මී ගස ගැන අපූරු කරුණු 6ක්

ඈත අතීතයේ අපේ පැරැන්නන් පරිසරය සමග සමීප සබඳතාවයක් පැවැත්වූවා. ඔවුන් බොහෝ ශාකවල වටිනාකම දැනගෙන සිටියා. එනිසා පැරණි මිනිසුන් ඇතැම් ශාක ප්‍රභේද පණ සේ ආරක්ෂා කළා. 

පැරැන්නන් දිවිහිමියෙන් ආරක්ෂා කළ ශාක අතරින් මී ශාකයත් එකක්. Madhuca longifolia යන විද්‍යාත්මක නාමයෙන් හැඳින්වෙන මී ගසින් මිනිසාට ප්‍රයෝජන රැසක් ලැබුණු නිසා ද, ඒ ගැන තිබූ ඇතැම් විශ්වාස නිසා ද එය රැකගැනීමට බොහෝ දෙනෙකු උනන්දු වුණා. නමුත් පසුගිය දශක කිහිපය තුළ මෙරට සිදුවුණු මහා වන විනාශය නිසා මී ගස්වල පැවැත්මට විශාල තර්ජනයක් එල්ලවෙලා. අද වන විට ලංකාව තුළ මී ගස් සුලභව දක්නට ලැබෙන්නේ නැහැ.  

මේ ලිපියෙන් ඔබ වෙත ඉදිරිපත් කරන්නේ මී ගස සම්බන්ධයෙන් ප්‍රසිද්ධව ඇති විද්‍යාත්මක කරුණු සහ ජනප්‍රවාදයේ පැවත එන විශ්වාසයන් 6ක එකතුවක්. 

1) දවස පුරාම ඔක්සිජන් සපයන ශාකයක් බවට විශ්වාස කෙරෙනවා

සාමාන්‍යයෙන් ශාකයකින් දහවල් කාලයේ දී ප්‍රභාසංස්ලේෂණය සඳහා කාබන්ඩයොක්සයිඩ් ලබාගෙන පරිසරයට ඔක්සිජන් මුදාහැරෙන අතර, රාත්‍රී කාලයේ දී ශාකවල ශ්වසනය පිණිස ඔක්සිජන් ලබාගෙන කාබන්ඩයොක්සයිඩ් පිටකරනවා. නමුත් ඇතැම් ශාක ඊට වෙනස් ලක්ෂණ පෙන්නුම් කරනවා. මී ගසත් එවැන්නක් බව යි පැවසෙන්නේ. මී ගස් දහවල් සහ රාත්‍රී භේදයකින් තොරව පරිසරයට ඔක්සිජන් මුදාහරින බව විශ්වාස කෙරෙනවා. 

කෙසේ නමුත් මේ කරුණෙහි සත්‍යාසත්‍යතාව පැහැදිලි කරගැනීමට විද්‍යාත්මක පර්‍යේෂණ පවත්වා ඇත්දැ යි වාර්තාවක් නැහැ.

මී ගසක් (Heavenz)

2) වගාවන්ට ස්වභාවිකම පොහොර ලබාදෙයි 

ගෙවුණු දශක කිහිපය පුරාවට අප රටේ ගොවියන් මහා පරිමාණයෙන් රසායනික පොහොර භාවිතය සඳහා හුරුවුණා. එහි අහිතකර ප්‍රතිඵල මේ වන විට බොහෝ දෙනෙකු විඳිමින් සිටිනවා. දැනට වසර කිහිපයක සිට කාබනික පොහොර භාවිතයේ වැදගත්කම පිළිබඳව සමාජය තුළ කතිකාවතක් ගොඩනැගී තිබෙනවා. 

කාබනික පොහොර පිළිබඳව කතා කරන විට මී ගස අපට අමතක කරන්නම බැරි ශාකයක්. මී ගස අපට ස්වභාවිකම පොහොර ලබාදෙන ශාකයක් බව විශ්වාස කෙරෙනවා. එනිසා පැරැන්නන් කුඹුරු සහ වගාබිම් ආශ්‍රිතව මී ගස් වගා කිරීමට පෙළඹුණු බව යි කියැවෙන්නේ.

මී මල් පිපෙන කාලයේ දී සහ ගෙඩි හටගන්නා කාලයේ දී වවුලන් නිතරම මී ගස් ආශ්‍රිතව සැරිසරනවා.  මී ගෙඩි සහ මල් කා දමන වවුලන් යාබද වගාබිම් සහ කුඹුරු පුරාම වසුරු දැමීම සිදුකරනවා. මේ වසුරුවල ශාක වර්ධනය සදහා අවශ්‍ය වන  නයිට්‍රජන් පොහොර සහ අනෙකුත් සංඝටක රාශියක් අඩංගු වී තිබෙනවා. එනිසා  කුඹුරු සහ වගාබිම්වලට රසායනික පොහොර අවශ්‍ය වන්නේ නැහැ. එකල සරුසාර කෙත් යාය සහ වගා බිම් දක්නට ලැබුණේ මී වැනි වටිනා ශාක කුඹුරු සහ වගාබිම් ආශ්‍රිතව බහුලව තිබුණු නිසා යි. එසේම මී ගසේ කොළ පොළවට වැටී දිරාපත් වුණු විට ද පොහොර ස්වාභාවිකවම ලබාගන්නට පුළුවන්. එනිසා අපේ පැරැන්නන් මී ගස හඳුන්වනු ලැබුවේ “පොහොර ගස” ලෙස යි.

