Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

රිපබ්ලිකන් නැඟී සිටීමත් සමඟ ට්‍රම්ප් නැවත හිස ඔසවයි ද?

පසුගිය නොවැම්බර් 8 වැනිදා පැවැත්වුණු එක්සත් ජනපදයේ මධ්‍යවාර මැතිවරණයේ ප්‍රතිඵල මේ වනවිට නිකුත් වී තිබෙනවා. එහි දී නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ බහුතරය තහවුරු කරමින් ආසන 218 සීමාව කරා පැමිණීමට රිපබ්ලිකන් පක්ෂය සමත් වුණා.

එක්සත් ජනපදයේ වත්මන් බලය ජෝ බයිඩන් ප්‍රමුඛ ඩිමොක්‍රටික් පක්ෂයට හිමි වී ඇති පසුබිමක රිපබ්ලිකන් පක්ෂයේ නැඟීම සුවිශේෂී අවස්ථාවක් ලෙස සැලකිය හැකි යි. ඊළඟ ජනාධිපතිවරණයට තවත් අවුරුදු දෙකක කාලයක් ඉතිරි ව තිබිය දී ඩිමොක්‍රටික් පක්ෂයේ ජනප්‍රියත්වය දැනටමත් හායනයට ලක් වෙමින් තිබෙන බව මින් පෙනී යනවා.

නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ බහුතරය ලබා ගැනීමට රිපබ්ලිකන් පක්ෂය සමත් වුණා – www.politico.com

මෙම ප්‍රතිපලයත් සමඟ ඉදිරි අවුරුදු දෙක නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ ගත කිරීමට ජෝ බයිඩන්ට සිදු වෙනවා. එය තරමක් අභියෝගාත්මක වාතාවරණයක් වන අතර, නියෝජිත මන්ත්‍රී මණ්ඩලයෙන් රිපබ්ලිකන් පක්ෂය ලැබූ තියුණු ජයග්‍රහණය බයිඩන් ගේ ඉදිරි න්‍යාය පත්‍රයට බලපෑම් එල්ල කිරීමට තරම් ප්‍රමාණවත්.

සෙනෙට් සභාවේ බලය රඳවා ගැනීමට ඩිමොක්‍රටික් පක්ෂය සමත් වුණා – www.politico.com

මධ්‍යවාර මැතිවරණය යනු කුමක් ද?

එක්සත් ජනපද ජනාධිපතිවරයකු ගේ ධූර කාලය අවුරුදු හතරකට සීමා වෙනවා. එම ධූර කාලයෙන් අඩක් ගෙවුණු පසු මධ්‍යවාර මැතිවරණය වෙනුවෙන් එක්සත් ජනපදය සූදානම් විය යුතු අතර, එරට කොංග්‍රසයේ සභිකයන් හෝ ආසන වෙනුවෙන් නියෝජිතයන් පත් කර ගැනීම මෙමඟින් සිදු කෙරෙනවා.  නියෝජිත මන්ත්‍රී මණ්ඩලය සහ සෙනට් සභාව යනුවෙන් කොටස් දෙකකින් කොංග්‍රසය සමන්විත යි. මධ්‍යවාර මැතිවරණයේ දී නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ ආසන 435 ක් වෙනුවෙන් නියෝජිතයන් තරග කරන අතර, සෙනට් සභාව සඳහාත් සභිකයන් 35 දෙනකු මෙවර තෝරා පත්කර ගනු ඇති.  

කොංග්‍රසය යනු කුමක් ද?

එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ “I වගන්තිය” ප්‍රකාරව “කොංග්‍රසයේ” නමැති ව්‍යවස්ථාදායක ශාඛාව පිහිටුවා තිබෙනවා. සියලු ම එක්සත් ජනපදිකයන් ගේ දෛනික ජීවිතයට බලපාන නීති පැනවීම සහ ජනතාවගේ හඬ ලෙස පෙනී සිටින්නේ කොංග්‍රසය යි. මීට අමතර ව, රජයේ කාර්යයන් සහ වැඩසටහන් සඳහා අරමුදල් සැපයීම, ව්‍යවස්ථාදායක ක්‍රියාවලිය දැනුම් දීම සඳහා විභාග පැවැත්වීම සහ විධායක ශාඛාව (නීතිය ක්‍රියාත්මක කරන ශාඛාව) අධීක්ෂණය කිරීම, කොංග්‍රසයේ වගකීම් අතර තිබෙනවා.

