මෙම ලිපිය ආරාධිත රචකයෙකු විසින් ලියැවුණකි.ඔබටත් අප හා ලිපි ලිවීමට අවශ්‍ය නම්, අපගේ ආරාධිත රචක කරළියට පිවිසෙන්න.

වර්තමානයේ ලෝකයා විසින් පුද්ගලයෙකු මරණයට පත් වූ පසු ඔහුගේ අවසන් කටයුතු තම සංස්කෘතියට අනුව උසස් අන්දමින් සිදු කරනු ලබයි. එහෙත් ලෝකයේ ඇතැම් ගෝත්‍රයන්, ජාතීන් සහ ජනකොටස්වල ජනතාව අතර තවමත් ඉතා පැරණි සහ අරුම පුදුම අවමංගල්‍යය සිරිත් විරිත් සිදුකරනු ලබයි. මේ ලිපිය, එවැනි අපට අරුම පුදුම ලෙස සැලකිය හැකි අවමංගල්‍ය චාරිත්‍රයන් රැසක් ගැන යි.

1. අහස් භූමිදානය

අහස් භූමිදානය/ beyondthedash.com

අහස් භූමිදානය කිරීමේ සම්ප්‍රදාය වසර දහස් ගණනක් පැරණි වන අතර අදටත් එය මූලික වශයෙන් ටිබෙටය, මොංගෝලියාව, සහ චීනයේ ඇතැම් ප්‍රදේශවල ක්‍රියාත්මක වේ. ටිබෙට් ජාතිකයෙකු මිය ගිය විට පවුලේ අය විසින් මියගිය පුද්ගලයා වටා ගිතෙල් ලාම්පු හෝ පහන් දල්වන අතර භික්ෂූන් වහන්සේලා දින තුනක් හෝ පහක් පුරා ශරීරයට ආශීර්වාද සිදු කරයි. මෙම කාලය තුළ ශරීරය ස්පර්ශ කිරීමක් සිදු නොකරයි. පවුලේ සාමාජිකයන් සහ ඥාතීන් කිසිවෙකු අවසන් දින අවමංගල්‍යයට සහභාගී නොවේ. ඒ වෙනුවෙන් ඔවුන් නිවසේ නැවතී යාඥාවන් සිදු කරනු ලබයි. අවසන් දිනයේ දී දේහය ඉතා උස් කඳු මුදුනක් හෝ සානුවක් වෙත ගෙන යයි. ඉන්පසුව උකුස්සන් හෝ ගිජුලිහිණියන් කැඳවීම සඳහා සුවඳ දුම් වැනි දෑ පිළිස්සීම සහ රබන් වැනි වාදන භාණ්ඩ වාදනය කරයි. අවසානයේ දේහය කුඩා කැබලිවලට කඩා පැමිණි කුරුල්ලන්ට කෑමට දමයි. 

ටිබෙට් බෞද්ධ ආගමට අනුව මෙම අවමංගල්‍ය ක්‍රමය ජීවිතයේ අනිත්‍යභාවය පිළිබඳ පාඩමක් සහ මතක් කිරීමක් මෙන්ම කුරුල්ලන් පෝෂණය කිරීමෙන් ශරීරය නොමසුරු බැහැර කිරීමට උත්සාහ කිරීමකි. ආගමේ අනුගාමිකයන්ට ශරීරය යනු ආත්මය සඳහා වූ යාත්‍රාවක් පමණක් වන අතර, ආත්මය හැරගිය පසු ශරීරයට සැබෑ වටිනාකමක් නැත. උකුස්සන් මුළු ශරීරයම පරිභෝජනය කරන්නේ නම් එය හොඳ සලකුණකි. ටිබෙට් ජන චාරිත්‍රය විශ්වාස කරන්නේ ඔහු හෝ ඇය ජීවිතයේ නපුරු ක්‍රියා කර ඇත්නම්, උකුස්සන් පවා මිනිසෙකුගේ ශරීරය පරිභෝජනය කිරීමට අකමැති බව යි. උකුස්සන් මිනිස් සිරුරේ කොටස් පරිභෝජනය කරන නිසා අහස භූමදානය, “කුරුලු භූමදානය” ලෙස ද හැඳින්වේ. ටිබෙටයේ, මරණයෙන් පසු සිරුරු භූමදාන කිරීමට වෙනත් ක්‍රමයන් ද තිබේ. සිරුර ජලයට දැමීම, ආදාහනය, සහ  භූමදාන කිරීම එවැනි චාරිත්‍රයන්‍ වේ. ලාදුරු රෝගයෙන් හෝ බෝවන රෝගවලින් මියගිය අයව උකුස්සන්ට හානි වේයැ යි බියෙන් අහස භූමදානය නොකෙරේ. ඒ වෙනුවට, ඔවුන් භූමියේ වළලනු ලැබීම හෝ ආදාහනය කරනු ලැබේ. මේ වන විට වැඩි වශයෙන් නාගරික ජනතාව භූමිදානය සහ ආදාහනය වැනි චාරිත්‍ර සිදු කිරීමට පෙළඹීම සහ ගිජුලිහිණියන් අඩු වීම වැනි හේතු සාධක නිසා මෙම ක්‍රමය පිරිහෙමින් පවතියි.

