නොබැඳි පිළිවෙත බල ගැන්වූ යුගෝස්ලාවියාව අද කෝ?

 

1929 වසරේ සිට 2003 වසර දක්වා පැවති පුරාණ යුගෝස්ලාවියාව දෙස නැවත හැරී බලන්නට යි ඔබ මේ සූදානම් වන්නේ. ඒ යුගෝස්ලාවියාව සර්බියාවේ සහ මොන්ටිනිග්‍රෝවේ ඒකාබද්ධ සංගමය බවට පත් වන්නට  පෙර සමය වෙතයි.

“දකුණු ස්ලාව් ජාතිකයන්ගේ දේශය” නමින් ඓතිහාසික සම්මේලන තුනක් යුගෝස්ලාවියාවේ බිහි වුණා. ඒ, “බෝල්කන්” ප්‍රදේශයේ දී යි. එම පෙදෙස වනාන්තර කඳුකරය නමින් ද හැඳින්වෙනවා. වර්ග කිලෝ මීටර 247,541ක තරම් වපසරියක ව්‍යාප්ත ව තිබූ යුගෝස්ලාවියානු රාජධානිය නිල වශයෙන් ප්‍රකාශයට පත් කළේ 1929 දී යි. දෙවන ලෝක යුද සමයෙන් පසු ව එය සමාජවාදී ෆෙඩරල් ජනරජයක් කරා විතැන් වුණා. සර්බියාව සහ මොන්ටිනිග්‍රෝව හැරුණු කොට තවත් ජනරජ කීපයක් ඊට ඇතුළත් වීමත් සමඟ එය වර්ග කිලෝ මීටර 255,803ක් දක්වා පුළුල් වුණා. බොස්නියාව සහ හර්සගොවිනාව, ක්‍රොඒෂියාව, උතුරු මැසිඩෝනියාව සහ ස්ලොවේනියාව එම අනෙකුත් ජනරජ වනවා. 1991 වසර වන විට මිලියන 24ක ජනගහනයක් සිටි යුගෝස්ලෝවියාව 1992 දී ලෝකයෙන් සමුගත්තා.

යුගෝස්ලෝවියාවේ උපත

බෝල්කන් ප්‍රදේශවල ජීවත් වූ විවිධ කණ්ඩායම් ආද්‍රියාතික් මුහුද සහ කළු මුහුද අතර ගිනිකොනදිග යුරෝපීය අර්ධද්වීපය, එනම් දළ වශයෙන් වර්තමාන හංගේරියාවේ සිට ග්‍රීසිය දක්වා විහිදී සිටියා. හත්වන සියවසේ දී ස්ලාව් ජාතිකයන් උතුරේ සිට මෙම කලාපයට සංක්‍රමණය වීමට පෙර ඉලියරියන්, ග්‍රීකයන්, කෙල්ට්ස් සහ රෝමානුවන් මෙහි ජනාවාස පිහිටුවාගෙන සිටියා. ඊළඟ සහස්‍රය තුළ යුගෝස්ලාවියාව බවට පත් වූ අර්ධද්වීපයේ බටහිර කොටස බෙදී ගියේ සංස්කෘතික, ජනවාර්ගික හා ආගමික වශයෙන් ව්‍යාකූල වූ සම්මිශ්‍රණයක් සහිත ව යි. බටහිර ක්‍රිස්තියානි ධර්මය එහි දී වැඩි බලපෑමක් ඇති කළා.

බෝල්කන්වරුන්ගේ වත්මන් තත්ත්වයට ප්‍රධාන ඓතිහාසික සාධක දෙකක් බලපෑවා. පළමුවැන්න; හතරවන සියවසේ දී සිදු වූ රෝම අධිරාජ්‍යය බෙදීම යි. එය බෝල්කන් හි මැද සිට රෝමානු කතෝලික (බටහිර) සහ බයිසැන්තියානු ඕතඩොක්ස් (නැගෙනහිර) ලෙස බෙදී ගියා.  ඒ; බොස්නියාව හරහා සර්බියානු දේශ සීමාව දක්වා යි. දෙවැන්න; 14 වන සියවසේ ඉස්ලාමීය ඔටෝමාන්වරුන්ගේ ආක්‍රමණය යි. කොසෝවෝ පොල්ජේ (1389) සටනේ දී ඔටෝමාන් ජයග්‍රහණය, ඉස්ලාම් ආධිපත්‍යයට දොරගුලු විවිර කළා. බොස්නියා-හර්සගොවිනා සහ සර්බියාවේ සියවස් පහක පමණ කාලයක් ඉස්ලාමීය ආභාසයට නතු වූ අතර බෝල්කන් ජාතිකයන් ක්‍රිස්තියානි (උතුර) සහ මුස්ලිම් (දකුණ) ලෙස තවදුරටත් රට බෙදා ගත්තා.

