ලොව වටා අරුම පුදුම අවමංගල සිරිත් ගැන අප ගෙන ආ ආරාධිත රචක ලිපිය මතක ද? මේ එහිම දෙවැනි කොටස යි. පෙර ලිපියේ මෙන්ම අරුම පුදුම අවමංගල සිරිත් 5ක් මේ ලිපියෙනුත් ගෙන එනවා. 

1. විසිතුරු මිනී පෙට්ටි

විසිතුරු මිනී පෙට්ටි/ CNN

ඝානාවේ සමහර මිනී පෙට්ටි නිෂ්පාදකයින්, "විසිතුරු මිනී පෙට්ටි" සාදයි. මෙම මිනී පෙට්ටි සාදා ඇත්තේ මියගිය අය විසින් සිදු කළ වෘත්තිය සංකේතවත් කිරීම සඳහා ය. මරණින් මතු දිවියක් ඇති බවත්, මියගිය තැනැත්තා මරණින් මතු ජීවිතය තුළ ඔහුගේ හෝ ඇයගේ වෘත්තිය දිගටම කරගෙන යනු ඇති බවත් විශ්වාස කරන පවුල් සඳහා මෙම මිනී පෙට්ටි නිෂ්පාදනය කරයි. මෙහි අදහස නම්, මළවුන් භූමදාන කළ යුත්තේ ඔවුන් ජීවත්ව සිටිය දී කළ රැකියාව නියෝජනය කරන දෙයක් තුළ වන අතර එමඟින් ඔවුන් පැමිණියේ කොහෙන් ද සහ ඔවුන් අතහැර දමා ආ දේ ඔවුනට සිහියට නැගෙනු ඇති ය යන්න යි. 

මෙම මිනී පෙට්ටි සෑදීම ඝානාවේ පතල ව්‍යාපාරයක් බව ශිල්පයේ ප්‍රවීණයෙකු වන ජෝසෆ් අශොං (පා ජෝ ලෙස හැඳින්වේ) පවසයි. ඔහු වසර 50කට වැඩි කාලයක් මෙම වෙළඳාමේ යෙදී සිටී යි. ජාත්‍යන්තර සේවාදායකයින් සඳහා ඔහු මිනී පෙට්ටියකට ඩොලර් 5,000 සිට 15,000 දක්වා අය කරයි. ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව මිනී පෙට්ටි සෑදීම සඳහා අවශ්‍ය ද්‍රව්‍යවල මිළ අඩු නැතැ යි පා ජෝ පවසයි. එම මිනී පෙට්ටි කෘමීන්ගෙන් හා ඉරිතැලීම්වලින් ආරක්ෂා කිරීම සඳහා මහෝගනී හෝ සමහර ඉහළ ශ්‍රේණියේ දැව භාවිතා කරයි. කෙසේ වෙතත් දේශීය සේවාදායකයෙකු සඳහා, ඔහුට ලාභදායී ද්‍රව්‍ය භාවිතා කළ හැකි අතර ඩොලර් 1,000ක් තරම් අඩු මුදලක් අය කළ හැකිය.

