Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලොව සිදුවූ දරුණුම බහාලුම් නෞකා අනතුරු 6ක්

එක්ස්ප්‍රස් පර්ල් නම් සිංගප්පූරු නෞකාව පසුගිය මැයි 19 වනදා කොළඹ වරායට කිලෝමීටර 18ක් පමණ දුරක දී ගිනි ගැනීමට ලක්වුණා. ඒ, ඉන්දියාවේ සිට කොළඹ වරායට පැමිණෙමින් සිටිය දී යි. මෙම නෞකාවේ TEU බහාලුම් (අඩි විස්සක් දිග කන්ටේනර) 1486ක් පමණ ගබඩාකර තිබූ අතර නයිට්‍රික් අම්ලය ඇතුළු තවත් රසායනික ද්‍රව්‍ය මෙට්‍රික් ටොන් 25ක් ද ප්‍රවාහනය කෙරෙමින් තිබුණා. ගිනි ගැනීම හේතුවෙන් මේ වන විටත් නෞකාව සම්පුර්ණයෙන්ම පාහේ විනාශ වී තිබෙනවා (කවරයේ පින්තූරය). 

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් ඉවත්වෙන හානිකර ද්‍රව්‍ය සහ නැවේ ඉන්ධන හේතුවෙන් සාගර පරිසර පද්ධතියට දැඩි හානි සිදුවීමට බොහෝ ඉඩකඩ පවතිනවා. මෙවැනි බහාලුම් නෞකා අනතුරු බොහොමයක් පසුගිය කාලය තුළ ලෝකයේ විවධ රටවලින් අසන්නට ලැබුණා. 21 වන සියවසේ සිදුවූ එවැනි දරුණු බහාලුම් නෞකා අනතුරු කිහිපයක් පිළිබඳව තොරතුරු මේ ලිපියෙන් ඔබට දැනගන්න පුළුවන්.

Express Pearl නිවීමට උත්සාහ දරමින්/The Indian Express

 

1. හැන්ජින් පෙන්සිල්වේනියා – 2002

“හැන්ජින් පෙන්සිල්වේනියා” (Hanjin Pennsylvania) යනු දකුණු කොරියාවේ නිෂ්පාදිත, ලයිබීරියානු ධජය යටතේ යාත්‍රා කෙරුණු, මීටර 281ක් දිගැති බහාලුම් ප්‍රවාහන නෞකාවක්. එය අඩි විස්සක් දිග කන්ටේනර (TEU -Twenty foot Equivalent Unit) 4300ක පමණ ධාරිතාවයකින් සමන්විත නෞකාවක් වූ අතර, 2002 නොවැම්බර් මස 11 වනදා ශ්‍රී ලංකාවේ දෙවුන්දර තුඩුවට කිලෝමීටර 150ක් දුරින් ඉන්දියන් සාගරයේ යාත්‍රා කරමින් තිබුණා. එහි ගමනාන්තය වූයේ යුරෝපය යි. එදින උදෑසන නෞකාවේ 4 වන කොටසේ හදිසි ගිනි ගැනීමක් ඇතිවී තිබෙන අතර, ඒ වන විට කාර්ය මණ්ඩල සාමාජිකයින් 21ක් නෞකාවේ සිට තිබෙනවා. ගින්නෙන් එක් සාමාජිකයෙකු බරපතල පිළිස්සුම් තුවාල ලබා මියගොස් තවත් අයෙක් අතුරුදන් වුණා. ගින්නත් සමග ඇතිවූ පිපිරීම් හේතුවෙන් කන්ටේනර් බහාලුම් බොහොමයක් මුහුදුබත් වුණා. නොවැම්බර් මස 12 වනදා වන විට නෞකාවේ තිබූ අනතුරුදායක බහාලුම් පැටවූ කොටස දක්වා ද ගින්න පැතිරීම නිසා සෙසු කාර්ය මණ්ඩල සාමාජිකයින් නැව අතහැර දැමුවා.