 බිඳ වැටුණු යුගෝස්ලාවියාව – libcom.org

යුගෝස්ලාවියාවේ ප්‍රධාන ජනවාර්ගිකයන් වන ක්‍රොඒට්, ස්ලොවේන්, සර්බියානු සහ බොස්නියැක් යන සියල්ල ම දකුණු ස්ලාව් ජාතිකයන් ලෙස යි සැලකෙන්නේ. කණ්ඩායම් 3කට බෙදුණු ස්ලාව් ජනවාර්ගික හා භාෂාමය පවුල, මිලියන 400ක් පමණ ශක්තිමත් වූවක්. දකුණු අන්තයේ යුගෝස්ලාවියානුවන් වූ අතර බල්ගේරියානු චෙක් සහ ස්ලෝවැක් ජාතිකයන් වූයේ බටහිර යි. රුසියානුවන්, යුක්‍රේනියානුවන් සහ බෙලාරුසියානුවන් වූයේ නැගෙනහිර අන්තයේ යි. 

දකුණු ස්ලාව් ජාතිකයන් සියල්ලන් ම එක ම මුතුන් මිත්තන්ගෙනුයි පැවත එන්නේ. රෝමානු කතෝලික ක්‍රොඒට්ස් හෝ ස්ලොවේනියානුවන් බොහෝ දුරට ඩයිනරික් කඳුකරයට බටහිර දෙසින් දක්නට පුළුවන්. ඒ ඇඩ්‍රියාටික් වෙරළ තීරයේ ක්‍රොඒට් සහ ඇල්ප්ස් කඳුකරයේ ස්ලෝවේනියානු උතුරු ප්‍රදේශය යි. ඕතඩොක්ස් ක්‍රිස්තියානි සර්බ්වරුන් වැඩි වශයෙන් ජීවත් වූයේ ඩයිනරික් පරාසයට නැගෙනහිරින්. මුස්ලිම් බොස්නියානුවන් (ඔවුන්ගේ මුතුන් මිත්තන් ඔටෝමාන්වරුන් යටතේ ඉස්ලාම් ආගමට හැරී ඇත.) වැඩි වශයෙන් ජීවත් වූයේ ඩිනාරික් කඳුකරයේ. මීට අමතරව ක්‍රොඒෂියානු හා වැනිසියානු කතෝලික ජනවර්ගයක් වූ මොන්ටිනිග්‍රෝ සහ බල්ගේරියානු හා ග්‍රීක සබඳතා ඇති ජනවර්ගයක් වූ මැසිඩෝනියානු ජනවර්ග දෙකක් ද ඊට අයත්. ඒ හැරුණු විට ස්ලාවික් නොවන හංගේරියානු සහ ඇල්බේනියානු සුළුතර ජනවර්ග කිහිපයක් ද මෙහි වුණා. ඉතා ම සංකීර්ණ ජන අනුපාතයක් සමඟ විවිධ වාර්ගික සහ විවිධ ආගමික සම්මිශ්‍රණයක් එහි තිබුණා.

