ලොව පැරැණිත ම සිතියම් හතක්

මීට දශක කිහිපයකට පෙර බොහෝ දෙනකු අත අනිවාර්යයෙන් ම රැඳුණු දේවලින් එකකි- සිතියම. සිතියම් භාවිතය සියවස් ගණනාවක් තිස්සේ ප්‍රචලිත ව පැවති නමුත්, ජංගම දුරකථන ඇතුළු ඉලෙක්ට්‍රොනික උපාංගවල සිතියම් අන්තර්ගත කිරීමත් සමග මුද්‍රිත සිතියම් භාවිතය තරමක් අඩු විය. මේ වන විට සිතියම් භාවිත කිරීම බොහෝ විට ආරක්ෂක අංශ, පාසල් සහ වෙනත් අධ්‍යාපන ආයතන වැනි ස්ථාන කිහිපයකට පමණක් සීමා වී තිබේ.

අද වන විට සිතියම් භාවිත කිරීම තරමක් අඩු වුවත් බුද්ධ වර්ෂ 600 ගණන්වල පවා සිතියම් භාවිත කර තිබෙන බව මේ වන විට අනාවරණය කරගෙන තිබේ. ඒ ලොව පැරැණිත ම සිතියම ලෙස සැලකෙන බැබිලෝනියානු අධිරාජ්‍යය පැවති සමයේ භාවිත වූ මැටි පුවරුවක නිරූපිත සිතියම ලෝක සිතියමක් බව සොයා ගැනීමත් සමඟ ය.

එම සිතියම සහ විවිධ රටවලින් සොයා ගෙන තිබෙන තවත් පෞරාණික සිතියම් කිහිපයක් පිළිබඳයි මෙම ලිපිය.

බැබිලෝනියානු ලෝක සිතියම –  gettyimages.com

1. බැබිලෝනියානු ලෝක සිතියම

දැනට සොයාගෙන ඇති ලොව පැරැණිත ම ලෝක සිතියම ලෙස සැලකෙන්නේ බැබිලෝනියානු ලෝක සිතියම යි. මැටි පුවරුවක නිරූපිත එය ක්‍රිස්තු පූර්ව 600 දී නිර්මාණය කර ඇති බව අනාවරණය කර ගෙන තිබේ. දිගින් අඟල් පහක් සහ පළලින් අඟල් තුනක් වන මෙම සිතියමේ, සාගරයෙන් වට වූ පැතලි තැටියක් ලෙස පෘථිවිය නිරූපණය කර ඇත. එ

හි බැබිලෝන් සහ යුප්‍රටීස් යන ගංගා සෘජුකෝණාස්‍ර යුගළයක් ලෙස නිරූපණය කර ඇති අතර අසල්වැසි නගර වන ඇසිරියාව සහ සූසා, වෘත්තාකාර ලෙස දැක්වේ. තැටියක හැඩය ගත් කොටසට අමතර ව තවත් දූපත් වැනි යමක් යැයි සිතිය හැකි කුඩා කොටස් කිහිපයක් ද සිතියමේ දැකිය හැකි ය.

ප්‍රතිනිර්මාණය කළ ටොලමිගේ සිතියමක් – www.history.com

2. ටොලමිගේ ‘භූගෝලය’

සිතියම් නිර්මාණය හා සබැඳි බොහෝ දේවල්වල ආරම්භය සිදු වූයේ ග්‍රීක විද්වතකු වූ ක්ලෝඩියස් ටොලමි ජීවත් වූ කාලයේ බව බොහෝ දෙනකුගේ මතය වේ. ක්‍රිස්තු වර්ෂ 150 දී, ඔහු ගණිතමය මූලධර්ම යොදාගනිමින් සකස් කළ පළමු සිතියම් පොත- ‘භූගෝලය’ සකස් කළේ ය. එය වෙළුම් අටකින් යුතු පොතකි. එහි කැපී පෙනෙන දෝෂ කිහිපයක් තිබෙන බව වර්තමානය වන විට හඳුනා ගෙන තිබේ.

