Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

දක්ෂිණ ධ්‍රැවය යටින් පිහිටි සුවිසල් විල : වොස්ටොක්

1996 වර්ෂයේ දී රුසියානු විද්‍යාඥ කණ්ඩායමක් දක්ෂිණ ධ්‍රැවයේ වොස්ටොක් පර්යේෂණ මධ්‍යස්ථාන ආශ්‍රිත ව අයිස් නියැදි ලබාගැනීම සඳහා පොළෝ කුහරය විදීමේ කාර්යයක නිරත වී ඇති අතර, ඔවුන් මීටර් 3,623 (අඩි 11,886)ක් පමණ ඇතුළට පොළෝ කුහරය විදීම්‍ෙ දී හමු වී ඇති සියලුම අයිස් නියැදි ඉතාමත් පිරිසිදු තත්ත්වයෙන් පැවතී තිබෙනවා. මෙය අතිශය අසාමාන්‍ය සිදුවීමක් වූ බැවින් විදීමේ කටයුතු තාවකාලිකව නතර කර ඇති රුසියානු විද්‍යාඥයින්, රේඩාර් සහ භූ කම්පන තරංග යොදා ගනිමින් පර්යේෂණ මාලාවක් සිදු කර ඇති අතර, එයින් හෙළිදරව් වී ඇත්තේ මුහුදු මට්ටමේ සිට කි.මී. 3.7ක් (සැතපුම් 2) පමණ යටින් උණු දිය සහිත අනුග්ලැසියර විලක් (ග්ලැසියරයක් හෝ අයිස් තට්ටුවක් යටින් පිහිටා ඇති විලක්) පවතින බව යි.

දැනට ලෝකයේ විශාලතම අනුග්ලැසියර විල ලෙස සැලකෙන ‘වොස්ටොක් විල’ බොහෝ කාලයකට පෙර දක්ෂිණ ධ්‍රැවය මතුපිට සාමාන්‍ය විලක් ලෙස පැවති ඇති අතර, ලුවිසියානා ප්‍රාන්ත සරසවියේ ජීව විද්‍යාඥ බ්‍රෙන්ට් ක්‍රිස්නර් සඳහන් කරන ආකාරයට අවම වශයෙන් වසර මිලියන 15ක කාලයක් තිස්සේ අනුග්ලැසියර විලක් ලෙස පැවතී තිබෙනවා. හිරු එළිය සහ පිටත වායුගෝලය සමග සම්බන්ධතාවයක් නොමැති වොස්ටොක් විල පිහිටා ඇත්තේ පෘථිවිය සතු අතිශය අාන්තික පරිසර තත්ත්වයක් යටතේ යි.

© Nicolle Rager-Fuller / NSF

පෘථිවි තලයට යටින්

ප්‍රමාණයෙන් මෙන්ම ජල පරිමාවෙන් ද පෘථිවිය සතු විශාලතම විලක් වන වොස්ටොක් විල, උතුරු ඇමෙරිකාවේ ඔන්ටේරියෝ විල සමග සම ව සිටින බව පැවසීමේ වරදක් නැහැ. දිගින් කි.මී. 230ක්  (සැතපුම් 143) ද, පළලින් කි.මී. 50ක් (සැතපුම් 31) ද වන එහි ගැඹුර මීටර් 800ක් (අඩි 2,625) බව යි වාර්තා වන්නේ. එය පිහිටා ඇත්තේ දක්ෂිණ ධ්‍රැවයේ නැගෙනහිර දෙසට වන්නට යි. 1960 දශකයේ දී රුසියානු භූ විද්‍යාඥයෙක් ගුවන් සිට විශාල අයිස් තට්ටුවක් නිරීක්ෂණය කර තිබෙනවා. මෙවැනි විලක් පැවතිය හැකි බවට මුලින්ම මතයක් ඉදිරිපත් වී ඇත්තේ එම නිරීක්ෂණය පදනම් කරගෙන යි. ඉන්පසුව 1996 දී රුසියානු සහ බ්‍රිතාන්‍ය පර්යේෂකයන් එක්ව සිදුකරන ලද වාසර රේඩාර් පර්යේෂණ මඟින් දක්ෂිණ ධ්‍රැවය යට සත්‍ය වශයෙන් ම විලක් පවතින බව තහවුරු වුණා.