ෆ්‍රාන්ස් ෆර්ඩිනන්ඩ් සහ ඔහුගේ බිරිඳ සොෆීගේ ඝාතනය නිරූපණය කරන
සමකාලීන චිත්‍රයකි – smithsonianmag.com 

යුගෝස්ලාවියානු ඉතිහාසය

19 වන සියවස පුරා ම ක්‍රොඒෂියාව සහ ස්ලොවේනියාව ඔස්ට්‍රෝ-හංගේරියානු අධිරාජ්‍යයේ කොටසක් ලෙස යි පැවතුණේ. ඒ වන විට සර්බියාව ඔටෝමාන්වරුන්ගෙන් ක්‍රමයෙන් නිදහස ලබාගෙන යි තිබුණේ. 1878 දී බර්ලින් ගිවිසුමේ ප්‍රතිඵලයක් ලෙස ඔටෝමාන් පාලනය සන්තකයේ තිබූ බොස්නියාව ද ඔස්ට්‍රෝ-හංගේරියානු අධිරාජ්‍යයට භාර දෙනවා. 19 වන සියවස අවසන් වන විට ඔටෝමාන් අධිරාජ්‍ය බෝල්කන් අර්ධද්වීපයෙන් ඉවත් වී, ත්‍රේස් සහ මැසිඩෝනියාව පමණක් පාලනය කර තිබුණා. 1912 වසරේ දී සිදු වූ පළමු බෝල්කන් යුද්ධයේ දී සර්බියානුවන්, බල්ගේරියානුවන්, මොන්ටිනිග්‍රින්වරුන් සහ ග්‍රීකයන්ගේ වෑයම වූයේ තුර්කි ජාතිකයන් ඉතිරි රටවලින් පලවා හැරීම යි. එහෙත් වැඩි කලක් යාමට ප්‍රථම ජයග්‍රාහක පාර්ශව අතර ආරවුල්, මතභේද හට ගත්තා. 1913 වසරේ දී දෙවන බෝල්කන් යුද්ධය ඇවිළී ගියා. 

මෙවර සර්බ්වරු සහ බල්ගේරියානු ජාතිකයන් අතර විශාල සටනක් ඇති වූ අතර සර්බියානුවන් එය ජයගත්තා. 1914 ජුනි මාසයේ දී, බොස්නියාව සර්බියාව සමඟ ඒකාබද්ධ වීමට විශාල ප්‍රයත්නයක් දැරුවා. නමුත්, 1914 ජුනි 28 වන දින ඔස්ට්‍රියානු අධිරාජ්‍යයයේ අගරදගුරු ෆ්‍රාන්ස් ෆර්ඩිනන්ඩ් සහ ඔහුගේ බිරිය, ගැව්රිලෝ නම් 19 හැවිරිදි බොස්නියාවේ තරුණ සාමාජිකයකු අතින් සරජේවෝ හි දී ඝාතනය කෙරුණා. ෆ්‍රාන්ස් ෆර්ඩිනන්ඩ්ගේ ඝාතනය දැඩි අර්බුදයකට තුඩු දුන් අතර ඔස්ට්‍රියා-හංගේරියාව පාලනය, සර්බියාවට එරෙහි යුද්ධ ප්‍රකාශය වේගවත් කිරීමට හේතු වුණා.

එමඟින් සිදුවීම් මාලාවක් අවුළුවා ලූ අතර අවසානයේ දී එය ලෝක යුද්ධයක් කරා වර්ධනය වුණා. ඒ, ඔස්ට්‍රියා-හංගේරියා පාලනයේ සහචරයන් සහ සර්බියාවේ සහචරයන් එකිනෙකාට එරෙහි ව යුද්ධ ප්‍රකාශ කිරීමත් සමඟ යි. එසේ ම ක්‍රොඒට්, ස්ලොවේනියානු සහ සර්බියානු ජාතිකයන් ඒ වන විටත් ඔස්ට්‍රෝ-හංගේරියානු අධිරාජ්‍යයේ ආධිපත්‍යයට යට වී සිටි හෙයින් සර්බියානුවන්ට එය ඔවුන්ගේ දකුණු ස්ලාව් ජාතික සහෝදරයන් නිදහස් කරගැනීමේ යුද්ධයක් බවට පත් වුණා. සර්බියානු, ක්‍රොඒට් සහ ස්ලොවේනියානු රාජධානිය එසේ නිර්මාණය වූ අතර පසුව එය යුගෝස්ලාවියාව ලෙස නම් කළා.

