ඉන්දු-පැසිෆික් කලාපය උණුසුම් කරන මොකක්ද මේ ‘AUKUS’

එක්සත් ජනපදය සහ එක්සත් රාජධානිය, ඕස්ට්‍රේලියාව වෙත න්‍යෂ්ටික බලයෙන් ක්‍රියා කරන සබ්මැරීන් සැපයීමේ සැලසුමක් පසුගිය සඳුදා (මාර්තු 13) එළි දැක්වූවා. ඒ සමඟ ම න්‍යෂ්ටික අවි සහිත රාජ්‍යයක සිට න්‍යෂ්ටික අවි රහිත රාජ්‍යයක් දක්වා න්‍යෂ්ටික ද්‍රව්‍ය හෝ න්‍යෂ්ටික තාක්ෂණය හුවමාරු කිරීමත් මෙමඟින් සිදු වෙනවා. එය “NPT” ගිවිසුමට අනුව ගැටලුකාරී වාතාවරණයකට හේතු වන්නක්. 

“NPT (Non-Proliferation Treaty)” ගිවිසුමට යනු න්‍යෂ්ටික අවි සහ අවි තාක්ෂණය පැතිරීම වලක්වමින් න්‍යෂ්ටික ශක්තිය සාමකාමී භාවිතය සඳහා යොදා ගැනීම ප්‍රවර්ධනය කරන අන්දමේ එකඟතාවක්. එහි අවසාන ඉලක්කය වන්නේ සම්පූර්ණ න්‍යෂ්ටික නිරායුධකරණය යි.

න්‍යෂ්ටික ආයුධ නිදහස් කලාපයක් ලෙස පැවතුණු ඕස්ට්‍රේලියාව, ඉදිරියේ දී එම තත්ත්වයෙන් ඉවත් වීමට ඉඩ තිබෙනවා – espace-mondial-atlas.sciencespo.fr

 කෙසේ නමුත්, “NPT” හි අන්තර්ගතය උල්ලංඝණය නොවන සේ එහි ඇති බාධා අතරින් රිංගා යෑමක් මෙම අවි හුවමාරු එකඟතාවෙන් සිදු වී ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා. ඒ අනුව මෙතෙක් න්‍යෂ්ටික ආයුධ නිදහස් කලාපයක් (Nuclear-Weapon-Free Zone) ලෙස පැවතුණු ඕස්ට්‍රේලියාව, අනාගතයේ දී එම තත්ත්වයෙන් විතැන් වීමක් සිදුවේවි. මේ සියලු ගනුදෙනු, එකඟතා සහ විපර්යාස සිදු වන්නේ “AUKUS” සැලසුමේ කොටසක් වශයෙන්.

‘AUKUS’ යනු කුමක් ද?

Australia, UK සහ US හි මුලකුරු සබැඳීමෙන් නම් කළ “AUKUS”, ත්‍රෛපාර්ශවික ගනුදෙනුවක් හෝ යාන්ත්‍රණයක් ලෙස හැඳින්විය හැකි යි. එහි දී න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක වන සබ්මැරීන අටක් එක්සත් ජනපදයේ සහ එක්සත් රාජධානියේ සහාය ඇති ව ඕස්ට්‍රේලියාව ලබා ගන්නා අතර, ඒ සඳහා ඩොලර් බිලියන 368 ක් දක්වා වූ පිරිවැයක් දැරීමට සිදුවන බවත්, පුරෝකථනය වී තිබෙනවා.

මිල දී ගැනීමේ ක්‍රියාවලිය එකවර සිදුවන්නක් නොවෙ යි. 2050 – 2055 දක්වා වූ කාල පරාසය දක්වා “AUKUS” ත්‍රෛපාර්ශවික ගනුදෙනු සිදුවනු ඇති. ඉදිරි වසර හතර තුළ උක්ත පිරිවැයෙන් ඩොලර් බිලියන නවයක් ඕස්ට්‍රේලියාව වැය කිරීමට නියමිත බවත්, වාර්තා වෙනවා.