2. ජෑස් අවමඟුල්

ජෑස් අවමඟුල් පෙරහැරක්/ Silk Street

ජෑස් අවමංගල්‍ය සංගීතය හා නැටුම් යන දෙකම මියගිය අයට ස්වර්ගයට යන මාර්ගය සොයා ගැනීමට, සහ අතීතයේ දී වහල්භාවය ඇතුළු ලෞකික ජීවිතයේ බැඳීම්වලින් නිදහස් වීම සැමරීමට භාවිතා කෙරිණි. බෙර, නලා සංගීතය සහ නැටුම් සමග ගායනය යන ශෛලිය අප්‍රිකානු අවමංගල්‍ය උත්සවවල අංගයන් වූ අතර එය අප්‍රිකානු වහලුන් සමග මුහුද තරණය කළේ ය. එක්සත් ජනපදයේ දකුණු අප්‍රිකානු මුල් සහිත ප්‍රජාව අතර මෙම අවමංගල්‍ය සිරිත පිලිපැදුණු නමුත් මෙම සම්ප්‍රදාය කතෝලික පල්ලිය විසින් පිළිගනු නොලැබූ හෙයින්, බොහෝ දුරට නිව් ඕර්ලියන්ස් හි කළු රෙපරමාදු භක්තිකයන්ට පමණක් සීමා විය. විසිවන ශතවර්ෂයේ මැද භාගය වන විට මෙරට සමාජ ශාලා සහ රක්ෂණ ප්‍රතිපත්ති අඩු පහසුකම් ඇති අයට මෙම අවමංගල්‍ය කටයුතු සඳහා උපකාර කිරීමට බිහි වූ අතර, වඩාත් ජනප්‍රිය අවමංගල්‍ය ජෑස් සංගීත කණ්ඩායම් වන ඩර්ටි ඩෝසන් සංගීත කණ්ඩායම බිහි විය. කාලයාගේ ඇවෑමෙන්, ජෑස් අවමංගල්‍ය සම්ප්‍රදාය නිව් ඕර්ලියන්ස්වලින් පවා ඉවත් වී යමින් තිබේ.

3. දේහයේ දෑස් බැඳ නිවසේ දොරටුව අසල තැබීම

බෙන්ගුට් යනු පිලිපීනයේ ලුසොන්හි ප්‍රදේශයකි. එහි සිටින පුද්ගලයෙකු මිය ගිය විට, ඔවුන් සිරුරේ දෑස් බැඳ නිවසේ ප්‍රධාන දොරටුව අසල පුටුවක බැඳ තබනු ලැබේ. අවමංගල්‍යයට පෙර දින සවස විශේෂ චාරිත්‍රයක් පවත්වනු ලබන අතර එහිදී වැඩිහිටියන් මියගිය අයගේ චරිතාපදානයක් වැනි ගායනයක් ඉදිරිපත් කරයි. මෘත දේහය භූමදාන කරන විට අනෙක් සාමාජිකයන් උණ බම්බු එකට ගටමින් ශබ්ද නගන අතර එමඟින් මියගිය තැනැත්තාට ස්වර්ගය දෙසට ගමන් කිරීමට මඟ පෙන්වනු ඇතැ යි අපේක්ෂා කෙරේ.

4. ගස් සුසාන

ගස් සොහොන්/ dontpaniconline.com

පිලිපීනයේ මැනිලා අගනුවරට සැතපුම් 10ක් දකුණින් පිහිටා ඇති කැවිටි ප්‍රදේශය සාම්ප්‍රදායික සිරිත් විරිත් බොහොමයක් රඳවා ගෙන ඇති ප්‍රදේශයකි. කැවිට් හි සමහර ග්‍රාමීය ජනතාව තවමත් විශාල වෘක්ෂ සුසානයන් ලෙස භාවිතා කරති. ජීවත්ව සිටින කාලය තුළ තමන්ව භූමදාන කිරීමට කැමති ගස මෙහි පුද්ගලයින් විසින් තෝරා ගනු ලැබේ. ඔවුන් අසනීප වූ විට හෝ මහලු වූ විට ඔවුන් වෙනුවෙන් මෙම ගස අසල පැල්පතක් ඉදිකරනු ලැබේ. පුද්ගලයා මිය ගිය විට ඔහුගේ සිරුර කුහර සහිත ගස් කඳට සිරස් අතට ඇතුල් කර වසා ලැබේ.

