඹීමේ අවස්ථාව හිමිව තිබෙනවා. 

වාවල් මාළිගයේ රාජකීය ලේඛනාගාරය 

වාවල් රාජකීය මාළිගයේ ජීවත් වුණු රාජකීයයන් භාවිතා කළ ලිපිගොනු, අත් පිටපත් වැනි දේවල් මෙහි තැන්පත් කර තිබෙනවා. එසේම මාළිගයේ ඉතිහාසයට සම්බන්ධ ඡායාරූප, පෝස්ටර්, චිත්‍රපට වැනි දේවල් ඇත්තේ ද මෙම කුටිය තුළ යි. 

පිඟන් භාණ්ඩ එකතුව 

අතීතයේ සිට මෙම මාළිගය තුළ වාසය කළ රාජකීයයන් භාවිතා කළ පිඟන් භාණ්ඩ මෙම එකතුවට අයත්. ඒ අතර පෝසිලේන්, ලන්දේසි ඩෙල්ෆ්, ග්‍රීක සෙරමික්, වාවල් හිල්, සහ බැරොක් යන වර්ගවලට අයත් පිඟන් භාණ්ඩ දක්නට ලැබෙනවා.

මාළිගයේ දක්නට ලැබෙන පිඟන් භාණ්ඩ (Luksusowe Hotele)

සිතුවම් සහ කැටයම්   

වාවල්  මාළිගය නැරඹීමට යන සංචාරකයන් එහි තිබෙන පැරණි සිතුවම් සහ කැටයම් නැරඹීමට කැමැත්තක් දක්වනවා. විවිධ අවධිවල දී මාළිගයේ පිහිටීම සම්බන්ධ සිතුවම්, රාජකීයයන් සම්බන්ධ සිතුවම්, ආගමික සිතුවම්, මිත්‍යා සිතුවම්, සදාචාරාත්මක චරිතවල සිතුවම්, භූ දර්ශන සිතුවම්, සාගරය සම්බන්ධ සිතුවම් මෙම මාළිගය තුළ දී දැකගන්නට පුළුවන්. එසේම විවිධ ආකාරයේ කැටයම් එකතුවක් ද මෙහි තිබෙනවා. 

වාවල් මාළිගයේ ඇති සිතුවමක් (Luksusowe Hotele)

ගෘහ භාණ්ඩ සහ ලෝහ භාණ්ඩ 

මධ්‍යකාලීන යුගයේ සිට 20 වන සියවස දක්වා මෙහි ජීවත්වුණු පුද්ගලයන් පරිහරණය කළ ගෘහ භාණ්ඩ එකතුවක් මෙම මාළිගය තුළ ප්‍රදර්ශනය කරනවා. එසේම තඹ, පිත්තල, සහ ලෝකඩ යන ලෝහවලින් සාදන ලද අලංකාර ලෝහ භාණ්ඩ එකතුවක් මෙම කෞතුකාගාරයේ දී දැකගන්නට පුළුවන්. 

ලෝහ භාණ්ඩයක් (Luksusowe Hotele) 

පැරණි ආයුධ එකතුව 

13 සහ 14 වන සියවසේ සිට මෙම මාළිගයේ ජීවත් වුණු රාජකීයයන් භාවිතා කළ විවිධ අවි ආයුධ ඇතුළත් කුටියක් වාවල් මාළිගය තුළ දක්නට ලැබෙනවා. එම ආයුධ අතුරින් සුවිශේෂී ආයුධය වන්නේ ෂාසර්බම් නම් කිරීටයේ කඩුව යි. 

කිරීටයේ කඩුව (Luksusowe Hotele)

වීදුරු සහ රෙදිපිළි

18 වන සියවසේ දී පෝලන්තයේ මැග්නේට් කාර්මාන්තශාලාවල සාදන ලද වීදුරු සහ බටහිර යුරෝපීය රටවල්වල සාදන ලද අලංකාර වීදුරු භාණ්ඩ මෙහි ඇති වීදුරු භාණ්ඩ එකතුවේ දැකගන්නට පුළුවන්. එසේම රාජකීයයන් භාවිතා කළ රෙදිපිළි, වියානා සටනින් සොබිස්කි රජුගේ හමුදාවන් අල්ලාගත් තුර්කි කූඩාරම් සහ බැනර් එකතුවක්, පැරණි කලාල එකතුවක් වාවල් කෞතුකාගාරය තුළ දක්නට ලැබෙනවා.

අලංකාර වීදුරු භාණ්ඩ (Luksusowe Hotele)

ඔරලෝසු එකතුව 

මෙම ඔරලෝසු එකතුවේ 16 සහ 17 වන සියවස්වලට අයත් ඔරලෝසු දක්නට ලැබෙනවා. මේ එකතුව පෙන්ඩලම් ඔරලෝසු, බිම් ඔරලෝසු, ගිනි උඳුන් ඔරලෝසු, පොකට් ඔරලෝසු, උළු ඔරලෝසු, කැබිනට් ඔරලෝසු සහ සංචාරක ඔරලෝසු වැනි විවිධ ඔරලෝසු වර්ගවලින් සමන්විත යි. 