එක්සත් ජනපදය, එක්සත් රාජධානිය සහ ඕස්ට්‍රේලියාවේ රාජ්‍ය නායකයන් සැන් ඩියේගෝ හි මාධ්‍ය සාකච්ඡාවකට එක් වූ අයුරු – warontherocks.com

“AUKUS” යාන්ත්‍රණය සහ එහි දේශපාලනික සන්දර්භය ගැන කලක පටන් කතාබහට ලක් වන නමුත්, කැලිෆෝනියාවේ සැන් ඩියේගෝ හි නාවික හමුදා කඳවුරක සිට නිකුත් කළ නිවේදනයකින් පසු “AUKUS” යාන්ත්‍රණයට අලුත් පණක් ලැබුණා. එම නිවේදනය නිකුත් කළේ  එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන්, ඕස්ට්‍රේලියානු අගමැති ඇන්තනි ඇල්බනීස් සහ එක්සත් රාජධානියේ අගමැති රිෂි සුනක් අතර මාස 18 ක් පුරා සිදු වූ සාකච්ඡාවල ප්‍රතිපලයක් වශයෙන්.

මෙම යාන්ත්‍රණය හෝ ගනුදෙනුව අදියර හතරකින් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා.

පළමු අදියර

2023 වර්ෂයේ ආරම්භයේ සිට ඕස්ට්‍රේලියානු හමුදා සහ සිවිල් නිලධාරීන් ගේ පුහුණුව වේගවත් කිරීම සඳහා එක්සත් ජනපද නාවික හමුදාව සහ බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදාවේ සබ්මැරීන් කාර්මික කඳවුරු සමඟ ඒකාබද්ධ කිරීම පළමු අදියරේ ප්‍රධානත ම කාර්යය යි. ඕස්ට්‍රේලියාව සහ එක්සත් ජනපදය අතර න්‍යෂ්ටික බලයෙන් ක්‍රියා කරන සබ්මැරීන් චාරිකා සංඛ්‍යාව වැඩි කිරීමත් මෙම අදියරේ දී සැලසුම් වනු ඇති. 2026 සිට එක්සත් රාජධානි‍යේ සිට ඕස්ට්‍රේලියාව දක්වා සබ්මැරීන් ගමන් වාරවල වර්ධනයත් සිදු වෙනවා.

දෙවැනි අදියර

එක්සත් ජනපදය 2027 සිට වසර හතරක් පුරා ඕස්ට්‍රේලියාවේ පර්ත් නගරයට ආසන්න “HMAS Stirling” නම් නාවික කඳවුරේ වර්ජීනියා පංතියට අයත් සබ්මැරීන් හතරක් යෙදවීම දෙවැනි අදියරෙන් සිදු වෙනවා. වර්ජීනියා පංතියේ සබ්මැරීන් යනු න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක වන උසස් හැකියාවක් සහිත වේගවත් ප්‍රහාරක සබ්මැරීන් ප්‍රවර්ගයක්.

මේ හරහා ඕස්ට්‍රේලියානු නාවික නිලධාරීන්ට න්‍යෂ්ටික බලයෙන් ක්‍රියා කරන සබ්මැරීන් සමඟ සමීප ව කටයුතු කිරීමේ අවස්ථාව උදා වන අතර, න්‍යෂ්ටික සබ්මැරීන්වලට අදාළ යටිතල පහසුකම් සහ නියාමන පද්ධතියේ සංවර්ධනය වේගවත් කිරීමත් සිදු වෙනවා. 

සාම්ප්‍රදායික සබ්මැරීනයක් සමඟ සසඳන විට න්‍යෂ්ටික බලයෙන් ක්‍රියා කරන සබ්මැරීන් වල විශේෂ වාසි කිහිපයක් ම තිබෙනවා – www.aljazeera.com

තෙවැනි අදියර

2030 න් ඇරඹෙන දශකයේ මුල් භාගය වනවිට එක්සත් ජනපදය වර්ජීනියා පන්තියේ සබ්මැරීන තුනක් ඕස්ට්‍රේලියාවට විකිණීමේ සැලසුම මෙම අදියරත් සමඟ ක්‍රියාත්මක වෙනවා. විකිණීම සිදු කරන්නේ අවශ්‍ය නම් තවත් සබ්මැරීන් දෙකක් ලබාදීමේ විකල්ප පහසුකම් ද ඇතුළත්ව යි. කෙසේ නමුත්, සබ්මැරීන් විකිණීම සඳහා එක්සත් ජනපදයේ කොංග්‍රස් අනුමැතිය අවශ්‍ය වනු ඇති.

