Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

අප්‍රිකා මහාද්වීපයේ විසූ දැවැන්තයා: මාර්සබිට්  හි රජු

ලොව වඩාත් ඉහළ ජෛව විවිධත්වයෙන් යුතු පරිසර පද්ධතියකට හිමිකම් කියන කෙන්යාව අප්‍රිකානු මහද්වීපයේ පිහිටා ඇති රාජ්‍යයකි. එය එක් අන්තයකින් ඉන්දියන් සාගරයෙන් වට වී පවතින වඩාත් සුප්‍රක්‍රට සංචාරක අන්තයකි. සැවානා තෘණ බිම් , නිම්න සහ තෙත් බිම් මෙන් ම වනාන්තරවලින් හෙබි මේ අපූරු රාජ්‍යය වඳවී යෑමේ තර්ජනයට ලක්වූ සිංහයන්, අලි ඇතුන් සහ රයිනෝ වැනි වන සතුන්ගේ නිවහන ද වේ.

කෙන්යාවේ මසායි මාරා වනය ඔස්සේ සිදුවන වාර්ෂික සත්ව ගැලීම ඉතා ප්‍රසිද්ධියට පත් සිදුවීමක් වන අතර දහස් ගණනක් වන සතුන් අසලවැසි ටැන්සානියාව් සිට  කෙන්යාවේ මසායි මාරා දෙසට ගමන් කිරීමෙන් මෙය සිදු වේ.

කෙන්යාවේ සැවානා බිම් මතින් නිදහසේ ඇවිද යන අප්‍රිකානු අලිඇත්තු – www.discoverafricablog.com

 

කෙන්යාව සහ අලි ඇත්තු

කෙන්යාවේ වනාන්තර තම වාස භූමිය බවට පත්කොට ගෙන ජීවත් වන නන්විවිධ වන සතුන් අතරින් අලි ඇතුන් ඉතා වැදගත් වේ. කෙන්යාව සියලු ම ගොඩබිම් ක්ෂීරපායින් අතරින් වඩාත් විශාලත ම සත්වයන් වන අප්‍රිකානු අලින් බහුල ව වෙසෙන රාජ්‍යයකි. මෙම අලි ඇතුන් ස්වභාවික පරිසර පද්ධති තුලනය කිරීමේ දී වැදගත් කාර්යභාරයක් ඉටු කරයි. කෙන්යාවේ දී අලි ඇතුන් යනු සුලබ දර්ශනයකි. කෙන්යාවේ අලි ගහනය වසර 30කින් දෙගුණයකින් වැඩි වී ඇත. රහසේ සිදු කරන දඩයම් කිරීම් නතර කිරීම හේතුවෙන් අලි ඇතුන්ගේ ප්‍රමාණය මෙසේ දෙගුණ වී ඇති බව සැලකේ. 1989 දී කෙන්යාවේ අලි ඇතුන් 16,000 ක් පමණක් සිටි අතර 2018 වන විට එම සංඛ්‍යාව 34,000 දක්වා වැඩි විය.

අප්‍රිකානු අලියා කෙන්යාවේ ආර්ථික සංවර්ධනයට ඉටුකරන සේවාව මිල කළ නොහැක්කකි.  වනජීවී  ජීවී විෂයට අදාළ ව මෑතක දී සමාලෝචනය කළ 2018 – 2023  වසර සඳහා අදාළ කෙන්යා උපායමාර්ගික ක්‍රියාකාරී සැලැස්ම තුළ ප්‍රමුඛතා විශේෂයක් ලෙස අප්‍රිකානු අලියා හඳුනාගෙන ඇත. ඒ අනුව අප්‍රිකානු අලින් සංරක්ෂණය කිරීම කෙන්යාව තුළ ප්‍රමුඛ ක්‍රියාවක් බවට පත් ව ඇත.

අප්‍රිකානු මහද්වීපයේ විසූ දැවැන්තයා

ඈත අතීතයේ කෙන්යාවේ මාර්සබිට්හි  වාසය කළ අහමඩ් යනු කෙන්යාවේ අතිශය ප්‍රසිද්ධියට පත් ඇත් රාජයෙකි. අලි ඇතුන්ගේ පාරාදීසයේ විසූ මේ දැවැන්තයා කෙන්යාවට එතරම් විශේෂ වූයේ ඇයි ද යන්න මේ ලිපියෙන් පැහැදිලි කෙරේ.

අහමඩ්ගේ ජීවමාන ඡායාරූපයක් – www.africahunting.com

 

කෙන්යාවේ මාර්සබිට්හි අවට කඳුකර ප්‍රදේශය අලි ඇතුන් සඳහා වඩාත් ප්‍රසිද්ධ වූ අතර අහමඩ් යනු  එම භූමිය නිජබිම කොට ජීවත් වූ දැවැන්ත ම හස්තියා ය.  අහමඩ් අප්‍රිකානු මහාද්වීපයේ මෙතෙක් සැරිසැරූ වඩාත් ප්‍රසිද්ධ හස්තියා ලෙස ද ප්‍රකට ය.

1919 දී උපත ලද අහමඩ්, මාර්සබිට් කඳුකරයේ වනාන්තර අතර නිදහසේ සැරි සැරූ යෝධයෙක් බවට පත් විය. ස්වදේශිකයන් මෙම හස්තියා හැඳින්වූයේ ‘’මාර්සබිට්  හි රජු ” ලෙසිනි.

