Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

වසර දහස් ගණනක් වයසැති ලොව පැරැණිත ම විශ්වවිද්‍යාල දහයක්

මෙරට මේ වන විට රාජ්‍ය සහ පෞද්ගලික ව්ශ්වවිද්‍යාල ගණනාවක් ම තිබෙන නමුත් ඒවායේ ඉතිහාසය වසර සියයකටත් අඩු කාලයකි. කෙසේ නමුත් ලෝකයේ අනිකුත් රටවල පිහිටා ඇති සමහර විශ්වවිද්‍යාලවල ඉතිහාසය වසර දහස් ගණනක් ඈතට දිව යයි.

මෙම ලිපිය එවැනි ලොව පැරැණිත ම විශ්වවිද්‍යාල දහයක් පිළිබඳ ව යි.

1. අල් ඛරාවිය්යින් විශ්වවිද්‍යාලය- මොරොක්කෝව

ක්‍රිස්තු වර්ෂ 859 දී ආරම්භ කළ මොරොක්කෝවේ පිහිටි අල් ඛරාවිය්යින් විශ්වවිද්‍යාලය යුනෙස්කෝ සංවිධානයට සහ ගිනස් වාර්තාවලට අනුව ලොව පැරැණිත ම උපාධි පිරිනමන අධ්‍යාපන ආයතනය ලෙස හඳුනාගෙන ඇත. එය 1963 වර්ෂයේ දී මොරොක්කෝවේ රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියට ඇතුළත් කිරීමට එරට රජය කටයුතු කර ඇත. මෙම විශ්වවිද්‍යාලයේ ක්‍රියාත්මක වන පාඨමාලා බොහොමයක් ඉස්ලාම් ධර්මය, නීතිය සහ අරාබි භාෂාව වැනි විෂයයන් පදනම් කරගත් ඒවා වේ.

මෙම විශ්වවිද්‍යාලය ගැහැනු සහ පිරිමි දෙපාර්ශවයට ම විවෘත උසස් අධ්‍යාපන ආයතනයක් වේ. අල් ඛරාවිය්යින් විශ්වවිද්‍යාලයේ වර්තමානය වන විට සිසුන් සිසුවියන් 8,000කට වැඩි පිරිසක් අධ්‍යාපනය ලබති. මෙම විශ්වවිද්‍යාලය සම්බන්ධ තවත් වැදගත් කරුණක් වන්නේ මෙය පිහිටුවා ඇත්තේ කාන්තාවක් වීම ය. මොරොක්කෝවේ විසු ධනවත් ව්‍යාපාරිකයකුගේ දියණියක වූ ෆාතිමා අල් ෆිහ්රි සිය පියාගෙන් තමන්ට හිමි වූ ධනය වැය කොට මෙය ආරම්භ කර ඇත.

අල් ඛරාවිය්යින් විශ්වවිද්‍යාලය – www.dailysabah.com 

 

2. අල් අෂාර් විශ්වවිද්‍යාලය- ඊජිප්තුව

ඊජිප්තුවේ කයිරෝ නුවර පිහිටා ඇති අල් අෂාර් විශ්වවිද්‍යාලය ඊජිප්තුවේ පැරැණිත ම උපාධි පිරිනමන විශ්වවිද්‍යාලය වේ. ඉස්ලාම් භක්තිකයන්ගේ එක කොටසක් වන සුන්නි මුස්ලිම්වරුන්ගේ ප්‍රධානත ම උසස් අධ්‍යාපන ආයතනයක් ලෙස මෙම විශ්වවිද්‍යාලය හැඳින්වේ. වර්තමානය වන විට එහි ශාඛා ඊජිප්තුව පුරා විහිදී ඇති අතර ඒවායේ අධ්‍යාපනය ලබන සිසුන් සිසුවියන් සංඛ්‍යාව මිලියන දෙකකට ආසන්න ය. ඉස්ලාම් ධර්මය සහ ඒ හා බැඳි සංස්කෘතිය පදනම් කර ගත් අධ්‍යාපන වැඩසටහන් රැසක් මෙම විශ්වවිද්‍යාලයේ ක්‍රියාත්මක වේ.