මාළිගය තුළ ඇති පැරණි ඔරලෝසුවක් (Luksusowe Hotele)

 රන් සහ රිදී භාණ්ඩ 

වාවල් රාජකීය මාළිගය තුළ වාසය කළ පෝලන්ත රජවරුන්ගේ නියමය පරිදි නිපදවන ලද වටිනා රන් සහ රිදී භාණ්ඩ එකතුවක් මෙහි තිබෙනවා. කෞතුකාගාරය නැරඹීමට එන සංචාරකයන්ගේ ආකර්ෂණය වැඩිපුර දිනාගන්නා කෞතුක භාණ්ඩ අතරට මෙම රන් සහ රිදී භාණ්ඩ එකතුව ද ඇතුළත් වනවා. 

වටිනා රන් සහ රිදී භාණ්ඩ (Luksusowe Hotele)   

කෞතුකාගාරය සංචාරකයන්ට පෙන්වන්නේ මෙහෙමයි 

වාවල් කෞතුකාගාරය නැරඹීමට එන සංචාරකයන්ට එහිදී ප්‍රදර්ශන 5ක් නරඹන්නට පුළුවන්. එම ප්‍රදර්ශන ඇසුරින් මාළිගයේ ඉතිහාසය, ගොඩනැගීමට භාවිතා කළ සුවිශේෂී ශිල්පීය ක්‍රම, මාළිගය අතුළත් කොටස් පිළිබඳව විස්තර, කෞතුක භාණ්ඩ පිළිබඳව විස්තර දැනගැනීමේ අවස්ථාව සංචාරකයන්ට හිමිවනවා.

සංචාරකයන්ට ඉදිරිපත් කරන මුල්ම ප්‍රදර්ශනයෙන් මාළිගයේ ඉතිහාසය, ගොඩනැගුණු ආකාරය, මධ්‍යකාලීන යුගයේ දී ගොතික් සම්ප්‍රදාය අනුව මෙම මාළිගය ගොඩනැගුණු ආකාරය වැනි දේවල් ඉදිරිපත් කරනවා.

දෙවන ප්‍රදර්ශනයෙන් රජයේ කාමර තුළ තිබෙන දේවල් පිළිබඳව දැනුමක් ලබාදෙනවා. එම කාමර තුළ වටිනා ඉතාලි ගෘහ භාණ්ඩ, අලංකාර සිතුවම් සහ පටි වර්ග, ස්ටූකෝ සිවිලිම් වැනි සුවිශේෂී දේ දක්නට ලැබෙනවා.

තෙවන ප්‍රදර්ශනය වෙන්වන්නේ රාජකිය පෞද්ගලික මහල් නිවාස පෙන්වීම සඳහා යි. එම නිවාස තුළ ඇති දේවල් නැරඹූ සංචාරකයෙකුට අතීතයේ දී වාවල් මාළිගයේ වාසය කළ රාජකීයයන් ගෙවූ සුඛෝපභෝගි ජීවිතය පිළිබඳව අවබෝධයක් ලබාගන්නට පුළුවන්. 

සිව්වන ප්‍රදර්ශනය මඟින් වටිනා ආභරණ සහ අවි ආයුධ දැකබලාගන්නට පුළුවන්. ඒ අනුව මෙම ප්‍රදර්ශනය නැරඹීමෙන් අතීතයේ දී වාවල් මාළිගයේ ජීවත් වුණු රාජකීයයන් පැළඳි ආබරණ සහ භාවිතා කළ ආයුධ පිළිබඳව දැනුමක් ලබාගන්නට පුළුවන්. 

මාළිගය තුළ තිබෙන විශේෂ කෞතුක භාණ්ඩ එකතු කිහිපයක් නැරඹීමේ අවස්ථාව පස්වන ප්‍රදර්ශනය මඟින් හිමිවනවා. ඒ සඳහා ඔරලෝසු, රෙදිපිළි, වීදුරු, ලෝහ භාණ්ඩ වැනි දේවල් ඇතුලත් වනවා.

වාවල් මාළිගය ඇතුළත් දර්ශනයක් (gettyimages)

පෝලන්තයේ වාවල් මාළිගය එරට ඉතිහාසය පිළිබඳව ලොවටම පෙන්විය හැකි අපූරු ස්ථානයක්. එම නිසා වාවල් මාළිගය 1978 වසරේ දී යුනෙස්කෝ සංවිධානය ප්‍රකාශයට පත්කළ මුල්ම ලෝක උරුම ලැයිස්තුවට ද ඇතුළත් වුණා. එහි ප්‍රතිඵලයක් වශයෙන් අනාගත පරපුරට දැකබලා ගැනීම සඳහා එය හොඳින් සංරක්ෂණය කර තිබෙනවා.

කවරයේ ඡායාරූපය- වාවල් මාළිගය පිටතට පෙනෙන අයුරු (gettyimages)

මූලාශ්‍රයයන්- Castles Today 

                         famouswonders.com 

Related Articles