ඩිමොක්‍රටික් පාක්ශික නැන්සි පෙලෝසි ගේ සභා කථානායක ධූර කාලයත් අවසාන වෙනවා- Anna Moneymaker/Getty Images

මධ්‍යවාර මැතිවරණය එක්තරා අන්දමකින් ජනපතිවරයාගේ ක්‍රියාකලාපය පිළිබිඹු වන ජනමත විචාරණයක් ලෙස හැඳින්විය හැකි යි. ජනපතිවරයාගේ පාලනය අසතුටුදායක නම් ඊළඟ ජනාධිපතිවරණයේ ප්‍රතිපලය හැසිරෙන අන්දම සම්බන්ධයෙන් පූර්ව අනතුරු ඇඟවීමක් මධ්‍යවාර මැතිවරණයෙන් ලැබෙනවා. ඒ අනුව 2024 ජනාධිපතිවරණයේ දී ඩිමොක්‍රටික් පක්ෂයට සැබෑ අභියෝගයක් රිපබ්ලික් පක්ෂයෙන් එල්ල වනු ඇති.

ඉදිරි කාලය තවත් අමාරු යි

රිපබ්ලිකන් පක්ෂයේ ජයග්‍රහණයත් සමඟ ඩිමොක්‍රටික් පාක්ශික නැන්සි පෙලෝසි ගේ සභා කථානායක ධූර කාලයත් අවසාන වෙනවා. ඇය එම ධූරයේ වැඩකටයුතු රිපබ්ලිකන් පක්ෂයේ කෙවින් මැකාර්තිට ලබා දීමේ ඉඩකඩක් ඇති අතර, රිපබ්ලිකන් පක්ෂයෙන් සභා කථානායක ධූරය සඳහා දැනටමත් කෙවින් මැකාර්ති ගේ නම යෝජනා වී ඇති බව වාර්තා වෙනවා.

කෙවින් මැකාර්ති – edition.cnn.com

කරුණු කාරණා මෙසේ පෙළගැසෙද්දී ඉදිරිය කෙබඳු වේවි ද?

පැහැදිලිව ම ඩිමොක්‍රටික් පක්ෂයට කොංග්‍රසයේ පූර්ණ බලය අහිමි වී ඇති බැවින්, ඊළඟ ජනාධිපතිවරණය තෙක් පක්ෂ දෙක අතර මතවාදී ගැටුම් ඕනෑ තරම් ඉස්මතු වේවි. ඒ අතර කොවිඩ් වසංගතය ඉදිරියේ බයිඩන් රජය ක්‍රියාත්මක වූ අන්දම, ඇෆ්ගනිස්තානයෙන් හදිසියේ ම හමුදා ඉවත් කර ගැනීමේ ආන්දෝලනාත්මක සිදුවීම සහ ජෝ බයිඩන් ගේ පුත් හන්ටර් බයිඩන් ගේ ව්‍යාපාරික ක්‍රියාකාරකම් වැනි ගැටලු අරබයා රිපබ්ලික් නියෝජිතයන් කොංග්‍රස් විමර්ශන මාලාවක් ක්‍රියාත්මක කිරීමට ඉඩ තිබෙනවා.  

බයිඩන් සූදානම්!

ඉදිරි කාලයේ දී ඩිමොක්‍රටික් පක්ෂය ගෙන එන ඕනෑම නීතියකට බලපෑම් කිරීමේ බලය දැන් ඔවුන් සතු යි. එමෙන් ම, තම පක්ෂයේ මතවාද සහ ක්‍රියාමාර්ග පෙරට වඩා ශක්තිමත් ව ප්‍රවර්ධනය කිරීමේ අවස්ථාවත් රිපබ්ලිකන් නියෝජිතයන්ට හිමි වෙනවා. මේ අතර ජෝ බයිඩන්, රිපබ්ලිකන් ජයග්‍රහණය වෙනුවෙන් කෙවින් මැකාර්තිට සුබ පතමින් පවසා සිටියේ ඉදිරි වැඩකටයුතු රිපබ්ලිකන් නියෝජිතයන් සමඟ සිදු කර ගෙන යාමට සූදානමින් පසුවන බව යි. 

