Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලොව වායු දූෂණය අතින් ප්‍රමුඛස්ථානය ඉන්දියාවට

වර්තමානය වන විට පෘථිවියේ මිනිස් ගහනය ඉතා සීඝ්‍රයෙන් වර්ධනය වෙමින් තිබෙනවා. මේ හේතුවෙන් වායුගෝලීය දූෂණය ද ඉතා ඉහළ ගොස් තිබෙනවා. කාර්මික විප්ලවයත් සමග ‘දැනෙන්නට’ ඉහළ ගිය වායු දූෂණය වර්තමානය වන විට ඉතා බරපතල පාරිසරික හා සාමාජීය ගැටළුවක් වී තිබෙනවා.

ලොව වැඩිම ජනගහනයක් වෙසෙන කලාපය ලෙස හඳුනාගෙන තිබෙන්නේ දකුණු ආසියාව හා චීනය යි. ලොව වැඩිපුරම වායු දූෂණය සිදුකරන කලාපය ලෙස හඳුනාගෙන තිබෙන්නේ ද මෙම පෙදෙසම යි. එයිනුත් ලොව දූෂිතම වායුව ඇති නගර 30න් 22ක්ම දරන්නේ ඉන්දියාව බව පසුගිය දා එළිදැක්වුණු වාර්තාවක් මඟින් හෙළිවුණා.

සිද්ධිය සවිස්තරාත්මකව

එයා විෂුවල් නම් වෙබ් අඩවියේ පළවී ඇති මේ වාර්තාවට අනුව ලොව වායු දූෂණය අතින් අධිකම නගර 10 අතරින් 7කුත්, 30 අතරින් 22කුත් ඉන්දියාවට අයත් වෙනවා. පසුගිය දශකය තුළ මේ වාර්තාව හා සබැඳි දර්ශකයේ ඉහළින්ම සිටින චීනයේ නගරවල වායු තත්ත්වය යහපත් අතට යම් වර්ධනයක් පෙන්වා තිබෙනවා.

ගුරුග්‍රාම්- livemint.com

ඉහත වාර්තාවට අනුව ලොව ඉහළම වායු දූෂණය වාර්තා වී ඇති පෙදෙස වන්නේ ඉන්දියාවේ අගනුවර වන නවදිල්ලිය සමීප උප නගරයක් වන ගුරුග්‍රාම් පෙදෙස යි. 2018 වසරේ එහි වායු තත්ත්ව දර්ශකය ඒකක 135.8ක ඉතා ඉහළ සමාන්‍යය අගයක් පෙන්වා තිබෙනවා. මේ අගය ඇමෙරිකානු පරිසර සුරැකුම් ඒජන්සිය විසින් ‘සෞඛ්‍යාරක්ෂිත’ යැයි ප්‍රකාශ කර තිබෙන අගය මෙන් තුන් ගුණයකට ආසන්න අගයක් වෙනවා. ඔවුන්ට අනුව වායු තත්ත්ව දර්ශක අගය 50ට වඩා අඩු නම් එම වාතය කිසිදු පුද්ගලයෙකු හට සෞඛ්‍ය ගැටළු ඇති නොකරන ‘සෞඛ්‍යාරක්ෂිත’ තත්ත්වයක පවතින අතර, 51 හා 100 අතර අගයක් සැලකෙන්නේ ‘හිතකර හෝ අහිතකර නොවන තත්ත්වයක් ලෙස යි. මේ තත්ත්වයේ වායුවට දීර්ඝකාලීනව නිරාවරණය වන සංවේදී අයවළුන්ට ගැටළු ඇතිවිය හැකි අතර 100ට වැඩි අගයන් ‘සෞඛ්‍ය අතින් අහිතකර’ තත්ත්ව ලෙස සැලකෙනවා. වඩාත් භයානක තත්ත්වය වන්නේ දිල්ලියේ වගාබිම් ගිණිතැබීම් වඩාත් සිදුවන පසුගිය මාසවල මෙහි අගය 200 ද ඉක්මවා තිබීම යි. මෙම දර්ශකය වාතයේ අඩංගු වන PM 2.5 නම් කුඩා අංශු හා සබැඳිව ගණනය කරන අතර, මේ අංශු මඟින් වාතයේ විනිවිද පෙනෙන බව අඩු වීම මෙන්ම මිනිසුන්ගේ පෙනහළු තුළට ඇතුලු වී බරපතල රෝගාබාධ ඇති කරනවා. මෙම අගය 200 ඉක්මවා තිබීම යනුවෙන් අදහස් වන්නේ එම පෙදෙසේ වායුව ආඝ්‍රාණය කරන ඕනෑම කෙනෙකුට බරපතල සෞඛ්‍ය ගැටළු උද්ගත වීමේ ඉතා වැඩි හැකියාවක් පවතින බව යි.