ආරම්භ කළ මුල් කාලයේ දී මෙය ඉස්ලාම් ධර්මය ඉගැන්වීමේ මධ්‍යස්ථානයක් විය. එයින් පසුකාලීන ව ඉස්ලාමිය නීතිය, තර්ක ශාස්ත්‍රය, ව්‍යාකරණ වැනි දෑ හැදෑරීමට ද සිසු සිසුවියන්ට අවස්ථාව ලැබිණි. මුල් කාලයේ දී අවිධිමත් අයුරින් පවත්වා ගෙන ආ මෙම විශ්වවිද්‍යාලයට ඇතුළත් වීමේ සුදුසුකම් හෝ පිළිගත් විෂය නිර්දේශයක් නොවූ අතර උපාධි පිරිනැමුවේ ද නැත. පසුකාලීනව මෙහි වෙනස්කම් රැසක් සිදු කර පිළිගත් උසස් අධ්‍යාපන ආයතනයක් බවට පත් කිරීමට ඊජිප්තු අධ්‍යාපන බලධාරීන් කටයුතු කර ඇත. එහි ප්‍රතිපලයක් ලෙස 1960 දශකයේ දී මෙම විශ්වවිද්‍යාලයේ වෛද්‍ය සහ ඉංජිනේරු පීඨ බිහි විණි.

අල් අෂාර් විශ්වවිද්‍යාලය – istock.com

 

3. බොලොඤ්ඤා විශ්වවිද්‍යාලය- ඉතාලිය

ක්‍රිස්තු වර්ෂ 1088දී පිහිටු වූ ඉතාලියේ බොලොඤ්ඤා විශ්වවිද්‍යාලය බටහිර ලෝකයේ පිහිටා ඇති අඛණ්ඩ ව පවත්වාගෙන ආ පැරැණිත ම විශ්වවිද්‍යාලය වේ. පාසල් 11ක් පමණ එකට එකතු කර පිහිටැ වූ මෙම විශ්වවිද්‍යාලය ආරම්භයේ සිට ම උපාධි පිරිනමා තිබේ. ආගම සහ සිවිල් නීතිය සම්බන්ධ පාඨමාලා හැදෑරීමට උනන්දුවක් දක්වන අය අතර ඉතාමත් ජනප්‍රිය උසස් අධ්‍යාපන ආයතනයක් ලෙස මෙය හැඳින්විය හැකි ය.

මෑතක් වන තුරු ම ආචාර්ය උපාධි පමණක් පිරිනැමූ මෙම විශ්වවිද්‍යාලය වර්තමානය වන විට ප්‍රථම උපාධි සහ අනිකුත් උපාධි ද පිරිනමයි. මේ වන විට ප්‍රථම උපාධි අපේක්ෂකයන් 52,787ක් සහ සහ පශ්චාත් උපාධි අපේක්ෂකයන් 29,576ක් ඇතුළු සමස්ත උපාධි අපේක්ෂකයන් 82,363ක් බොලොඤ්ඤා විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය හදාරති.

බොලොඤ්ඤා විශ්වවිද්‍යාලය –  www.thestudentpocketguide.com 

4. ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය- එක්සත් රාජධානිය

විදෙස් විශ්වවිද්‍යාල පිළිබඳ ව කතා කරන විට නිරායාසයෙන් ම මතකයට එන ලෝ ප්‍රකට විශ්වවිද්‍යාලයක් ලෙස එක්සත් රාජධානියේ පිහිටි ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය හැඳින්විය හැකි ය. මෙය එක්සත් රාජධානියේ පිහිටා තිබෙන පැරැණිත ම විශ්වවිද්‍යාලය වේ. ආරම්භ කරන ලද දිනයක් පිළිබඳ ව නිශ්චිත සඳහනක් නොමැති වුවත් ක්‍රිස්තු වර්ෂ 1096 පටන් ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන කටයුතු සිදු වූ බව මූලාශ්‍රයන් හි සඳහන් වේ.