මාෂල් ටිටෝ – historycollection.com

මාෂල් ටිටෝ

මුල් කාලයේ දී ජොසිප් බ්‍රෝස් ලෙස හැඳින්වූ මාෂල් ටිටෝ උපදින්නේ ක්‍රොඒෂියාවේ විශාල ගොවි පවුලක යි. ඒ 1892 වසරේ දී යි. එකල ක්‍රොඒෂියාව ඔස්ට්‍රෝ-හංගේරියානු අධිරාජ්‍යයේ කොටසක් වූ අතර 1913 දී ජොසිප් බ්‍රෝස්, ඔස්ට්‍රෝ-හංගේරියානු හමුදාවට බඳවා ගන්නවා. පළමු ලෝක සංග්‍රාමය ව්‍යාප්ත වී යාමෙන් පසු ඔහු සර්බියාවට එරෙහි ව සටන් කළ අතර 1915 දී රුසියානු පෙරමුණට යවනවා.

එහි දී ඔහු රුසියන් හමුදා අත්අඩංගුවට පත් වෙනවා. රුසියානු යුද සිර කඳවුරේ දී ඔහු බොල්ෂෙවික් සමාජවාදී දර්ශනය දෙසට වඩාත් නැඹුරු වන අතර 1917 දී රුසියානු විප්ලවයට ද සහභාගී වනවා. රුසියානු සිවිල් යුද්ධයේ දී ඔහු බොල්ෂෙවික් රතු ආරක්ෂක බළකාය හා එක්ව සටන් කළ අතර 1920 දී නැවත ක්‍රොඒෂියාවට පැමිණෙනවා. පසුව ඔහු යුගෝස්ලාවියාවේ කොමියුනිස්ට් පක්ෂයට (CPY) සම්බන්ධ වූ අතර, 1928 දී දේශපාලන උද්ඝෝෂකයකු ලෙස අත්අඩංගුවට ගැනීමට පෙර කාර්යක්ෂම දේශපාලන සංවිධායකවරයකු ලෙස ද කටයුතු කළා.

1934 දී සිරෙන් නිදහස් වූ ඔහු, යුගෝස්ලාවියාවේ කොමියුනිස්ට් පක්ෂය තුළ වේගයෙන් නැගී සිටිමින් ටිටෝ නමින් ප්‍රචලිත වෙනවා. පසුව ඔහු පක්ෂයේ අභ්‍යන්තර වැඩ සඳහා බෙහෙවින් යොදා ගැනුණා. සෝවියට් නායකත්වයෙන් යුත් ජාත්‍යන්තර කොමියුනිස්ට් සංවිධානයක් වන කොමින්ටර්න් සමඟ වැඩ කිරීම සඳහා සෝවියට් සමාජවාදී සමූහාණ්ඩුවට ගිය ටිටෝ, 1939 දී යුගෝස්ලාවියාවේ කොමියුනිස්ට් පක්ෂයේ මහලේකම් වනවා. 1941 දී ජර්මානු නාසි බලවේග යුගෝස්ලාවියාව ආක්‍රමණය කරන අතර ටිටෝ සහ ඔහුගේ කොමියුනිස්ට් පාර්ශවකරුවන් නාසි විරෝධී ප්‍රතිරෝධයේ නායකයන් ලෙස ඉස්මතු වෙනවා.

ලෝක යුද සමයේදී මාෂල් ටිටෝ සහ ජෙනරාල් කොනා පොපොවික්, යුගෝස්ලාවියාව, 1943 – pinterest.com 

1944 දී ඔවුන්ගේ සහායට පැමිණි සෝවියට් රතු හමුදා යුගෝස්ලාවියාව නිදහස් කරගත් අතර, 1945 මාර්තු මාසයේ දී නව ෆෙඩරල් යුගෝස්ලාවියානු රාජ්‍ය ප්‍රධානියා වන්නේ  මාෂල් ටිටෝයි. කොමියුනිස්ට් නොවන අය රජයෙන් ඉවත් කළ අතර 1945 නොවැම්බරයේ දී කොමියුනිස්ට් ආධිපත්‍යය දැරූ ජාතික විමුක්ති පෙරමුණේ අපේක්ෂකයන්ට පමණක් සීමා වූ මැතිවරණයක දී ටිටෝ යුගෝස්ලාවියානු අගමැති ලෙස තේරී පත් වනවා. එම මාසයේ ම සර්බියාව, ක්‍රොඒෂියාව, බොස්නියා-හර්සගොවිනා, මොන්ටිනිග්‍රෝ, ස්ලොවේනියාව සහ මැසිඩෝනියාව යන බෝල්කන් ජනරජයන්ගෙන් සමන්විත ෆෙඩරල් මහජන යුගෝස්ලාවියාව නව ව්‍යවස්ථාවක් යටතේ ප්‍රකාශයට පත් කෙරෙනවා.

