Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

දරුවන් ඇතිදැඩි කිරීමට වඩාත් සුදුසු රටවල් පහක්

විදෙස්ගත වී එහි ම ස්ථාවර වීමට බලාපොරොත්තු වන පුද්ගලයෙක් සාමාන්‍යයෙන් තෝරා ගන්නේ තම මව්රටට වඩා ජීවන මට්ටමෙන් ඉහළ රාජ්‍යයක්. ඒ සඳහා යම් අදහසක් හෝ තොරතුරු ලබාගත හැකි ගෝලීය දර්ශක පවා දැන් ප්‍රචලිත යි. සංක්‍රමණය වීම සඳහා රටක් තෝරා ගැනීමේ දී සාමාන්‍ය ආදායම සහ අදාළ රටේ ආර්ථික ස්ථාවරත්වය සැළකීම ඉතා වැදගත්.

යම් පුද්ගලයෙක් විදෙස් රටකට සංක්‍රමණය වන්නේ සිය දරු පවුල සමඟින්යැ යි උපකල්පනය කරමු. දරුවන් ගේ ජීවන තත්ත්වයේ උසස් බව තහවුරු කිරීම සඳහා ආර්ථික මිනුම් දඬු පමණක් සෑහේ ද?

උදාහරණයක් ලෙස අමෙරිකා එක්සත් ජනපදයේ ගිනිඅවි භාවිතයේ නිදහස හේතුවෙන් දරුවන් ගේ ජීවිත තර්ජනයට ලක් වූ අවස්ථා පවා වාර්තා වෙනවා. මෑතක දී සිදු වූ “යුවැල්ඩි වෙඩි තැබීම” ඊට කදිම නිදසුනක්.

යුවැල්ඩි ඛේදවාචකය හමුවේ මිනිසුන් සිය ශෝකය ප්‍රකාශ කළ අයුරු – edition.cnn.com

එක්සත් ජනපදය කොතරම් ආර්ථික බලවතෙක් වුවත්, දරුවන් ගේ ආරක්ෂාව තහවුරු කිරීමේ දී බරපතල අතපසු කිරීම් සිදු කරන බව මින් පැහැදිලි වෙනවා. එබැවින්, විදෙස්ගත වී එහි ම ස්ථාවර වීමේ දී ආර්ථික ස්ථාවරත්වය සමඟ දරුවන් ගේ මානසික සෞඛ්‍යයේ යහපැවැත්ම, අධ්‍යාපනයේ ගුණාත්මකභාවය, පවුල් සඳහා නිවාඩු ප්‍රතිපත්ති සහ ආරක්ෂාව වැනි බොහෝ සාධක සලකා බැලිය යුතු යි.

ඒ අනුව දරුවන් ඇති දැඩි කිරීමට වඩාත් සුදුසු රටවල් පහක විස්තර ගෙන ඒමට අප සිතුවා.

1. ජපානය

යුනිසෙෆ් සංවිධානයේ ළමා යහපැවැත්ම පිළිබඳ 2020 විශ්ලේෂණයට අනුව ජපානය යනු ළමා මරණ සහ ළමයින් අතර පවතින ස්ථුලතාවයේ අවදානම ඉතා අවම රාජ්‍යයක්. ළමයින් හැදී වැඩෙන පරිසරය සැලකීමේ දී ජපානය ලෝකයේ දෙවැනි හොඳ ම රාජ්‍යය බවටත් පත් වෙනවා. නාගරික ප්‍රදේශවල පවත්වා ගෙන යන හරිත සංකල්ප සහ රථවාහන ආරක්ෂාව සම්බන්ධයෙන් ජපානය අනුගමනය ප්‍රතිපත්ති ඊට හේතු වන බව යි පැවසෙන්නේ.

ආරක්ෂාව තහවුරු කළ සමාජයකින් ස්වාධීන මිනිසෙක් බිහි වන්නේ කුඩා කල සිට යි. ජපානය යනු එහි නිසි පල නෙළා ගන්නා රාජ්‍යයක් – www.bbc.com