මේ චාරිත්‍රය ගැන සවිස්තරාත්මකව කියවන්න : ටිබෙට් ජාතිකයින් මළසිරුරු බැහැර කරන ‘ආකාශ දානය’

2. ආදාහන පබළු, මැණික්

ආදාහන පබළු/ Ahn Young-joon - AP

සුසාන භූමිවල ඇති ඉඩ අඩුවීමත් සමග බොහෝ අය තම ආදරණීයයන්ගේ අවසන් කටයුතු සඳහා නව ක්‍රමයන් සොයා ගැනීමට උත්සාහ කරති. මෙය විලාසිතා ප්‍රවනතාවයක් නොවන අතර මියගොස් ඇති පුද්ගලයින්ගේ දේහයේ අළු මගින් විවිධ වර්ණවත්, දිළිසෙන පබළු සහ මැණික් වැනි ආභරණ නිෂ්පාදනය කරයි. එයින් මිය ගිය තැනැත්තා තමා අසලම, අලංකාර අයුරින් තබා ගැනීම අරමුණ යි. 

මියගිය ඥාතීන්ගෙන් පබළු සෑදීම සඳහා ආයතනයක් දකුණු කොරියාවේ තිබේ. සාමන්‍යයෙන් මේ සඳහා එක් සිරුරකට ඩොලර් 900ක් පමණ අය කරයි. මීට වසර 20කට පමණ පෙර දකුණු කොරියානුවන් දස දෙනෙකුගෙන් හය දෙනෙකු පමණ සිරුර භූමදානය කිරීමේ සාම්ප්‍රදායික ක්‍රමයට අවසන් කටයුතු සිදුකළත්, වර්තමානයේ දී සිරුරක් භූමදානය කර වසර 60කින් ඉවත් කර ගත යුතු ය යන නීතිය නිසා, වර්තමානය වෙද්දී මියයන දස දෙනෙකුගෙන් සත් දෙනෙකුගේම සිරුරු ආදාහනය කෙරෙන අතර, ඥාතීන්ගේ කැමැත්ත මත ඉන් කීපදෙනෙකු පබළු බවට හැරවේ.

මීට අමතරව මියගිය අයගේ ආදාහනය කළ දේහයෙන් දියමන්ති නිපදවීමේ ක්‍රමයක් එක්සත් ජනපදයේ වෙයි. කිලෝ 80ක සිරුරක් තිබූ අයෙකු ග්‍රෑම් 0.2ක දියමන්තියක් බවට හරවන්නට ඩොලර් 5000 - 10 000 අතර ප්‍රමාණයක් වැය කිරීම ප්‍රමාණවත් ය. 

එවැනි දියමන්තියක්/ Reuters

3. ඇඟිලි කැපීමේ චාරිත්‍රය

මෙම චාරිත්‍රය සිදුකළ ඩානී ගෝත්‍රය ජීවත් වන්නේ පැපුවා නිව්ගිනියාවේ බටහිර කලාපයේ ය. සාමාජිකයින් 25,000ක් පමණ සිටින ඩානී ජනතාව පැපුවාහි වඩාත්ම ජනාකීර්ණ හා ප්‍රසිද්ධ ජනවාර්ගික කණ්ඩායම්වලින් එකකි. සියලු සංස්කෘතීන් මෙන්, ඔවුන්ට දෛනික ජීවිතය සහ අවමංගල්‍ය කටයුතු වැනි වැදගත් සිදුවීම් සඳහා ඔවුන්ගේම අද්විතීය හා සාම්ප්‍රදායික සිරිත් විරිත් ඇත.