යුගෝස්ලාවියානු සමූහාණ්ඩුවලට ඔවුන්ගේ සමහර කටයුතු සඳහා ස්වයං පාලනයක් ලබා දුන්න ද, ටිටෝ තීරණාත්මක නිෂේධ බලය අල්ලා ගෙන අයෝමය පාලනයක් ගෙන ගියා. ඔහු ඉක්මනින් ම මොස්කව් සමඟ ගැටුමකට එළැඹුණා. ඔහුගේ ස්වාධීන ශෛලිය, විශේෂයෙන් විදේශ කටයුතු පිළිබඳ ප්‍රතිපත්තිය ප්‍රතික්ෂේප කළ එවකට සෝවියට් පාලනය, 1948 මුල් භාගයේ දී ජෝසප් ස්ටාලින්ගේ නායකත්වයෙන් මාෂල් ටිටෝ ඉවත් කිරීමට පවා උත්සාහ කළා. කෙසේ හෝ ටිටෝ තම පාලනය පවත්වා ගෙන ගියා.

නොබැඳි ජාතීන්ගේ සංවිධානය

සමාජවාදී කඳවුර සමග ඇති වී තිබුණු විවිධ ආරවුල් නිසා ටිටෝ කිසිදු කඳවුරකට ගැති නොවී නොබැඳි ජාතීන්ගේ එකමුතුවකට ලෝකයේ සෙසු රටවල් හා අත්වැල් බැඳ ගත්තා. පළමුවන ලෝකය වූ ධනවාදී සමාජය සමඟ හෝ දෙවන ලෝකය වූ සමාජවාදී කඳවුර සමඟ හෝ අන්තවාදීව කටයුතු නොකළ ඔහු, තුන්වන ලෝකය වූ දියුණු වෙමින් පවතින ලෝකයේ සෙසු රාජ්‍ය අතර නොබැඳි පිළිවෙත වඩාත් බල ගැන්වීමට කටයුතු කළා. 1953 දී  ටිටෝ යුගෝස්ලාවියානු ජනාධිපති ලෙස තේරී පත් වූ අතර ඔහුගේ ධුර කාලය 1963 දක්වා නැවතත් දිගු වුණා. 1963 අප්‍රියෙල් 7 වනදා නව යුගෝස්ලාවියානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් මඟින් ටිටෝ ජනාධිපති ලෙස ප්‍රකාශයට පත් කළේ අලුතින් නම් කළ සමාජවාදී ෆෙඩරල් යුගෝස්ලාවියානු ජනරජයේ සුරක්ෂිත අනාගතය සඳහා යි.

1976 වසරේ දී නොබැඳි ව්‍යාපාරයේ පස්වන සමුළුව ශ්‍රී ලංකාවේ දී පැවැති අවස්ථාවේ
එවක ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය සිරිමාවෝ බන්ඩාරානායක, යුගෝස්ලාවියාවේ ජනාධිපති ජොසිප් ටිටෝ සමඟ – Getty Images

නොබැඳි ජාතීන්ගේ සංවිධානය 1961 වසරේ බෙල්ග්‍රේඩ් හීදී නිල වශයෙන් පිහිටුවා ගැනුණා. සංවිධානය පිහිටුවීම සඳහා ඉන්දියාවේ පළමු අග්‍රාමාත්‍ය, ජවහර්ලාල් නේරු; ඉන්දුනීසියාවේ ප්‍රථම ජනපති සුකර්ණෝ; ඊජිප්තුවේ දෙවන ජනපති, ගමාල් අබ්දෙල් නසර්, ඝානාවේ ප්‍රථම ජනපති ක්වාමේ න්කෘමාහ්; සහ යුගෝස්ලෝවියාවේ ජනපති, ජොසිප් බ්‍රෝස් යන නායකයින් මගපෙන්වූ බව සඳහන්.