ජපානයේ මිනිස් ඝාතන සිදුවීමේ අනුපාතය ඉතා අවම අගයක පවතින බැවින්, පවුල් සංස්ථාව පවත්වා ගැනීම සඳහා ලෝකයේ ආරක්ෂිත ම රටක් වශයෙනුත් ගෞරවාදරයට පාත්‍ර වෙනවා. මෙම සාධකය වක්‍රාකාරයෙන් ළමයින් ගේ ජීවන මට්ටමට යහපත් අන්දමින් බලපාන්නේ නිරායාසයෙන්. මේ ආරක්ෂාව ඉතා නිදහස් වටපිටාවක් මාපියන් වටා නිර්මාණය කිරීමට සමත් වී තිබෙනවා. එනම්, සය හැවිරිදි වියේ පසුවන කුඩා දරුවන් පවා තනිව ම පාසල් යැවීමට ජපානයේ මාපියන් පසුබට වන්නේ නැහැ. පා ගමනින් ළඟා විය හැකි දුරකින් හෝ පොදු ප්‍රවාහන මාධ්‍යයක් භාවිතා කරමින් ළඟා විය යුතු දුරක පාසල පිහිටියත්, ජපානයේ දරුවන්ට එය ගැටලුවක් නොවෙයි. නිවසේ තිබෙන ආරක්ෂාව ඒ අයුරින් ම පිටත සමාජයෙත් පැවතීම ඊට හේතුව යි.

මේ සියල්ල සමඟින් අධ්‍යාපනයේ ගුණාත්මකභාවය සහ ප්‍රායෝගිකත්වය එකතු වූ විට දරුවන් සඳහා හිතකර පරිසරයක් ජපාන සමාජයේ ඉතා විශිෂ්ට අන්දමින් ගොඩනැඟී තිබෙනවා.

2. එස්තෝනියාව

එස්තෝනියාව යනු ළමයින් ගේ යහපැවැත්ම කෙරෙහි බලපාන සාධක රැසක් ජය ගත් රාජ්‍යයක්. ඒ අතරින් අවම වායු දූෂණය සහ අවම ශබ්ද දූෂණය විශේෂ යි. ජීවන මට්ටම හොඳින් පවත්වා ගෙන යන බොහෝමයක් රටවලට මේ සාධකය ජය ගැනීමට නොහැකි වී තිබෙනවා. කෘෂිකර්මාන්තය සඳහා පළිබෝධනාශක භාවිතයත් එස්තෝනියාවේ පවතින්නේ ඉතා අවම මට්ටමකින්.

එක්සත් ජනපදය, කැනඩාව, ඕස්ට්‍රේලියාව සහ එක්සත් රාජධානියට සාපේක්ෂ ව එස්තෝනියාවේ නාගරික හරිත අවකාශය පුළුල් වන අතර, ක්‍රීඩා පිටි සහ වෙනත් විනෝදාස්වාද ක්‍රියාකාරකම් සඳහා පුළුල් අවකාශයක් දරුවන් වෙනුවෙන් නිර්මාණය කිරීමට එස්තෝනියානු පරිපාලනය සැදී පැහැදී සිටිනවා.

නොඉඳුල් පරිසරය යනු දරුවන් ගේ යහපැවැත්මට බලපාන සෘජු සාධකයක්. එස්තෝනියා රාජ්‍යය එය නොසලකා හරින්නේ නැහැ – www.visitestonia.com

එස්තෝනියාවේ අඩු බරින් යුතු ව උපදින ළමයින් ඉතා විරළ යි. එය ලෝකයේ දෙවැනියට අවම අනුපාතිකය ලෙසත් සැලකෙනවා. පූර්ව ප්‍රසව සත්කාරය ඉතා ඉහළින් පැවතීම ඊට හේතුව යි.

සමාජ අවබෝධයක් ඇති දරුවෝ

සාමාන්‍යයෙන් ආසියාවෙන් පිටත ඕනෑම රටකට වඩා යහපත් ගණිත, විද්‍යා සාක්ෂරතාවක් එස්තෝනියානු ළමයින් අතර පවතිනවා. ඩිජිටල් කුසලතා පවතින්නේත් ඉහළ මට්ටමක යි. රොබෝ විද්‍යාව සහ ස්මාර්ට් ටැබ්ලට් භාවිතයෙන් සිදු කරන ඉගැන්වීම් රටා එස්තෝනියානු අධ්‍යාපන පද්ධතියේ සුලබ ව දක්නට ලැබෙනවා.

සමාජ අවබෝධය සම්බන්ධයෙනුත් එස්තෝනියානු දරුවන් සිටින්නේ ඉදිරියෙන්. උදාහරණයක් ලෙස එක්සත් ජනපදයේ සහ එක්සත් රාජධානියේ වෙසෙන පස් හැවිරිදි දරුවකුට වඩා ඒ වයසේ ම සිටින එස්තෝනියානු දරුවෙක් අනෙකුත් දරුවන් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට සමත්කම් දක්වනවා. අනෙකා ගේ හැඟීම් මනාව තේරුම් ගැනීමටත් ඔවුන් දක්ෂ යි.