සිව්වැනි අදියර

ගිවිසුම් ප්‍රකාර ව 2030 න් ඇරඹෙන දශකයේ අවසාන භාගය වනවිට එක්සත් රාජධානියේ නාවික හමුදාව සිය ප්‍රථම සබ්මැරීනය ඕස්ට්‍රේලියාව වෙත නිකුත් කරනු ඇති. 2040 වනවිට ඕස්ට්‍රේලියාවේ සෑදූ පළමු න්‍යෂ්ටික සබ්මැරීනය එරට නාවික හමුදාවේ භාවිතය සඳහා භාර දීමත්, මෙම අදියර යටතේ සිදු වේවි.

අරමුණ කුමක් ද?

චීනයේ භූ දේශපාලනික බලපෑම් ප්‍රබල ව ක්‍රියාත්මක වන කලාපයක් ලෙස ඉන්දු-පැසිෆික් සමුද්‍ර කලාපය හැඳින්විය හැකි යි. පසුගිය කාලයේ දී දකුණු චීන මුහුද ඇතුළු ඉන්දු-පැසිෆික් කලාපයේ චීන යුද බලය වර්ධනය වූ බැවින්, ඕස්ට්‍රේලියාවට සිය නාවික ශක්තිය වර්ධනය කර ගැනීමේ අවශ්‍යතාවක් මතු වුණා.

ලෝක බල තුලනය සැලකීමේ දී ඉන්දියන් සාගරය තුළ ඉන්දියාව වැදගත් සාධකයක් වන්නා සේ පැසිෆික් සාගරය තුළ ඕස්ට්‍රේලියාවත් වැදගත් සාධකයක් බවට පත් වෙනවා. විශේෂයෙන් ම මෑතක සිට ඕස්ට්‍රේලියාවේ අසල්වැසි දූපත් රාජ්‍යයක් වූ සොලමන් දූපත් චීනය සමඟ සමීප සබඳතා ඇරඹීමත් සමඟ එතෙක් දකුණු චීන මුහුදේ සාන්ද්‍රණය වී තිබූ චීන බලපෑම් පැසිෆික් සාගරයේ මධ්‍ය දක්වා විහිදුණා.

සබ්මැරීන් හිමි රාජ්‍ය අතරෙන් රාජ්‍යයන් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියා කරන සබ්මැරීන් භාවිත කරන්නේ රාජ්‍යයන් හයක් පමණ යි – www.aljazeera.com

ඕස්ට්‍රේලියානු නාවික කඳවුරුවල සිට බොහෝ දුරින් ක්‍රියාත්මක විය හැකි සබ්මැරීන් බළ ඇණියක් සෑදීමේ අවශ්‍යතාවක් මතු වූයේ මෙවිට යි. ඒ අනුව 2021 දී ඕස්ට්‍රේලියාව, එක්සත් ජනපදය සහ එක්සත් රාජධානිය ආරක්ෂක ගිවිසුමක් හරහා චීනයේ වැඩෙන නාවික බලයට ප්‍රතිරෝධී බලවේගයක් සෑදීමට එක් වුණා. ඕස්ට්‍රේලියාවේ ආරක්ෂක විධි විධාන සඳහා වූ විශාලත ම තනි ආයෝජනයක් ලෙස “AUKUS” කරළියට පැමිණුනේ එහි ප්‍රතිපලයක් වශයෙන්.

චීනයේ ප්‍රතිචාරය

“AUKUS” යාන්ත්‍රණයේ නවත ම තත්ත්වය සම්බන්ධයෙන් ත්‍රෛපාර්ශවය නිවේදනයක් නිකුත් කළ වහාම චීනයත් ඊට ප්‍රතිචාර දැක්වීමට උත්සුක වුණා. එක්සත් රාජධානිය, එක්සත් ජනපදය සහ ඕස්ට්‍රේලියාව, “වැරදි සහ අනතුරුදායක මාවතක” ගමන් කරන බව චීනය ප්‍රකාශ කළ අතර, සිය භූ දේශපාලනික අවශ්‍යතා වෙනුවෙන් ජාත්‍යන්තර ප්‍රජාව ගේ අදහස් මුළුමනින් ම නොසලකා හැරීමක් ද එමඟින් සිදු වී ඇති බව චීනය චෝදනා කරනවා. චීනය තවදුරටත් සඳහන් කරන්නේ “AUKUS” හරහා ආයුධ තරලයකට උත්තේජනයක් සැපයෙන බව යි. එම ක්‍රියාවලිය සීතල යුද මානසිකත්වයේ සාමාන්‍ය අවස්ථාවකට සමාන කිරීමටත් චීනය උත්සහ දරා තිබුණා.