මේ වන විට තහනම් වුව ද, ඉකිපාලින් නොහොත් සාම්ප්‍රදායික ඇඟිලි කපා ඉවත් කිරීමේ චාරිත්‍රය ඩානී ගෝත්‍රයේ අවමංගල්‍ය සම්ප්‍රදායක් විය. ඩානී ජනයාට ඇඟිලි තුඩු මඟින් සමගිය, එකමුතුකම, සහ ශක්තිය නිරූපණය වේ. තව ද ඔවුන් පවුලක් මෙන් කාර්යයන් ඉටු කිරීම සඳහා එකට වැඩ කරයි. ඇඟිලි කපා ඉවත් කිරීමේ චාරිත්‍රය ශෝකයේ වේදනාව නිරූපණය කළ අතර මියගිය අයගේ පවුලට තවත් අවාසනාවන්ත සිදුවීම් වලක්වනු ලැබීය. එය ඔවුන්ගේ මුතුන් මිත්තන්ගේ ආත්මයන් ද සතුටු කළ බව කියනු ලැබේ. සාමාන්‍යයෙන් මේ චාරිත්‍රයට මුහුණ දීමට සිදුවන්නේ කාන්තාවන්ට යි.

ඇඟිලි කැපීමේ චාරිත්‍රය/ scholarblogs.emory.edu

ඇඟිල්ලක් කපා හැරීම සඳහා ඩානී ගෝත්‍රිකයන් එහි පුරුක් සන්ධියක් අල්ලා, රුධිර ගමනාගමනය වැලැක්වීමට නූල්වලින් ගැට ගැසීම සිදු කරයි. පසුව, නම් කරන ලද පවුලේ සාමාජිකයා පොරවකින් ඇඟිල්ල ඉවත් කර ආසාදන වැලැක්වීම සඳහා සාම්ප්‍රදායික ඖෂධ පැළෑටි සමග ප්‍රතිකාර කරයි. ඉන්පසු ඩානී ගෝත්‍රිකයන් විසින් ඉතිරි වූ ඇඟිල්ල වියළා, අළු බවට පත් කර විශේෂ ස්ථානයක ගබඩා කරනු ඇත.

අද වන විට චාරිත්‍රය තහනම් කර ඇතත්, ඩානී ගෝත්‍රයේ වැඩිහිටි සාමාජිකයන් බොහෝ දෙනෙකු කපා ඉවත් කරන ලද ඇඟිලි සහිත අය යි. මීට අමතරව මෙම ඩානී ගෝත්‍රිකයන් මිය ගිය අය පුළුස්සා, එම දුම් පානය කිරීම වැනි ක්‍රියාවන් ද සිදු කර ඇත. ඔවුන් සිය රණශූරයින් මමිකරණය කොට කල්තබා ගැනීමට ද පුරුදුව සිට ඇත.

4. අනුස්මරණ පර නිර්මාණය

සදාකාලික පර/ eternalreefs.com

බොහෝ අය අද්විතීය, පාරිසරික සංවේදී, “හරිත” හෝ තිරසාර සුසාන විසඳුම් සොයමින් සිටින්නේ පෘථිවියට සහ එහි සම්පත්වලට අවම බලපෑමක් ඇති කිරීමේ අරමුණෙන්. පුද්ගලයෙකුගේ ජීවිතයට පාරිසරිකව අර්ථවත් හා ස්ථිර උපහාරයක් ලෙස ආදාහනය කිරීම සඳහා වර්තමානයේ මුහුදේ වැළලීම, අළු විසුරුවා හැරීම, සහ භූමදානය කිරීම සිදු කරයි.

අනුස්මරණ පර යනු සාගර පතුලේ තැන්පත් කළ හැකි කෘතිම පර වේ. ආදාහනය කරන ලද දේහය විශේෂ කොන්ක්‍රීට් වර්ගයක් සමග මිශ්‍ර කර අච්චුවකට සවි කර ඇති අතර, ස්වාභාවික කොරල් පර අනුකරණය කරන “කොරල්පර බෝලයක” ඇති වි‍ශේෂයෙන් නිර්මාණය කරන ලද ජල ආරක්ෂිත කොන්ක්‍රීට් භාජනයක මුද්‍රා තබා ඇත. 