තාක්ෂණයෙන් යාවත්කාලීන වූ සහකම්පනයක් ඇති එස්තෝනියානු දරුවෝ – estonianworld.com

නම්‍යශීලි බව, වැඩ කිරීමේ දී පෙන්වන මතකය සහ ආවේග පාලනය කර ගැනීමේ හැකියාව අතින් එස්තෝනියානු දරුවන් ලෝකයේ බොහෝ රටවල දරුවන්ට වඩා ප්‍රගතියක් පෙන්නුම් කරනවා. එබැවින්, දරුවන් අතර පවත්නා මිතුදම් ඉතා ශක්තිමත් වන අතර, මානුෂීය ගුණාංගත් ඉහළ යි. සහකම්පනයක් ඇති වැඩිහිටියන් සමාජයට එකතු වීම කෙරෙහි එස්තෝනියානු අධ්‍යාපන ක්‍රමවේදය විශාල බලපෑමක් එල්ල කරන බව මින් පෙනී යනවා

එස්තෝනියාව යනු මාතෘ නිවාඩු දින සියයක් සහ දින තිහක පීතෘ නිවාඩු ලබාදෙන රාජ්‍යයක්. දින 475 ක වැටුප් සහිත මාපිය නිවාඩු ලබාදීමේ ප්‍රතිපත්තියක් ද එස්තෝනියාවේ ක්‍රියාත්මක වෙනවා. එම නිවාඩු එකිනෙකා සමඟ බෙදා ගනිමින් හෝ අර්ධකාලීන වශයෙන් දරුවාට වයස අවුරුදු තුන සම්පූර්ණ වනතුරු භාවිත කළ හැකි යි.

එම දින වලින් දින 60 ක් මාපිය දෙදෙනාට ම එකවර නිවසේ සිටිය හැකි අන්දමින් භාවිත කිරීමේ හැකියාව තිබෙනවා. නිවාඩු ක්‍රමවේදය එතැනින් අවසන් වන්නේත් නැහැ. දරුවාට වයස අවුරුදු 14 වනතුරු වැඩ කරන දින දහයක් වැටුප් සහිත ව නිවාඩු ලෙස ලබා ගැනීමේ හැකියාවත් එස්තෝනියානු මාපියන්ට තිබෙනවා. නිවාඩු ක්‍රමවේදය, එස්තෝනියාවේ සිටින විදේශිකයන් ඇතුළු ස්ථිර සහ තාවකාලික පදිංචිකරුවන්ටත් වලංගු යි.

3. ස්පාඤ්ඤය

දරුවන් ඇතිදැඩි කිරීම සඳහා රටක තිබිය යුතු හිතකර සාධක සියල්ල ඉහළින් ම තෘප්ත කළ රාජ්‍යයක් වශයෙන් ස්පාඤ්ඤය පිළිගැනෙන්නේ නැහැ. ඔවුන් සමාජ, සෞඛ්‍යය සහ අධ්‍යාපන සේවාවල ගුණාත්මකභාවය අතින් තවදුරටත් ඉදිරියට යායුතු ජාතියක්. කෙසේ නමුත්, වාතය සහ ජල දූෂණය හේතුවෙන් ළමයින්ට වැලඳෙන රෝග අවදානම ඉතා අඩු රටක් ලෙස ස්පාඤ්ඤය හැඳින්විය හැකි යි. 

එරට අධ්‍යාපන ක්‍රමවේදය හරහා දරුවන් ගේ මානසික යහපැවැත්ම කෙරෙහි ඉහළ අවධානයක් යොමු කරන බැවින්, ස්පාඤ්ඤ දරුවන් ගේ සමාජ කුසලතා පවතින්නේත් ඉහළ මට්ටමක යි. ඔවුන් පහසුවෙන් මිතුදම් ඇති කර ගැනීමටත් සමත්කම් දක්වනවා.

ස්පාඤ්ඤයේ දරුවන් ඉතා සමාජශීලි යි. ඔවුන් ගේ සංස්කෘතිය තුළ පවුලට හිමි නිදහස ඊට බෙහෙවින් බලපා තිබෙනවා – family.lovetoknow.com

ස්පාඤ්ඤය යනු ධනවත් රටවල් අතරින් යොවුන් වියේ සිය දිවි නසා ගැනීම් අඩුවෙන් ම වාර්තා වන රාජ්‍යයක්. ස්පාඤ්ඤයට සාපේක්ෂ ව එක්සත් ජනපදය, ඕස්ට්‍රේලියාව, කැනඩාව සහ නවසීලන්තය යන රටවල යොවුන් වියේ සිය දිවි නසා ගැනීම් අගය ඉහළ බව යි පැවසෙන්නේ.