ඕස්ට්‍රේලියාව වෙනුවෙන් එක්සත් රාජධානියේ සහ එක්සත් ජනපදයේ නිපදවන සබ්මැරීන්වල උපකල්පිත ආකෘති – www.navalnews.com

න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක වන උප ද්‍රව්‍ය විකිණීම හරහා න්‍යෂ්ටික ද්‍රව්‍ය ව්‍යාප්ත වීමෙන් “NPT” හි අන්තර්ගතය උල්ලංඝණය වන අන්දම ඉස්මතු කිරීමටත් චීනය අමතක කළේ නැහැ. චීනය මතු කරන මෙම කාරණයේ යම් සත්‍යතාවක් තිබෙනවා. නමුත්, මෙහිදී “NPT” හි අන්තර්ගතය උල්ලංඝණය කිරීමක් සිදු වී නැහැ. සරලව ම එය “නීතිය නොකඩා නීතියෙන් ගැලවීමේ” අවස්ථාවක් ලෙස හැඳින්විය හැකි යි.

සූක්ෂම සැලසුමක්

ගාඩියන් පුවත්පත වාර්තා කරන අන්දමට ත්‍රෛපාර්ශවය “AUKUS” යාන්ත්‍රණය ක්‍රියාත්මක කිරීම සඳහා “NPT” බාධාව මඟ හරවා ගෙන ඇත්තේ එහි ම ඇති එක්තරා ඡේදයක් භාවිතයෙන්. එම ඡේදයේ සන්දර්භයට අනුව නාවික ප්‍රචාලනය වැනි පුපුරනසුලු නොවන මිලිටරි භාවිතය සඳහා න්‍යෂ්ටික ද්‍රව්‍ය භාවිත කිරීමේ නිදහස තිබෙනවා. එවැනි අරමුණක් සඳහා භාවිත වන න්‍යෂ්ටික ද්‍රව්‍ය, ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සි‍යේ පරීක්ෂා කිරීම් සහ අධීක්ෂණයෙන් නිදහස් වන බවත් සඳහන්.

චීනය තවදුරටත් සඳහන් කරන්නේ “AUKUS” හරහා ආයුධ තරලයකට උත්තේජනයක් සැපයෙන බව යි – gisreportsonline.com

මෙහි ඇති බරපතලකම වන්නේ න්‍යෂ්ටික අවියක හරය තැනීම සඳහා භාවිත කළ හැකි යුරේනියම්, ප්ලූටෝනියම්, වැනි ද්‍රව්‍ය වක්‍රාකාරයෙන් තවත් තැනකට ගෙන යෑමේ හැකියාවට මඟ පෑදීමක් සිදු වීම යි. ‘AUKUS’ යාන්ත්‍රණයේ අරමුණ වන්නේ පැසිෆික් සයුරේ භූ දේශපාලනික බලය චීනයට අත්පත් වීමේ අවදානම මැඬලීම පමණ යි. සැලසුම කොතරම් සූක්ෂම ද යන්න වග මින් පැහැදිලි වෙනවා.

ඇතැමුන්ටAUKUS’ යනු සහනයක්!

චීනයේ භූ දේශපාලනික බලපෑමෙන් තර්ජනයට ලක් වූ කලාප අතර අග්නිදිග ආසියාව සහ දකුණු ආසියාව ඉදිරියෙන් ම සිටිනවා. ඇතැම් ජාතීන් හට ‘AUKUS’ එකඟතාව හමුවේ කිසියම් සහනයක් සැලසෙන බව පැවසෙන්නේ ඒ නිසා යි.

‘AUKUS’ සම්බන්ධයෙන් අග්නිදිග ආසියාතික රාජ්‍ය සංගමයේ (ASEAN) ස්ථාවරයක් නොමැති වුව ද අග්නිදිග ජාතීන් හුදෙකලා වශයෙන් ගත් කල ඔවුන් ගේ ස්ථාවරයේ ස්වභාවය පුරෝකථනය කළ හැකි යි. උදාහරණයක් ලෙස චීනය ගැන තදින් සැලකිලිමත් වන වියට්නාමය වැනි රටක් ‘AUKUS’ යාන්ත්‍රණයට කැමැත්තක් දැක්වීමේ වැඩි ඉඩකඩක් තිබෙනවා. චීනය තුලනය කරන ඕනෑම බලවේගයක් ඔවුන්ට වැදගත් වීම ඊට හේතුව යි. නමුත්, ප්‍රසිද්ධියේ පාර්ශව තෝරා ගැනීම කිසිදු රටක් සිදු නොකරනු ඇති.