අච්චුව හෝ බහාලුම සම්පුර්ණ වූ පසු එය කෘත්‍රිම ගල්පරයක් නිර්මාණය කිරීම සඳහා සාගර පතුලේ ගිල්වයි.  මියගිය අයගේ හෝ පවුලේ අයගේ කැමැත්ත මත පදනම්ව, අලංකාරවත්ව හෝ අලංකාරවත් නොකර, උපත සහ මරණ දිනයත් නමත් සමග මේවා නිපදවිය හැකිය. සාගර තරංගවලට ගසාගෙන නොයන පරිදි කිලෝ 350 - 2000 අතර බරකින් යුතුව නිපදවන මේවා සාගර පතුලේ සවි කළ පසු, එය මියගිය අයගේ ස්මාරකයක් ලෙස සදාකාලිකවම පවතී. ඉදිරි වසර කිහිපය තුළ, නව ගල්පර සාගර ජීවීන් ආකර්ෂණය කර ගැනීමත්, ස්වාභාවික කොරල්පරයක් මෙන් ඔවුන්ට සමෘද්ධිමත් වීමට නිවසක් සැපයීමත් සමග කොන්ක්‍රීට් වළල්ල පරිවර්තනයකට භාජනය වේ. මෙවැනි අනුස්මරණ පරයක් නිර්මාණය කිරීම සහ එම සවිකිරීමේ සේවාවන් සඳහා ඩොලර් 2000 සිට 7000ක පමණ මිළ පරාසයක් පැවතිය හැකියි. නෙප්චූන් අනුස්මරණ පරය නමින් මියාමි වෙරළට සැතපුම් 3.5ක් දුරින් මෙවැනි කෘතිම ගල්පරයක් නිර්මාණය කර ඇත.

5. ඇටකටු හැරවීම

ඇටකටු හැරවීම/ thecrowdedplanet.com

සමහර මැඩගස්කර ජනවාර්ගික කණ්ඩායම් ඔවුන්ගේ මුතුන් මිත්තන්ට ගෞරව කරන්නේ ඔවුන්ගේ භූමිදානය කළ දේහය ඉවතට ගෙන පූජා උත්සව පැවැත්වීමෙනි. මෙම චාරිත්‍රය සෑම වසර හතකට වරක් සිදුවන අතර එය ෆාමිදිහානා හෝ 'ඇටකටු හැරවීම' ලෙස හැඳින්වේ. මෙහිදී ජීවිතයේ හා මරණයේ චක්‍රය සම්පූර්ණ කිරීම අරමුණු කර පිටතට ගත දේහය උඩු යටිකුරු කර සොහොන් වෙත යවනු ලැබේ. මැඩගස්කරයේ මධ්‍යම කඳුකරයේ මෙරීනා ගෝත්‍රිකයන් ඔවුන්ගේ මුතුන් මිත්තන් ‘පවුල සමග නැවත එක්වීම’ ලෙස ද මෙය සමරයි. ජීවත්වන පවුලේ සාමාජිකයන් මළ සිරුරු පිටතට ගෙන, සුසාන වස්ත්‍ර පරෙස්සමින් ගලවා, අස්ථින් පිරිසිදු කර, අලුත් රෙදිවලින් ඒවා ඔතා උත්සවය ආරම්භ කරන අතර, අමුත්තන් ඔවුන්ගේ මුතුන් මිත්තන් වෙනුවෙන් විවිධ පානයන් ගෙන, සංවාද කිරීම හා නර්තනය සිදු කරයි.  

මෙම සිරුරු කොටස්වලින් පැමිණෙන ඝන්ධය නැති කරගැනීම සඳහා එම කොටස්වලට වයින් ඉසීම සාමාන්‍යයෙන් සිදු කෙරෙන්නකි. ඉර බැසීමට මොහොතකට පෙර මළ සිරුරු නැවත සොහොන වෙත ගෙන ගොස් උඩු යටිකුරු කර තබනු ලැබේ. මැඩගස්කරයේ බොහෝ ජනවාර්ගික කණ්ඩායම් ක්‍රිස්තියානි ධර්මය හා සාම්ප්‍රදායික විශ්වාසයන්ගේ සම්මිශ්‍රණයක් අනුගමනය කරන නමුත් ඔවුන් ස්වර්ගය හෝ නිරය විශ්වාස නොකරයි. කෙසේ වෙතත්, මළවුන් වහාම ඊළඟ ජීවිතයට නොයන අතර ඇත්ත වශයෙන්ම ඔවුන්ගේ සිරුරු මුළුමනින්ම දිරාපත් වන තුරු ජීවමාන දේශයේ රැඳී සිටිනු ඇතැ යි මොවුන් විශ්වාස කරයි. උත්සවය රාත්‍රියට පෙර අවසන් වන්නේ මෙරිනා ගෝත්‍රය රාත්‍රිය ගෙන එන සෘණාත්මක ශක්තිය හා නපුරු බලයට බිය වීම සහ සූර්‍යයා ප්‍රධන ශක්ති ප්‍රභවය කොට සලකන බැවිනි.

මේ උත්සවය දැකගන්න: මළවුන් සහභාගී වන ‘ෆමඩිහානා’

මේ ලිපියේම තවත් දිගුවක් ඉක්මනින්!

Cover: africanstylesandculture.com

Sources :  redeeminggod.com

funeralwise.com

newrepublic.com