යුනිසෙෆ් සංවිධානය යොවුන් වියේ සියදිවි නසා ගැනීම් අනුපාතය අනුව රටවල් කිහිපයක් ශ්‍රේණිගත කර ඇති අන්දම – www.unicef-irc.org

වසර 15 කට පෙර එක්සත් ජනපදයේ සිට ස්පාඤ්ඤයට පැමිණි ලෝරි සයිනෝ සිය දරුවන් ස්පාඤ්ඤයේ ගත කරන ජීවිතය ගැන දරන්නේ මෙවන් අදහසක්.

“මෙහෙ ඕනෑම තැනකට දරුවෙක් රැගෙන යෑම සමාජීය වශයෙන් පිළිගන්නා දෙයක්. මධ්‍යම රාත්‍රිය පුරා කුඩා දරුවන් සමඟ වීදි සරන පවුල් ස්පාඤ්ඤයේ ඉතා සාමාන්‍ය දෙයක්. දරුවෙක් නිශ්ශබ්දව, සන්සුන්ව තබා ගැනීමට නම් දරුවා ගේ පීඩනය අවම කිරීමට විශාල වෙහෙසක් දරන්නට සිදු වෙනවා. එවිට ඔවුන් අන් අයට කරදරයක් වන්නේ නැහැ. ස්පාඤ්ඤයේ දී මේ කිසිම දෙයක් ගැන සැළකිල්ලක් දක්වන්න අවශ්‍ය වන්නේ නැහැ. පවුල සමඟ සතුටින් කාලය ගත කරන විට ඝෝෂාකාරී වීම එතරම් ගැටලුවක් නොවෙයි.”

මාතෘ සහ පීතෘ නිවාඩු සම්බන්ධයෙන් ද ස්පාඤ්ඤය තුළ ඇත්තේ සතුටුදායක තත්ත්වයක්.

4. ෆින්ලන්තය

ෆින්ලන්තය යනු දරුවන් ඇතිදැඩි කිරීමේ සුදුසුකම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ පවා ප්‍රචලිත වූ රාජ්‍යයක්. ෆින්ලන්ත අධ්‍යාපන ක්‍රමවේදයේ ඇති ඉහළ ගුණාත්මකභාවය සහ ප්‍රායෝගිකත්වය සම්බන්ධ කරුණු රාශියක් සමාජ මාධ්‍ය ඔස්සේ පවා ප්‍රචාරය වීම ඊට හේතුව යි.

දරුවන් ගේ යහපැවැත්ම සඳහා සුදුසු වටපිටාවක් ගොඩනඟන්නේ කෙසේ ද? අවධානය යොමු කළ යුතු සාධක මොනවා ද?
යුනිසෙෆ් සංවිධානය මේ සියල්ල එකට රාශිගත කර ඇති අයුරු බලන්න – www.unicef-irc.org

යුනිසෙෆ් සංවිධානයේ වාර්තා අනුව දරුවන් ගේ යහපැවැත්මට බලපාන ප්‍රධාන සාධක කිහිපයකින් ම ෆින්ලන්තය ඉහළ ලකුණු ලබා ගැනීමට සමත් වී තිබෙනවා. “දරුවාගේ ලෝකය” ඉන් එක් සාධකයක් වන අතර, එහි දී පරිසරයේ ගුණාත්මකභාවය දරුවා ගේ ජීවිතයට සෘජුව ම බලපාන ආකාරය සලකා බලනවා. ෆින්ලන්තය යනු පරිසර දූෂණය ඉතා අවම රාජ්‍යයක්.

මෙම සාධකයේ දී ලෝකයේ දියුණුයැ යි සම්මත රාජ්‍යයන් බොහෝමයක් ෆින්ලන්තයට දෙවැනි වන්නේ නිරායාසයෙන්. පාසල් පරිසරය, රථවාහන අනතුරු, නාගරික අවකාශයේ හරිත සංකල්ප, ක්‍රීඩාශීලි දිවියක් ගත කිරීමේ පහසුකම්, යන සියල්ල පොදුවේ “දරුවා වටා වූ ලෝකය” නමැති සාධකය යටතේ සලකා බැලෙනවා. ෆින්ලන්තය එම සාධකයත් ඉහළින් ම තෘප්ත කළ රාජ්‍යයක්.