පුද්ගලික විශ්වවිද්‍යාලයක් වන මෙය විද්‍යායතන 38ක පමණ එකතුවකින් නිර්මාණය වී තිබේ. ප්‍රංශයේ පැරිස් විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබමින් සිටි සිසුන් විශාල පිරිසක් ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයට සම්බන්ධ වීමත් සමඟ මෙහි සිසුන් සංඛ්‍යාව සැලකිය යුතු ලෙස වර්ධනය විය. මුල් කාලයේ දී සිසුන් පමණක් අධ්‍යාපනය ලැබූ මෙම විශ්වවිද්‍යාලයට 1920 වසරේ පටන් සිසුවියන් ද ඇතුළත් කර ගැනිණි.

මේ වන විට දේශීය සහ විදේශීය සිසු සිසුවියන් 23,000කට වැඩි සංඛ්‍යාවක් මෙම විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය හදාරති. මාග්‍රට් තැචර් ඇතුළු බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරුන් 27ක්, අමෙරිකානු හිටපු ජනාධිපති බිල් ක්ලින්ටන් සහ මෙරට සිව්වැනි අග්‍රාමාත්‍යවරයා වූ සොලමන් වෙස්ට් රිජ්වේ ඩයස් (එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක) වැනි ජාත්‍යන්තර නායකයන් 30ක්, ඇල්බට් අයින්ස්ටයින් වැනි විද්‍යාඥයන් ගණනාවක් සහ තවත් සුප්‍රසිද්ධ පුද්ගලයන් ගණනාවක් මෙම විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබා ඇත.

ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය – unsplash.com

5. සලමන්කා විශ්වවිද්‍යාලය- ස්පාඤ්ඤය

මුලින් ම ආසන දෙව්මැදුරු පාසලක් ලෙස ක්‍රිස්තු වර්ෂ 1130 දී ආරම්භ කළ සලමන්කා අධ්‍යාපන ආයතනය 1134 දී විශ්වවිද්‍යාලයක් බවට පත් කර ඇත. 1218 වසරේ දී අල්ෆොන්සෝ නම් රජු මෙම විශ්වවිද්‍යාලයට රාජකීය බලපත්‍රයක් ලබා දී තිබේ. පසුකාලීනව දිළිඳු පවුල්වල සිසු සිසුවියන්ට අධ්‍යාපන අවස්ථා ලබා දීමේ අරමුණින් මෙම විශ්වවිද්‍යාලයට අනුබද්ධ විද්‍යායතන ගණනාවක් පිහිටුවා තිබේ.

18 වැනි සියවස පමණ වන විට ඒවායේ අධ්‍යාපනය හැදෑරීමට මුදල් ගෙවීමට සිසුන්ට සිදු විය. ප්‍රංශයේ නැපෝලියන් බොනපාට්ගේ හමුදා මෙම විශ්වවිද්‍යාලයට අයත් ව තිබු ගොඩනැගිලි ගණනාවක් විනාශ කර දැමූ බව ද කියැවේ.

මානව ශාස්ත්‍ර පිලිබඳ පාඨමාලා සඳහා වඩාත් ප්‍රසිද්ධ සලමන්කා විශ්වවිද්‍යාලයේ භාෂා, නීතිය සහ ආර්ථික විද්‍යාව වැනි විෂයයන් පදනම් කර ගත් පාඨමාලා ගණනාවක් ක්‍රියාත්මක වේ. වර්තමානය වන විට සලමන්කා විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය හදාරන සිසු සිසුවියන් සංඛ්‍යාව 28,000කට ආසන්න ය.