Hanjin Pennsylvania
හැන්ජින් පෙන්සිල්වේනියා නෞකාව ගිනිගැනීම/gCaptain

ගින්න නිවීම සඳහා දින 12ක පමණ කාලයක් ගත වූ අතර නොවැම්බර් 25 වනදා වන විට නෞකාව වරායක් වෙත ඇදගෙන යාම සඳහා සූදානම් කෙරුනා. ගින්න ඇතිවූයේ බහාලුමක තිබූ කැල්සියම් හයිපොක්ලෝරයිට් නම් රසායනිකය හේතුවෙන් බවට පසුව සිදුකළ පරීක්ෂණවලින් අනාවරණය වුණා. ගින්න හේතුවෙන්, සහ ගිනි නිවීමට භාවිතා කළ ද්‍රව්‍ය හේතුවෙන් නෞකාවේ බහාලුම් අඩකට වැඩි ප්‍රමාණයක් විනාශ වූ බවට වාර්තා වෙනවා. එසේම නෞකාවේ මෙහෙයුම් මැදිරිය සහ එන්ජින් කාමරය ද මුළුමනින්ම විනාශ වී තිබුණා. දේපළ හානි නිසා සිදුවූ පාඩුව ඇමෙරිකානු ඩොලර් මිලියන 100 ඉක්මවන බව යි ගණන් බලා ඇත්තේ. විනාශ වුණු නෞකාවේ නැව් කඳ චීනයේ ෂැන්හයිහි නැව් තටාකාංගනයේ දී සම්පුර්ණයෙන් අලුත්වැඩියා කිරීමෙන් පසු බ්‍රිතාන්‍ය නැව් සමාගමක් විසින් මිලට ගත් බව ද සඳහන්.

2. හයුන්ඩායි ෆෝචූන් – 2006

“හයුන්ඩායි ෆෝචූන්” (Hyundai Fortune) නෞකාව ආසියාකරයේ සිට යුරෝපය බලා ගමන් කරද්දී යේමනයට කිලෝමීටර 100ක් පමණ නුදුරින් ඒඩ්න් බොක්ක ප්‍රදේශයේ දී අනතුරට ලක්වුණේ 2006 වසරේ මාර්තු 21 වනදා යි. TEU බහාලුම් 5551 ගබඩා කළ හැකි ධාරිතාවයකින් සමන්විත වූ මෙම නෞකාව පැනමා රාජ්‍යයට අයත් එකක්. නැව් තට්ටුවට පහළින් සිදුවූ පිපිරිමකින් ඇරඹි ගිනිගැනීමක් පසුව නැවේ අවර කොටස පුරා ව්‍යාප්ත වී තිබුණා. එවිට ඇතිවූ පිපිරීම්වලින් නැව් කඳේ විශාල කොටසක් විනාශ වූ අතර සිදුවූ මීටර 12ක පමණ පැල්ම නිසා නෞකාව තුළට ජලය ද කාන්දු වෙමින් තිබුණා. බහාලුම් 60-90ක් අතර ප්‍රමාණයක් පිපිරීම් නිසා මුහුදුබත්වූ නමුත් කාර්ය මණ්ඩල සාමාජිකයින් 28 දෙනාම නෙදර්ලන්ත නාවික හමුදා යාත්‍රාවක පිහිටෙන් දිවිබේරා ගැනීමට සමත්වුණා. 

Hyundai Fortune
නෞකාවේ අවර කොටස ගිනිගෙන විනාශ වන අයුරු /tribune

නෞකාවේ එන්ජින් කාමරය ගිනිගෙන විනාශ වී පසුව සම්පූර්ණයෙන්ම ජලයෙන් යටවී තිබුණා. නෞකාව තුළ විදුලි බලය ඇණ හිටීම නිසා ශීතකරණ පහසුකම් සහිත කන්ටේනර පෙට්ටිවල තිබූ ආහාර සහ ඖෂධ ආදිය පරිභෝජනය කළ නොහැකි ලෙස විනාශ වුණා. ගිනිගැනීම් දින කිහිපයක්ම පැවති නමුත් ගින්නෙන් බේරාගත් බහාලුම් 2249ක් නැවත යුරෝපයට යැවීමට හැකි වූ බවට වාර්තා වෙනවා. ගිනි ගැනීමට හේතුව ලෙස පර්යේෂකයන් දක්වා සිටියේ පෙට්‍රෝලියම් තෙල් සහිත සේදුම් දියර යාත්‍රාවේ එන්ජින් කාමරය අසල ගබඩාකර තැබීම වන්නට ඇති බව යි. කෙසේ වෙතත් ඇමෙරිකානු ඩොලර් මිලියන 800ක පමණ පාඩුවක් සිදු කරමින් විනාශ වූ නෞකාව අලුත්වැඩියා කිරීමෙන් පසු 2018 වනතෙක් භාවිතා කළ බව යි පැවසෙන්නේ. 