වාර්තාව හා බැඳුණු වඩාත් භයානක තත්ත්ව

උක්ත වාර්තාවට අනුකූලව විද්වතුන් ඉතා බරපතල පෙරැයීම් කිහිපයක් කර තිබෙනවා. ඊට අනුව එලැඹෙන වසර තුළ වායු දූෂණය හේතුවෙන් ලොව අකල් මරණ මිලියන 7ක් පමණ සිදුවීමට නියමිත යි. පරිසරය සුරැකීම සඳහා වූ ආයතනයක් වන ‘ග්‍රීන්පීස්’හි ගිණිකොණදිග ආසියා පෙදෙසේ විධායක නිලධරයෙක් වන යෙබ් සානෝ පවසන්නේ අයහපත් වායු තත්ත්වය හේතුවෙන් එළඹෙන මාස කිහිපය තුළ ‘සේවය කිරීමේ අපහසුව’ හේතුවෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 225ක පාඩුවක් ලෝකයට සිදුවනු ඇති බව යි. තව ද, මේ තත්ත්ව නිසා ඇතිවන රෝගාබාධවලට ප්‍රතිකාර කරන්නට තවත් ඩොලර් ට්‍රිලියන ගණනක් වැයවනු ඇති බවට ගණන් බලා තිබෙනවා.

වායු දූෂණයෙන් බැට කන දකුණුදිග හා ගිණිකොණදිග ආසියාව

ලාහෝරය ධූමිකාවලින් පිරී- suchtv.pk

මෙම වාර්තාවට අනුව තවමත් ලොව වැඩිම වායු දූෂණය පවතින පෙදෙස් ලෙස දකුණු හා ගිණිකොණදිග ආසියානු පෙදෙස් හඳුනාගෙන තිබෙනවා. මෙයිනුත් දකුණු ආසියාවේ තත්ත්වය වඩා බරපතල වෙනවා. වාර්තාවට අනුව ලොව වඩාත්ම වායු දූෂණයට ලක් වී ඇති නගර 20න් 18ක්ම අයත් වන්නේ ඉන්දියාව, පාකිස්තානය හා බංග්ලාදේශය යන රටවල්වලට යි. මෙහිදී විශාල නගර වන ලාහෝර් එහි 10 වන ස්ථානයත්, දිල්ලිය 11 වන ස්ථානයත්, ධකා 17 වන ස්ථානයත් හිමි කරගෙන තිබෙනවා.

හරිතාගාර ආචරණය ඇතුළු හේතූන් නිසා ඇතිවී තිබෙන දේශගුණික වෙනස්කම් මේ තත්ත්වය වඩාත් තීව්‍ර කර තිබෙන්නේ වායුගෝලයේ ස්වභාවික සුළං ප්‍රවාහවල අඩු වීම මෙන්ම ලැව්ගිණි වැනි දේ ඇතිවීමේ අවස්ථාව වැඩිවීම වැනි සංසිද්ධි නිසා යි.

මෙම තත්ත්වය ඇතිවීමට ප්‍රධාන හේතුව ලෙස ෆොසිල ඉන්ධන දහනය මෙන්ම වන විනාශය හඳුනාගෙන තිබෙනවා. චීන නගරවල තත්ත්වයේ යම් සමනය වීමක් දක්නට ලැබුණත් තවමත් ඒවා කිසිලෙසකින් සතුටුදායක මට්ටමකට ළඟා වී නැහැ. සමස්ථයක් ලෙස ගත් විට ශ්‍රී ලංකාවේ තත්ත්වය සාපේක්ෂව වඩා යහපත් වන අතර එහි වායු තත්ත්ව අගය 32 මට්ටමේ පවතිනවා. එය ‘සාමාන්‍ය’ මට්ටමේ අගයක්. ලොව හොඳම වායු තත්ත්වය ඇති රට ලෙස අයිස්ලන්තය සැලකෙන අතර එහි අගය 5.05ක මට්ටමේ පවතිනවා.

පසුවදන

මෙම වාර්තාව සඳහා නගර 3000ක් අධ්‍යයනය කර ඇති අතර ඉන් 64%ක්ම පවතින්නේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ සම්මත අගයන්ට අනුව ‘සතුටුදායක නොවන’ මට්ටමක යි.

අංශු වලට සල්ෆේට, නයිට්‍රේට හා කාබන් අංශු වැනි දේ අන්තර්ගත වෙනවා. මේවාට නිරාවරණය වීමෙන් පෙනහළු හා හෘදයේ සංකූලතා හා රෝග ඇතිවෙනවා. මීට අමතරව ස්නායු හා ප්‍රතිශක්තීකරණ පද්ධතියේ රෝග ද ඇති විය හැකියි.

පොසිල ඉන්ධන දහනය වායු දූෂණය සිදුවන්නට ප්‍රධාන හේතුවක්- Zilli/ iStock photo

වායු දූෂණ ගැටළුව දිනෙන් දින වර්ධනය වන භයානක ගැටළුවක් බවට පත්වෙමින් තිබෙනවා. මේ සඳහා වහාම ක්‍රියාමාර්ග නොගතහොත් ලොවම ‘අමාරුවේ වැටෙන’ බවට විද්වතුන් අනතුරු අඟවනවා. චීනය මීට එරෙහි ව්‍යාපෘතීන් දැනටම අරඹා ඇති අතර එහි ප්‍රතිඵලයක් ලෙස 2017 සිට 2018 දක්වා වූ වසරක කාලය තුළ එහි නගරවල වායු දූෂණය 12%කින් අඩු කරගැන්මට ඔවුන් සමත් වී තිබෙනවා.

කවරයේ පින්තූරය- නවදිල්ලිය- thebetterindia.com

Related Articles