ඇතැම් අග්නිදිග ආසියාතික රටවල් “AUKUS” යාන්ත්‍රණයට කැමැත්තක් දැක්වීමේ ඉඩකඩක් පවතිනව – seasia.wisc.edu

 පිලිපීනය සහ සිංගප්පූරුවේ ස්වභාවයත් වියට්නාමයට සමාන විය හැකි යි. ඉන්දුනීසියාව දරන්නේ තරමක් වෙනස් අදහසක්. ‘AUKUS’ හරහා ලෝකයේ න්‍යෂ්ටික ද්‍රව්‍ය පැතිරීමේ අවදානම ඉස්මතු කිරීමට ඔවුන් උත්සහ දරා තිබුණා. මැලේසියාව ද ඉන්දුනීසියාවේ ස්ථාවරය අනුගමනය කරමින් ‘NPT’ හි වැදගත්කම පෙන්වා නිහඬ පිළිවෙතක් අනුගමනය කිරීමට පුළුවන්.

ඉන්දියාව කොතැන ද?

දකුණු ආසියානු කලාපය සැලකීමේ දී ‘AUKUS’ ගනුදෙනුවට වඩාත් සංවේදී විය හැකි රාජ්‍යය වන්නේ ඉන්දියාව යි. ඔවුන්ට සිය ජාතික ආරක්ෂාව තහවුරු කර ගැනීම සම්බන්ධයෙන් කිසියම් වාසි සහගත තත්ත්වයක් ‘AUKUS’ හරහා විවෘත විය හැකි යි.

පසුගිය වසර කිහිපය තුළ ඉන්දියාවට එරෙහි ව්‍යාප්තවාදී ස්වභාවයක් චීනය පෙන්නුම් කළ බැවින්,  ‘AUKUS’ හරහා කිසියම් සහනයක් ඉන්දියාවට ලැබෙනු ඇති. ඉන්දියාව සහ චීනය අතර කලක පටන් දේශසීමා ගැටලු පවා පවතිනවා. ‘AUKUS’ කරළියට පිවිසීමෙන් චීනයට වැඩි අවධානයක් පැසිෆික් කලාපයට යොමු කිරීමේ අවශ්‍යතාවක් පැන නැඟිය හැකි අතර, එමඟින් ඉන්දියාවට මත තබා ඇති පීඩනයත් ලිහිල් කිරීමට සිදු වේවි.

චීනය අලුත් ගැටලුවකට මැදි වීම හරහා ඉන්දියාවට සිය ආර්ථික බල පරාක්‍රමයේ ප්‍රගතිය කෙරෙහි අවධානය යොමු කිරීමට වැඩි අවස්ථාවක් හිමි වෙනවා. අනෙක් අතට, ‘AUKUS’ යනු ඉන්දු-පැසිෆික් කලාපය ඉලක්ක කර ගනිමින් ක්‍රියාත්මක වන යුද යාන්ත්‍රණයක්. එනම්, ඉදිරියේ දී මෙම අවි ගනුදෙනු තවදුරටත් පුළුල් වීමේ ඉඩකඩක් පවතිනවා.  ‘AUKUS’ පුළුල් කිරීමේ සැලස්මක් තිබේ නම්, ඉන්දියාව මඟ හරිමින් එය සිදු කිරීමට ත්‍රෛපාර්ශවය උත්සහ නොකරාවි.

කවරයේ ඡායාරූපය: Australia, UK සහ US හි මුලකුරු සබැඳීමෙන් නම් කළ ‘AUKUS’, ත්‍රෛපාර්ශවික ගනුදෙනුවක් හෝ යාන්ත්‍රණයක් ලෙස හැඳින්විය හැකි යි - www.gov.uk
මූලාශ්‍ර:
www.aljazeera.com
www.theguardian.com
www.wionews.com
www.un.org
submarinesuppliers.org
www.apln.network

Related Articles