Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලොව ම කතා වන ඕල්ඩ්‍රින්-ඇන්කා විවාහය

සඳ මත ඇවිද ගිය අමෙරිකානු ජාතිකයන් 12 අතරින් දෙවැනි ස්ථානය හිමි වන එඩ්වින් ඕල්ඩ්‍රින් පසුගිය ජනවාරි 20 දින සිය 93 වැනි උපන් දිනය සැමරුවේ ය. උපන් දිනයට අමතර ව ඔහුගේ ජීවිතයේ තවත් විශේෂ අවස්ථාවක් එදිනට යෙදී තිබිණි. ඒ ඔහු සහ ඔහුගේ දිර්ඝකාලීන සහකාරිය වන ආචාර්ය ඇන්කා ෆෝ(ර්) ගේ විවාහය යි. ඔවුන්ගේ විවාහය පසුගිය සති කිහිපය පුරාවට එක්සත් ජනපදය පමණක් නොව ලොව පුරා කතාබහට ලක් විය.

ඕල්ඩ්‍රින් ගේ ළමා විය

1930 ජනවාරි 30 දින එක්සත් ජනපදයේ නිව් ජර්සි ප්‍රාන්තයේ උපත ලැබූ ඕල්ඩ්‍රින් ගේ මව්පියන් වූයේ එඩ්වින් ඉයුජින් ඕල්ඩ්‍රින් (ජ්‍යෙෂ්ඨ) සහ මේරියන් මූන් ඕල්ඩ්‍රින් යන අය යි. හමුදා සෙබළකු වූ ඔහුගේ පියා පළමු ලෝක සංග්‍රාමය අතරතුර ගුවන් නියමුවෙක් ලෙස ද කටයුතු කර තිබිණි.

ඕල්ඩ්‍රින් වැඩිමහල් සහෝදරියන් දෙදෙනකුගෙන් යුතු පවුලේ බාල දරුවා විය. ඔහුගේ පවුලේ සාමාජිකයන් කුඩා කාලයේ ඕල්ඩ්‍රින් හැඳින්වීමට “බස්” යන සුරතල් නාමය භාවිතා කළ අතර 1988 පටන් ඔහු සිය නමේ පළමු කොටස ලෙස එය යෙදීම සුවිශේෂී කරුණකි. පාසල් වියේ පටන් ඔහු බාලදක්ෂ ව්‍යාපාරය සහ වෙනත් විවිධ අමතර ක්‍රියාකාරකම්වල යෙදුණේ ය.

ඕල්ඩ්‍රින්-ඇන්කා යුවළ – www.cnbc.com

වෘත්තීය ජීවිතය

අධ්‍යාපන කටයුතුවලින් අනතුරු ව, 1940 දශකයේ අගභාගයේ එක්සත් ජනපද ගුවන් හමුදාවට සම්බන්ධ වූ ඔහු එහි දෙවැනි ලුතිනන්වරයෙක් ලෙස සේවය කළේ ය. ගුවන් හමුදාවේ සේවය කළ කාලය තුළ ඔහුට ගුවන් ගමන් පිළිබඳ මූලික දැනුමක් සහ පුහුණුවක් ලබාගැනීමට හැකි විය.

ගුවන් හමුදාවේ සේවය කළ කාලය තුළ ගුවන් ගමන් සහ අභ්‍යවකාශ විද්‍යාව පිළිබඳ ව සැලකිය යුතු දැනුමක් ලබාගැනීමට ද ඔහු සමත් විය. ගගනගාමියෙක් වීම සඳහා අවශ්‍ය සුදුසුකම් සපුරා ගැනීමට සිතූ ඔහු 1963 දී ඊට අදාළ ආචාර්ය උපාධියක් ලබා ගැනීමට සමත් විය.

නාසා ආයතනයේ දෙවැනි ගගනගාමීන් කණ්ඩායම තෝරා ගැනීම සඳහා අයදුම්පත් කැඳවා තිබූ 1962 දී ඔහු ඊට අයදුම් කළේ ය. කෙසේ වෙතත් ඊට අදාළ ව ප්‍රකාශයට පත් කර තිබූ සුදුසුකම් සපුරා නොමැති බව පවසමින් නාසා ආයතනය ඔහුගේ අයදුම්පත ප්‍රතික්ෂේප කර තිබිණි. අදාළ සුදුසුකම් සපුරා ගන්නා බවට පොරොන්දු වී තමන්ට අවස්ථාවක් ලබා දෙන ලෙස ඔහු ඒ අවස්ථාවේ ඉල්ලීමක් කළේ ය. ඒ වන විට ඉතා සංකීර්ණ තෝරාගැනීමේ ක්‍රියාවලියක් පැවති බැවින් නාසා ආයතනය එම ඉල්ලීම ද ප්‍රතික්ෂේප කළේ ය.