සහාය ලබාදෙන පක්ෂ අනුව වඩාත් වැදගත් ගැටලුව ඡන්දදායකයින් සළකා බලා තිබූ අයුරු – www.bbc.com

බයිඩන් සහ ඔහු ගේ පක්ෂය මැතිවරණය සඳහා ඉදිරිපත් වූයේ අමෙරිකානුවන් උද්ධමනය සමඟ පොරබඳිමින් සිටින අවධියක යි. එහි දෝෂාරෝපණය සෘජුව ම බයිඩන් පාලනයට එල්ල වන පසුබිමක පවා ඩිමොක්‍රටික් පක්ෂය සැලකිය යුතු ඡන්ද ප්‍රමාණයක් බලාපොරොත්තු වුණා. එහෙත්, රිපබ්ලිකන් පක්ෂයේ මැතිවරණ ව්‍යාපාරය තරමක් දුරට සාර්ථක වූ බවක් පෙනෙන්නට තිබෙනවා. ප්‍රචණ්ඩකාරී අපරාධ භීතියක් පැතිරවීමට ඉඩ තැබූ, ඡන්දදායකයන් ගේ අපේක්ෂාවලින් ඈත් වුණු, අන්ත වාම දේශපාලනඥයන් ලෙස ඩිමොක්‍රටික් නියෝජිතයන් විවේචනය කිරීමට රිපබ්ලිකන් පක්ෂය උත්සුක වුණා.

මෙවර සාධකය “උද්ධමනය”

ඩිමොක්‍රටිකයන් ද පෙරළා පහර දෙන්නට පසුබට වූයේ නැහැ. බොහෝ රිපබ්ලිකන් දේශපාලනඥයන්ගේ, විශේෂයෙන් ම ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පිටුබලය ලත් අන්ත දක්ෂිණාංශික පුද්ගලයන්ගේ අන්තවාදී ස්වභාවය පෙන්වා දෙමින් ඔවුන් ප්‍රජාතන්ත්‍රවාදයට තර්ජනයක් බව ඩිමොක්‍රටික් නියෝජිතයන් අනතුරු ඇඟවූවා. ගතානුගතික ආධිපත්‍යය දරන ශ්‍රේෂ්ඨාධිකරණයක් ෆෙඩරල් ගබ්සා කිරීමේ අයිතිය අහිමි කිරීමෙන් ඇති වූ බලපෑම ද ඔවුන් එහි දී ඉස්මතු කළා.

මේ කරුණු ඇතුළත් ව ට්‍රම්ප් පාලන සමයේ පැවති අමිහිරි මතක යළි ඇවිස්සුවත්, තැටිය රත්කර ගැනීමට ඩිමොක්‍රටික් පක්ෂයට හැකි වුණේ නැහැ. ඔවුන් සිතනවාටත් වඩා වේගයෙන් අමෙරිකානුවන් ගේ දේශපාලන නැඹුරුව වෙනස් වෙමින් පවතිනවා. ඒ සඳහා ඉහළ යන උද්ධමනය වඩාත් බලපා ඇති අතර, එම ගැටලුව සෘජු ව සාකච්ඡාවට බඳුන් කිරීමට රිපබ්ලිකන් පක්ෂය උනන්දු වුණා. එය ඔවුන්ට වාසි සහගත තත්ත්වයක් උදා කිරීමට හේතු වූ බවයි පෙනී යන්නේ.

එක්සත් ජනපදයේ පුරවැසියන් අතර සමබර සහ පැහැදිලි දේශපාලනික බෙදුම් රේඛාවක් දැන් ඇදී තිබෙනවා – www.marxist.com

වර්ධනය වෙමින් පවතින උද්ධමනයට යුක්‍රේන-රුසියානු අර්බුදය විශාල වශයෙන් බලපා ඇති බැවින්, බයිඩන් ඇතුළු ඩිමොක්‍රටික් පක්ෂය යුක්‍රේන අර්බුදය හමුවේ ක්‍රියා කරන අන්දම දෙසත් ජනතාව බලා සිටිනවා. බයිඩන් ගේ යුක්‍රේන ප්‍රතිපත්ති එක්සත් ජනපදයේ උද්ධමනයට තවදුරටත් බලපෑම් එල්ල කළහොත්, එය ඉදිරි මැතිවරණයක දී ඩිමොක්‍රටික් පක්ෂයට අවාසිදායක වනු ඇති.

ට්‍රම්ප් ආපසු ඒවි ද?