3. එම්.එස්.සී. නාපලි – 2007

එම්.එස්.සී නාපලි (MSC Napoli) නම් මීටර 275ක් දිගැති බ්‍රිතාන්‍ය නෞකාව බෙල්ජියමේ සිට පෘතුගාලය බලා භාණ්ඩ ප්‍රවාහනය කරමින් සිටිය දී අනතුරට පත්වුණා. ඒ, 2007 ජනවාරි මස 18 වනදා ඉංග්‍රීසි ඕඩයේ ඇතිවූ දරුණු කාලගුණ තත්ත්වය හේතුවෙන්. එම අවස්ථාවේ බෝෆෝර්ට් (Beaufort) ඒකක 11ක් හෙවත් නාවුක සැතපුම් 60ක පමණ වේගයෙන් සුළං හැමූ බව වාර්තා වනවා. මුහුදු රළ ද මීටර 10ක් පමණ උස්වීම නිසා අවසානයේ නැව් බඳ පැලීමකට ලක්වුණා. මෙම පැල්ම නෞකාවේ පාලක මැදිරිය පවතින කොටසට දෙපසින්ම ඇතිවීමෙන් ජලය කාන්දු වීම ඇරඹුනා. පෙරවරු 10.30ට නෞකාව ක්‍රියාවිරහිත කිරීමට ප්‍රධාන කාර්මික නිලධාරියා තීරණය කළා. ප්‍රංශ ගුවන් හමුදා හෙලිකොප්ටරයකින් නැවේ පැල්ම තහවුරු කළ පසු පෙරවරු 11.15ට 26 දෙනෙකුගෙන් සමන්විත වූ කාර්ය මණ්ඩලය නෞකාව අතහැර දැමුවා.

msc napoli
නෞකා සැකිල්ලේ අසමතුලිත බව නිසා පසෙකට ඇලවීම. බඳේ සිදුවූ පැල්ම ද රූපයේ දක්වා ඇත./gcaptain

 

නැව කොටස් දෙකකට කැඩී ගිලී යාමට ඉඩ ඇති නිසා, නෞකාව ඇදගෙන යාම වෙනුවට මුහුදු රළ ඔස්සේ ගසාගෙන එංගලන්තයේ බ්‍රැන්ස්කම් වෙරළට සේන්දුවීමට ඉඩහැරුනා. නෞකාවේ පටවා තිබූ මෙට්‍රික් ටොන් 41,773ක බහාලුම්වලින්, මෙට්‍රික් ටොන් 1684ක් ජාත්‍යන්තර සමුද්‍ර සංවිධානය විසින් නම්කර ඇති අනතුරුදායක ද්‍රව්‍ය ගණයට අයත් ඒවා යි. ජූලි 7 වනදා වෙරළට සේන්දු වූ නෞකාව මුළුමනින්ම මුහුදුබත් වීම වැලැක්වීම සඳහා මුදවාගැනීමේ කණ්ඩායම් විසින් නෞකාව කැබලි 3කට වෙන්වන පරිදි පුපුරවා, වෙන්වූ කොටස් 3 ඇදගෙන යාම සිදුකළා. බහාලුම් 103ක් අනතුරින් මුහුදුබත් වූ අතර කාන්දු වූ තෙල් කිලෝමීටර 8ක වපසරියක පැතිරී ගොස් තිබුණා. මුහුදුබත් වූ සියල්ල ගොඩගෙන සාගර කලාපය පිරිසිදු කිරීමෙන් මුදවාගැනීමේ මෙහෙයුම සම්පූර්ණයෙන් අවසන් කිරීමට දින 924ක් ගතවූ බව කියැවෙනවා.