කුඹුරක් අසල ඇති මී ගසක් (herbal voice)

3) ස්වභාවිකව පළිබෝධකයන් පාලනය කිරීමට සහාය වන ශාකයක් 

රසායනික පොහොර මෙන්ම පළිබෝධනාශක ද අද වන විට අප රටට පිළිලයක් වී තිබෙනවා. නමුත් වගාබිම් ආශ්‍රිතව ජීවත් වන පළිබෝධකයන් පාලනය කිරීමට වෙනත් ක්‍රමයක් නැති නිසා ගොවියන් සීමාවක් නැතිව පළිබෝධනාශක භාවිතා කරනවා. පළිබෝධනාශක භාවිතා කරන ලද වගා බිම්වලින් නෙලාගන්නා වස විස සහිත එළවළු සහ පළතුරු ඇතුළු බෝග වර්ග පරිභෝජනය කිරීමට මිනිසුන් වැඩි කැමැත්තක් දක්වන්නේ නැහැ. එනිසා වර්තමානය වන විට කාබනික එළවළු සහ පළතුරු සඳහා විශාල ඉල්ලුමක් හිමිව තිබෙනවා.

අද වන විට වගාවන් සඳහා මහා පරිමාණයෙන් පළිබෝධනාශක භාවිතා කළත්, පැරැන්නන් ස්වභාවික ක්‍රම මඟින් පළිබෝධකයන් මර්ධනය කිරීමට පුරුදුව සිටියා. ඔවුන් භාවිතා කළ එක් උපක්‍රමයක් වුණේ වගාබිම් ආශ්‍රිතව මී ගස් වගා කිරීම යි. මී ගෙඩි සහ මල් ආහාරයට ගැනීමට පැමිණි වවුලන් සහ අනිකුත් කුරුල්ලක් ගොයමට සහ වෙනත් බෝගවලට හානි කරන ලද පළිබෝධකයන් ද ආහාරයට ගත්තා. එනිසා ඈත අතීතයේ දී පළිබෝධනාශක භාවිතයෙන් තොරව වගා කටයුතු සිදුකිරීමට හැකියාව ලැබුණු බව කියැවෙනවා.

මී ගෙඩි (edunews.lk)

4) විවිධ ආහාර වර්ග සැකසීමට මී ගසේ ඇතැම් කොටස් භාවිතා කරයි 

මී ගසේ ඇට භාවිතා කර සිඳින තෙල්වලට ආර්ථිකමය වටිනාකමක් හිමිව තිබෙනවා. එහි ඕලෙයික් අම්ලය, සිට්‍රික් අම්ලය, සහ ලිනොලයික් අම්ලය වැනි අම්ල වර්ග කිහිපයක් අඩංගු යි. මී තෙල්වල ගුණදායකබව නිසා මී තෙල් යොදා සකස් කරන ආහාර වර්ග අනුභව කිරීමෙන් කොලෙස්ටෙරෝල් සහ අර්ෂස් වැනි රෝග තත්ත්වයන් සමනය කළ හැකි බවට මතයක් පවතිනවා. 

මී ගසේ ගෙඩි සහ මල් භාවිතා කරමින් විවිධ කෑම වර්ග සෑදීමට පැරැන්නන් පුරුදුව සිටියා. ඔවුන් හැලප සහ කැවුම් සෑදීම සඳහා මී මල් භාවිතා කළා. තව ද පැරැන්නන් මී ඇටවලින් තෙල් සිඳීමෙන් පසුව ඉතිරිවන මීමුරු තවත් ස්වභාවික ද්‍රව්‍ය සමග මුසුකොට දුම් ඇල්ලීම සිදුකරනු ලැබුවා. ඒ අවට පරිසරයේ තිබෙන විශබීජ විනාශ කිරීම සඳහා යි.

මී මල් හැලප (Youtube)

5) ආයුර්වේද වෙදකම සහ හෙළ වෙදකමට ඇති ප්‍රයෝජන 

හෙළ වෙදකමේ දී සහ ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ දී  කරන ඇතැම් ප්‍රතිකාර සඳහා මී ශාකයේ විවිධ කොටස් යොදාගනු ලබනවා. මී ගසේ මල්, කොළ, පොතු, මුල්, ඇට ආදී සියලු කොටස් බෙහෙත් සෑදීම සඳහා භාවිතා කරනවා. මී ඇටවලින් සිඳින මී තෙල් විවිධ කැක්කුම් සමනය කිරීම සඳහා වේදනා නාශකයක් ලෙස යොදාගනු ලබනවා. එසේම  මී තෙල්වලින් සාදන ලද බාම් වර්ග අද වන විට වෙළඳපොළේ දක්නට ලැබෙනවා. 