සලමන්කා විශ්වවිද්‍යාලය – freeapply.com

6. පැරිස් විශ්වවිද්‍යාලය- ප්‍රංශය

ක්‍රිස්තු වර්ෂ 1160 දී ආරම්භ කළ, ප්‍රංශයේ පැරිස් විශ්වවිද්‍යාලය ලොව ම පිළිගත් උසස් තත්ත්වයේ මානව ශාස්ත්‍ර පාඨමාලා ගණනාවක් හඳුන්වා දී ඇත.. ප්‍රංශ විප්ලවය හේතුවෙන් වසා දැමුණු මෙම විශ්වවිද්‍යාලය පසුකාලීනව නැවත පිහිටුවන ලද්දේ ස්වාධීන පීඨ හතරකින් සමන්විත වන අයුරිනි.

ඒ අනුව මානව ශාස්ත්‍ර පීඨය, නීති පීඨය, විද්‍යා පීඨය සහ වෛද්‍ය පීඨය යන පීඨ බිහි වූ අතර පසුකාලීන ව බිහි වූ දේවධර්ම පීඨය 1885 වසරේ දී වසා දැමිණි. පැරිස් විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය හැදෑරුවන් අතර පාප් වහන්සේලා දෙදෙනෙක් සහ මාරි සහ පියරි කියුරි ඇතුළු නොබෙල් ත්‍යාගලාභීන් 49 දෙනෙක් ද වේ.

පැරිස් විශ්වවිද්‍යාලය – www.newworldencyclopedia.org 

7. කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලය- එක්සත් රාජධානිය

ක්‍රිස්තු වර්ෂ 1209 දී ආරම්භ කළ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලය ලොව පැරැණිත ම සහ සුප්‍රසිද්ධ විශ්වවිද්‍යාලවලින් එකකි. ලොව පැරණිත ම සහ දෙවැනියට විශාලත ම මුද්‍රණාලය පිහිටා ඇත්තේ ද කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ ය.

මහා බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි චාල්ස් කුමරු, පරිණාමවාදයේ පියා වන චාල්ස් ඩාවින් සහ ස්ටීවන් හෝකින්ස් වැනි ප්‍රසිද්ධ පුද්ගලයන් ගණනාවක් සහ නොබෙල් ත්‍යාගලාභීන් 116ක් පමණ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය හදාරා තිබේ.

සංස්කෘතික සහ විද්‍යාත්මක දැනුම වර්ධනය කර ගැනීමට සිසුන්ට ඉවහල් වන දෑ තැන්පත් කර ඇති කෞතුකාගාර කිහිපයක් ද මෙම විශ්වවිද්‍යාලය පවත්වාගෙන යයි. එහි ඇති පුස්තකාල සියයකට වැඩි ඒවායේ  පොත් ආසන්න වශයෙන් මිලියන 15ක් පමණ ඇති බවට ගණන් බලා තිබේ. අධ්‍යයන අංශ ද සියයකට වඩා ස්ථාපිත කර ඇති මෙම  විශ්වවිද්‍යාලයේ සිසු සිසුවියන් 20,000කට ආසන්න පිරිසක් අධ්‍යාපනය ලබති.

කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලය – saltosystems.com 

8. පාදුවා විශ්වවිද්‍යාලය- ඉතාලිය

නීතිය පිළිබඳ ව උසස් අධ්‍යාපනය ලබා දීම සඳහා ක්‍රිස්තු වර්ෂ 1222 දී ආරම්භ කළ පාදුවා විශ්වවිද්‍යාලය නූතන යුරෝපයේ ප්‍රමුඛ පෙළ උසස් අධ්‍යාපන ආයතනයක් ලෙස සැලැකේ. මුල් කාලයේ දී නීතිය සහ දේවධර්මය යන විෂයයන් පමණක් ඉගැන්වූ නමුත් 1399 වසර වන විට මෙම විශ්වවිද්‍යාලයේ විෂය නිර්දේශ සහ අධ්‍යයන පාඨමාලා වඩාත් පුළුල් විය. ඒ අනුව එය ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදුණු අතර ඒවායේ සිවිල් නීතිය, ආගමික නීතිය, ජ්‍යොතිෂය, දර්ශනවේදය සහ වෛද්‍ය ශාස්ත්‍රය වැනි විෂයයන් ඉගැන්විණි.