msc napoli
බ්‍රැන්ස්කම් වෙරළට සේන්දුවූ නෞකාව/gcaptain

4. එම්.වී. රේනා – 2011

2011 ඔක්තෝම්බර් මස 5 වනදා එම්.වී. රේනා (MV Rena) නම් ග්‍රීක නෞකාව පැයට කිලෝමීටර 30ක පමණ වේගයෙන් පැමිණ නවසීලන්තයේ “ප්ලෙන්ටි” බොක්ක ආශ්‍රිත ප්‍රදේශයේ ඇති “ඇස්ට්‍රලේබ්” කොරල් පරයේ ගැටීමෙන් සිරවීමට ලක්වුණා. නෞකාව කොරල් පරයේ සිරවී තිබීම නිසාත්, මුහුදු රළ මඟින් දිගින් දිගටම ඇති කරන චලනය හේතුවෙන් නෞකා බඳ පීඩනයට ලක්වීම නිසාත් කොටස් දෙකකට වෙන්වී යාමේ අවදානම පැවතුනා. ඔක්තෝම්බර් මස 14 වනදා එහි බඳෙහි මධ්‍යයෙන් විශාල පැල්මක් ඇතිවූ අතර නෞකාව අංශක 20ක් පමණ ඇලවීම නිසා බහාලුම් 3350ක් අතරින් 1368ක් මුහුදුබත් වුණා.

mv rena 1
එම්වී රෙනා නෞකාව මීටර 290ක් දිගින් යුක්ත යි/Auckland Cranes

2012 ජනවාරි 08 වනදා නෞකාව සම්පූර්ණයෙන් කොටස් දෙකකට වෙන්වුණා. ඉදිරිපස කොටස කොරල් පරය මත තවදුරටත් රැඳී තිබුණු නමුත් පිටුපස කොටස තවත් දින දෙකකට පසු එහි තිබූ බහාලුම් සමගම සම්පූර්ණයෙන්ම ගිලී ගියා. ඉදිරිපස කොටස තවදුරටත් කොරල් පරයේ බාදිය ජල මට්ටමට මීටරයක් පමණ පහළින් රැඳී තිබූ නිසා එහි තිබූ බහාලුම්වලින් 1007ක් ඉවත් කරගැනීමට හැකි වුණා. මේ සඳහා තවත් මාස 07ක පමණ කාලයක් ගත වුණා. එසේම නෞකාවේ ගබඩාකර තිබූ තෙල් මෙට්‍රික් ටොන් 1700න් 300ක් පමණ කාන්දු වී තිබූ අතර සාගර ජලය පිරිසිදු කිරීම සහ නෞකාවේ කැඩුණු යකඩ කොටස් ගොඩගැනීම සඳහා මුදවාගැනීමේ කණ්ඩායම් දිගින් දිගටම කටයුතු කළා. එවැනි යකඩ ටොන් 430ක් හෙලිකොප්ටර් මාර්ගයෙන් ඉවත්කර ගැනීමට හැකියාව ලැබුණත් තවත් විශාල ප්‍රමාණයක් අදටත් ගැඹුරු මුහුදේ පවතින බව පැවසෙනවා. 

පරිසරවේදීන් වසර 2040 පමණ වන තෙක් මෙහි නිරීක්ෂණ කටයුතු කිරීමට බලාපොරොත්තුවන බවට වාර්තා වනවා. ඒ, මෙම අනතුරින් කොරල් පරයට තවදුරටත් හානි සිදුවේ ද යන්න පරික්ෂා කර බැලීමට යි. මෙය නවසීලන්ත මුහුදේ සිදුවූ විශාලතම පරිසර විනාශය බව යි පැවසෙන්නේ.