ඕල්ඩ්‍රින් සඳ මත පා තැබූ දෙවැනි මිනිසා වේ – www.wikipedia.org

1963 මැයි මස තවත් ගගනගාමීන් කණ්ඩායමක් බඳවා ගැනීමට නාසා ආයතනය අයදුම්පත් කැඳවූ අවස්ථාව ඔහු ඊට නැවත අයදුම් කළේ ය. පැය 1,000ක් හෝ ඊට වැඩි කාලයක් ජෙට් යානයක ගමන් කර තිබීම සුදුසුකමක් ලෙස ඒ අවස්ථාවේ ප්‍රකාශයට පත් කර තිබිණි. ඒ වන විට පැය 2,200කට වැඩි කාලයක් ජෙට් යානාවල ගමන් කර තිබූ ඔහු එම කණ්ඩායමට තෝරා ගැනිණි. එම තෝරාගැනීමත් සමඟ ඔහු 14 දෙනකුගෙන් යුතු තෙවැනි ගගනගාමී කණ්ඩායමට ඇතුළත් විය. එතැන් පටන් අභ්‍යවකාශ මෙහෙයුම් ගණනාවකට සහභාගී වූ ඔහු නීල් ආම්ස්ට්‍රෝංට පසු සඳ මත පා තැබූ ගගනගාමියා ලෙස ඉතිහාසයට එක් විය.

සිව් වතාවක් විවාහ වී

පසුගියදා සිදු වූ විවාහයත් සමඟ ඕල්ඩ්‍රින් සිව් වතාවක් විවාහ වී ඇත. ඔහුගේ පළමු විවාහය 1954 දෙසැම්බර් 29 වන දින ජොආන් ආචර් සමඟ සිදු විය. ඔවුන්ට ජේම්ස්, ජැනිස් සහ ඇන්ඩෘ නමින් දරුවන් තිදෙනෙක් සිටිති. ගැටලු කිහිපයක් හේතුවෙන් ඕල්ඩ්‍රින්-ජොආන් යුවළ 1974 දී දික්කසාද වූහ.

1975 දෙසැම්බර් 31 දින ඔහුගේ දෙවැනි විවාහය බෙවර්ලි වැන් සයිල් සමඟ සිදු වූ අතර ඔවුන් 1978 දී වෙන් විය. ඔහුගේ තෙවැනි විවාහය 1988 පෙබරවාරි 14 දින ලොයිස් ඩ්‍රිග්ස් කැනන් සමඟ සිදු විය. 2012 දී ඔහු කැනන්ගෙන් වෙන් වූ අතර දික්කසාද නඩු සහ බිරියන්ට වන්දි ගෙවීම සඳහා ඔහු සතු ධනයෙන් සැලකිය යුතු ප්‍රමාණයක් වැය කිරීමට ඕල්ඩ්‍රින්ට සිදු විය. ඔහුට එක් මුණුබුරෙක්, එක් මිණිබිරියක් සහ මී මුණුබුරන් තිදෙනෙක් සිටී.

ඕල්ඩ්‍රින් සිය තෙවැනි බිරිය ලොයිස් සමඟ – www.nytimes.com

සිව්වැනි විවාහය

ජනවාරි 20 දින සිය දිර්ඝකාලින පෙම්වතිය වූ 63 හැවිරිදි ඇන්කා සමඟ විවාහ වූ ඔහු ට්විටර් පණිවිඩයක් තබමින් සඳහන් කර තිබුණේ ඔවුන් දෙදෙනා විවාහ වීම සඳහා නිවසින් පැන යන නව යොවුන් යුවළක් තරමට අමන්දානන්දයට පත් වූ බව යි. ඔහු එම ට්විටර් පණිවිඩය ඔවුන්ගේ විවාහ මංගල්‍යයේ ඡායාරූප දෙකක් ද පළ කර තිබිණි. “අභ්‍යවකාශ ක්ෂේත්‍රයේ පුරෝගාමින්ගේ නොමඳ ගෞරවයට මා පාත්‍ර වන මගේ 93 වැනි උපන් දිනය යෙදී ඇති අද දින මම, මගේ දිර්ඝකාලින පෙම්වතිය වන ඇන්කා සමඟ විවාහ ගිවිස ගත්තෙමි” යනුවෙන් ඔහු සඳහන් කර තිබිණි.