වර්තමානය වන විට රාජ්‍ය විශ්වවිද්‍යාලයක් ලෙස පවත්වාගෙන යන මෙහි සිසුන් සිසුවියන් 60,000කට ආසන්න ප්‍රමාණයක් අධ්‍යාපනය ලබති.  මෙම විශ්වවිද්‍යාලයට යාබදව පිහිටි ඉතා අලංකාර නගර සහ ආපනශාලා වැනි දේ නිසා පාදුවා විශ්වවිද්‍යාලය සිසුන් අතර බොහෝ සෙයින් ජනප්‍රිය වී තිබේ.

පාදුවා විශ්වවිද්‍යාලය – erasmusu.com

9. නේපල්ස් ෆ්‍රෙඩ්රිකෝ විශ්වවිද්‍යාලය- ඉතාලිය

ක්‍රිස්තු වර්ෂ 1224 දී ඉතාලියේ නේපල්ස් නගරයේ පාලකයා වූ දෙවැනි ෆ්‍රෙඩ්රික්ගේ සංකල්පයකට අනුව බිහි වූ නේපල්ස් ෆ්‍රෙඩ්රිකෝ විශ්වවිද්‍යාලය 1987 වසරේ දී එහි අරම්භකයාට සිදු කරන ගෞරවයක් වශයෙන් නේපල්ස් ෆ්‍රෙඩ්රිකෝ යනුවෙන් නම් කෙරිණි. මේ වන විට රාජ්‍ය අනුග්‍රහය ලබන, ආගම පදනම් කර නොගත් විශ්වවිද්‍යාලයක් ලෙස ක්‍රියාත්මක වන මෙහි අධ්‍යයන අංශ 13ක් එහි තිබේ.

විද්‍යාව හා තාක්ෂණවේදය, සමාජ විද්‍යාව හා මානව ශාස්ත්‍රය වැනි අංශ ගණනාවක් ඔස්සේ අධ්‍යයන පාඨමාලා ක්‍රියාත්මක වන මෙහි වර්තමානය වන විට සිසු සිසුවියන් 78,324ක් උසස් අධ්‍යාපනය හදාරයි.

නේපල්ස් ෆ්‍රෙඩ්‍රිකෝ විශ්වවිද්‍යාලය – www.firenze.com.tr

10. ටූලූස් විශ්වවිද්‍යාලය- ප්‍රංශය

දේවධර්මය ඉගැන්වීම අරමුණු කරගෙන 1229 දී ටූලූස් විශ්වවිද්‍යාලය පිහිටැවිණි. පසුකාලීනව එහි නීතිය සහ වෛද්‍ය විද්‍යාව ද ඉගැන්වීම ආරම්භ විය. යුරෝපයේ ආරම්භ වූ විශ්වවිද්‍යාල අතරින් පැරැණිත ම එකක් ලෙස සැලකෙන මෙම විශ්වවිද්‍යාලය ප්‍රංශ විප්ලවය හේතුවෙන් 1793 වසරේ දී වසා දැමිණි.

1969 වසර වන විට විශ්වවිද්‍යාල තුනකට බෙදී වෙන්ව ගිය මෙය වර්තමානයේ පවතින තත්ත්වයට පත් කරන ලද්දේ 2007 වසරේදී ය. මේ වන විට ටූලූස් විශ්වවිද්‍යාලය එක විශ්වවිද්‍යාලයක් ලෙස පිහිටා නැති නමුත් ටූලූස් යනුවෙන් නම් කළ උසස් අධ්‍යාපන ආයතන ගණනාවක් ප්‍රංශයේ පිහිටා තිබේ. එම ආයතන සියල්ල මෙම විශ්වවිද්‍යාලයට අනුබද්ධ ආයතන ලෙස පවත්වාගෙන යයි.

ටූලූස් විශ්වවිද්‍යාලය – expat.com

කවරයේ ඡායාරූපය- කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලය - saltosystems.com

මූලාශ්‍ර-

www.guinnessworldrecords.com

www.britannica.com

www.masteravenue.com

www.erudera.com

www.theculturetrip.com

Related Articles