mv rena
දෙකඩ වුණු නෞකාව/Maritime NZ

5. එම්.ඕ.එල් කොම්ෆර්ට් – 2013

මෑත ඉතිහාසයේ සිදුවූ විශාලතම බහාලුම් නෞකා අනතුර ලෙස දැනට හැඳින්වෙන්නේ එම්.ඕ.එල් කොම්ෆර්ට් (MOL Comfort) නෞකා අනතුර යි. මෙම නෞකාව සිංගප්පූරුවේ සිට සෞදි අරාබිය බලා යාත්‍රා කරමින් සිටිය දී 2013 වසරේ ජූනි මස 17 වනදා යේමනයට කිලෝමීටර 370ක් පමණ දුරින් ඉන්දියන් සාගරයේ දී අනතුරට ලක්වෙනවා. එම අවස්ථාව වන විට නෞකාවේ කන්ටේනර 4380ක් පමණ තිබුණු අතර මේවා ප්‍රමාණයෙන් 7040 TEU පමණ ප්‍රමාණයකට සමාන වනවා. එසේම ඉන්ධන ටොන් 3000ක් පමණ නෞකාවේ තිබුණා. මෝසම් හේතුවෙන් ඉන්දියානු සාගර කලාපයේ ඇති වූ කැළඹිලි තත්ත්වය නිසා නෞකාවේ බඳට හානි සිදුවී ජලය කාන්දුවීම ඇරඹී තිබෙනවා. එහි සිටි කාර්ය මණ්ඩලයේ 26 දෙනා ජර්මානු බහාලුම් නෞකාවක් මඟින් එම්.ඕ.එල්. කොම්ෆර්ට් නෞකාවෙන් ඉවත් කෙරුණා. 

mol comfort
නෞකාව දෙකඩ වීම/zoom news

ජූනි 24 වෙනිදා අනතුරට ලක්වූ නෞකාව වරායක් වෙත ඇදගෙන යාම සඳහා ටග් යාත්‍රා පැමිණි නමුත් මුදවාගැනීමේ මෙහෙයුම් ආරම්භ කිරීමට පෙර නැවේ අවර කොටස ක්‍රමයෙන් ගිලීමට ලක්වුණා. ජූනි 26 වනදා වන විට නැවේ අවර කොටස අඩි 13 000ක් ගැඹුරු මුහුදේ සැඟවුණා. එම නිසා එහි තිබූ කන්ටේනර 1700ක් පමණ මුහුදේ පාවීම සිදුවුණා. තෙල් කාන්දුවීමක් සිදු නොවුණත් නැවේ අවර කොටසේ තෙල් මෙට්‍රික් ටොන් 1500ක් ගබඩා වී තිබී ඇත. නැවේ ඉදිරිපස කොටස ඇදගෙන යෑම සඳහා සූදානම් කිරීම ඉන්පසු සිදුවූවත් ජූලි මස 06 වනදා එහි ගින්නක් හටගැනුණා. එම ගින්න නිවා දැමීම අසීරු වූ නිසා කන්ටේනර් 2400ක් දැවී විනාශ වුණා. අවසානයේ දී නැවේ ඉදිරිපස කොටසත් මුහුදුබත්වීම සිදුවූ අතර අවර කොටසට කිලෝමීටර 600ක් පමණ උතුරින් අඩි 9800ක් ගැඹුරු මුහුදේ සැඟවී ගියා.

mol comfort4
නෞකාවේ පසුපස කොටස මුළුමනින්ම මුහුදුබත් වීම සහ ඉදිරිපස කොටසේ ඇතිවූ ගින්න/dvz.de

මීටර 316ක් දිගින් යුත් දැවැන්ත එම්.ඕ.එ.ල් කොම්ෆර්ට් නෞකාවේ පටවා තිබූ සියලුම කන්ටේනර් පාහේ මුහුදුබත් වුණු අතර, කන්ටේනර සඳහා පමණක් ඒවා රක්ෂණය කර තිබූ සමාගමෙන් අයවුණු මුදල් ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් මිලියන 400කට අධික යි. එසේම නෞකාවේ සියලු යාන්ත්‍රික උපකරණ සඳහා තවත් ඩොලර් මිලියන 66ක රක්ෂණයක් ද ගිවිසුම්ගතව තිබුණා. 

මෙම අනතුරින් පසු එම්.ඕ.එල්. කොම්ෆර්ට් නෞකාවේම සහෝදර නෞකා 6ක (MOL Creation, MOL Charisma, MOL Celebration, MOL Courage, MOL Competence, MOL Commitment) බඳ කොටසේ ශක්තිමත්භාවය පිළිබඳව වහාම විශේෂ විමර්ශනයකට ලක් කරනු ලැබූ අතර ඉන් 3ක බඳෙහි ශක්තිමත්බව වැඩි දියුණු කිරීමට ද අදාළ නිෂ්පාදන සමාගම පියවර ගත්තා. 