විවිධ ස්ථාන නාම 8,000කට වඩා සඳහන් වන එහි අයිස්ලන්තය සහ කොරියාව වැනි දුරබැහැර රටවල් පවා නිරූපණය කර තිබීම කැපී පෙනෙන ලක්ෂණයකි. අවාසනාවන්ත කරුණ නම් ටොලමි නිර්මිත සිතියම් එකක්වත් මේ වන විට ශේෂ වී නොතිබීම යි. කෙසේ වෙතත් 13 වැනි සියවසේ දී පටන් වරින් වර ඔහුගේ සිතියම් ප්‍රතිනිර්මාණය කර තිබේ.

‘Peutinger’ සිතියම- www.pinterest.com

3. ‘Peutinger’ සිතියම

ලොව පුරා බොහෝ මුහුදු මාර්ග රෝමය දක්වා විහිද ගිය කාලයේ එම මාර්ග ඔස්සේ ගමන් කළ බොහෝ දෙනකු මෙම ‘Peutinger’ සිතියම භාවිත කර තිබේ. තරමක වෙනස් හැඩයකින් යුතු මෙය දිගින් අඩි 22ක් සහ පළලින් අඩියක් වේ. එහි බටහිර යුරෝපයේ සිට මැද පෙරදිග දක්වා විහිදෙන සැතපුම් 60,000ක් පමණ වන මාර්ග ජාලයක් නිරූපණය කර තිබේ. එහි එක් කොටසක ඉන්දියාව, ශ්‍රී ලංකාව සහ ආසියාවේ අනෙකුත් රටවල් කිහිපයක් ද පෙන්වයි.

නවීන සංචාරක මාර්ගෝපදේශයක් මෙන්, මෙම සිතියමේ නගර 500කට වැඩි ප්‍රමාණයක්, ආගමික ස්ථාන, වනාන්තර, ගංගා සහ සම්බාහන මධ්‍යස්ථාන වැනි ස්ථාන පවා නිරූපණය කර ඇත. මුල් ‘Peutinger’ සිතියම ක්‍රිස්තු වර්ෂ හතරවැනි වැනි සියවසේ දී පමණ නිර්මාණය කර ඇති නමුත් අද පවතින සිතියම 13 වැනි සියවසේ නිර්මාණය කර ඇති පිටපතකි. 1500 ගණන්වල මුල් භාගයේදී එහි හිමිකාරිත්වය ගත් ජර්මානු ජාතික ‘Konrad Peutinger’ ගේ නමින් එය නම් කර ඇත.

‘ටැබුලා රොජරියානා’ -www.nationalgeographic.com

4. ‘ටැබුලා රොජරියානා’

ක්‍රිස්තු වර්ෂ 12 දී සිසිලියේ සහ අප්‍රිකාවේ රජකම් කළ දෙවැනි රොජර් රජු එවකට සුප්‍රසිද්ධ මුස්ලිම් විද්වතකු වූ අල්-ඉද්‍රිසිට භූගෝලය පිළිබඳ පොතක් ලියන්නැයි නියම කළේ ය. ඒ අනුව මෙම විද්වතා ලියූ පොත ‘ටැබුලා රොජරියානා’ යනුවෙන් හැඳින්වෙන අතර එහි දීර්ඝ නාමය වන්නේ ‘”දුර රටවලට ප්‍රසන්න ගමන් සඳහා මාර්ගෝපදේශයක්’ යන්න යි. එහි කලාපීය සිතියම් කිහිපයක් සහ යුරේසියාව සහ අප්‍රිකාව ඇතුළු විවිධ රටවල් පිළිබඳව තොරතුරු ඇතුළත් විය.

සංචාරකයන්ගෙන් සහ තමන් ම කළ සංචාර අතරතුර එක්රැස් කර ගත් තොරතුරු පදනම් කර ගනිමින් දේශගුණය, දේශපාලනය සහ විවිධ කලාපවල සංස්කෘතිය පිළිබඳ ව දීර්ඝ වශයෙන් තොරතුරු මෙම පොතට ඇතුළත් කිරීමට ඔහු කටයුතු කළේ ය. එය ලොව වඩාත් ම නිවැරදි දත්ත සහිත සිතියම් සහිත පොතක් ලෙස සියවස් ගණනාවක් තිස්සේ ප්‍රසිද්ධ වී තිබිණි.