එසේම හොඳ  ඔසුවක් වන මී ගසේ පොතු  කැඩුම් බිඳුම් ප්‍රතිකාර කිරීමට සඳහා යොදාගන්නවා. තව ද හන්දිපත් වේදනාව සමනය කරගැනීම සඳහා මී පොතු කසාය බීම වඩාත් ගුණදායක යි. මී පොතු වියළා ලබාගන්නා කුඩුවලින් එම පානය සකස්කර ගන්නවා. මී ගසේ ඇට මඟින් සකසන පානයන් මඟින් පුරුෂයන්ගේ ශුක්‍රාණුවල දෝෂ නැතිවී යන බව පැවසෙනවා. ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ සඳහන් වන ආකාරයට  මී මල් භාවිතා කර සාදාගන්නා මධු කසාය ස්ත්‍රී ප්‍රජනන පද්ධතියේ යහපත් ක්‍රියාකාරීත්වයට උපකාරී වනවා.

ස්නායු ශක්තිමත් කිරීමටත්, බඩ වේලීම වැනි තත්ත්වයන් සමනය කර ගැනීමටත් මී තෙල් හොඳ  ඔසුවක්. සමේ ඇතිවන දද, කුෂ්ඨ සුව කිරීමට ද මී තෙල් යොදාගන්නවා. ඊට අමතරව සෙම් රෝග, හිස කැක්කුම් ආදියේ දී යොදාගන්නා නස්න කර්ම සඳහා මී ඇට භාවිතා කරනවා. 

ඈත අතීතයේ දී කුප්පි ලාම්පු දැල්වීම නිසා මිනිසුන්ගේ ඇස්වල ඇතිවුණු දැවිල්ල අඩු කිරීමට මී තෙල්වලින් කුප්පි ලාම්පු දල්වනු ලැබුවා. ඉන් ඇස්වලට සහනයක් ලැබුණු බව කියැවෙනවා. ඊට අමතරව  සර්පවෙදකම, උගුරේ ආබාධ, වාතරෝග, අතීසාරය, ක්ෂයරෝගය සහ මුත්‍රා ආසාදනයන් සුවපත් කිරීම සදහා මී ගසෙන් ලබාගන්නා කොටස් භාවිතා කළා. 

මී ඇට (Youtube)

6) රජ කාලයේ දී මී ගස් කැපූ අයට මරණ දඬුවම ලබාදුන්නා

දේවානම්පියතිස්ස රජතුමාගේ යුගයේ දී සමහර ගස් වර්ග කැපීම තහනම් කර තිබුණා. එයින් එක් ගසක් වුණේ මී ගස යි. එදා ඕනෑම තරාතිරමක පුද්ගලයෙකු මී ගසක් කපා අසුවුණොත් ලැබුණු දඬුවම වුණේ මරණීය දණ්ඩනය යි. එකල මී ගසක් කැපීමට කිසිම හේතුවක් ඉදිරිපත් කිරීමටවත් අවස්ථාවක් ලබාදුන්නේ නැහැ. නිවෙසකට මී අත්තක් පහත් වී තිබුණත්, එම අත්ත නොකපා වෙනත් ස්ථානයකින් නිවෙසක් තනා ගැනීමට රජතුමා ඉඩහසර ලබා දුන්බව සඳහන් වනවා. 

එකල මී ගස මායිම් ලකුණු කිරීම සඳහා ද යොදාගත්තා. එදා මහා විහාරයේ සීමා ලකුණු කිරීම සඳහා මී ගස යොදාගත් බවට සාක්ෂ්‍ය මහාවංසයෙන් හමුවනවා, එහි මී ගස හැඳින්වීම සඳහා කුදුමීරුක යන වචනය යොදා තිබෙනවා. ඊට අමතරව ධාතුවංසය, පුලියම්කුලම් පුවරු ලිපිය, මිහින්තලේ පුවරු ලිපිය යන ඒවායේ එකල මී ගස් කැපීම තහනම්කර තිබුණු බවට සඳහන්. 

අපගේ රජවරුන් ආරක්ෂා කළ මී ගස කැපීම සඳහා 1833 කෝල්බෘක් ප්‍රතිසංස්කරණය මඟින් අවසර ලබාදීම මෙරට මී ගස් ප්‍රමාණය සීඝ්‍රයෙන් අඩුවීමට විශාල ලෙස බලපෑවා. 

දේවානම්පියතිස්ස රජුගේ පිළිරුවක් (The Next Travel Sri Lanka)

කවරයේ ඡායාරූපය- මී ගසක් (Facebook)  

මූලාශ්‍රයයන්- dinamina.lk

                            Herbalvoice.lk 

Related Articles