ඔවුන් දෙදෙනාගේ විවාහය ලොස්ඇන්ජලීස් හි දී සිදු විය. දීර්ඝ කාලයක් තිස්සේ එක්සත් ජනපදයේ විශ්වවිද්‍යාල කිහිපයක මහාචාර්යවරියක් ලෙස කටයුතු කර ඇති ඇන්කා රසායනික ඉංජිනේරු තාක්ෂණය පිළිබඳ ආචාර්ය උපාධියක් ලබා ඇත. ඇය ඕල්ඩ්‍රින්ට අයත් “Buzz Aldrin Ventures” නම් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකාවක් ලෙස සම්බන්ධ වූ අතර මේ වන විට ඇය එහි විධායක උප සභාපතිනිය ලෙස කටයුතු කරන බව ඇගේ සමාජ මාධ්‍ය ගිණුම්වල සඳහන් වේ.

ඕල්ඩ්‍රින්-ඇන්කා විවාහය – www.bbc.com

රසික ප්‍රතිචාර

ඕල්ඩ්‍රින්-ඇන්කා විවාහය සිදු වූ දින පටන් එක්සත් ජනපදය සහ ලොව පුරා එය කතාබහට ලක් විය. ඔහු විවාහය පිළිබඳ ව සිය නිල ට්විටර් ගිණුමේ තැබූ සටහන ට්විටර් පරිශීලකයන් මිලියන 28.2ක් පරිශීලනය කර තිබිණි. ඊට කැමැත්ත පළකිරීම් (likes) 168,000ක් සහ අදහස් පළකිරීම් (comments) 8,154ක් ලැබී තිබිණි. ඔහුගේ නිල ෆේස්බුක් ගිණුමේ තබා තිබූ සටහනකට කැමැත්ත පළකිරීම් (likes) 71,000ක්, අදහස් පළකිරීම් (comments) 8,400ක් සහ හුවමාරු කිරීම් (shares) 5,300ක් ලැබී තිබිණි.

දේපළ පිළිබඳ අර්බුදයක්

ඕල්ඩ්‍රින්ට අයත් දේපල පිළිබඳ ව ඔහුගේ දරුවන් වන ඇන්ඩෲ සහ ජැනිස් සහ ඔහුගේ ව්‍යාපාර කළමනාකරු ලෙස කටයුතු කළ ක්‍රිස්ටිනා කෝ(ර්)ප් පැවරූ නඩු කිහිපයක් හේතුවෙන් 2018 දී අර්බුදකාරී තත්ත්වයක් ඇති විය. ඕල්ඩ්‍රින් මානසික ආබාධ තත්ත්වයන්ගෙන් පෙළෙන බැවින් දේපල පාලනය කිරීමට ඔහුට හැකියාවක් නොමැත යන පදනම මත ඔවුන් එම නඩු පවරා තිබිණි. මිතුරන් පිරිසක් ඔහු පවුලේ සාමාජිකයන්ගෙන් දුරස් කර, ඔහුට අයත් මුදල් වැය කරමින් සිටින බව ද ඕල්ඩ්‍රින් ගේ දරුවන් සහ ක්‍රිස්ටිනා චෝදනා කර තිබිණි.

විවාහය ගැන ඕල්ඩ්‍රින් තැබූ ට්විටර් සටහන – www.twitter.com

2018 ජූනි මස ඕල්ඩ්‍රින් ද ඇන්ඩෲ සහ ජැනිස් සහ ක්‍රිස්ටිනාට එරෙහි ව නඩු පැවරුවේ ය. ඔහු චෝදනා කර තිබුණේ ක්‍රිස්ටිනා සහ ජැනිස් වැරදි ලෙස තමන්ට අයත් දේපල පරිහරණය කරමින් සිටින බව යි. ඒ වන විට ඔහුගේ ෆේස්බුක් සහ ට්විටර් ඇතුළු සමාජ මාධ්‍ය ගිණුම්, සමාගම්, සහ අනිකුත් වත්කම් හැසිරවූ ඇන්ඩෲ එම කටයුතුවලින් ඉවත් කිරීමට ද ඔහු තීරණය කළේ ය.

ඔහුගේ දරුවන් දෙදෙනා ගොනු කළ නඩු 2019 දී ඉල්ලා අස් කරගැනීමත්, ඒ සමඟ ම ඕල්ඩ්‍රින් ඔවුන්ට විරුද්ධව පැවරු නඩු ඉල්ලා අස් කරගැනීමත් සමඟ මෙම අර්බුදකාරී තත්ත්වය අවසන් විය.

කවරයේ ඡායාරූපය - ඕල්ඩ්‍රින්-ඇන්කා විවාහය පිළිබඳව එක්සත් ජනපදය සහ ලොව පුරා කතාබහට ලක් විය -www.bbc.com
මූලාශ්‍ර :
www.kcra.com
www.cbsnews.com
www.theguardian.com

Related Articles