ශ්‍රී ලංකාව නොබැඳි ව්‍යාපාරයේ ආරම්භක සාමාජිකයකු වන අතර, එම කාලයේ දී මෙරට රාජ්‍ය නායිකාව වන්නේ සිරිමා බණ්ඩාරනායක අග්‍රාමාත්‍යවරිය යි. 1976 වසරේ දී නොබැඳි ව්‍යාපාරයේ පස්වන සමුළුව ශ්‍රී ලංකාවේ, කොළඹ දී පැවැත්වෙනවා.

යුගෝස්ලාවියානු රටවැසියා වැඩි නිදහසක් භුක්ති වින්දා

මතභේද සහ එකඟ නොවීම් තිබුණත් ටිටෝ, ස්ටාලින්ට පක්ෂපාත කොමියුනිස්ට්වාදියකු වූ නිසා ඔහුට තම රට සෝවියට් දේශයේ ආකෘතියට අනුව ගොඩනැගීමටත්, සෝවියට් ජනරජ පාලන ක්‍රමවේදය ආදර්ශයට ගැනීමටත් අවශ්‍ය වුණා. එහෙයින් බොස්නියා-හර්සගොවිනා, ක්‍රොඒෂියාව, මැසිඩෝනියාව, මොන්ටිනිග්‍රෝ, සර්බියාව, ස්ලොවේනියාව වැනි ජනරජ හයක ෆෙඩරල් රාජ්‍යයක් ප්‍රකාශයට පත් කළා. දේශපාලන විරුද්ධවාදීන් පවිත්‍ර කිරීම සඳහා ඔහු සිය රහස් පොලිසිය යොදාගත්ත ද, යුගෝස්ලාවියානු සාමාන්‍ය රටවැසියා නැගෙනහිර යුරෝපයේ වෙනත් කොමියුනිස්ට් රටක වැසියන්ට වඩා වැඩි නිදහසක් භුක්ති වින්දා. ඔහුගේ 88 වන උපන්දිනයට දින කිහිපයකට පෙර 1980 මැයි මාසයේ දී ටිටෝ මියගියා.

ඒ වන විට දශක තුනකට වැඩි කාලයක් ජාතියේ අණසක යටතේ ලෝකය ඔහුට ගෞරව දැක්වූවා. ඔහුගේ අවමංගල්‍යයට ලෝකයේ බොහෝ  රාජ්‍ය නායකයන් පැමිණියා. 1948 දී ස්ටාලින්ට එරෙහි වීම නිසා ටිටෝ, බටහිර බලවත් ජාතීන්ගේ ප්‍රසාදය සහ සහයෝගය දිනාගත්තා. ජාත්‍යන්තර සමාජවාදී අරමුණු කෙරෙහි ඔහු දැක්වූ පක්ෂපාතීත්වය නිසා ඔහු පෙරදිග ජාතීන්ගේ විශ්වාසය ද දිනාගත්තා. නොබැඳි පිළිවෙත ජයග්‍රහණය කිරීම සඳහා ඔහු කළ කැපවීම මත සංවර්ධනය වෙමින් පවතින ලෝකයේ ප්‍රසාදය ද ලැබුවා. යුගෝස්ලාවියාවේ දී, ඔහු ජාතිකත්වයේ පරමාදර්ශී චරිතය බවට පත් වුණා. ඒ, ඔහු සටන් කරන දේශයක් එක්සත් කර අධ්‍යාපනය හා කර්මාන්තයේ වැදගත් ජයග්‍රහණ කරා තම ජනතාව මෙහෙයවා තිබුණු නිසා යි.