© Nicolle Rager-Fuller / NSF

වොස්ටොක් විලට පවතින එක ම ජල සැපයුම වන්නේ විලට ඉහළින් පවතින අයිස් තට්ටුව දියවීමෙන් ලැබෙන ජලය යි. දැනට සිදුකරන ලද පර්යේෂණ මඟින් වොස්ටොක් විලට වෙනත් ආකාරයකට ජලය ඇතුළුවීමක් හෝ පිටවීමක් සිදු වන බවට සාක්ෂි හමු වී නැහැ. එසේ ම අයිස් නියැදි පරීක්ෂා කිරීමෙන් තහවුරු වී ඇත්තේ දැනට වොස්ටොක් විල සතු ජලය, වසර දහසකට වඩා පැරණි නොවන බව යි.

මේ වන විට වොස්ටොක් විල සිතියම් ගත කිරීමට පර්යේෂකයින් සමත් වී ඇති අතර විලේ එක් අන්තයක් අනෙක් අන්තයට වඩා ගැඹුරෙන් අඩු බව එයින් හෙළිදරව් වී තිබෙනවා. එසේ ම උස් වූ වැටියක් හේතුවෙන් වොස්ටොක් විල ද්‍රෝනි දෙකක් ලෙස බෙදී පවතින අතර, පෘථිවියේ භූ උෂ්ණත්ව තාපය නිසා විල් ජලය සෑම විට ම -3°C (27°F)ක උණුසුමකින් යුක්ත වෙනවා. දක්ෂිණ ධ්‍රැවය සතු අධික ශීතල හමුවේ වොස්ටොක් විලේ ජලය, ඝන බවට පත් නොවී ද්‍රව ස්වරූපයෙන් පැවතීමට හේතුවන්නේ විලට ඉහළින් පිහිටා ඇති අයිස් තට්ටුව මඟින් ඇති වන අධික පීඩනය යි.  

© NASA

ග්ලැසියරයට නතර කළ නොහැකි ජීවය

වොස්ටොක් විල ආශ්‍රිතව සිදුකරන ලද පර්යේෂණ මඟින් විල් ජලයේ වාසය කරන ක්ෂුද්‍ර ජීවි කාණ්ඩ රැසක් සොයාගැනීමට විද්‍යාඥයින් සමත් වී තිබෙනවා. එසේම වැඩිදුර විශ්ලේෂණ මඟින් අනාවරණය වී ඇත්තේ වසර දහස් ගණනක් තිස්සේ සාමාන්‍ය පරිසර තත්ත්වයන්ගෙන් සහ හිරු එළියෙන් ඈත් වී පවතින වොස්ටොක් විල සතුව අසමසම පරිසර පද්ධතියක් පැවතිය හැකි බව යි. ජීව විද්‍යාඥ බ්‍රෙන්ට් ක්‍රිස්නර් සඳහන් කරන ආකාරයට එම ක්ෂුද්‍ර ජීවින්ට අවැසි ශක්තිය සැපයීම සිදු කරන්නේ විල් ජලයේ ඇති විවිධ ඛනිජ ද්‍රව්‍ය මඟින්.

© NASA

මෑත කාලීන ව සිදු කරන ලද පර්යේෂණ මඟින් හෙළිදරව් වී ඇත්තේ වොස්ටොක් විලේ වාසය කරන බොහෝමයක් ක්ෂුද්‍ර ජීවීන්, ඒක සෛලික ජීවින් බව යි. එයට අමතරව විල් ජලයේ දිලීර සහ බැක්ටීරියා විශේෂ දහස් ගණනක් වාසය කරන බව යි වාර්තාවන්නේ. මෙම බැක්ටීරියා විශේෂ අතරින් සමහරක් මත්ස්‍යයින්ගේ ආමාශයේ වාසය කරන බැක්ටීරියා විශේෂ බව ද සඳහන් වෙනවා. එසේම වොස්ටොක් විල් ජලයේ අධික ශීතල ප්‍රිය කරන ජීවින් මෙන් ම උණුසුම ප්‍රියකරන ජීවින් ද වාසය කරන අත ඒ මත පදනම් ව විද්‍යාඥයින් ප්‍රකාශ කරන්නේ විල් පතුලේ ආර්ද්‍රෝෂ්ණක විවර (hydrothermal vents) පැවතිය හැකි බව යි. වොස්ටොක් විලේ මුහුදු ජීවින් මෙන්ම මිරිදිය ජීවින් ද වාසය කරන අතර බොහෝ කාලයකට පෙර එය යම් ආකාරයකට සාගරය හා සම්බන්ධ වී පවතින්නට ඇති බව විද්‍යාඥයින්ගේ විශ්වාසය යි.

කවරයේ පින්තූරය : © Pinterest

Related Articles