ජනපති ආරක්ෂාව

වයස ඉක්මවා වැඩෙන විට අහමඩ් ඉතා අලංකාර දළ යුවළකට හිමිකම් කීමට සමත් විය. දළ සහ ශරීර ප්‍රමාණය අනුව අහමඩ් හස්තියා විශාල ප්‍රසිද්ධියකට පත්වී ය. ඒ වන විටත් ඇත් දළ හේතුවෙන් දඩයක්කරුවන්ගේ අවධානයට පාත්‍ර වී සිටි මෙම දැවැන්ත හස්තියාගේ ආරක්ෂාව තහවුරු කිරීම ඉතා අවශ්‍ය කාරණයක් බවට පත්ව තිබිණි.

ආසන්න වශයෙන් අහමඩ්ගේ එක් දළයක්  එවකට කිලෝග්‍රෑම් 70ක් බරින් සහ මීටර් 3ක් පමණ දිගින් යුක්ත වූ බව වාර්තා වේ.

ජනපති ජෝමෝ කෙන්යාටා – www.gettyimages.com

 

මේ හේතුවෙන් වසර 1970 දී කෙන්යාවේ එවක ජනපති ජෝමෝ කෙන්යාටා මෙම අග්‍රගණ්‍ය හස්තියා ජාතික වස්තුවක් බවට ප්‍රකාශයට පත් කළේ ය. අහමඩ් යන නමින් ප්‍රකට වී සිටි මෙම හස්තියාට මාර්සබිට් වනය තුළ නිදහසේ සැරිසැරීමේ අයිතිය ද එමඟින් තහවුරු කෙරිණි. අහමඩ් හස්තියාගේ ආරක්ෂාව සඳහා සන්නද්ධ ආරක්‍ෂක නිලධාරීන් පස්‌දෙනෙක් දිවා රෑ  සේවා මුරවල නිරත වූහ.

අහමඩ්  සෑම මොහොතක ම වනාන්තරය තුළ  නිදහසේ ගමන් ගත් අතර හස්තියා විවේක ගන්නා බොහෝ අවස්ථාවල දී ඔහුගේ ඡායාරූප ගැනීමට ඡායාරූප ශිල්පීන්ට හැකියාව ලැබිණි. ලෝක ප්‍රකට කෙන්යා ඡායාරූප ශිල්පී මොහොමඩ් අමීන් 1974 දී අහමඩ්ගේ දුර්ලභ ඡායාරූපයක් ලබා ගත් අතර ඒ හස්තියා මිය යාමට දින කිහිපයකට පමණ පෙරදී ය.

හුදෙකලා වූ  අහමඩ්

වයසින් මුහුකුරා යත් ම හුදෙකලා වූ  අහමඩ් කලාතුරකින් දැක ගත හැකි වූ අතර 1974 වසරේ දිනක එක් උදෑසනක හස්තියා සොයා ගැනීමට ආරක්‍ෂක නිලධාරීන් නොහැකි වීය. හස්තියාගේ අතුරුදහන් වීමත් සමඟ තැති ගත් ඔහුගේ ආරක්ෂකයන් අහමඩ් සොයා යෑම ඇරඹූ අතර මඳ වේලාවකට පසු මිය  ගොස් සිටි අහමඩ් හස්තියාගේ සිරුර ඔවුන්ට සොයාගැනීමට හැකිවිය.

මිය යන විට අහමඩ්ගේ වයස අවුරුදු 55 ක් පමණ වූ අතර එම මරණය ස්වාභාවික ව සිදු වූවක් බව තහවුරු කළ වූයේ හස්තියාගේ ප්‍රසිද්ධියට හේතු වූ ඉතා දිගු දළ යුගළ කිසිදු හානියකින් තොර ව පැවතීම ය.

අහමඩ් ජීවතුන් අතර සිටිය දී  වාර්තා වූ ප්‍රමාණයට වඩා  ඔහුගේ ඇත් දළ විශාලත්වයෙන් යුක්ත වූ අතර  මෙය සාමාන්‍ය ප්‍රමාණයේ  ඇතුන්ගේ දළවල ප්‍රමාණයට  වඩා බොහෝ විශාල අගයකි.

මරණ පරීක්ෂණයේ දී ඔහුගේ සිරුරේ තැනින් තැන වූ  පැරණි  රයිෆල් උණ්ඩ සොයා ගැනුණු අතර, එයින් ඇඟවෙන්නේ ඔහුට රාජ්‍ය ආරක්ෂාව ලබා දීමට බොහෝ කලකට පෙර ඔහු දඩයම්කරුවන්ගේ ඉලක්කයක් වී සිටි බව ය.

අනාගතය සඳහා ජීවමානවීම

අහමඩ් හස්තියාගේ මරණයෙන් පසු ජනාධිපති කෙන්යාටා  අනාගතයේදී ද සියලු දෙනාට  දැක බලා ගැනීම සඳහා මෙම හස්තියාගේ සිරුර සංරක්ෂණය කිරීමට කටයුතු යෙදී ය. ඒ අනුව අප්‍රිකානු මහද්වීපයේ සැරිසැරූ දැවැන්ත ම හස්තියාගේ සිරුර අදටත් කෙන්යාවේ නයිරෝබි නුවර ජාතික කෞතුකාගාරයේ දී  ලෝක වාසීන්ට දැක බලා ගැනීමේ අවස්ථාව සලසා දී තිබේ.

නයිරෝබි ජාතික කෞතුකාගාරයේ තබා ඇති අහමඩ් හස්තියාගේ අනු රුව – www.flickr.com

කවරයේ ඡායාරූපය - නයිරෝබි ජාතික කෞතුකාගාරයේ තබා ඇති අහමඩ් හස්තsයාගේ අනුරුවක් - www.flickr.com 

මූලාශ්‍ර:

www.africahunting.com

www.wwfkenya.org

artsandculture.google.com

Related Articles