5. ටින්ගිනියන් අවමංගල්‍යය

පිලිපීන වැසියන් අතරේ විවිධ අවමංගල්‍ය සම්ප්‍රදායන් බොහොමයක් තිබේ. මෙය ද ඉන් එකකි. පිලිපීනයේ ටින්ගුවේ ගම්වාසීන් අවමංගල්‍ය කටයුතු ඉතා බැරෑරුම් ලෙස සලකති. යමෙකු මිය ගිය පසු ඔවුන්ව ස්නානය කරවීමෙන් අනතුරු හොඳම ඇඳුම් හා ස්වර්ණාභරණ පළඳවා උණ බම්බු ආසනයක මුක්කු ගසති. නිවසින් පිටත ඌරෙකුගේ අතුනුබහන් එල්ලා ඇති අතර ඌරන්ගේ හා කුකුළු මස්වල සම ආත්මයන්ට පූජා කරනු ලැබේ. මෘත දේහය භූමදාන කරන තෙක් ඌරන්ගේ අතුනුබහන් නිවසෙන් පිටත තබා ඇත. එසේම ආත්මයන්ට පූජාවක් ලෙස මධ්‍යසාර පානයක් ද ඒ හා තබයි. සෑම කෙනෙකුම කෑම වේලාවන්හි දී ඔවුන්ගේ මියගිය ආදරණීයයාට ආහාර ගෙන ආ යුතු ය. 

ශෝක කාලයේ තුන්වන දිනයේ දී මරණය ගැන වැලපෙන පිරිමින් ඉදිරිපස මිදුලට රැස් වී බාසි නම් මධ්‍යසාරයක් පානය කරති. ඔවුන් බාසි පානය කිරීමෙන් පසු කලවා සහ මැණික් කටුව හරහා සැරයටියකින් 200 වතාවක් පහර දීමට මිනිසෙකු තෝරා ගනු ලැබේ. ඔහුට සැහැල්ලුවෙන් පහර දුන් පසු ඔහු සැරයටිය ගෙන අනෙක් සහභාගී වන්නන්ට 150 වතාවක් පහර දෙයි. බොහෝ විට සිරුර භූමිදානය කරන්නේ නිවසට යටිනි. ඔවුන් මළවුන් නිවස යට වළලනු ලබන්නේ නපුරු ආත්මයන්ට එරෙහිව සටන් කර පවුල ආරක්ෂා කරගත හැකි බැවිනි. මියගියේ මිනිසෙකු නම් පසුදා පාන්දර වැන්දඹුව ගඟට ගොස් ඇගේ හිස් වැස්ම වතුරට විසි කර ඇය ද වතුරට පනියි. ඇය වතුරට වැටුණු පසු මහලු මිනිසෙක් දැවෙන පිදුරු ඇය වෙතට විසි කළ යුතු ය. ඔවුන් පවසන්නේ ගඟේ ජලය වැන්දඹුවට යම් දුකක් හා ශෝකයක් ගෙන දෙන බව යි. 

මීට අමතරව ෆීජි දූපත්වල වැසියන් යමෙකු මියගිය පසු එම මෘත දේහය ගෙයින් පිටතට ගැනීමේ දී බිත්තියෙන් කොටසක් කඩා දමති. චුක්වී ගෝත්‍රිකයන්ගේ මළගෙවල්වල දී ප්‍රචලිත සිරිතක් නම් මළසිරුර සිය කූඩාරමේ වහළය මත තබා පසුව අවසන් කටයුතු සඳහා ගෙන යෑම යි. ක්වීන්ස්ලන්තයට නුදුරුව ඇති ලින්ඩ් ගංගා නිම්නයේ වෙසෙන ක්විරුබුරා ගෝත්‍රිකයන් මළවුන්ට කොතරම් බිය ද කිවහොත් ඔවුහු යමෙක් මියගිය පසු දේහයේ හිස කපා එය ගින්නේ ලා පුළුස්සා සියුම් කැබලිබවට පත්වන තෙක් කුඩුකර දමති. මෙසේ කිරීමෙන් මියගිය පුද්ගලයාගේ අවතාරයෙන් මිදිය හැකි බව දැඩිව විශ්වාස කරයි.

Cover: triphobo

Sources: redeeminggod.com

funeralwise.com

newrepublic.com