කොමියුනිස්ට් යුගෝස්ලාවියාවේ නායක ජොසිප් බ්‍රෝස් ටිටෝගේ අවමංගල්‍යය
1980 මැයි 8 වන දින බෙල්ග්‍රේඩ් හි දී – bangkokpost.com 

යුගෝස්ලාවියාවේ විනාශයේ පසුබිම

1980 දී ටිටෝගේ අභාවයත් සමඟ යුගොස්ලාවියාව බිඳවැටීම ආරම්භ වුණා. සර්බියානු සුළුතරය සහ ජනවාර්ගික ඇල්බේනියානු බහුතරය අතර කොසෝවෝ හි ස්වාධීන පළාත්වල ගැටුම් ඇති වුණා. 1989 දී ලෝකයේ කොමියුනිස්ට්වාදයේ බිඳවැටීමෙන් පසු, ජනවාර්ගික ආතතීන් යළිත් මතු වූ අතර 1991 දී යුගෝස්ලාවියානු ජනරජ සම්මේලනය බිඳී ගියා. මේ වන විට සමාජවාදී ෆෙඩරල් යුගෝස්ලාවියාවේ ඉතිරිව තිබුණේ සර්බියාව සහ මොන්ටිනිග්‍රෝව පමණයි. 1990 වසරේ දී නිදහස් මැතිවරණයක් පැවැත්වූ පළමු යුගෝස්ලාවියානු ජනරජය, ස්ලොවේනියාව යි.

ඡන්ද දායකයන්ට කොමියුනිස්ට්වාදීන් ඉවත් කිරීමට අවශ්‍ය වූ අතර, ඔවුන්ට අවශ්‍ය වූයේ ඔවුන්ගේ ම ස්වාධීන ජාතියක්. 1991 ජුනි 25 වනදා ක්‍රොඒෂියාව ද නිදහස ප්‍රකාශයට පත් කළ අතර, ස්ලොවේනියාව ද එය ම අනුගමනය කළා. 1992 දී යුගෝස්ලාවියානු පාලනය යටතේ වෙනත් ජනරජවල තිබූ ජනවාර්ගික සර්බියානු ප්‍රදේශ තමා සතුව තබාගැනීමට සර්බියානු ජනාධිපති ස්ලොබොඩන් මිලොසෙවික් දැරූ උත්සාහයෙන් සිවිල් යුද්ධය තවත් දරුණු වුණා. කොසෝවෝ හි ජන සංහාරය අවසන් කිරීමට සහ ප්‍රදේශයේ ස්වයං පාලනයක් බලාත්මක කිරීමේ උත්සාහයක් ලෙස 1999 මාර්තු මාසයේ දී නේටෝව, මිලොසෙවික් තන්ත්‍රයට එරෙහිව ගුවන් ප්‍රහාර ආරම්භ කළා.

 සර්බියානු හිටපු ජනාධිපති ස්ලොබොඩන් මිලොසෙවික් 2002 හේග් හි එක්සත් ජාතීන්ගේ යුද අපරාධ විනිශ්චය සභාවේ 
 – inavukic.com

2000 ඔක්තෝම්බරයේ දී මිලොසෙවික් බලයෙන් නෙරපා හැරුණා. පසුව, ජාත්‍යන්තර බලපෑම් මත අත්අඩංගුවට ගත් අතර මනුෂ්‍යත්වයට එරෙහි වීම හා සිදුකළ ජන සංහාරයට එරෙහි අපරාධ සම්බන්ධයෙන් දැඩි චෝදනාවට ලක් ව සිටියා. නඩු විභාගය අවසන් වීමටත් පෙර, 2006 මාර්තු 11 වනදා නෙදර්ලන්තයේ හේග් හි ඔහු රඳවා සිටි බන්ධනාගාරය තුළ ම හෘදයාබාධයකින් මිය ගියා. ඒ වන විටත් යුගෝස්ලාවියාව රාජතන්ත්‍රීය ලෝක දේශපාලන භූමියෙන් සදහට ම නික්ම ගොස් තිබුණා.

කවරයේ ඡායාරූපය - https://mycountryeurope.com/

මූලාශ්‍ර

.history.com/

bbc.co.uk

theculturetrip.com

www.icty.org

ricksteves.com

.nytimes.com

ncbi.nlm.nih.gov/ 

libcom.org

smithsonianmag.com

historycollection.com

pinterest.com

bangkokpost.com

inavukic.com

Related Articles