මිං අධිරාජ්‍යයේ ඒකාබද්ධ සිතියම – www.britannica.com

5. ‘මිං අධිරාජ්‍යයේ ඒකාබද්ධ සිතියම’

දැනට ශේෂ ව ඇති පෙරදිග රටවලට අදාළ පැරැණිත ම සිතියම්වලින් එකක් ලෙස සැලකෙන මෙය ‘Da Ming Hun Yi Tu’ නොහොත් “මිං අධිරාජ්‍යයේ ඒකාබද්ධ සිතියම” ලෙස හැඳින්වේ. සේද රෙද්දක් මත ඇඳ ඇති මෙම සිතුවම චීනයට අයත් එකකි. ඉතිහාසඥයන් පවසන්නේ මෙම සිතියම ක්‍රිස්තු වර්ෂ 1389 දී නිර්මිත එකක් බව යි. ජපානයේ සිට අත්ලාන්තික් සාගරය දක්වා බොහෝ රටවල් නිරූපණය කර ඇති මෙහි සාගරය, කඳුවැටි, ගංගා සහ වෙනත් සුවිශේෂී පරිපාලන මධ්‍යස්ථාන පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු ඇතුළත් වේ.

‘කැන්ටිනෝ ප්ලැනිස්පියර්’  –  gettyimages.com

6. ‘කැන්ටිනෝ ප්ලැනිස්පියර්’

ක්‍රිස්තු වර්ෂ 1501 දී ඉතාලියේ ආදිපාදවරයකු, ඇල්බර්ටෝ කැන්ටිනෝ නම් ඒජන්තවරයකු පෘතුගාලයට අයත් සිතියමක් අත්පත් කර ගැනීම සඳහා පත් කළේ ය. එහි පෘතුගාලය ගවේෂණය කළ රටවල් සහ වෙනත් භූ විද්‍යාත්මක වටිනාකමක් ඇති ස්ථාන ගණනාවක් නිරූපණය කර තිබිණි. එම සිතියම අත්පත් කර ගැනීමේ මෙහෙයුම සාර්ථක කර ගැනීමට මෙම ඒජන්තවරයාට හැකි විය. එහි අප්‍රිකාව, ඉන්දියාව සහ යුරෝපය පමණක් නොව දකුණු අමෙරිකාව පිළිබඳව ද වැදගත් තොරතුරු රැසක් අන්තර්ගත වේ.

වෝල්ඩ්සිමුලර් සිතියම  –  gettyimages.com

7. වෝල්ඩ්සිමුලර් ලෝක සිතියම

මෙම සිතියම ජර්මානු ජාතික සිතියම් ශිල්පියකු වූ ‘මාර්ටින් වෝල්ඩ්සිමුලර්’ 1507 දී ඇඳ ඇති එකකි. අමෙරිකානු මහද්වීප ගවේෂණය කළ ඉතාලි ජාතික ‘අමෙරිගෝ වෙස්පුචි’ ට කරන උපහාරයක් වශයෙන් මෙම සිතියමේ එම මහද්වීප ‘අමෙරිකාව’ යනුවෙන් නම් කළේ වෝල්ඩ්සිමුලර් සහ ඔහුගේ සහායකයා වූ ‘මතියස් රින්ග්මන්’ බව කියැවේ. ඒ නිසා’ම මෙම සිතියමට ‘අමෙරිකාවේ උප්පැන්න සහතිකය’ යන අන්වර්ථ නාමය පටබැඳි තිබේ. ලොව මිලෙන් වැඩිම ලෝක සිතියම වන්නේ ද මෙය යි. 2003 දී එක්තරා පුස්තකාලයක් අමෙරිකානු ඩොලර් මිලියන 10ක මුදලක් ගෙවා එහි ශේෂ වී ඇති පිටපතක් මිලදී ගෙන ඇත.

කවරයේ ඡායාරූපය- පැරැණි සිතියමක් - www.pinterest.com

මූලාශ්‍ර:

www.history.com - Evan Andrews

www.nationalgeographic.com

www.britannica.com

Related Articles