බොහෝ රිපබ්ලිකන් නියෝජිතයන් මධ්‍යවාර මැතිවරණ ව්‍යාපාරය පුරා සංක්‍රමණ විරෝධී ආකල්පයක් ද දරා තිබුණා. විශේෂයෙන් ම එක්සත් ජනපද-මෙක්සිකෝ දේශසීමාව හරහා සරණාගතයන් විශාල සංඛ්‍යාවක් පැමිණීම සම්බන්ධයෙන් ඔවුන් නොසතුට පළ කර ඇති අතර, එහි වගකීම ඩිමොක්‍රටිකයන් පිට පවරා තිබුණා. රිපබ්ලිකන් පක්ෂය ස්වභාවයෙන් ම රටට පැමිණෙන සංක්‍රමණිකයන් පාලනය කළ යුතුයැ යි විශ්වාස කරන පිරිසක්. ට්‍රම්ප් පාලන සමයේ දී එම සීමා කිරීම් කැපී පෙනෙන මට්ටමකින් පෙනෙන්නට තිබුණා.

ට්‍රම්ප් ගැන යළි කතාබහක් – www.usnews.com

රිපබ්ලිකන් නැඟී සිටීමත් සමඟ ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ ආගමනය ගැනත් විවිධ තොරතුරු සංසරණය වෙමින් පවතිනවා. ඔහු නැවත වතාවක් ජනපති අපේක්ෂකත්වය ප්‍රකාශ කළහොත්, ඔහුගේ මැතිවරණය ව්‍යාපාරය 2020 වඩා 2016 ට සමාන වීමට ඉඩ තිබෙනවා. එකල ඔහු එක්සත් ජනපදයේ උන්නතිය වෙනුවෙන් අවධාරණය කළ කරුණු නැවතත් අමෙරිකානුවන් තුළින් ම ඉස්මතු වෙමින් පැවතීම ඊට හේතුව යි. රිපබ්ලිකන් පක්ෂය යනු තරමක් ගතානුගතික අදහස් ඇති අමෙරිකානුවන් ගේ ඡන්ද පහසුවෙන් ආකර්ෂණය කර ගැනීමට සමත් පක්ෂයක්. ට්‍රම්ප්ට ඒ සිතුම් පැතුම් ගැන ඉතා හොඳ අවබෝධයක් තිබෙනවා.

අලුතෙන් සිතන රිපබ්ලිකානුවෝ

කෙසේ නමුත්, ඩොනල්ඩ් ට්‍රම්ප්ට යළි ජනපති වීමේ සිහිනය සැබෑ කරගැනීමත් පහසු නැහැ. පළමු වර ජනාධිපති වීමේ දී ගැඹුරු දේශපාලන ඉතිහාසයක් නොතිබීම ට්‍රම්ප්ට වාසි සහගත වුණා. නමුත්, දැන් තත්ත්වය හාත්පසින් ම වෙනස්. ඔහු විවේචනයට ලක් කළ හැකි දේශපාලන ඉතිහාසයක් ජනපති ව සිටි වසර හතර තුළ ගොඩ නැඟුණා.

ට්‍රම්ප් හිතවාදීන් කැපිටල් ගොඩනැඟිල්ලෙහි සිදු කළ කලබලය – www.cnbc.com

සාමකාමී බල සංක්‍රාන්තියකට ඉඩ නොතබමින් ට්‍රම්ප් පාක්ෂියන් කැපිටල් ගොඩනැඟිල්ලට ඇතුළු වී සිදු කළ කලබගෑනියේ වගකීමෙන් නිදහස් වීමට ඔහුට තවමත් හැකි වී නැහැ. එය රිපබ්ලිකන් පක්ෂ අභ්‍යන්තරයටත් අනිසි බලපෑමක් එල්ල කළා. මීට අමතර ව, නීතිමය වියවුල් ද ඔහු ගේ ප්‍රතිරූපයට හානි එල්ල කර තිබෙනවා. රිපබ්ලිකන් පක්ෂයේ අවදි වීමක් දක්නට ලැබුණත්, ඉදිරි මැතිවරණ ව්‍යාපාර ට්‍රම්ප් කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක නොකිරීමට ඉඩ තිබෙන්නේත් ඒ නිසා යි.

කවරයේ ඡායාරූපය- එක්සත් ජනපද මධ්‍යවාර මැතිවරණය, එළඹෙන ජනාධිපතවරණයේ ඡන්ද හැසිරීම සම්බන්ධයෙන් යම් අදහසක් ලබා දෙනවා - news.yahoo.com
මූලාශ්‍ර:
www.visitthecapitol.gov
www.bbc.com
www.theguardian.com
www.aljazeera.com

Related Articles