6. මෑස්ක් හොනාම් – 2018

maersk homan
ගිනිගෙන දැවෙන නෞකාව/Seatrade Maritime

මෑස්ක් හොනාම් (Maersk Honam) යනු ඩෙන්මාර්ක් සමාගමක් වන Maersk Line සමාගමට අයත් දිගින් මීටර 353ක් වන සුවිසල් බහාලුම් ප්‍රවාහන නෞකාවක්. එය 2018 මාර්තු 06 වනදා සිංගප්පූරුවේ සිට ඊජිප්තුව බලා ගමන් කරන අතරතුර ඕමාන් රජ්‍යයට කිලෝමීටර 1700ක් ගිනිකොණ දෙසින් අරාබි මුහුදේ දී ගිනි ගැනීමකට ලක්වුණා. ඒ වන විට නෞකාවේ කන්ටේනර් 7860ක් (TEU 12,416කට සමාන ප්‍රමාණයක්) පැවති අතර කාර්ය මණ්ඩල සාමාජිකයින් 27 දෙනෙක් සිටියා. ගින්න නෞකාවේ ඉදිරිපස කොටසේ තිබූ බහාලුම් ගිනි ගැනීමෙන් ආරම්භ වී තිබුණා. නෞකා කාර්ය මණ්ඩලය විසින් කාබන්ඩයොක්සයිඩ් සහ වෙනත් ගිනි නිවන උපකරණ යොදාගෙන ගින්න පැතිරීම වැලැක්වීමට විශාල ලෙස උත්සාහ කර තිබුණත් ගිනි දැල් පැතිරීම වේගවත් වීමත් බහාලුම් පුපුරා යාම නිසා කාර්ය මණ්ඩල සාමාජිකයින් නෞකාවෙන් ඉවත් කිරීම සිදුවුණා. ඒ අනුව 23 දෙනෙකු නෞකාවෙන් ඉවත්වූ නමුත් සිව්දෙනෙකු ඒ වන විට අතුරුදන්ව සිටියා. ඉවත්වූ 23 දෙනා අතරින් ද කිහිප දෙනෙකු බරපතල තුවාල ලබා සිට ඒ අතරින් එක් අයෙකුට ජිවිතය ද අහිමි වුණා. අතුරුදන්ව සිටි අය ද මියගිය බව පසුව තහවුරු කෙරුනා.

maersk homan2
නිවීමට උත්සාහ දරමින්/gCaptain

සතියක පමණ කාලයක් ගිනි නිවීම සඳහා ගතවුණු අතර, ගින්න ඇතිවීමට හේතුව ලෙස පසුව සිදුකළ පරීක්ෂණවලින් පැමිණි නිගමනය වූයේ බහාලුම්වල තිබූ සෝඩියම් ඩයික්ලෝරොයිසොසයනුරේට් ඩයිහයිඩ්‍රේට් යන රසායනික බව යි. එම රසායනික ද්‍රව්‍ය ටොන් 1000ක් පමණ කන්ටේනර් 54ක අඩංගු වූ බව කියැවුනා. ගිනි ගැනීම් සහ පැතිරීම් වැලැක්වීම සඳහා නෞකාවල යොදා ඇති ආරක්ෂණ උපක්‍රමයක් වන චුම්බක දොරවල්  නියමිත වේලාවට වැසීම සිදුනොවූ හෙයින් හානිය තවත් වැඩි වූ බව කාර්ය මණ්ඩල සාමාජිකයින් ප්‍රශ්න කිරීම්වල දී පවසා තිබුණා. එසේ වී ඇත්තේ ගිනි අනතුරු ඇඟවීමේ සීනුව වෙනුවට සාමාන්‍ය අනතුරු ඇඟවීමේ සීනුව නාදවීම නිසා බව යි සඳහන් වුණේ.

කවරයේ පින්තූරය - ගිනිගෙන දැවෙන එක්ස්ප්‍රස් පර්ල් නෞකාව - gCaptian.com

තොරතුරු: gcaptain.com, shippingandfreightresource.com, cedre.fr, සහ roanoketrade.com ඇසුරෙන්

Related Articles