ෆින්ලන්තයේ අධ්‍යාපන පද්ධතිය ලෝකයේම අවධානයට පාත්‍ර වූ අංගයක් – thelogicalindian.com

දරුවන් ගේ සාක්ෂරතාව සහ ගණිත කුසලතාව අතින් ලොව ඉහළ ම කාර්ය සාධනයක් ඇති රටවල් අතර ෆින්ලන්තය සිටිනවා. මාපියන් සහ පාසලේ කාර්ය මණ්ඩලය අතර ඇති සබඳතාව ඉතා ඉහළ මට්ටමකින් පවතින අතර, මාතෘ සහ පීතෘ නිවාඩු ක්‍රමවේදයත් ඉතා සාධාරණ යි. සති අටක වැටුප් සහිත මාතෘ නිවාඩු සහ තවත් මාස 14ක වැටුප් සහිත නිවාඩු මාපිය දෙපළට බෙදී යන අතර, දරුවාට වයස අවුරුදු තුන වන තෙක් ළමා සුරැකුම් නිවාඩු ලබාගත හැකි යි.

5. නෙදර්ලන්තය

නෙදර්ලන්තය, දරුවන් ගේ මානසික සෞඛ්‍යයේ යහපැවැත්ම සම්බන්ධයෙන් ඉහළ ම අවධානයක් යොමු කරන රටක් වශයෙන් හඳුනා ගෙන තිබෙනවා. 15 හැවිරිදි වියේ පසුවන 10 දෙනකු ගෙන් 9 දෙනකු ම තමාට ඉහළ ජීවන තෘප්තියක් ඇති බව පවසන අතර, සෑම 10 දෙනකු ගෙන් 8 දෙනකු පහසුවෙන් යහළුවන් ඇති කර ගන්නා බවත් හෙළි වී තිබෙනවා.

දරුවෙක් සුවිශේෂ වීමට නම් අවශ්‍ය වන්නේ සාමාන්‍ය ළමා කාලයක් පමණ යි – www.iamsterdam.com

ව්‍යුහාත්මක සාධක කිහිපයක් නිසා ඕලන්ද දරුවන් ඉතා සතුටින් තම ළමා කාලය ගෙවා දමනවා. වැදගත් ම සාධකය වන්නේ නෙදර්ලන්තයේ සුබසාධන පද්ධතිය යි. අනෙක් සාධකය වන්නේ මාතෘ සහ පීතෘ නිවාඩු ප්‍රතිපත්තිය යි. නෙදර්ලන්ත රජය මාපියන් සඳහා විශාල සහයෝගයක් ලබාදෙන අතර, එමඟින් පවුල් සංස්ථාවේ වෘත්තීය ජීවිතය සහ පෞද්ගලික ජීවිතය අතර තිබෙන සමබරතාව හොඳින් රැක ගැනීමටත් හැකි වෙනවා.

අවසාන ප්‍රතිපලය වන්නේ දරුවන්ට මානසික වශයෙන් ඉතා සුවදායක සමාජ වටාපිටාවක් ඇති රටක් බිහි වීම යි. එම සමාජ ක්‍රමය තුළ ඕනෑම දරුවෙක් සුවිශේෂ යි. නමුත්, එම සුවිශේෂත්වය අත්කර ගත හැක්කේ සාමාන්‍ය ළමා ජීවිතයක් ගත කරන දරුවෙක් වුවහොත් පමණ යි. එවිට ඇතිවන නිදහස් මානසිකත්වය ඔස්සේ දරුවා තමා තුළ ඇති කුසලතාව නිවැරදි ව හඳුනා ගනීවි.

ශ්‍රී ලංකාවේ නම් කරමත එල්ලා ගෙන යන පාසල් බෑගයේ පටන් දක්නට ඇත්තේ “අසාමාන්‍ය සුවිශේෂත්වයක්” පමණ යි. එවැන්නකුට සාමාන්‍ය ළමා ජීවිතයක් කොයින් ද!

කවරයේ ඡායාරූපය: ලෝකයේ ආර්ථික බලවතුන් කොතෙක් සිටියත්, දරුවන් ගේ ලෝකය බලවත් කළ රටවල් ඇත්තේ කිහිපයක් පමණ යි - finland.fi
මූලාශ්‍ර:
www.bbc.com
www.unicef-irc.org

Related Articles